බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහිදී සිදුවු එක්තරා සිදුවීමක් මෙසේය. එකල ඉතාම දුප්පත් මනුෂ්‍යයෙකු ජීවත්වූ අතර මේ පුද්ගලයා දුප්පත් නිසාම සමහර වේලාවට ඇතැම් පුද්ගලයන්ට බැලමෙහෙවරකම් කරමින් තමන්ගේ ජීවනෝපාය සකස් කරගනු ලැබුවා. තවත් අවස්ථාවක නඟුලක් රැගෙන රෙදි කඩකින් සිරුර වසාගෙන නඟුල යොදා ගනිමින් සී සෑම ආදි කටයුතුවල යෙදී එයින් ලැබෙන ආදායමෙන් ජීවත් වුණා.
ඔහුගේ ආර්ථිකය සකස් කරගැනීමට එතරම් ශක්තියක් නොතිබුණ නිසා දුප්පත්කමත්, බැරිකමත් අනුව ජීවිතය ගැටගසාගෙන තමන්ට හැකි ආකාරයට ජීවත්වීම සඳහා ධෛර්ය සම්පන්න වුණා. එක දවසක් එම පුද්ගලයා සී සෑම සඳහා නඟුලකුත් රැගෙන කුඹූරට යන ආකාරය පිළිබඳව එක්තරා තෙරුන් වහන්සේ නමකට දක්නට ලැබුණා. උන්වහන්සේට මෙම පුද්ගලයා පිළිබඳව සිතට අනුකම්පාවක් ඇතිවුණා. දුප්පත්කමයි,ජීවත්වීමට ගන්නා වු උත්සාහයයි, නැතිබැරි කමයි සහිත එම මනුෂ්‍යයා පිළිබඳව දුකක් ඒ ස්වාමීන් වහන්සේගේ සිතට ඇතිවුණා.
පැවිදි වුණොත් නරකද?
ඒ සිතිවිල්ලත් සිත තුළ තබා ගනිමින් උන්වහන්සේ එම පුද්ගලයා හමුවී කතාබහ කරන අතරතුර හාමුදුරුවන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ ඔබ හරිම දුප්පත්නේ.ජීවත්වන්නේත් බොහෝම අමාරුවෙන් නේ. ඒනිසා මහණ වුණොත් නරකද? බණ භාවනා කරල නිදහසේ තැන්පත් විවේක ජීවිතයක් ගත කිරීමට හැකිවන්නේ යනුවෙන් විමසුවා. “මම හරිම දුප්පත්නෙ හාමුදුරුවනේ”. අප වගේ දුප්පත් මිනිස්සුත් මහණ කරවාගන්නවාද? දුප්පත්කම වැඩි නිසා මා මහණ කරගන්න එකක් නැතැයි කියලා එම පුද්ගලයා ප්‍රකාශ කළ විට ස්වාමීන් වහන්සේගේ පිළිතුරු වූයේ, ඔබගේ අදහස වැරැදියි, මහණකමට වත්පොහොසත් කම්වල භේදයක් නැහැ. පුද්ගලයකුට මහණ වීමට අවශ්‍ය නම්, ඔහුට අවශ්‍ය එකම ගුණ දහම නම් තෙරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධා සම්පන්න බවයි. තෙරුවන් කෙරෙහි ගෞරවයක් ප්‍රසාදයක් නොමැති අයෙකු කෙතරම් පොහොසත් වුණත් ඔහු මහණ කරන්නේ නැහැ. කෙතරම් දුප්පත් වුවත් ශ්‍රද්ධා සම්පන්නව තෙරුවන් කෙරෙහි ගෞරවය, ප්‍රසාදය තියෙන අය කැමැති නම් මහණ කරනවාය කියලා. හාමුදුරුවන් වහන්සේ සමඟ ඇති වූ එම සාකච්ඡාවෙන් පසුව එම දුප්පත් පුද්ගලයාගේ සිත තුළ තිබුණ සිතිවිල්ල වෙනසකට ලක් වුනා. මහණ වුණානම්, මීට වැඩිය හොඳයි කියල, හිතල මහණ වෙන්න කල්පනා කරනු ලැබුවා. මහණ වීමට කැමැත්ත පළකළාට පසුව එම පුද්ගලයා එම හාමුදුරුවන්ට කැමැත්ත දුන්න නිසාත්, එම ස්වාමීන් වහන්සේත් එම පුද්ගලයාගේ හිස රැවුල් කපා මහණ කළා. මහණ වුණාට පසුව නංගුල කුල තෙරුන්වහන්සේ නමින් එම හාමුදුරුවන් ප්‍රසිද්ධියට පත් වුණා.
නගුල තබා පැවිදි බිමට
නඟුල් කටයුතු කළ නිසා නංගුල කුල තෙරුන් වහන්සේ නමින් පටබැඳුණා. මහණ වුණ දවසේ තවත් ධනය උපයාගෙන ජීවත්වූ නඟුලයි. ඇඳගෙන සිටි රෙදි කඩයි ගසක එල්ලා සඟවා තැබුවා. උන්වහන්සේ නංගුල කුල තෙරුන් වහන්සේ නමින් පැවිදිව බොහෝම යහපත් ආකාරයට ආගමික ජීවිතයක් ගත කළා. සුවසේ ජීවත් වෙමින් ,හොඳින් කටයුතු කරගෙන, මහණදම් පුරමින්, බණ දහම් දේශනා කරමින්, මනුෂ්‍යයන්ට උපදෙස් දෙමින්, ගිහිජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක්. ඇතිවූ නිසාම උන්වහන්සේ මිනිසුන්ට ලබාදෙන අවවාද අනුශාසනා බොහොම හොඳට නිවැරැදිව ගැලපිල යනවා. පැවිදිවෙලා ටික කලක් ශාසනය තුළ වැඩ සිටින විට උන්වහන්සේගේ සිත උකටලී වෙලා ගියා. “උකටලී” වෙනවාය යනු කලකිරීමක් ඇතිවීමයි.
ගිහියෙකු වෙනවාද?
මහණකමේ හිටියා ඇති, ඒ නිසා ගිහියකු ආකාරයෙන් ජීවත්වන්නට තිබෙනවා නම් හොඳයි යනුවෙන් එම නංගුල කුල තෙරුන්වහන්සේට සිතුණා. ඒ ආකාරයෙන් සිතන තෙරුන් වහන්සේ තමන් මහණ වන විට සඟවා තබන ලද නඟුලත් රෙදිකඩත් එසේ සඟවා තබා තිබූ ගස සමීපයට වැඩම කරනු ලැබුවා. ගස ළඟට වැඩම කරනු ලැබූ උන්වහන්සේ විසින්ම තමන් වහන්සේටම අවවාද අනුශාසනා කරගනු ලැබුවා. එනම් මෙම උතුම් ශාසන ප්‍රතිපදාව ආරක්ෂා නොකර නැවතත් නඟුලක් කරතබා ගන්නද? හදන්නේ. නැවතත් කෙතට බහින්නද හදන්නේ? නැවත වතාවක් ගිහිජීවිතයට යන්නද? උත්සාහ කරන්නේ කියලා.ලාමක සිතිවිලි සමඟ තර්ක කිරීම
තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේ ටම අවවාද කරගනු ලැබුවා. තමන් වහන්සේගේ සිතට එසේ පැමිණි ලාමක සිතිවිලි සිත තුළින් බැහැර කරගැනීම සඳහා තමන් වහන්සේගේ සිත තුළින්ම තර්ක ගොඩ නගාගනු ලැබුවා. පුහුදුන් මනුෂ්‍යයාගේ සිතෙහි ස්වභාවය එමගින් පෙන්නුම් කැරේ. සිතකට යම් යම් යහපත් සිතිවිලි පැමිණෙන වා මෙන්ම අයහපත් සිතිවිලිත් එසේ සිතට පැමිණෙනවා. අයහපත් සිතිවිලි සිතට පැමිණෙන විට යහපත් මිනිසුන් සිතන ආකාරය මඳක් සිතා බලන්න. එම අයහපත් සිතිවිලිවල අයහපත් ස්වභාවය හා එහි ආදීනව පිළිබඳව තමා විසින්ම තමාගේ ඔලුවට කියාගනු ලබන බව ඉන් හැඟෙනවා. එහි අයහපත් ස්වභාවය තමා විසින්ම ප්‍රකාශ කර ගනු ලබන්නේ තමා විසින්ම තමාට අවවාද දීමක්. තමාගේ සිත එසේ නරකට පෙළඹුණ විට එම සිත ඉතා නිවැරැදි කරගන්නත් වෙන්නේ තමාගේ සිත තුළින්ම පමණයි. උත්සාහය ගත යුත්තේ තමාම බවයි මින් අවබෝධ වන්නේ. එම නංගුල කුල හාමුදුරුවොත් තමන්ගේ සිතට පැමිණි සිතිවිල්ල අයහපත් සිතිවිල්ලක් ලෙස සිතාගෙන සසුනෙහි රැඳී නොසිට සිවුර හැරයාමේ (උපැවිදි වීමේ) ආදීනව නුවණින් දකිනවා. ඒ ආකාරයෙන් තමන්ගේ සිතටම අවවාද කරගනු ලැබූ උන්වහන්සේට ගිහිජීවිතය පිළිබඳව නැවත කලකිරීමට පත්වෙනවා. නැවතත් මම සිවුර හැර නොයන බවට සිත පහදාගෙන ශාසනික ප්‍රතිපදාවෙහි සිත නියැලුණා. දහමට අනුව ජීවිතය සකස් කරගත් උන්වහන්සේ වීර්යය වඩා මහ රහත් භාවයට පත්වුණා. එම රහත් භාවයට පත්වුණ එම නංගුල කුල රහතන් වහන්සේගේ සිදුවීම සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසටත් යොමුවුනා.
ආදීනව නුවණින් දැකීම
බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නෙතට මෙම සිදුවීම පෙනීමෙන් පසුව උන්වහන්සේට දක්නට ලැබෙන්නේ නංගුල තෙරුන් වහන්සේ තුළ පැවැති උතුම්ම ගුණයක්. උන්වහන්සේ තුළ තිබුණ උතුම්ම ගුණ ධර්මය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ තමන්ගේ සිත අයහපතට, නපුරට ගමන් කිරීමට උත්සාහ කරන විට තමා තුළින්ම තමාගේ මනැස සකස් කරගැනීමට තමා විසින්ම අවවාද ලබාදීමේ ගුණයයි. එම ගතිගුණය අපේ සමාජය තුළත් ඇතැම් පුද්ගලයන් ළඟ තිබුණත් ඇතැම් පුද්ගලයන් තුළ දක්නට ලැබෙනවාද? බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනු ලැබුවේ එම උතුම් ගුණය තිබෙන අය පිළිබඳවයි. වර්තමානය තුළ වුවත් තමන්ගේ සිත නරකට ඇදීගෙන යන අවස්ථා තුළදී මෙවැනි දේ මා වැනි අයෙකුට නොගැලපෙන බව සිතමින්, එවැනි දෙයක් කිරීමෙන් මා වැනි අයෙකුට යහපතක් සිදුවන්නේ නැහැ. ආදී වශයෙන් අයහපතක් සිදුවීමට එරෙහිව වෙනත් දේ තුළ තර්ක ගොඩනඟමින් තමා විසින් තමාටම අවවාද අනුශාසනා ලබාදෙන පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවටත් ලක් වුණා.
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment