Labels

Wednesday, November 11, 2015

මඟ නොමඟ කියාදෙන සීලය සහ ප්‍රඥාව



සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.


ආර්ය ධර්මය තුළ අපේ සිත පුරුදු කරනවානම් ඒ අසිරිමත් ධර්මය රාග ද්වේෂ, නසා ඉදිරියට යාමට අපට මාර්ගය කියා දෙනවා. ජීවිතයටත්, අතරමං වූ ජීවිතයටත් අග, මුල, මැද පටලවා ගත් ජීවිතයටත් මේ ධර්මයට යා යුතු මඟ නොමඟ පෙන්නුම් කරන්නට අපට අසිරිමත් ආලෝකයක් ලබා දෙනවා. සද්ධර්මය ප්‍රදීප දල්වා ගැනීම අපේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට එය හේතු වෙනවා.

අප ලබාගත් ජීවිතය ගැන මඳක් සිතන්න. ජීවිතය බොහෝම දුර්ලභ දෙයක්. දිනක් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් පිණ්ඩපාත චාරිකාවේ වඩිනවා. එදින උන්වහන්සේ දුටුවා පුදුමාකාර විශ්මයජනක අමුතු දෙයක්. එක්තරා බමුණෙක් අශ්ව රෝම කූපයක් අරගෙන ඈතින් තියා ඊතලයක් ගෙන හරියටම අර අශ්ව රෝම කූපයට විද්දා. මෙය දුටු ආනන්ද හිමියන්ට මහත් පුදුමයක් හිතුනා. අශ්ව රෝම කූපයක් කියන්නේ බොහෝම සියුම් දෙයක්. දුන්න බලවත් කර කෙළින්ම එයට විඳිනවා කියන්නේ ඉතා අමාරු දෙයක්.

සවස් වරුවේ දම්සභා මණ්ඩපයේදී ආනන්ද හිමියන් මේ කාරණය කියා සිටියා.ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්දය, ඔබ හිතන්න, යම් කෙනෙක් ඝන අඳුරේ අශ්ව රෝම කූපයේ දහසයෙන් පංගුවක් අරගෙන විදුලි එළියක් වැටෙන වෙලාවකදී අර දහසයෙක පංගුවක් වූ අශ්ව රෝම කූපයට විදිනවා. දැන් වහන්සේ විමසනවා ආනන්ද, ඔබ මොකද හිතන්නේ. දවල් කාලයේ රෝම කූපයට විදින එකද? අඳුරේ රෝම කූපයෙන් දහසයෙන් පංගුවට ඊතලය විදින එකද අමාරු? ආනන්ද හිමියන් වදාළා ස්වාමිනි, රාත්‍රියේ දී රෝම කූපයෙන් දහසයෙන් පංගුවට විදින එක ඉතාමත් අමාරු දෙයක්. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ අප ලැබූ මනුස්ස ජීවිතය අර ඝන අන්ධකාරයේ දහසයෙන් පංගුවකට විදුලිය කොටන ක්ෂණයෙන් රෝම කූපයට ඊතලය විදිනවා වගේ බොහෝම දුර්ලභ දෙයක් කියා.

මේ උපමාවෙන් පැහැදිලියි, අප ලබාගෙන තිබෙන්නේ කොතරම් දුර්ලභ වටිනා අවස්ථාවක්ද කියා. ඒ නිසා මනුස්ස ආත්ම භාවය ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදුන අප ධර්මයට සිත එකතු කරගෙන ධර්මකාමි ගමනක් යන්න පුළුවන්නම් එයයි වටින්නේ. කෙනෙකුට යමක් වටිනවා වුණාට තව කෙනෙකුට ඒ වටිනාකම තේරුම් ගන්න බැහැ. වටිනා මැණිකක් සුනඛයෙකුට ලැබුණොත් ඒ මැණික ඒ සුනඛයාට වටින්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ලබාගත් ජීවිතය මැණිකක් කොට සිතන්න. බුද්ධෝත්පාද කාලයක ඉපදීම ඉතාමත් වටිනා අවස්ථාවක්. හැම මොහොතකම සතිය උපදවා ගන්න. සිත තුළ රාග, ද්වේෂ, මෝහ ගින්න නැතිකර ගෙන ඒ අසිරිමත් ධර්මය පානය කළ යුතු වෙනවා. තථාගතයන් වහන්සේ වදාළා ධර්මය හා සමාන අසිරිමත් ඖෂධයක් ඔබට මුණ ගැහෙන්නේ නැහැ. ඒ අගනා ඖෂධය මත පුදුමාකාර ශාන්තියක්, අවබෝධයක්, නිවීමක් ලබා ගන්නට පුළුවන්ය.

අපේ ජීවිතයේ වටිනාකම මනින්නේ කෙසේද? කියා බලමු. ජීවිතයක් වටින්නේ ලස්සන රූපයක් ලැබුණාම ද? ගෙවල් දොරවල් යාන වාහන නිසා ජීවිතය වටිනවා ද? විවිධ සමාජ බලයන් නිසා ජීවිතය වටිනවාද? නැත්නම් ඇතුළාන්තය පිරිසුදු වුණාම ජීවිතය වටිනවා ද? එසේ පිරිසුදු කරගන්නට ආලෝකමත් කර ගන්නට වටිනා බවට උත්තම බවට පත්කර ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? මොනවාද සෙවිය යුත්තේ?

සෝමදණ්ඩ සූත්‍රයට අනුව ඔබට මේ පිළිබඳව පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේ දිනක් ‘අංග’ දේශයේ ‘පොක්කරවී’ කියන විලක් අසළ වැඩ සිටියා. ධර්මයට කැමැති පිරිස බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියා. මේ මහ සෙනඟක් කොහේද යන්නේ කියා සෝමදණ්ඩ බමුණා විමසා බැලුවා. ඔහු මහා පිරිසකට නායකයෙක්. බලසම්පන්න බමුණෙක්. ඔහු පිරිසෙන් අහනවා මේ ඔබලා කොහේද යන්නේ? අසවල් විල ළඟ තථාගත අංගීරස බුදුරජාණන් වහන්සේ වැඩ ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ ඉතාම ගුණවන්තයි. භාග්‍යසම්පන්නයි. නැණවන්තයි කියමින් ඒ පිරිස බුදුගුණ කියනවා. බමුණා ඊළඟට යන පිරිසෙනුත් ඒ ආකාරයෙන් විමසුවා. ඒ අයත් බුදු හිමියන්ගේ ගුණ කියනවා. ඒ සූත්‍රයේ තිබෙනවා බුදු කෙනෙකුන් ළඟ තිබෙන අපත් පුරුදු කළ යුතු ගුණ කීපයක් පිළිබඳව. උන්වහන්සේ කිසිම අහංකාරභාවයක් නැහැ. තමා ඉදිරියේ සිටින පුද්ගලයා සමඟ පළමුව කථා කරන්නේ බුදුරජාණන් වහන්සේ. අපනම් සිතනවා මොහු කථාකළේ නැහැනේ , මම මොකටද කථා කරන්නේ කියා. ඒ වගේම සුන්දර ශරීරයක් ලැබී තිබුණා. උඩින් ආටෝප සාටෝප කර හදාගන්න ශරීරය එතරම්ම ලස්සන නැහැ. පින්වන්ත නැහැ. සිතයි පින්වන්ත විය යුත්තේ.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ එන පිරිස සමඟ පිළිසඳරේ යෙදෙන්න හරිම දක්ෂයි. ධර්ම කරුණු පිළිසඳරේ කථා කරනවා. අප නම් කථාකරන විට කෙනෙකුට අපහාස කරාවි, තව කෙනෙකුගේ දොස් කියාවි, හිස් වචන කියාවි. එය හොඳ පිළිසඳර කථාවක් නොවේ. අසන කෙනාටත්, කියන කෙනාටත් එයින් පවු රැස්වෙනවා. කෙනෙක් ආර්ය මාර්ග නිවන කැමැතිනම් ආධ්‍යාත්මික ගමන බලවත් කරන්න ඕන නම් ධර්මය කථා කරන්න ඕන. කුසලයට, පිනට බර වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ එන පිරිසට එසේ ධර්මයෙන් සංග්‍රහ කරනවා.
ඒ වගේම කෙනෙක් ඈතින් එනවිට තථාගතයන් වහන්සේ කථා කරනවා පින්වත, කෙසේද? කියා. ඔබේ නිවසට කෙනෙක් එනවිට බොහෝම සුහදව කථා කරනවානම් එය වටිනවා. එය හොඳ ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕනෑම කෙනෙකුගේ සිත සුවපත් වෙනවා. සීලයේ පිහිටනවා. උන්වහන්සේ ප්‍රඥාව ලබාදෙන වචන කියනවා. සමාධියට යොමු කරනවා. පාපයෙන් සිත මුදා ගෙන ආධ්‍යාත්මිකභාවයට අප මෙහෙයවන සද්පුරුෂ ධර්මානුකූල වචන වදාරණවා. එයින් පිරිස සුවපත්භාවයට පත්වෙනවා. දෙලොවට යහපත් වචන වලින් සංග්‍රහ කරනවා. එය ඉතාම වටිනවා. ඒ වගේම උන්වහන්සේ සසර, නිවන, මරණය, මරණයෙන් පසු ස්වභාවය ඉතාම හොඳින් කියා දෙනවා. කිසි කෙනෙකුට මේවා බොරු කියා තර්ක කරන්න බැරි බව අර පිරිස බමුණාට කියා සිටියා. එහෙනම් මමත් උන්වහන්සේ සමඟ කථා කරන්න ඕන කියා බමුණා තීරණය කළා. නැවත ඔහු සිතනවා මම ගියාම බුදුහිමියන් අර පිරිස මැද මගෙන් ප්‍රශ්නයක් අසා ඒක එහෙම නොවේ කිව්වොත් එය ලොකු ලජ්ජාවක්. කෙසේ හෝ සෝමදණ්ඩ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. අර පිරිස මැද තථාගතයන් වහන්සේ දුටුවා සෝමදණ්ඩ පැමිණ සිටින බව. ඔහුගේ සිත දිවැසින් දුටුවා. ඔහු කරදර සිටින බව දුටුවා.

