Labels

Wednesday, November 25, 2015

පුද්ගල හඳුනා ගැනීම


 

ඉල් පුර පසළොස්වක පෝදා දම් දෙසුම 

 

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තීණිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි
බාල නිමිත්තානි බාල අපදානිච.



පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ විසින් මජ්ක්‍ධිම නිකායේ සුඤ්ඤත වග්ගයේ එන බාල පණ්ඩිත සූත්‍රයෙන් බාලයා හා පණ්ඩිතයා දැන හැඳින ගැනීමට නිර්ණායක ගණනාවක්ම දේශනා කොට තිබෙනවා. බාල ශබ්දය අර්ථ කිහිපයකම යෙදෙනවා.
වයසින් අඩු තැනැත්තා හැඳින්වීමටද බාල ශබ්ද භාවිතා කෙරෙනවා. මෙහිදී බාල ශබ්දයෙන් අර්ථවත් කෙරෙන්නේ මෝඩයා යන්නයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසත් දී බාලයා හෙවත් අඥානයා හා පණ්ඩිතයා හෙවත් ප්‍රඥාවන්තයා පිළිබඳ හඳුන්වමින් මේ බාල පණ්ඩිත සූත්‍රය දේශනා කළා. බුද්ධ දේශනාව අනුව බාලයා හැඳින ගැනීමට ලක්ෂණ තුනක් විද්‍යමාන වෙනවා. එනම් බාලයා සිත, කය, වචනය යන තුන් දොරින්ම සිදුවන වැරදි සිදුකරනවා. අන්සතු දේ තමා සතු කර ගැනීමේ විෂම ලෝභයෙන් බාලයා යුක්තයි. ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි සිතෙහි රඳා පවතිනවා. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, දෙලොවටම වැඩක් නැති හිස් වචන කතා කිරීම යන වචනයෙන් සිදුවන අකුසල කර්ම කරනවා. එසේම කයින් සිදුවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර යන කායික වැරදි කරන්නෙක්ද වෙනවා. දේවදත්ත, කෝකාලික ආදී උභයාර්ථයම පිරිහෙළා ගත් අය බාලයන් වශයෙන් හැඳින්වෙනවා. අත්වැඩ, පරවැඩ නසන්නා බාලයා වශයෙන් හඳුන්වන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ බාලයන් විවිධාකාරයෙන් හඳුන්වා තිබෙනවා. තමා වෙත නොපත් බර උසුලන්නා, තමා වෙත පත් බර නොඋසුලන්නා වශයෙන් බාලයා දෙයාකාරයි. නොකැප දේ කැපයයි ගන්නා හා කැප දේ නොකැප යයි ගන්නෝද මෝඩයෝ යි. නිවැරදි දේ වැරදි යැයි ගන්නා ද වැරදි දේ නිවැරදි යැයි ගන්නා ද මෝඩයෙක්. අධර්මය ධර්මය කොට සලකන්නා ද ධර්මය අධර්මය කොට සලකන්නා ද බාලයෙක්. විනය අවිනය ලෙස අවිනය විනය ලෙස ගන්නාද මෝඩයෙක්. මේ ලෝකයෙහි ඇතිවන භයජනක දේ සියල්ලම බාලයන් නිසයි ඇති වන්නේ. උපද්‍රව ඇති වන්නේ ද බාලයන් නිසයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෙක් නැති නම් හුදෙකලාව විසීම හොඳ යැයි දේශනා කළා.

බාලයා මේ ආත්මභාවයේ දීම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳිනවා. ඉහත සඳහන් කළ දස අකුසල් කළ අඥානයා පිරිසක් අතර හෝ වීථියක සිටින අවස්ථාවක එතැන සිටින සෙසු පිරිස් දස අකුසල් කිරීම ගැන අවඥා සහගතව කතා කරයි නම් එය අසා සිටින එම පව්කාර තැනැත්තා එම පවිටු ක්‍රියා මා ද සිදුකොට ඇත යනුවෙන් සිතා දුකට දොම්නසට පත්වීම පළමු වන දිට්ඨධම්ම විපාකයයි. යළිත් බාලයා තමා වැනි අපරාධකාරයෙකු රාජපුරුෂයන් විසින් අල්ලා ගන්නා ලදුව කසවලින් තැලීම්, අත්පා, කැපීම්, ආදී දෙතිස් වධ දෙනු දැක තමන් අල්ලාගතහොත් මේ වධ බන්ධන මටත් දෙන්නේ යැයි බාලයා මෙලොවදීම තැවෙනවා. තවද මෝඩයා වයස්ගත වී හෝ රෝගීව හෝ පුටුුවක හෝ ඇඳක හෝ බිම හෝ සිටින විට තමා කළ පාප ක්‍රියා තමා ඉදිරියෙහි එල්ලි එල්ලී තිබෙන්නාක් මෙන් දකින්නට ලැබී ඒවා ගැන සිතා දිට්ඨධම්මවේදනීය වශයෙන් දුකට දොම්නසට පත් වෙනවා. නැතහොත් කළකම් පර්වත ඡායාවක් සේ පැතිර පවතිනු දක්නට ලැබී දොම්නසට පත්වෙනවා. පව්කරුවාට මෙසේත් සිතෙයි. අහෝ මම මෙබඳු පාප කර්ම කළ කෙනෙක්. මා පින් දහම් කරගෙන නැත. පව්කම් කිරීමෙන් අපාගත වෙනවා නම් මාත් මරණින් පසු අපාගත වන්නේ යැයි ශෝක වෙයි.

තිදොරින් පව් සිදු කරගත් අනුවණයා මරණින් පසු අනන්ත දුක් ඇති අපායක උපදිනවා. ඔහු එය අකමැති වුවත් කළ කම් අනුව ඔහුට ලැබෙන්නක්. අපා දුක උපමාවකින් දැක්විය නොහැකි බව වදාළ බුදුරජාණන් වහන්සේ අතින් ගතහැකි කුඩා ගල් කැටයක් අතට ගෙන භික්ෂූන්ගෙන් මෙසේ විමසුවා. මහණෙනි, මේ අතේ තිබෙන ගල් කැටයත් හිමාලය පර්වතයත් සසඳනවා නම් කෙසේ වේද? එවිට භික්ෂුහු, ස්වාමිනි මේ ගල් කැටය හිමාලය පර්වතයෙන් සියයකින් දහසකින් හෝ සියක් දහසකින් සමාන නොවන්නේ යැයි පැවසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙම අපාදුක් එවැනිය. වසර සියයක් හෝ වසර දහසක් හෝ වසර ලක්ෂයක් හෝ අපා දුක විස්තර කළත් විස්තර කළ නොහැකි යැයි වදාළා.

ඉන්පසු ලොව වෙසෙන සත්ත්වයන් පිළිබඳව දේශනා කරමින් මෙසේ වදාළා. මහණෙනි, පෙර භවයන්හි දී රස තෘෂ්ණාවෙන් අකුසල් කොට තණකොළ අනුභව කරන සත්ත්වයන්, අසූචි අනුභව කරන සත්ත්වයන්, දියෙහි උපන් සත්ත්වයන් ආදී සත්ත්වයන් දෙලොව පව් කොට මරණින් පසු අපාගතව අපාදුක් විඳ පෙර කළ පිනකින් මිනිසෙක්ව ඉපදුණත් උපදින්නේ නීච කුලවල දිළිඳුව, අංග විකළ වූවන් ලෙසයි. එසේ ඉපදුණත් මනුෂ්‍යයෙක් වීම අතිශය දුර්ලභ කරුණක්. උපාමවකින් පැහැදිලි කරතොත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනි දුර්ලභ කරුණක් යැයි පැහැදිලි කළා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සේක්. මහණෙනි, මිනිසත් බව ලැබූ මේ පව්කරුවා දිළිඳු බව නිසා හෝ අවලක්ෂණ නිසා හෝ අංග විකලත්වය නිසා හෝ නැවතත් පව් කොට අපාදුකට පත්වෙයි. මෙසේ අපාදුක් විඳවන නිසා බාලයාට සසර දිග යැයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුපියාණන් පණ්ඩිතයා ගැන දේශනා කරනවා. ඉහත බාලයා පිළිබඳ වදාළ චරිත ලක්ෂණයන්ගෙන් වැළකී අර්ථය අනර්ථය දැනගෙන, පින් දහම් කරන්නා පණ්ඩිතයායි. එම තැනැත්තා කිසියම් ස්ථානයක සිටින විට එහි සිටින ජනයා සීලාදී ගුණදම් වඩන තැනැත්තන්ට මෙලොවදී සහ පරලොවදී ලැබෙන ආනිශංස පිළිබඳව කරන කතාබහ අසන්නට ලැබෙයි.

 එවිට ඔහු මේ කියන පස්පව් මා කරන්නේ නැත. මා පස්පවින් වැළකී කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම වඩන්නෙක් යැයි මෙලොවදීම සොම්නසට සතුටට පත් වෙයි. එමෙන්ම ඉහත කී වැරදි කළ පුද්ගලයෙක් රාජපුරුෂයන් විසින් අල්ලාගෙන ගොස් රජතුමා පැනවූ දඬුවම් කරනු දැක, මම මෙවැනි වැරදි කර නැත. එනිසා එවැනි වධ හිංසා මට ලැබෙන්නේ නැතැයි සතුටු වෙයි. එය මෙලොවදී ලැබෙන දෙවන සතුටයි. නුවණැත්තා පුටුවක හිඳගෙන සිටින විට ඇඳක, බිමක, වැතිරී සිටින විට හෝ තමා විසින් කරන ලද හොඳ වැඩ සිහිපත් වෙයි. එවිට ඔහු “ මා පෙර පාපකර්ම හෝ දරුණු ක්‍රියා හෝ දුශ්චරිත ක්‍රියා හෝ කර නැත. මා කළේ දානාදි කුශල ක්‍රියාවන්ය.පව් නොකළ කුසල් කළ පුද්ගලයන් උපදින්නේ සුගතියෙකයැයි සිතා මෙලොවදීම සතුටු වෙයි. ඒ තෙවැනි වර සතුටු වීමයි. තිදොරින් සිදුවන පව් නොකළ, පුණ්‍ය කර්ම සිදුකරගත් නුවණැත්තා සුගතියෙක උපත ලබයි. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල ඇති සැප කියා නිමකළ නොහැකි බව වදාරා ඇත. දෙව්ලොවින් චුත වූ විට, මිනිස් ලොව උසස් ධනවත් කුලවල ඉපිද උපධි සම්පත්, ධන සම්පත් ලබාගෙන පින්කම් කරගෙන නැවත නැවත මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් ලබා සසරින් නිදහස් වන බව දේශනා කළා.

මෙසේ හෙයින් අනුවණයින් කරන පාපකර්ම නොකොට තුන් දොර ආරක්ෂා කරගෙන පුණ්‍ය කර්මයන්හි නියැළී දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ නිවන් සැපත ළඟා කර ගැනීමට නැණවතුන් සේ උත්සාහ කළ යුතුයි.



රත්මලානේ ශ්‍රී රත්නාරාමාධිපති
සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්ම සිද්ධි
බස්නාහිර පළාත සහිත
කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක අධ්‍යාපනපති,
ශාස්ත්‍රපති, සූරියගොඩ සිරිධම්ම නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment