Labels

Wednesday, November 25, 2015

සුභාවිත සිතින් වසනු හැක තුටින්



මිනිස්‌සු වෙච්චි අපි හැමෝම කැමැතියි සතුටින් ජීවත්වෙන්න. ඒත් මිනිස්‌සු දන්නේ නැහැ සතුට කියන්නේ මොකක්‌ද කියලවත්. ජීවිතය හරියට ධාවන පථයක්‌ වගෙයි. හැමෝම තරග කරනවා, සතුට නම් වූ දිනුම් කණුව ළඟට යන්න. ඒත් ඒ දිනුම් කණුව මිරිඟුවක්‌ වගේ ළං වෙන්න වෙන්න තව තවත් ඈතටම යනවා. මිනිස්‌සුන්ගේ සිත්වල ඇති ආශාවන්වල අනන්තයක්‌ නැහැ. අපි හැමදාම මොකක්‌ හරි පස්‌සේ යනවා. හිත වැටෙනකන් යනවා.
ආයෙත් යනවා. සමහර අයකුට සතුට නම්වූ දිනුම් කණුව වෙත යනකොට ඉන් ලැබෙන සතුට භුක්‌ති විඳීමටවත් ශක්‌තියක්‌ නැහැ. ආයෙත් පසු තැවෙනවා. ජීවිතය කියන්නේ මේකටද? එහෙම නැත්නම් උදේ හවා රාජකාරියට ගිහින් ඇවිත් කාලා බීලා නිදාගන්න එකද? නැහැ. එයට එහා ගිය දෙයක්‌ අපේ ජීවිතවල තියෙනවා. අපි ළඟම තමයි අපි කතාකරන සතුට තියෙන්නේ. මුදල් වැඩිවුණු තරමට ජීවිතයේ සතුට වැඩිවෙන්නේ නැහැ. යාන-වාහන, ඉඩ-කඩම් ආදී වූ බොහෝ භෞතික වස්‌තු වැඩිවුණා කියල ජීවිතයේ සතුට වැඩිවෙන්නේ නැහැ.

ඔබට ගොඩක්‌ සතුටින් ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ ඔබේ අවබෝධයත් එක්‌ක. අවබෝධ නැති මිනිස්‌සු දන්නේ නැහැ ජීවිතය කළමනාකරණය කරගෙන ලස්‌සනට ජීවත්වෙන්න. දැනුම ලබාගෙන ව්‍යාපාර කළමනාකරණය කළත් ඔබට පුළුවන්කමක්‌ ඇති වෙයිද ජීවිතය කළමනාකරණය කරගන්න. විභාග සමත්වුණත් ජීවිතය අසමත් නම් ඒ සමත්වුණු විභාගවලින් වැඩක්‌ තියෙනවද? ජීවිතය කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ ධර්මයට අනුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ධම්මපදයේදී මනාව සෙවිලි නොකළ නිවසක්‌ ගැන. මනාව සෙවිලි නොකළ නිවස වැස්‌සට තෙමෙනවා. අව්වට දැඩි උණුසුම නිසා ඉන්න අමාරුයි.

'යථාගාරං දුච්චන්නං වුට්‌ඨි සමතිවිඡ්ජති

ඒවං අභාවිතං චිත්තං රගෝ සමති විඡ්ජති'

ඒ වගේම තමයි අපේ සිතත්. අපේ සිත හරියට සෙවිලි කරලා නැත්නම් මනාව සංවර කරගෙන නැත්නම්, පාලනය කරගෙන නැත්නම් ඒ සිතත් නිතරම රාගයෙන් තෙත් වෙනවා. රාගය නම්වූ වැස්‌සෙන් තෙමෙනවා. සිත ශීලය නම්වූ වහලින් සෙවෙලි කළ යුතුයි. එවිට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ෂඩ් ඉන්ද්‍රිය නම් වූ සිදුරුවලින් සිත නොතෙමේවි. විවාහ වෙන්න ඉන්න ඔබ ඔබේ ඇස ආදී ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර නොගත්ත තැන ඇතිවෙන තත්ත්වය කුමක්‌ද? ඔබ ඔබේ සිත සංවර කර නොගත් තැන ඔබේ ඉන්ද්‍රිය ක්‍රමයෙන් අසංවර වේ. ඉන්ද්‍රිය අසංවරවීම නිසා නැවතත් සිත ව්‍යාකූල වේ. එම ව්‍යාකූලතාවය පෙන්වීමට ඔබ අකමැතිය. එම ව්‍යාකූලතාවය වසා ගැනීමට ඔබ නොයෙකුත් දේ කිරීමට පටන් ගනී. එවිට ඔබ කරන කියන දේ විටෙක මෝහ මූලික වේ.

එනමුත් බුදුරජාණන් වහන්සේ තවත් මනාව සෙවිලි කළ නිවසක්‌ ගැනද දේශනා කර ඇත. මනාව සෙවිලි කළ නිවස වැස්‌සට තෙමෙන්නේ නැහැ. සතුටින් ජීවත්වෙන්න පුළුවන්.

'යථාගාරං සුච්චන්නං වුට්‌ඨි න සමතිවිඡ්ජති

ඒවං සුභාවිතං චිත්තං රගෝ න සමති විඡ්ජති'

සුභාවිත සිතින් යුතු පුද්ගලයා අප්‍රමාණ සතුටින් ජීවත්වේ. ඔහුට තමන්ගේ කටයුතු බාධාවකින් තොරව කර ගැනීමට අවශ්‍ය මානසික හැකියාව ඇත. මක්‌නිසාද යත් ඔහුගේ සිත රාගය නමැති වැස්‌සෙන් සීතල නොවේ. නොතෙමේ. එම නිසා ඔහුගේ සිත ව්‍යාකූල නොවේ. ඔහුට ප්‍රශ්න ගැටලු නැත. ඔහු සිතන්නේ වර්තමානයේ භුක්‌ති විඳින දෙය ගැනයි. ඔහු තම නිවසේ සිට වෙන වහලක්‌ යට සිතින් නොනිදයි. විටෙක කුණාටු, සැඩ සුළං හෝ නියඟයන් පැමිණි විටකද ඔහු කලබල නොවේ. කුමක්‌ නිසාද යත් ඔහු දන්නවා තම නිවසේ වහල කොපමණ ශක්‌තිමත් ද කියා. එලෙසින් තම සිතෙහි සංවරකම තම සීලයෙහි ශක්‌තිය නිසා තමන්ට රාගයෙන් පමණක්‌ නොව කුණාටු ආදී අටලෝ දහම හමුවේද නොසැලී, නොගැටී සිටීමට ඔහුට අවබෝධය ඇත. ඔහු මේ ලෝකයේ සතුටින්ම ජීවත්වන පුද්ගලයන් අතර එක්‌ අයෙකි. එවන් පුද්ගලයෙක්‌ වන්නට ඔබත් අද සිටම උත්සාහ කරන්න.


 
 ගෞරව ශාස්‌ත්‍රවේදී
පූජ්‍ය බලන්ගොඩ ධම්මරත්න හිමි,
ශ්‍රී විජයාරාමය, වෙහෙරවත්ත, පානදුර.


 2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment