Labels

Friday, November 6, 2015

බුදු සිරිතේ ආගමික සංහිඳියාව


බුදුරදුන් ලොව පහළවනවිට ආගම් හා දර්ශන දෙසැටක් පැවත තිබිණි. බුදුසිරිතෙන් ප්‍රකට වන විශිෂ්ට ලක්ෂණය වනුයේ අන්‍යාගමික ශාස්තෘවරු, පූජකවරු, බමුණන් සමඟ සුහදශීලීව කටයුතු කළ අතර ආගමික වශයෙන් සහනශීලී පිළිවෙතක් අනුගමනය කළහ. කවර අවස්ථාවකදී හෝ අනවශ්‍ය ගැටුම් ඇති නොකර මෙත් සිතින් යථාවාදී තථාකාරි, යථාකාරී තථාවාදී වචනයට සරිලන ක්‍රියාවත් ක්‍රියාවට සරිලන වචනයත් පි‍්‍රය කළ ඊට අනුව ක්‍රියාකළ උන්වහන්සේගේ චරිතය පරමාදර්ශී චරිතයකි. 


විවිධ මතිමතාන්තර, දර්ශන ආගමික හා දාර්ශනික අදහස් කොපමණ පැවතිය ද, එකට සිට සියලු ආගමික ශාස්තෘවරුන් එකම ස්ථානයකට රැස්ව දර්ශන මතවාද පිළිබඳව සාකච්ඡා කළහ. සෑම ආගමකටම පොදු වූ රැස්වීම්ශාලා, සමයප්පවාදක ශාලා, කෝතු හලිකා ශාලා නමින් හඳුන්වනු ලැබිණි.

අන්‍ය ලබ්ධිකයන් එබඳු ශාලාවලට රැස්වී සාකච්ඡා කරන අවස්ථාවන්හිදී බුදුරදුන් එම ස්ථානවලට වැඩම කොට එම සාකච්ඡාවලට සහභාගී වූ බව සඳහන් වේ. එමෙන්ම අන්‍ය ශාස්තෘවරුන්, ලබ්ධිකයන් බුදුරදුන්ගේ වැඩම වීමද ඉතා අගය කොට සැලකූහ. විශේෂයෙන්ම අන්‍ය ශාස්තෘවරුන්ගේ අසපු කුටි තුළ උන්වහන්සේට වැඩම කිරීමට සුදුසු පරිසරයක් සකස්ව තිබුණි. එහි නිශ්ශබ්දතාවය ඇතිවීම සුවිශේෂී ලක්ෂණයකි. එබඳු ශාලාවල පැවැති ආගමික සාකච්ඡාවලට උන්වහන්සේට ආරාධාන ලැබිණි. නිහතමානිව එම ආරාධනා බාරගෙන එම ආගමික සාකච්ඡා සඳහා උන්වහන්සේ වැඩම කරන ලදී. රැස්ව සිටි ලබ්ධිකයන් බුදුරදුන් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබූහ.
''පොට්ඨපාද'' වැනි පරිබ්‍රාජිකයන් වරක් ප්‍රකාශ කළේ මෙතැන බුදුරදුන් සිටියේ නම් කෙතරම් අගේද? යනුවෙනි. අන්‍ය ආගමිකයන්, බුදුරදුන් කෙරෙහි එවැනි පිළිගැනීමක් ඇතිවීමට හේතුව වන්නේ, උන්වහන්සේ අන්‍ය ආගමික ලබ්ධිකයන් පිළිබඳව දැක් වූ සහනශීලී පිළිවෙත නිසාය.

දීඝනිකායේ "උදුම්බරික" සීහනාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට බුදුරදුන් විවේකය පි‍්‍රය කළ ශාස්තෘවරයකි. නිශ්ශබ්දතාවය අගය කළහ. ඒ තුළින් අපේක්ෂා කළේ ඕනෑම ගැටලුවක් සාකච්ඡා මඟින් විසඳාගත හැකි බවයි. හඬ නඟා කෑ කෝ ගසා අත්පා මෙහෙයවමින් ප්‍රශ්න විසඳා ගත නොහැකි බවයි. තමන් වහන්සේගේ ශාසනයේම ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම ගැන අවවාද කළද ඉන් පලක් නොවූ බැවින් පාරිලෙය්‍ය වනයට වැඩම කිරීමේ අවස්ථාව නිදසුන් ලෙස දැක්විය හැක.
විවේකය නිහඬ පිළිවෙත අගය කළ උන්වහන්සේගේ මේ පිළිවෙත පිළිබඳව විවේචනය කළ පිරිස්ද එකල සිටියහ. ඒ අතර "නිග්‍රෝධ පරිබ්‍රාජකයා" මේ පිළිවෙත පිළිබඳ දැරුවේ මෙවන් අදහසකි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ නුවණ ගෙවී යන්නේ පාළු ස්ථානවල නේද? උන්වහන්සේ මා ළඟට පැමිණියහොත් එක් ප්‍රශ්නයකින් හිස් කළයක් බවට පත් කරන බවයි. පසුව නිග්‍රෝධ පරිබ්‍රාජකයා බුදුරදුන්ගේ වටිනාකම තේරුම් ගෙන සමාව අයැද සිටියහ. මොහුගේ අවංකභාවය ගැන ප්‍රසාදයට පත් උන්වහන්සේ ඔබ වැනි අවංක පුද්ගලයන්ට මගේ ශාසනයේ ප්‍රතිපත්ති පුරමින් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකි බව වදාළහ.

ජෛන ශ්‍රාවකයකු වූ උපාලි ගෘහපතිය, බුදුරදුන් පරාජය කිරීමේ අරමුණින් පැමිණිය ද බුදු දහම කෙරෙහි පැහැදුණු ඔහු බෞද්ධයකු වීමට අයැද සිටි අවස්ථාවේ උන්වහන්සේ ඔහුට පැවසුවේ උපාලි තවදුරටත් සිතා තීරණයක් ගත යුතු බවයි. නැවත ඔහු බුදුහිමියන්ගේ, අනුගාමියකු බවට පත් කර ගන්නා ලෙස අයැද සිටීමෙන් උන්වහන්සේ වදාළේ ඔබ අද පටන් බෞද්ධයකු වුවත් ඔබ කලින් පුද පූජා පැවැත් වූ ආගමික ශාස්තෘවරුන්ට හා ආගම්වලට ඒ අයුරින් වතාවත්වල යෙදෙන ලෙසය.

ආගමික සහනශීලී පිළිවෙතෙහි සුවිශේෂී කරුණක් ඉහත සිදුවීම තුළ ගම්‍ය වේ. පිරිස වැඩි කර ගැනීමට හරවා ගැනීමට අවශ්‍යතාවක් බුදුදහමට උන්වහන්සේ තුළ නොතිබිණි. අපේ ආගම සත්‍යයි. අන් ආගම් අසත්‍යයි. පැවසූ අන්‍ය ආගමික ශාස්තෘවරුන්ගෙන් දාර්ශනිකයන්ගෙන් ගහන සමාජයක අන්‍ය ආගම් හා දාර්ශනවල අඩුපාඩු සහේතුකව පෙන්වා දී ඒවා නිවැරදි කරගැනීමට කාරුණික වූහ. සෑම ඉගැන්වීමක්ම විවෘත මනසකින් විමසා බලා තීරණ ගත යුතු බව වදාළහ.

බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ බමුණන් විසින් මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලදැයි සංකල්පය බුදුරදුන්, නොපිළිගත්හ. මහා බ්‍රහ්මයා දැක තිබෙන්නේ කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් නිරුත්තර වූහ. නැවතත් උන්වහන්සේ විමසනවා සත්මුතු පරම්පරාවේ කෙනෙකුවත් දැක තිබේද? යනුවෙන්, ඒ අවස්ථාවේදී ද නිරුත්තර වූ බමුණන් ගතානු ගතික මතිමතාන්තරවල සත්‍යයක් නොමැති බව සමස්ත බමුණු සමාජයටම වැටහුණු අවස්ථාවක් විය. විශ්ව සාධාරණවූත් සර්වකාලීන වූත්, දාර්ශනිකව මාතෘත්වය පදනම් කරගෙන ප්‍රජාව බිහිවෙන බව හා දෙමාපිය සබඳතාව තුළ ජනිත වන සත්වයා කරන ලද ක්‍රියාවන් අනුව වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බව වදාළේ කිසිදු ගැටුමක් ඇති නොවන අයුරිනි.

"කේසපුත්ත" නියම්ගම් වැසි කාලාමවරු බුදුරදුන්ට පැවසුවේ අපේ ගමට පැමිණෙන ආගම් ශාස්තෘවරු අපේ ආගම සත්‍යයි, අන් ආගම් අසත්‍යයි කියා පවසති. අපි කුමන පදනමක සිට කිනම් ආගමක් දර්ශනයක් සත්‍යයැයි පිළිගන්නේ කෙසේද? යනුවෙන් පැවසූ අවස්ථාවේ ද සැක කිරීමට හා ප්‍රශ්න කිරීමට ශ්‍රාවකයන්ට නිදහස ඇති බවත් කාලමයනී, ඔබට සැක ඇති කර ගත යුතු කරුණක් පිළිබඳවම සැකය ඇති වී තිබෙන බව වදාළ බුදුරදුන්, සිතීමේ හා විමසීමේ නිදහස, සැක කිරීම, ප්‍රශ්න කිරීම, පිළිබඳව තමාටම වගකීම භාර කළ දුන්හ. සැක කිරීමට හා ප්‍රශ්න කිරීමට අප තුළ ඇති හැකියාව යහපත් අතට යොදා ගත යුතු බවත් වදාළහ.
සැක කිරීම පාප කර්මයක් ලෙසත්, ප්‍රශ්න කිරීම අකීකරු වීමක් හා අවනත නොවීමක් ලෙස සමහර ආගම් කතුවරු ප්‍රකාශ කළත්, සැකය දුරු කළ යුතු නමුදු පාපයක් නොවන බව වදාළහ.

අසරණයන්ට පිහිටවීම උන්වහන්සේගේ බුදු සිරිතේ සුවිශේෂි ලක්ෂණයකි. පිහිට පතා පැමිණි කෙනා ජාති ආගම් කුල ගොත් නොවිමසා කවරෙකු වුවද අවශ්‍ය ගැටලුවට පිළියම් ලෙස නිර්මල දහමේ සුවය ලබාදීමට මාර්ගෝපදේශකයකු වූ අතර, ඔහුගේ අවශ්‍යතාවට අනුව බුද්ධ ශ්‍රාවකයකු බවට පත් වීමටද තවදුරටත් සසර දුකින් මිදීමට අවශ්‍ය බව තේරුම් ගියහොත් පැවිදි වී මාර්ගඵලලාභියකු වීමට අවශ්‍ය අවස්ථාව සලසා දෙන ලදී.

බුදු සසුනේ උතුම් පැවිද්ද ලැබුවන් "ශ්‍රමණ ශාක්‍ය පුත්ත" යන නමින් හඳුන්වනු ලැබුවා මිස කලින් හැඳින් වූ ජාති, ආගම්, කුල ගෝත්‍රවල නම් බැහැර විය.
බුදුරජාණන් වහන්සේගේ ආගමික සංහිඳියාව තුළ ලබා දුන් පණිවුඩය වූයේ පිරිස් වැඩිකර ගැනීමට මෙන්ම ආගමික ගැටුම් ඇති නොවන අයුරින් ආගමික සංහිඳියාව පිණිස කටයුතු කිරීමයි. වර්තමාන සමාජය තුළ විවිධ ආගමික මති මතාන්තර හමුවේ බෞද්ධයන් වන අප සැම ඊට මුහුණදීමට සුදුස්සෙක් විය යුතු ය. ‘මෛත්‍රිය’ පදනම් කරගෙන මුළු විශ්වයටම මෙත් සිත මුදා හළ යුතු වේ. බෞද්ධයන්ට ගැටුම් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් බුදුදහමින් නොසපයයි. ගැටුම් හමුවේ සමථකරුවෙකු වී ගැටුම සංසිඳුවා ගැනීමට මඟපෙන්වන්නකු විය යුතු ය.බඹයක් පමණ වූ මේ ශරීරය තුළ ලෝකයක් ලෝක නිරෝධයක් පෙන්වා දුන් උතුම් ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයන් ලෙස ‘දුකින් මිදීමේ මඟ ගමන් කරන පිරිසක් ලෙස, සියලු ආගමික පිරිස් සමඟ එකට එක්ව ජීවත්වීමට හැකි පරිසරයක් බිහි කර ගත යුතු බව අවධාරණයකොට ඇත.
අපට සමාජයේ තනිව ජීවත් විය නොහැක. අප සැමගේ කාර්ය වනුයේ තවකෙනෙකු ජීවත් කරවීමයි. සියලු දෙනාටම කුසගින්න, නින්ද, රෝගාබාධ පොදුය. විශ්වයේ කොතැනක වුවද සතා සිවුපා ආදි සියලු සත්වයන්ට මෙන්ම මිනිස් ප්‍රජාවට ද ජීවත් විය හැක. පරිසරයේ දක්නට ලැබෙන ගස් කොළන් තෘණ වර්ගවල වෙනස්කම් ඇත. සිවුපා, පක්ෂි, උරග සතුන් අතර වෙනස්කම් පවතී. එහෙත් මනුෂ්‍ය වර්ගයා අතර වෙන්කොට හඳුනාගත හැකි ශාරීරික ලක්ෂණ, මානසික ලක්ෂණ නැත. සංස්කෘතික, ආගමික, භූගෝලීය ලක්ෂණ අනුව සමාජය බෙදී ගියද දුකින් මිදීමේ අවශ්‍යතාවය සැමට පොදුවේ.
සමස්ත මානව සංහතියේ සුහදශීලී පිළිවෙතට මඟ පෙන්වන නිර්මල දහමක ආභාෂය ලබා තිබෙන අපි සැවොම මානව දයාවෙන් ආගමික සංහිඳියාව අගය කරන්මෝ වෙමු.



 දෙහිවල ශ්‍රී සුදර්ශනධර්ම නිකේතනාධිපති,
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමි


 

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි

No comments:

Post a Comment