'ත්වං ඛෝසි කේසි සඤ්ඤතො අස්‌සදම්මසාරථි. කථං පන ත්වං කේසි, අස්‌සදම්මං විනේසීති?
අහං ඛො භන්තේ අස්‌සදම්මං ඝණ්‌හේනපි විනේමි, ඵරුසේනපි විනෙමීති.'
'කේසිය නුඹ ප්‍රසිද්ධ අශ්වයන් දමනය කරන්නෙකි. කේසිය, නුඹ කෙසේ නම් අශ්ව දමනය කරන්නෙහිද?'
'භාග්‍යවතුන් වහන්ස, මම අශ්වයා මෘදුලෙස දමනය කරමි. කටුක ලෙස දමනය කරමි. මෘදු හා කටුක ලෙසද දමනය කරමි'
කාරුණික පින්වතුනි,
ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙහි කේසී සූත්‍රයෙහි අඩංගු ආරම්භක ධර්ම කොට්‌ඨාසයයි. මෙම සූත්‍ර ධර්මයෙහි අඩංගු ධර්ම පර්යාය අපගේ ජීවිතවලට ගළපා බලමු. දිනක් කේසි නම් අශ්වයන් දමනය කරන්නා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක සිටියේය. එම අවස්‌ථාවේදී භාග්‍යවතුන් වහන්සේ සහ කේසි අතර ඇතිවූ ධර්ම සාකච්ඡාවේ මුල් කොටස ඉහත දැක්‌වුවෙමි. මීළඟ අවස්‌ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. 'කේසිය, ඉදින් නුඹගේ අශ්වයා, මෘදු ලෙස ශික්‌ෂණයට නොයේ නම්, නපුරු ලෙසද ශික්‌ෂණයට නොයේ නම්, මෘදු සහ කටුක ලෙසත් ශික්‌ෂණයට නොයේ නම්, එම අශ්වයාට කුමක් කරන්නෙහිද?'
කේසි මෙසේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙයි.
'භාග්‍යවතුන් වහන්ස, ඉදින් මෘදු ලෙස ශික්‌ෂණයට නොයේ නම්, පරුෂ ලෙසින් ශික්‌ෂණයට නොයේ නම්, මෘදු සහ පරුෂ ලෙසත් ශික්‌ෂණයට නොයේ නම්, භාග්‍යවතුන් වහන්ස, මම ඔහුව මරමි. ඒ කවර හේතුවක් නිසාද? මාගේ ඇදුරු කුලයට අපකීර්තියක් නොවෙන්නටයි'.
මෙසේ පිළිවදන් දුන් කේසි භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි. 'භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසධම්මසාරථී නම් වන සේක. භාග්‍යවතුන් වහන්සේ කෙසේ දමනය කළ යුතු පුරුෂයා ශික්‌ෂණය කරන්නේද? මහා කරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිsළිතුරු වදාරති. 'කේසිය, මම දමනය කළයුතු පුරුෂයා මෘදු ලෙසද හික්‌මවමි. සැර ලෙසද හික්‌මවමි. මෘදු ලෙසත්, සැර ලෙසත් හික්‌මවමි' එය මෙසේ විස්‌තර කළ හැකිය. කය සුචරිතය මෙබඳු වෙයි. කාය සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචී සුචරිතය මෙබඳු වෙයි. වචී සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනෝ සුචරිතය මෙබඳු වෙයි. මනෝ සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබඳු වෙයි. මනුෂ්‍යයෝ මෙබඳු වෙයි. මෙසේ කරුණු දැක්‌වීමයි.
'කේසිය, එමෙන්ම පරුෂ භාවයෙන් හික්‌මවීම මෙසේ විස්‌තර කළ හැකිය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුෂචරිතයාගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුෂ්චරිතයාගේ විපාක මෙසේය. මනෝ දුෂ්චරිතය මෙසේය. මනෝ දුෂ්චරිතයාගේ විපාක මෙසේය. නිරය මෙසේය. තිරශ්චීනයෝනි මෙසේය. ප්‍රේත විෂය මෙසේය යනුවෙනි'.
'කේසිය, මෘදු සහ පරුෂ බව මෙසේ විස්‌තර කළ හැකිය. කාය සුචරිතය මෙසේය. කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුශ්චරිතය මෙසේය. කායදුශ්චරිතයාගේ විපාකය මෙසේය. වචී සුචරිතය මෙසේය. වචී සුචරිතයාගේ ජවිපාකය මෙසේය. වචී දුෂ්චරිතය මෙසේය. වචී දුෂ්චරිතයාගේ විපාකය මෙසේය. මනෝ සුචරිතය මෙසේය. මනෝ සුචරිතයාගේ මවිපාකය මෙසේය. මනෝ දුෂ්චරිතය මෙසේය. මනෝ දුෂ්චරිතයාගේ විපාකය මෙසේය. දෙවියෝ මෙබඳු වෙයි. මනුෂ්‍යයෝ මෙබඳු වෙයි. නිරය මෙබඳු වෙයි. තිරශ්චීන යෝනි මෙබඳු වෙයි. ප්‍රේත විෂය මෙබඳු වෙයි යනුවෙනි.
මෙසේ අසා සිටින කේසී, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කරයි. භාග්‍යවතුන් වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේගේ මෘදු පුරුෂ දමනයෙනුත් කටුක පරුෂ දමනයෙනුත්, මෘදු කටුක දමනයෙනුත් හික්‌මවීමට නොයේ නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහුට කුමක් කරන්නේද?'
'කේසිය, ඉදින් මාගේ දමනය කළ යුතු පුද්ගලයා මෘදු ආකාරයෙන් හික්‌මීමට නොයේ නම්, පරුෂ ආකාරයෙන්නුත් දමනයට නොයේ නම්, මෘදු පරුෂ දෙආකාරයෙන්ම හික්‌මවීමට නොයේ නම්, කේසිය ඔහු නසමි'.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ පැවැසූ විට, කේසී පුදුමයට පත්වෙයි. කේසී මෙසේ ප්‍රශ්න කරයි. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ප්‍රාණඝාතය නොකැපය. එසේ නමුත්, භාග්‍යවතුන් වහන්සේ විසින් 'ඔහු නසමි යි දෙසයි'.
එය සැබෑවකි. කේසිය, එම 'නසමි' යන අදහස නුඹ මෙසේ තේරුම්ගත යුතුය. තථාගතයන් වහන්සේට ප්‍රාණ ඝාතය කැප නොවෙයි. එම හික්‌මවිය යුතු පුරුෂයා මෘදු ක්‍රමයෙන්a හික්‌මීමට නොයේ නම්, තද ආකාරයෙනුත් හික්‌මීමට නොයේ නම්, මෘදු තද දෙයාකාරයෙන්ම හික්‌මීමට නොයේ නම්, තථාගතයන් වහන්සේ විසින්, එම පුරුෂයාව කිව යුතු අනුශාසනා කළයුතු අයෙක් ලෙස නොසිතත්. නුවණ ඇති සබ්‍රහ්මචරීන් වහන්සේලා විසින්ද ඔහුව කියයුතු අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය, තථාගතයන් වහන්සේ විසින් යමකු කිය යුතු අනුශාසනා කටයුතු කොට නොසිතත්ද, නුවණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින්ද කිය යුතු අනුශාසනා කටයුතු කොට නොසිතත්ද ආර්ය විනයෙහි එය 'නැසීමකි'. 'වධයකි'.
භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ යමකු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතන සේක්‌ද නුවණ ඇති, සබ්‍රහ්මචාරීන් වහන්සේලාද කිය යුතු, අනුශාසනා කළයුතු කොට නොසිතත්ද, එය ඒකාන්තයෙන්ම වධයක් නැසීමකි. මෙසේ පවසන අශ්වයන් දමනය කරන කේසි, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු කොට පිළිගනු ලබන සේක්‌වායි ඉල්ලති.
මෙම උතුම් ආර්ය විනයෙහි හික්‌මවීම සහ හික්‌මීම පිළිබඳ මනාවූ අදහසක් මෙමගින් උපුටාගත හැකිය. හික්‌මිය යුතු පුද්ගලයන්ට භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන්ම කුසලය සහ අකුසලය පිළිබඳව කරුණු දේශනා කරති. කුසලයෙහි ඇති යහපත් විපාකයත්, අකුසලයෙහි ඇති අයහපත් විපාක හෙවත් ආදීනවත් දේශනා කරති. මෙම සූත්‍ර දේශනාවෙහිපැහැsලි කළ ආකාරයට කාය සුචරිතය, වාග් සුචරිතය, මනඃසුචරිතය පළමු කොට දේශනා කරති. එය මෘදු භාවයෙන් කරන හික්‌මීමයි. එනම්, කාය සුචරිතය නම්වූ ප්‍රාණ ඝාතයෙන්, නුදුන් දෙය ගැනීමෙන් හා කාම මිත්‍යාචාරයෙන් වැළකීමයි. එසේ වැළකීමෙන් ලබන දිව්‍ය මානුෂික උපත් සහ සැපය පිළිබඳවයි. වාග් සුචරිතය නම්වූ බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කතා කිරීම, හිස් වචනයෙන් වැළකීමයි. ඉන් ලබන දිව්‍ය මානුෂික උපත් සහ සැපත පිළිබඳවයි. මනෝ සුචරිතය නම් වූ අභි-Cධා (දැඩි ලෝභය), ව්‍යාපාදය (තරහව) මිත්‍යාදෘෂ්ටියෙන් වැළකීමයි. ඉන් ලබන දිව්‍ය මානුෂික උපත් සහ සැපත පිළිබඳවයි. තද ලෙස හික්‌මවීම නම් ඉහත සඳහන් කළ ප්‍රාණඝාතය ආදී දස අකුසලයෙන් නොවැළකී ඒවා අනුගමනය කිරීම නම්වූ කාය, වාග්, මනෝ දුෂ්චරිතය පෙන්වාදී ඒවායෙන් ලබන විපාක නම් වූ නිරයෙහි, තිරශ්චීන යෝනියෙහි හා ප්‍රේත විෂයෙහි ඉපදීම සහ දුක පිළිබඳව පෙන්වාදීමයි.
මෘදු සහ තද ලෙස දෙයාකාරයෙන්ම හික්‌වීම නම් එකවිටම හැසිරීම සහ වැළකීම, කුසලය, අකුසලය, සැප සහ දුක් විපාක පිළිබඳව දේශනා කිරීමයි. 'කුසලං භික්‌ඛවේ භාවේථ. සක්‌කා භික්‌ඛවේ කුසලං භාවේතුං නාහං ඒවං වදයෙය. කුසලං භික්‌ඛවේ භාවේථාති. තස්‌මාච ඛො භික්‌ඛවේ සක්‌කා කුසලං භාවේතුං, තස්‌මාහං ඒවං වදාමි. කුසලං භික්‌ඛවේ භාවේථාති. කුසලං ච හිදං භික්‌ඛවේ භාවිතං අහිතාය දුක්‌ඛාය සංවත්තෙය්‍ය, නාහං ඒවං වදෙය්‍ය කුසලං භික්‌ඛවේ භාවේථාති'.
'මහණෙනි, කුසල් වඩන්න. කුසලය වඩන්නට හැකිය. මහණෙනි, ඉදින් කුසලය නොවැඩිය හැකි නම්. මහණෙනි, කුසලය වඩයි, මෙසේ මම නොකියමි. මහණෙනි, කුසලය වඩන ලද්දේ ඉදින් අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම් 'මහණෙනි, කුසලය වඩවයි. එසේ මම නොකියමි. (අංගුත්තර නිකාය - දුක නිපාතය).
භාග්‍යවතුන් වහන්සේ අපාය සංවත්තතික සූත්‍රයෙහි මෙසේ වදාරති. පාණිතිපාතෝ භික්‌ඛවේ ආසිවිතෝභාවිතෝ බහුලීකතෝ නිරයසංවත්තනිකො, තිරච්ඡයෝනි සංවත්තනිකො පෙත්තිවිසය සංවත්තනිකො, යෝ සබ්බහුලසෝ පාණාතිපාතස්‌ස විපාකෝ මනුස්‌ස භූතස්‌ස අප්පායුක සංවත්තනිකො හෝති'. ප්‍රාණඝාතය කරන ලද්දේ නිතර කරන ලද්දේ නිරය තිරිසන් යෝනිය, ප්‍රේත විෂය කමැති විය යුතුය. මිනිස් ලොව ඉපදුනේ අල්පවූ ආයුෂ ලබන්නේය'. මේ ලෙසින් මෘදුවන්, තද ලෙසත් කරුණු පෙන්වාදී එහිදීද නොහික්‌මෙන්නේ නම් ඔහු හෝ ඇය 'මෝඝ පුරිස් නම් වෙයි. භෘග්‍යවතුන් වහන්සේ විසින් ඉන්පසු අනුශාසනා නොකළ යුතු වෙයි. නුවණැති තෙරුන් වහන්සේලා විසින් අනුශාසනා නොකළ යුතුවෙයි. එනම් 'අත්හැර දැමීමයි'. ආර්ය විනයෙහි වධයයි. නැසීමයි.
මෙවැනි පුද්ගලයන් කොපමණ නම් අප අතරම වෙසෙත්දැයි නුවණින් මෙනෙහි කොට හික්‌මීමට, චරණයට, ශික්‌ෂණයට එකතුවෙමු. එය භාග්‍යවතුන් වහන්සේ සරණයාමයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව විසීමයි. විසීමට මිස නැසීමට දුර්ලභවූ මෙම උතුම් මිනිසත් බව පත්නොකර ගනිමු. උතුම් සිවුසස් දහම් අවබෝධ පිණිසම වේවා!
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
2015 බිනර මස 27 වැනිදා ඉරිදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment