Labels

Wednesday, November 4, 2015

දහම් රස පානය කරන තැනැත්තා සැපසේ සිටියි


ධම්ම පීති සුඛං හෝතී විප්ප සන්නේන චේතසා
අරියප්ප වේදිතේ ධම්මේ සදා රමතී පණ්ඩිතෝ”


බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාව දේශනා කරනු ලැබුවේ මහාකප්පින මහතෙරුන් වහන්සේ අරමුණු කරගෙනයි. මහාකප්පින මහතෙරුන් වහන්සේ පිළිබඳව සිද්ධිය ධම්ම පද අට්ඨකථාව, අපදාන පාලිය, ථේරගාථා, සද්ධර්මරත්නාවලිය ආදි විවිධ තැන්වල සඳහන් වී ඇත.

මහා කප්පින මහරහතන් වහන්සේ සංසාරයේ බොහෝ කාලයක සිට පින් දහම් කරමින් තම අරමුණ සාර්ථක කරගැනීම සඳහා කටයුතු කළ හාමුදුරුවන් වහන්සේ නමක්.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේ ඇතිකර ගත් ප්‍රාර්ථනාවක් මත පින් දහම් කරමින් සංසාරයේ විවිධ ආත්මයන් ලැබ ජීවත් වුණා. තමන් බලාපොරොත්තු වන අරමුණ සාක්ෂාත් කරගැනීමේ අදහසින් සිතේ තබාගෙන මේ වගේ පින් දහම් කළ මහා කප්පින මහතෙරුන් වහන්සේ බුද්ධ කාලයෙහි දඹදිව කුක්කුටවතී නුවර “මහා කප්පින” නමින් රජකු වී උප්පත්තිය ලැබුවා. සියලුසැප සම්පත්වලින් ආඩ්‍යය වුණ බොහෝ ධන ධාන්‍ය වස්තු සහිත මහා රාජ්‍යයක මහ රජු ලෙස එතුමා කටයුතු කරනු ලැබුවා. මහා කප්පින මහරජතුමාගේ අග බිසව වූයේ අනෝජා දේවියයි. අනෝජා දේවීන් වහන්සේත් පෙර සංසාරයේ සිටම මේ යුවළ පින්දහම් කරමින් ප්‍රාර්ථනා සිතේ තබාගෙන භවයෙන් භවයට සංසාරයේ ගමන් කරමින් එන අය හැටියට ආපදාන පාලියෙහි දක්වා තිබේ. “අනෝජා” නම එම දේවියට ලැබුණ ආකාරය පිළිබඳ එම පොතෙහි සඳහන් කර තිබෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අනෝජා මල් පූජා කරල එම මල් පූජා කළ ප්‍රාර්ථනා බලයෙන් මේ අත්භවයෙහි “අනෝජා” යන නමින් ඇය උප්පත්තිය ලැබුවා යන්නයි. මහා කප්පින මහ රජතුමාත් දැහැමින් සෙමින් රට පාලනය කරමින් ආගමට දහමට අන්‍යයන්ට උදවු උපකාර කරන්නට හරිම උනන්දු වන රජෙකු වුණා. ඒවා යහපත් දේවල් ලෙස රජතුමා සිතනවා. ඔහු වැඩකටයුතු කරනු ලබන්නේ මහජනයාට, අන්‍යයාට හිත සුව පිණිස වන ආකාරයෙන් මහා කප්පින මහරජතුමාගේ දේවීන් වහන්සේ වන අනෝජා දේවින් වහන්සේත් රජතුමාට දෙවැනි නැහැ. එතුමියත් අන්‍යයන් කෙරෙහි හිතානුකම්පී කෙනෙකි. රට සෞභාග්‍යමත් වීමට මිනිසුන්ට උදවු උපකාර කරන්න අවශ්‍ය වෙනවා. රජතුමාත්, දේවීන් වහන්සේත් එවැනි ගතිගුණවලින් යුක්ත වූවන් වුණා. එම දේවියත්, රජතුමාත් දෙදෙනා දෙදෙනාටම ගැලපෙන නිසා අදහසුත් ගැලපුන නිසා එම අදහස් රටේ දියුණුවට හේතු වුණා.

රාජ්‍ය තන්ත්‍රයේ ආරක්ෂාවට පැවැත්මට ගැලපෙනවා. එක දවසක් මහා කප්පින මහරජතුමා තමන්ගේ පිරිවර ඇමතිවරුන් සමඟ උයන් කෙළියට යන්න නික්මුණා. රජතුමා මේ ආකාරයෙන් උයන්කෙළියට යන අතරමඟ රජතුමාට තවත් පිරිසක් හමුවුණා. රජතුමා එන පැත්තට ඉදිරිපසින් එන මෙම පිරිස සැවැත්නුවර සිට එන වෙළෙද කණ්ඩායමක්. සැවැත් නුවර සිට ගව්හාරසිය අසූ ගණනක් ගෙවාගෙන මහාකප්පින මහරජතුමා සිටින රාජ්‍යයට පැමිණෙන්නේ තමන්ගේ බඩු බාහිරාදිය වෙළ හෙළදාම් කරගැනීමේ අදහසින්, රජතුමා උයන් කෙළි යන අතරතුර රජතුමාගේ ඉදිරියට පැමිණෙන වෙළෙඳ පිරිස රටේ රජතුමා හැටියට, අලුතෙන් පිරිසක් තමන්ගේ රාජ්‍යයට පැමිණෙන විට ඒ අය සමඟ තොරතුරු ගනුදෙනු හුවමාරු කරගැනීම පිළිබඳව විස්තර විමසා බැලීම රජතුමාගේ යුතුකමක්. සැවැත්නුවර සිට එන මෙම පිරිසගෙන් රජතුමා විස්තර කතා කර විමසනු ලැබුවා. එම රට රාජ්‍යවල තොරතුරු කොහොමද? ඒවායේ අලුත් දියුණුවක් තියෙනවාද? මේ ආදි වශයෙන් තොරතුරු විමසන විට එම වෙළෙඳ පිරිස රජතුමාට ප්‍රකාශ කරනු ලැබුවේ රජතුමනි, සැවැත්නුවර බුද්ධ රත්නය පහළ වෙලා

තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන රටේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරමින් වඩින්නේ උන්වහන්සේගේ බණ අහලා මහණ වුණ හාමුදුරුවරු පිරිසක් වැඩ ඉන්නවා. එම නිසා සංඝරත්නයත් පහළ වෙලා තියෙන්නේ. බුද්ධ රත්නය පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. ධර්ම රත්නය පහළ වුණාට පසුව ධර්ම රත්නය අනුව ජීවිතය සකස් කර ගත් පිරිසක් ලෙස සංඝරත්නය වැඩ සිටින නිසා දැන් ලෝකය තුළ තෙරුවන් පහළ වෙලා තියෙනවා කියලා. මහාකප්පින මහා රජතුමාගේ සිතට මෙම ආරංචිය අලුත්ම ජවයක් ලබාදුන්නු සැනසුම් සහගතව කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි හිතාදර ආරංචියක් බවට පත්වුණා. තෙරුවන් පහළ වෙලා ඉන්න වෙලාවේ මම රජ සැප විඳ විඳ ඉඳීමෙන් පලක් නැහැ. තුණුරුවන් වන්දනා කිරීම සඳහා මම වහාම යා යුතුයි. මෙම රජ සැප තාවකාලිකයි. මෙම විඳින සැප සම්පත් සදාකාලික නැහැ. මේවා වෙනස් වෙනවා. සැප සම්පත් විඳින කොට හැම දාම තියෙනවාය කියල හිතාගෙන ඉන්නේ ධර්මානුකූල ශික්ෂණයක් නැති පුද්ගලයන්. ඒ අය හැමදාම එම සැප බලාපොරොත්තු වන නිසාම බොහෝ දුක් විඳිනවා. මෙම රජ සැප අතහැරලා තුණුරුවන් වැඳ ජීවිතය සකස් කරගැනීමට යාම අවශ්‍යයැයි හිතාගත්තා.
මහාකප්පින මහරජතුමාත් එම යන ගමනේදීම ආපසු නැවත රජ මාලිගාවට යන්නේ නැතිව තමන්ගේ රාජ්‍යය තමන්ගේ අනෝජා බිසවුන් වහන්සේට බාරගන්නට කියලා ඇමතියන් අත හසුන් පත් යවනු ලැබුවා. එම ඇමති පිරිස සමඟ සැවැත්නුවරට යන්නට පිටත් වුණා. බොහොම දුෂ්කර ගමනක් ඔස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවුණා.

ඇමතිවරු රජතුමා කියු පරිදි රාජ්‍යය දේවීන් වහන්සේට බාරගන්නට කියන පණිවිඩය දුන්නා. බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය මහාකප්පින මහරජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මහණ වෙලා පැවිදි දම් ආරක්ෂා කරල ටික දවසකින් කෙලෙස් දුරුකරලා රහත් භාවයට පත් වුණා. රජතුමාගේ බිසවුන් වහන්සේත් ටික දවසක් ඉඳල රාජ්‍යයේ සියලු දේවල් අනෙකුත් අයට බාරදීලා බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණිලා මහණ වෙලා ස්ත්‍රී පැවිද්ද ආරක්ෂා කරගෙන මෙහෙණවරක ඉඳගෙන ආගමික කටයුතු කරල රහත් වුණා. මහකප්පින මහරහතන් වහන්සේ කියලා ගිහි කල නමින්ම මෙම හාමුදුරුවන් වහන්සේ ප්‍රසිද්ධ වුණා. මහා කප්පින මහරහතන් වහන්සේ භාවනා කරන වෙලාවල් වලදීත් තමන්ගේ ජීවිතය පිළිබඳව පුදුම ආකාරයේ සැහැල්ලුවක් ඇතිකර ගත්තා. සතුටක් ඇතිකරගත්තා. භාවනා කරන අතරතුර “අහෝ සැපයි, අහෝ සැපයි” යනුවෙන් උන්වහන්සේට කියවෙනවා . මහණකම පිළිබඳව මහරහත්බව පිළිබඳව ඒ ඇතිවුණ සතුට නිසා. මෙම සිද්ධිය දකින අනෙකුත් ස්වාමීන් වහන්සේලා කල්පනා කරන්නේ මුන්වහන්සේ මීට කලින් මහරජවරයකු වෙලා සිටිය නිසා එම රාජ්‍ය තන්ත්‍රය විචාරපු කාලය පිළිබඳව මතක් කර කර ඒ පිළිබඳව “අහෝ සැපයි අහෝ සැපයි” කියලා කියනවා කියලා හාමුදුරුවරු මේ ආකාරයෙන් හිතලා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට සැලකළා. මේ මහා කප්පින හාමුදුරුවන් “අහෝ සැපයි, අහෝ සැපයි” කියලා නිතර ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ තමා ගිහිකාලයේ විඳිනු ලැබු රජ සැප පිළිබඳව මතක් වෙලාය කියලා බුදුරජාණන් වහන්සේට මෙම හාමුදුරුවරු ප්‍රකාශ කරනු ලැබුවා .

මහා කප්පින මහරහතන් වහන්සේත් එම අවස්ථාව තුළ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිමයි වැඩ හිටියේ. ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරල දෙනවා.මේ මහා කප්පින කියන්නේ අතීතයේ ඉඳළම පින් දහම් කරමින් ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයකින් කටයුතු කරපු කෙනෙක්. එයා රජ සැප වින්ද තමයි. නමුත් එම රජසැප අතහැර දමලයි පැමිණුනේ. නැවත නැවතත් ඒවා මතක් කරන්නේ නැහැ. දැන් මෙම හාමුදුරුවන් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ “අහෝ සැපයි,අහෝ සැපයි” යනුවෙන් සතුට පලකරන්නේ තමන් ජීවිතයේ විඳින සුවබරතාවය හෙවත් මහණකමේ ඉඳන් විඳින සැහැල්ලුව තමයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. ධර්මය කෙරෙහි ඇලුන පුද්ගලයා ධර්මයට නැඹුරු වුණ පුද්ගලයා දහම් රසය බොන්නෙක්. දහම් රසය බොන තැනැත්තා දහම් රසය තුළ තමන්ගේ ජීවිතය සකස් සකස් කර ගනී. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගනු ලබන්නේ නුවණැති පුද්ගලයා එම නුවණැති පුද්ගලයා. ආර්යයන් විසින් දක්නා ලද දහමෙහි ඇලෙනවා. මහා කප්පින මහරහතන් වහන්සේත් ධර්මයෙහි ඇලුණ කෙනෙක් යැයි බුදුරජාණන් වහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේලාට සැවැත්නුවරදී මෙම කාරණය පැහැදිලි කර දේශනා කරනු ලැබුවා.



මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි

No comments:

Post a Comment