තථාගතතයන් වහන්සේ වදාළා සෝමදණ්ඩ, හොඳ බමුණෙක් වීමට තිබියයුතු හොඳ ලක්ෂණ මොනවාද? කියා ඇසුවා. ඒ බමුණා කියනවා ස්වාමිනි, ඒ සඳහා කරුණු පහක් අවශ්‍යයි. ඒ තමා 1. ඔහු බ්‍රාහ්මණ කුලයෙන් ඉපදෙන්න ඕන. 2. පාරිශුද්ධභාවයක් තිබෙන්න ඕන. 3. හොඳ රූපයක් තිබෙන්න ඕන, 4. ත්‍රිවේදය පරතෙරට ගිය කෙනෙක් වෙන්න ඕන, පිරිසට නායකකම දෙන්න පුළුවන්කම, හැදිච්චකම, ගුණවත්කම තිබෙන්න ඕන 5. ඔහුට හොඳ ප්‍රඥාවක් තීක්ෂණයක් තිබෙන්න ඕන කියා කිව්වා. සෝමදණ්ඩ ඔබ කිව්වානේ කෙනෙක් පාරිශුද්ධභාවයකින් උපදින්න ඕන හොඳ බමුණෙක් වෙන්න කියා. ඒ කාරණය නැති අයට බැරිද? බමුණෙක් වෙන්න. ඔහු කියනවා එහෙම නැති අයටත් පුළුවන් හොඳ බමුණෙක් වෙන්න. සෝමදණ්ඩ ලස්සන රූපයක් නැති අයට බැරිද? හොඳ බමුණක් වෙන්න. බමුණා නැවත කියනවා ඇත්තටම රූපය ප්‍රශ්නයක් නොවේ හොඳ බමුණෙක් වෙන්න. ඊළඟට අසනවා හොඳ බමුණෙක් වෙන්න ත්‍රිවේදය පරතෙරටම දැනගත යුතුද? සෝමදණ්ඩ කියනවා එසේ අවශ්‍ය නැහැ. පරතෙරට දන්නේ නැති වුවත් කෙනෙකුට හොඳ බමුණෙක් වෙන්න පුළුවන්. ඊළඟට සීලයයි, ප්‍රඥාවයි අතහැර හොඳ බමුණෙක් වෙන්න බැරිද අසනවා. එවිට සෝමදණ්ඩ කියනවා ස්වාමිනි, සීලයයි, ප්‍රඥාවයි අතහැර නම් හොඳ බමුණෙක් වෙන්න බැහැ. සෑම දෙයකටම මුලින්ම සීලය අවශ්‍යයි. සීලයෙන් සමාධිය වර්ධනයටත්, සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් කරනවා. ඒ නිසා හොඳ මිනිසෙකු වෙන්න ප්‍රඥාව විතරක් තිබිලා මදි. ගුණවත්බව හැදුනුකම අවශ්‍යයි. ඒ නිසයි සඳහන් වෙන්නේ හුදෙකලා ප්‍රඥාවට පවතින්න බැහැ සීලයේ ගුණය සද්පුරුෂ ධර්මය අවශ්‍යයි. එවිට ඔහු දියුණුවට, ආලෝකයෙන් ආලෝකයට පත්වන බව සෝමදණ්ඩ සූත්‍රය අනුව පැහැදිලි වෙනවා.

ඒ නිසා ඔබ සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.



කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment