ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කටයුතු කරන්නට නම් සිහිකල්පනාවෙන් යුතුව වැඩකටයුතු කළ යුතුයි. සිහිකල්පනාව නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්න පුළුවන්කමක් නෑ. අධ්‍යාපනය කඩා වැටෙනවා. වෙළෙඳාම්, රැකී රක්ෂාව කඩා වැටෙනවා. දියුණුවක් ලබන්න පුළුවන්කමක් නෑ. ගෙදරදොර වැඩකටයුතු පවා සාර්ථකව සිදු කරන්නට අත්‍යඅවශ්‍ය කාරණයක් හැටියට පෙන්වන්නේ සිහි කල්පනාවයි.
එය අප්‍රමාදය කියලා හඳුන්වනවා. එහෙනම් තථාගත ලොවුතුරු දහමට අනුව බණ භාවනා කිරීමෙන් එය දියුණු කරගන්න වාසනාව ලැබෙනවා. විශේෂයෙන් පින්කමකින් උසස් ආනිශංසයක් ලබන්නට නමි ඒ පින්කමෙන් විශේෂ ආනිසංසයක් ලබන්නට ඕන. ඒක ලොකු දියුණුවක්. ඒ වගේම වෙළෙඳාමකින් ලොකු දියුණුවක් ලබන්නට නම් ඒ වෙළෙඳ කාර්යය ඉතාම සිහිකල්පනාවෙන් කරන්නට ඕන.
පාඩු නොවීම පිණිස වගබලාගන්න ඕන. ඒක දියුණුවක් පිණිස කටයුතු කිරීම වගේම අධ්‍යාපනය ලබන දරුවා අධ්‍යාපනයෙන් ඉහළට යන්න, සරසවි වරම් ලබන්න විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ඉහළට යාම ආචාර්ය , මහාචාර්ය ධූරවලට පත්වීම සිදු කරන්නෙත් ඔන්න ඔය සිහිකල්පනාව තිබෙන අය පමණයි. වෙන කාටවත් බෑ.
එහෙමනම් දියුණුවේ මේ දොරටු අප හොඳට තේරුම් බේරුම් කරගෙන සිහිකල්පනාවෙන් වැඩකළොත් හොඳටම වටිනවා. නිරෝගීකම අපට අත්‍යඅවශ්‍යයයි. අවංකබව, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රෙය, දියුණුවීමට අත්‍යඅවශ්‍ය කරුණුයි. මව් පියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, දියුණුවීමේ දොරටුයි. ඒ වගේම තුනුරුවන්ට වන්දනාමාන කිිරීම, තුනුරුවන්ට ගෞරවය පුද කිරීම, අතිවිශාල දියුණුවක් ලබන්න පුළුවන්. මෙලොව දියුණුවයි, පරලොව සුගතියයි, නිවනයි
බලාපොරොත්තු වන අය අනිවාර්යෙන් දියුණුවේ දොරටුවලට බැස ගනිමින් කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් තම තමන්ගේ මෙලොව යහපත සලසගන්න පුළුවන්. අනේ! අපට දියුණුවක් නෑ. යහපතක් නෑ කියන්නේ සිහිකල්පනාවෙන් තොරව කටයුතු කරන අයයි. එහෙමනම් සියලුදෙනාටම අවශ්‍යවන ඡන්ද , චිත්ත , විරිය, වීමංසා කියලා කරුණු හතරක් තියෙනවා. කරන කියන සෑම දෙයක්ම බලවත් කැමැත්තකින් කළ යුතුයි. එය ධර්මයේ පෙන්වන්නේ ඡන් ද සෘද්ධිපාදය කියලයි. බලවත් සිතකින් සියුලු දේ කරන්න පුළුවන් නම් ඒ සිත බලගතු නම් සිත ශක්තිමත් නම් සිත පිරිසුදු නම් ඒක හඳුන්වන්නේ ලොවුතුරු දහමේ චිත්ත සෘද්ධිපාදය කියලයි. අලස බව කම්මැළිබව නැත්නම් උත්සාහය තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන් නම් මන්දෝත්සායි ගති ඉවත්වෙලා නම් අන්න ඒක හඳුන්වන්නේ විරිය සෘද්ධිපාද කියලයි. ඊළඟට සෑම දෙයකටම ප්‍රධානියා ලෙස සලකන්නේ නුවණයි. ඒකට කියනවා විමංසා සෘද්ධිපාද කියලා.
යම්කිසි කෙනෙක් මෝඩ අදහස් ඉවත් කරලා, මිත්‍යාවාදී අදහස් තුරන් කරලා නිවැරැදි නුවණකින් කල්පනා කරලා කටයුතු කරලා තමන්ගේ හුදු මහත් කටයුතු කරනවා නම් , දියුණුකරනු ලබනවානම් එය සඳහන් කරන්නේ විමංසා සෘද්ධිපාදය කියලයි. ඕනෑම කෙනෙකුගේ ඡන්දය, චිත්තය, විරිය, විමංසායන සෘද්ධිපාද ධර්මයෝ හතර තිබුණනම් ඒ හැමෝටම යහපතක්, දියුණුවක් , ආරක්ෂාවක් ලබන්න පුළුවන්. පිරිහීමක් සිදුවන්නේ නෑ කියලමයි තථාගත ධර්මයේ අපට පෙන්නුම් කරන්නේ. එහෙමනම් ඔය බුදු , පසේබුදු , මහ රහත් උතුමෝ ඒ ඒ තනතුරුවලට පත් වුණේ කම්මැළිකමින් , උදාසීනකමින්, මන්දෝත්සාහීව ඉඳලා නෙමෙයි. දිවා රාත්‍රී දෙකේ වෙහෙස මහන්සිවෙලා ඡන්ද, චිත්ත, විරිය , විමංසා දියුණු කරපු නිසයි. කෙනෙකුට දීර්ඝායු ලැබෙන්නෙත් ඔන්න ඔය කියන සතර සෘද්ධිපාද දියුණු කළොත් විතරයි. දවසක් බුදුරජාණන් වහන්සේ අනඳ හාමුදුරුවන්ට වදාළේ ආනන්ද, තථාගතයන් වහන්සේ සතර සෘද්ධිපාදයෝ දියුණු තියුණු කළා. ඒ නිසා ආයුෂ්කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලයි. ආනන්ද හාමුදුරුවන්ට මේ කාරණය කියන කොටම වසවර්ති මාරයා සිතුවා මේක හරියන්නේ නෑ.
එහෙම වුණොත් තවත් අවුරුදු ගණනක් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඒ නිසා අනඳ හාමුදුරුවන්ගේ ආරාධනාව වළක්වලා දැම්මා. ඒ නිසා සුළුමොහොතකින් ආයු සංස්කාර අත හැරියා. අනඳ හාමුදුරුවෝ කිව්වනම් ස්වාමීනි, එහෙමනම් කල්පයක් වැඩ සිටින සේක්වා’යි කියලා බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා අවුරුදු කල්පයක් වැඩ ඉන්න. ඒ හේතුව තමයි මේ ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන සතර සෘද්ධිපාද දියුණු කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය දිගාසිරි ලැබිලා තිබුණෙ. උන් වහන්සේ අතීත සංසාරයේ සතර සෘද්ධිපාද වැඩෙන සේ අප්‍රමාණව දන් දුන්නා. සීල සමාදානවල යෙදුණා. බණ භාවනා කළා. ඒ නිසා තමයි එවැනි උත්තරීතර තත්ත්වයකට පත් වෙන්න ලැබුණේ. ලෝකයේ පහළවෙන සියලුම බුද්ධාදී උතුමන් කරුණු දහයක් දියුණු කර ගත්තා. පළමුවැන්න දන්දීමයි . දන්දුන්නේ නැත්නම් කොහොමවත් උසස් තැනකට යන්න බෑ. දන්දීමෙන් තමයි ඒ ඒ තනතුරු වලට පත් වුණේ.
අලෝභ, අදෝස , අමෝහ චේතනාව පහළ වෙන්න ඕන. සමුදය සත්‍ය කියන්නෙත් ඔන්න ඔය තණ්හාවට. එහෙමනම් සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න , තණ්හාව නැති කරන්න අවබෝධ කරගන්න විශිෂ්ඨ ඥානයක් අවශ්‍යයයි. ඒ විශිෂ්ඨ ඥානයට තමයි පේන්නේ දන්දීම කළ යුතුයි කියලා . සිල්වත් ගුණවත් උතුමන්ට දාන මාන පූජාව බාහිර තාපසයන්ට දෙන දානය , දුගී මගී අසරණ අනාථාදීන්ට දෙන දානය ඒ හැම දෙයකින් ම අලෝභ චේතනාව පහළ වෙනවා. පින වැඩිවන්නේ බුද්ධාදී උතුමන්ට දෙන දානයයි. කරුණාවෙන් දෙන දානය බොහොම අග්‍රගණ්‍යයයි. දෙවැන්න පංච ශීලය, ආජීව අට්ඨමක ශීලය ,අටසිල් , දසසිල් සමාදන් වෙලා පැවිදි වෙලා ශීල සමාදානවල යෙදිලා ශීලය ආරක්ෂා කර ගැනීමයි. ඒ ශීලය ආරක්ෂා කර ගැනීමෙන් සති, සමාධි ඥානය දියුණු කරලා ,කරුණාව, මෛත්‍රී, දයාව , අනුකම්පාව, ඉවසීමේ ගුණ, කාර්යශූර ගුණ, පිහිටනවා. එමගින් බුද්ධාදී උතුමන්ට යහපතක් සලසගන්න පුළුවන්.
තුන්වන කාරණාව වන්නේ ගේ දොර , ඉඩ කඩම්, යාන වාහන තිබියදී එයින් නිදහස්වෙලා යා යුතුයි. එය නෙක්ඛම්ම ලෙස හඳුන්වනවා. පෝයදාට සමහරු සිල් සමාදන් වෙන්න පාන්දර පිටත්වෙලා හවසට එනවා. සමහර අයෙක් පසුදා එනවා. එතැන පැය 18ක්, පැය 24ක් මේ නෙක්ඛම්ම පාරමිතාව පුරාගන්න ලැබෙනවා නම් කෙනෙකුට හරි වටිනවා. මාසයකට දවස් දෙක තුනක්වත් මේ නෙක්ඛම්ම පාරමිතාව පුරා ගැනීම බොහොම අගෙයි. ඒ කියන්නේ ගේ දොර, යාන වාහන, ඉඩකඩම් මුදල්වලින් තුරන්වෙලා ඉවත් වෙලා යන්න ඕන. ඒක හැමෝටම කරන්න බැහැ. සමහර අයෙක් සිල්සමාදන් වීම කෙසේවෙතත් පෝයදාකටවත් වැඳුම් පිදුම් කරන්න පන්සලකට යන්නේ නෑ. එහෙම කරන්න හොඳ නෑ. මාසෙකට දවසක්වත් සිල් සමාදන් වෙන්න පුරුදු පුහුණු වෙන්න. හතරවැන්න නුවණ දියුණුකර ගැනීමයි. කරන ,කියන, සිතන දේවල් දාන, ශීල, භාවනා ආදිය පින්කම් හැම දෙයක්ම නුවණ යොදවා ඥාන සම්ප්‍රයුක්තව කළ යුතුයි. එහෙම කළොත් එයින් සරුසාර විපාක ලබන්න පුළුවන්. එසේ කරන්න නම් තමන්ගේ චිත්ත සන්තානය දමනය කර ගත යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. සෑම දෙයක්ම නුවණ මෙහෙයවා කරගැනීම අවශ්‍යයයි. එසේ වුණොත් තමන්ට විශාල ශක්තියක් ලැබෙනවා. පස්වැන්න උත්සාහයයි. උත්සාහය තිබුණොත් වරදින්නේ නෑ. ආපස්සට එන්නේ නෑ. ඉදිරියටම යනවා
අම්බලන්ගොඩ,
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
නොවැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment