බෞද්ධයකු වශයෙන් යම් කෙනෙක් විවාහ ජීවිතයකට ඇතුළත් වනවාය යනු ගිහි ජීවිතයක ඉතාමත්ම වැදගත් තීරණයක් ගැනීම ලෙසයි අප කල්පනා කරනු ලබන්නේ. බුදුසමය එහිදී මූලික කරුණු හතරක් ගැඹුරින් අවධානය යොමුකළ යුතු බවට යෝජනා කරනු ලබයි.
සමශ්‍රද්ධා, සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා යන කාරණා හතර කෙරෙහි ගැඹුරු අවධානයක් යොමුකිරීම, විවාහ අපේක්ෂිතයකු විසින් සිදුකළ යුතු බව බුදුසමය අවධාරණය කරනු ලබයි. ශ්‍රද්ධාවෙන් සමාන වීම යන කාරණාව කෙරෙහි මෙහිදී අදහස් කරනු ලබන්නේ ආගමික විශ්වාසයන් මෙන්ම තමාගේ ගෘහ ජීවිතයට අදාළව සිද්ධ කරනු ලබන්නාවූ විශ්වාසයන් උපරිමව සම මට්ටමකට පවත්වාගැනීමට ඔවුන් විසින් කටයුතු කළ යුතු යි. විශ්වාසයත්, පිළිගැනීම් පිළිබඳ විසංවාද, ගැටීම් තිබෙන විට එම ගැටුම අඛණ්ඩව ජීවත්වීමේ දී පුද්ගලයාට බලපෑම් එල්ල කරනු ලබයි. එනිසාවෙන් බුදුසමය පළමුවෙන්ම සමාන වූ විශ්වාසයන් ඇති කර ගැනීම අගය කරනු ලබනවා. ඒ වගේම එම විශ්වාසය මතින් එකඟතාවයට එළඹ විවාහ ගිවිස ගනු ලබන දෙදෙනා විසින් සීලයයන් ආරක්ෂා කර ගත යුතු වෙනවා. මෙන්ම සීලයන්ගේ සමාන තත්ත්වයක් ඇතිකර ගත යුතු වෙනවා. කායිකව නිවැරදි වීම, වාචසිකව නිවැරැදි වීම, ධර්මයෙහි සීලය ලෙස හඳුන්වනු ලබයි. ඉතාම නිවැරැදිව කායික හැසිරීමක් එකට ජීවත්වන දෙදෙනකු විසින් තම ජීවිත කාලය තුළ පවත්වා ගත යුතු යි.
සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, අනෙකාව ඝාතනයට හෝ හිංසනයට ලක්කිරීමෙන් වැළකීම, යන අංග විවාහ ජීවිතය තුළ සිටින අය විසින් අවබෝධයෙන් යුක්තව පිරිමියා හා ගැහැනිය යන දෙදෙනා විසින්ම සාකච්ඡා කළ යුතු වෙනවා. මෙන්ම ආරක්ෂා කර ගත යුතු ද වෙයි. ඒ වගේම වාචසිකව ඉතාම නිවැරැදි බැඳීමක් එකිනෙකා තුළ ඇතිකර ගැනීමට නම්, එකිනෙකා බොරුවෙන් රවටා ගැනීම, කේළාම් කීමෙන් හෝ ඇසීමෙන් භේද භින්න වීම, පරුෂ වචන කීමෙන් හිත් රිදවා ගැනීම්, හිත රිදවීම් ආදී දේවල් නොකර ඉඳීම සහ අරුත් සුන් හිස් දේවල් කතා කිරීමෙන් තමන්ගේ කාලය සහ තමන්ගේ අවබෝධයට හානිවන ලෙස නිකරුණේ කාලය අපතේ හැරීමෙන් වැළකීම හා තමාගේ අවබෝධයට කිසිදු උපකාරයක් නොලැබෙන දේ තුළින් ඈත් වෙලා සිටින්නට ස්ව සීලයෙන් යුක්ත කාන්තාව හා පිරිමියා විසින් කටයුතු කළ යුතු වෙනවා.
සාර්ථක ගෘහ ජීවිතයකදී කායික දුෂ්චරිත තුළින් වාචසික දුෂ්චරිත තුළින් මිනිසා නිදහස් වීම ඉතාම ප්‍රයෝජනවත් වන බව බුදුසමය දැඩිසේ අවධාරණය කර තිබෙන ඉතාම වැදගත් කාරණාවක්.
බුද්ධාගම ගිහියාට යෝජනා කරනු ලබන වැදගත් කරුණ වන්නේ අතහැරීමයි. ගෘහ ජීවිතයක් ගත කිරීමේ දී සම ත්‍යාගය ඉතාම වටිනා කාරණාවක් වෙයි. බුදුදහම ගිහියාට යෝජනා කරන කරුණක් වන්නේ අත්හැරීම, කැප වීම, පරිත්‍යාගශීලී වීම යන අංගයන්ගෙන් ගිහියා එකිනෙකාට සමානව විය යුතු බවයි.
පිරිමියා හෝ ගැහැනිය කියන දෙදෙනාගෙන් කෙනකු විවාහ ජීවිතය තුළ දී අතහැරීමට කැප කිරීම් කිරීමට අකැමැති වුවහොත් ඒ සඳහා ලෝභී වුවහොතින්, ඒ සඳහා මසුරු වුවහොතින් අනිවාර්යෙන්ම එම සම්බන්ධතාවය තුළ ගැටුමක් නිර්මාණය වීම වැළක්විය නොහැකිය. එක පාර්ශ්වයක් පමණක් කැප කිරීම් කිරීම, පරිත්‍යාගශීලී වීම හෝ දානය සඳහා උනන්දුවක් තිබීම විවාහයක පැවැත්මට උදව්වක් වන්නේ නැහැ. එම විවාහය තුළ ජීවත්වන දෙපාර්ශ්වය විසින්ම එම කැපකිරීම් පරිත්‍යාගශීලීවීම, දානය දීම අත්හැරීම් කළ යුතු වෙනවා. එය ආගම වෙනුවෙන් කළ යුතු කැප කිරීමක් පමණක් මෙහිදී අදහස් නොකරන අතර තම ඥාතීන් වෙනුවෙන් තම හිතවතුන් වෙනුවෙන් විවාහ ජීවිතය තුළ සිටින දෙදෙනා ඔවුන් එකිනෙකා වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයන් කැපකිරීම් මෙහිදී කාරණා ලෙසට සාකච්ඡාවන කාරණා ලෙස සාකච්ඡාවට ලක්වන බව සිහිපත් කළ යුතු යි. අවසාන වශයෙන් සම ප්‍රඥා බුද්ධිය, අවබෝධය, ඥානය දියුණු කරගන්නට, ගිහියන් එකිනෙකා සමානව බුද්ධමත් බවක් තමන් තුළ නිර්මාණය කරගන්නට ඇප කැප විය යුතුවෙනවා. සමාන ප්‍රඥාවත් සමාන බුද්ධියක් තිබෙන විට ගැටුම් නිරාකරණය කරගැනීමට ඉතාම පහසුවෙනවා. දුක් උහුලන්න දරන්න විවාහයකදී අත්‍යවශ්‍ය වෙනවා. ඒ දේවල් සිදුවනු ලබන්නේ බුද්ධිය ඇතුළතයි. අනෙක් පුද්ගලයා කරන කියනු ලබන කරුණු කාරණා තේරුම් ගැනීමට බුද්ධියක් තිබිය යුතු යි. අවබෝධයක් තිබිය යුතුයි.
ජීවිතයේ තිබෙන අනිත්‍යතාවය නිසරු බව හිස්බව තේරුම් ගැනීමට කිසිම දෙයක සදාකාලික බවක් නොමැති බවක් තේරුම් ගැනීමට දෙදෙනාටම සමාන ප්‍රඥාවක් තිබිය යුතු යි. එවිට එම මූලික කරුණු තුන සඳහා පදනමක් ඇතිවේ. ශ්‍රද්ධාව, ශීලය, පරිත්‍යාගශීලී බව ගොඩනැඟීමට බුද්ධිමත් බව ප්‍රඥාවන්ත බව අත්‍යවශ්‍යයි. එම නිසා බෞද්ධයන් වන ඔබ මෙම කරුණු හතරෙන් යුක්තව විවාහයට පෙර සමානකම් සොයන්නටත්, විවාහයට පසු අසමානකම් තිබේ නම්, එම අසමානකම් දුරුකරගෙන සමාන කම් තමා තුළ නිර්මාණය කර ගැනීම සඳහා ඔබ දෙපළම කැපවිය යුතු ය.
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක්
වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment