ලෝභ, දෝස මෝහ යනුවෙන් අකුසල මූලයන් තුනක් වෙති. මෙම මානසික මූලධර්ම පදනම් කරගෙන සිත කය වචන යන තිදොර උපයෝගී කරගෙන ඒකරාශීවන චේතනා පාපකර්ම නම් වේ. මේවා සිදුකරන විට දැනෙන්නේ මිහිරියාවකි.
සිතට සතුටකි. පුහුදුන් පුද්ගලයා නිරන්තරව පව්කම් රැස්කරමින් සසර පැවැත්මට තුඩු දෙන සංස්කාර ඒකරාශී කරගනී. පාපක්‍රියා කෙතරම් මිහිරි අත්දැකීම් ලෙස දැනුනත් ඒ මනෝමූලික සිද්ධාන්තය දුක්ඛ සහගත ප්‍රතිඵලයක් වෙනුවෙන් නිදන්ගතව පවතී.
පාපකාරී තැනැත්තාගේ ඉරණම කෙබඳුදැයි දැනගැනීමට ඉතා සමීපතම ඉගැන්වීමක් ධම්මපදයේ යමක වග්ගයේ දැක්වේ.
ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ
මේ ගාථාවට අනුව පව්කරන තැනැත්තා මෙලොව සෝක කරයි. පරලොව ද සෝක කරයි. හෙතෙම තමාගේ කිලිටි කර්මය දැක ශෝක කරයි. හෙතෙම විශේෂයෙන්ම නැසෙයි. මෙහි පාපකාරී නමින් හඳුන්වා ඇති පුද්ගලයා කවරෙක්ද? එනම් පව්කරන තැනැත්තාය. පව් යනු කුමක්ද? අපායට පමුණුවන ක්‍රියා ලෙස දැක්විය හැකිය.
සම්බුද්ධ දේශනාවෙන් පෙන්වා දී ඇති පරිදි මෙලොව සත්වයා විසින් සිදු කරනු ලබන සෑම ක්‍රියාවකටම ස්වභාවිකව ලැබෙන ප්‍රතිචාරයක් පවතී. සියලු ක්‍රියාවන් යම් ප්‍රතික්‍රියාවක මූලාරම්භය බව ලෝක ස්වභාවයයි.
යහපත් ක්‍රියාවක ප්‍රතිඵලය යහපත් වන්නාසේම අයහපත් ක්‍රියාවක ප්‍රතිඵලය අයහපත් වේ. බුදු දහම මෙය හඳුන්වන්නේ කර්ම විපාක ලෙසටයි. කර්මය නම් චේතනාව බවත් සිත, කය, වචනය යන තුන් දොර චේතනාව මූලික කරගෙන කර්ම රැස් කරන බවත් බුද්ධ දේශනාවේ සඳහන් වේ.
‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා......’ යනුවෙන් ඒ බව පැහැදිලි කරයි.
ප්‍රධාන වශයෙන් කායකර්ම – වචීකර්ම හා මනෝ කර්ම ලෙස මේවා තුන්වැදෑරුම් වේ.
ප්‍රාණඝාතය – අදත්තාදානය – කාම මිත්‍යාචාරය යන තුන කාය කර්ම ලෙසටත් බොරු කීම.
කේලාම්කීම, පරුෂවචන කීම, හිස් ප්‍රලාප කීම යන සතර වචීකර්ම ලෙසත් හැඳින්වේ. මනෝ කර්ම ලෙස දක්වා ඇත්තේ සිතින් සිදුවන වැරදි ලෙස හඳුනාගෙන ඇත. දැඩි ලෝභය (අභිද්‍යාව), තරහ (ව්‍යාපාද), මිසදිටුබව(මිත්‍යාදෘෂ්ටි) යන කරුණු තුනයි. ඉහත සඳහන් කවර ආකාරයක පාපකර්මයක් වුවද ප්‍රතිවිපාක බලවත් දුක් පිණිසම පවතී. මෙම ගාථා ධර්මයේ නිධාන කතාව ලෙස ධම්මපදයේ සඳහන්ව ඇත්තේ චුන්ද නම් ඌරු වැද්දාගේ පුවතයි.
රජගහනුවර වේළුවනාරාමය අසළ චුන්ද නමින් ඌරු වැද්දෙකු ජීවත්වෙයි. ඔහු ඌරන් මරා විකුණා මුදල් උපයාගෙන ජිවත් වෙයි. පනස්පස් වසරක් ඌරන් මරමින් ජීවත් වූ චුන්ද තම සමීපයෙහි තිබූ විහාරයට කිසිදා නොගියහ. භාග්‍යවතුන් වහන්සේට හෝ ශ්‍රාවක මහා සංඝයාට හෝ දානයක් පූජා කර නැත. දන්දීම් ආදී කිසිම පින්කමක් ඔහු සිදු කර නොගත්තේ ය.
කාලයාගේ ඇවෑමෙන් චුන්ද සුකරිකගේ ශරීරයෙහි බලවත් රෝගයක් හට ගත්තේ ය. මරණයට පෙර සිටම ඔහුට අවිචිමහා නරකයෙහි දුක දැනෙන්නට විය. ඌරෙකු මෙන් හඬ හඬා ගෙබිම දණින් ඇවිදියි. ඒ හඬ ඇසූ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මේ පුවත සැළ කළහ. ස්වාමිනී! චුන්ද සුකරිකයා ගෙයි දොර වසාගෙන ඌරන් මරන්නට පටන්ගෙන අදට දින හතකි. කිසියම් මංගල උත්සවයක් යෙදී ඇද්දැයි සිතමු.
සිදුවී ඇති කරුණු යථා පරිදි පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, සත් දිනක් තුළ ඔහු ඌරන් නොමැරුවේය. පනස්පස් අවුරුද්දක් මුළුල්ලෙහි කළ දරුණු පාපකර්මයක විපාක වශයෙන් මේ දින කීපය ඔහු දරුණු වේදනාවන්ට පැමිණ දුක් විඳිමින් කල් යවා අද මියගොස් අවීචිමහා නිරයෙහි උපන්නේ ය.
මේ අයුරින් කරුණු පැහැදිලි කළ තථාගතයාණෝ පාපකාරී ජීවිතයක ඇති දුක්බර ඉරණම ඉතා දරුණු බව පෙන්වා දෙති. යම්කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් කරුණු දැන හෝ නොදැන පාපකාරී ක්‍රියාවල නිරත වන්නේ ද මතු දිනක ඔහු කළ පව් සිහිකරමින් දුක් විඳින බව පැහැදිලි කර දුන්හ.
පින්පව් දෙකටම එක සේ ඉඩකඩ ඇති මේ මිනිස් ලොව උපන් අප හැම ධර්මය මනාසේ දැක දැන කටයුතු කළ හැකිව තිබියදී පව් කරමින් දුක් විඳින්නේ කුමටද? පින්වත් සාධුනී අප පාපයෙන් මිදෙමු. කුසලයෙහි යෙදෙමු. මෙලොවද සුවසේ වෙසෙමු. පරලොව නිරවුල් කර ගනිමු. සසර දුකින් අත මිදීමට දැඩි උත්සාහ දරමු.
කුරුණෑගල විශුද්ධායන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති,
වික්‍රමසිංහ අතපත්තු
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment