Labels

Monday, November 23, 2015

දුක ඇතිවන්නේ අනවබෝධය නිසා නොවේද?


වප් අමාවක පොහොය දවසේ “සුපසන් ජීවිතයකට" ධර්ම කතා පෙළෙහි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ “ගද්දුලබද්ධ” සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දහම් කතාවකි. මෙම දහම් කතාවත් දුකට අකැමැති සැපට කැමැති ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම මහත් වූ සුවයක්, සැනසිල්ලක් ලබන්නට පුළුවනි.
එය පරමාර්ථ ධර්ම කතාවක් ම නිසා දහමෙන් ලබන උතුම් ප්‍රයෝජනයත් මනා කොට ලබන්නට පුළුවනි.
“ගද්දුලබද්ධ” ගද්දුල යනු සම්පටියක් හෝ යමක් බඳින්නට උපකාර කරගන්නා වූ දම්වැලක් වැනි අදහසකුයි. “බද්ධ” කියන වචනයෙන් අදහස් කරන්නෙ සම්පටියකින් බඳිනා ලද කියන අදහසයි. මේ සූත්‍ර දේශනාවේ උපමාවට ගන්නෙ සම්පටියකින් බඳිනා ලද සුනඛයකුගේ හැසිරීම පිළිබඳවයි.

කණුවකට හෝ ගසකට තබා පටියකින් බැඳ තබන සුනඛයා, ඒ පටියේ දිග ප්‍රමාණයට ම දුවනවා නැවතත් කණුව ළඟට එනවා. ඒ කණුව වටේ කරකැවෙනවා. දුවනවා, එහි ම ළගිනවා. අන්න ඒ නිදසුන රැගෙන තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්ම කතාවක් දහම් අවවාදයක් සැනසිල්ල බලාපොරොත්තුවන අප සැම දෙනාටම ලබාදෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා,

“අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා
සංයෝජනානං සන්ධාවතං සංසරතං


 යනුවෙනි.
මෙහි තේරුම මහණෙනි, මේ සසර කෙළවරක් නැතිය. අවිජ්ජාවෙන් වැසීම නිසා තෘෂ්ණාව නමැති සංයෝජනයන්ගෙන් භවයට බැඳෙන සත්වයෝ භවයෙන් භවයට දුවගෙන යති. ඇවිදිති. මේ සත්වයන්ගේ භවයන්හි මුල හෙවත් පූර්වාන්තයක් නොපෙනේ යනුවෙනි.
මේ අදහස පෙන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මීළඟට මෙවැනි උපමා කීපයක් දක්වනවා. එනම් අර කෙළවරක් දකින්නට නැති සසරගමනෙහි චුති උපත් වශයෙන් ගමන් කරන සත්වයෝ විඳින්නා වූ දුක පිළිබඳව පැවසීමයි. මහණෙනි, යම් කලෙක මේ මහ මුහුද සිඳේ ද, වියලේ ද නොවේද, එබඳු කලක් වන්නෙමයි. මහණෙනි, අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුකින් යුතුව මේ භවයෙහි සැරිසරන සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් නම් මම නොකියමි. ඉන් අදහස් කරන්නෙ මහ මුහුද යම් දවසක සිඳෙන්න, වියලෙන්න පුළුවන් ඒක එසේ වේවි. නමුත් අවිද්‍යාවෙන් ධර්ම මාර්ගය වැසිල ඒ නිසාම තෘෂ්ණාවට හසුවෙලා භවයේ දුක්විඳින සත්වයන්ගෙ ඒ දුකේ කෙළවර කිරීමක් නම් පැවැසීම, දැක ගැනීම අපහසුබවයි.

ඊළඟ නිදසුන අපි බලමු. මහණෙනි, යම් කලෙක මේ මහා මේරු පර්වතය දැවේද, වැනසේද නොවේද, එබඳු කලක් වේමයි. මහණෙනි, අවිද්‍යාවෙන් මාර්ගය වැහුණු, ඒ නිසා ම තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුක්විඳීමින් දුවන, සැරිසරන මේ සත්වයන්ගෙ දුක කෙළවර කිරීමක් නම් මම නොකියමි යනුවෙනි. මහාමේරු පර්වතය පිළිබඳව ධර්ම සාහිත්‍යයේ සටහන්ව ඇත්තේ ඉතා ම අතිවිශාල වූ පර්වතයක් හැටියටය. එය නොකැඩෙන, නොවැසෙන, වස්තුවක් ලෙස පුද්ගලයන්ගේ මනසෙහි තැන්පත්ව පවතියි. එනමුත් එම මහමේරු පර්වතය පවා යම් දවසක වැනසේවි, එනමුත් දුක්විඳින සත්වයා ගේ දුක කෙළවරකිරීමක් පිළිබඳව දකින්නට, කියන්නට අපහසු බව ඒ නිදසුනෙන් පෙන්වා දෙනවා.

ඊළඟ නිදසුන නම් යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නොවේද එබඳු කලක් වේමයි. මහණෙනි, අවිද්‍යාව නිසා ධර්ම මාර්ගය වසාගෙන ඒ නිසාම රාග, දෝස, මෝහ ආදී තෘෂ්ණාවෙන් සසරට බැඳී දුක්විදිමින් දුවන සැරිසරන සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් පිළිබඳව මම නොකියමි. මේ මහ පොළොව අතිගම්භීර යමකි. මේ මහ පොළොව යම් දවසක දැවෙන්න, වැනසෙන්න පුළුවනි. එනමුත් අවිද්‍යාව හේතුකොටගෙන රාග ආදී කෙලෙස් උපදවාගෙන මේ භවය සකස් කරගෙන දුක්විඳිමින් දිවෙන සැරිසරන සත්වයන්ගේ දුකෙහි කෙළවරක් ගැන නම් සිතා ගැනීමත් අපහසුබවයි. ඉන් අදහස් කරන්නෙ, මෙහි අවිද්‍යාවෙන් වැසීම යනුවෙන් පවසන්නේ කුමක් ද? අවිද්‍යාව නම් නොදැනීමයි. මුලාවයි. මේ අවිද්‍යාව නිසා ම සංස්කාර රැස්වෙනවා. කයෙන් කරන කර්ම, වචනයෙන් සිදුකරන කර්ම, සිතින් හෙවත් මනසින් කරන කර්ම යනුවෙනි. මේවා කුසලා කුසල එනම් කුසල් හෝ අකුසල් කර්ම විය හැකියි. අරහත් මාර්ගයට පත්වන විට කුසල් අකුසල් නම් වූ සියලු කර්ම එනම් සියලු සංස්කාර ප්‍රහාණය වෙනවා.

එනමුත් මේ කර්ම රැස්කිරීමේ දී ධර්ම මාර්ගය තුළ හැකිතාක්දුරට කුසල කර්ම පවත්වාගෙන එමගින් ම දුකින් මිදීමට අවස්ථාව සලසාගත යුතු බව ධර්ම කතාවේ පෙන්වා දෙනවා. කුසල් සිදු කළ අය සුගතියෙහි උපදිනවා. එවිට ධර්මය තේරුම්ගෙන සම්‍යක්දෘෂ්ටිකව දුක කෙළවර කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. අකුසල් රැස්කළොත් සතර අපාය නම් වූ දුගතියෙහි ඉපදී දුක්විඳීමක් ම විනා දුක කෙළවර කිරීමට අවස්ථාවක් සැලසෙන්නෙ නැහැ. අවිද්‍යාව නම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳව ඇති අනවබෝධයයි. එනම් නොවැටහීමයි. එමෙන් ම පටිච්චසමුප්පාද ධර්මය දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව ඇති අනවබෝධයයි.

තවදුරටත් පැහැදිලි කළොත් මෙසේයි. තමා කෙරෙහි ම ඇති අනවබෝධයයි. අන් අය, අන් වස්තූන් කෙරෙහි ඇති අනවබෝධයයි. ඉන් අදහස් කරන්නෙ කුමක් ද? තමා, මම, සත්වයා, පුද්ගලයා යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ධාතු ස්කන්ධ ආයතනයන්ගේ එකතුවට අපි පුංජයයි කියමු. සාමාන්‍යයෙන් ශරීරය, කය, වස්තුවක් වශයෙන් හඳුන්වන්නේ මෙයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් හතරත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයත්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ආයතන හයත් මූලික වශයෙන් එකතු වී පුංජයක් බවට පත්වේ. එය අප කයක්, ශරීරයක් හැටියට හඳුන්වනවා. මම කියා හෝ ඔබ කියා හෝ ඉන් අනතුරුව හඳුන්වන්නේ මෙයයි. මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත ශරීරය හෙවත් ඔබ සහ මම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට විදසුන් නුවණින් දැකීමට ඇති නොහැකියාව අසමත් බව අවිද්‍යාවයි. එවිට සිදුවන්නේ කුමක් ද? ඇසට හමුවන රූපය, මගේය, මම වෙමි, මගේ ආත්මය කියා සිතින් දැඩිව අල්ලාගන්නවා. එනම් උපාදානය කර ගන්නවා. එය රූපය සවිඤ්ඤාණක වස්තුවක් එනම් පුද්ගලයෙක් විය හැකියි. ඒ වගේ ම අවිඤ්ඤාණක වස්තුවක් වන ගහකොළ, ගෙයක්, දොරක් වැනි යමක් විය හැකියි. තමා එයට ප්‍රිය ලෙස අරමුණු පහළකරගත්තොත් අවිද්‍යාවට හසු වූ පුද්ගලයා එහි තදින් බැඳෙනවා. ප්‍රියභාවයට හසු කරගන්නේ කෙසේ ද? ඇසෙහි අර රූපය හටගන්නා විට චක්ඛු විඤාණය හෙවත් ඇසෙහි සිත උපදිනවා. අවිද්‍යාවෙන් වැසුණු පුද්ගලයා ඔය සිතෙහි සකස් කර ගන්නෙ ඉටුවඩන, මනවඩන, ප්‍රියදැයෙහි කාමයෙන් යුත් ඇලුම්කරන ස්වභාවයෙන් යුතු ප්‍රිය සිතිවිලියි. එනම් කාම සිතිවිලියි. අවිද්‍යාව නිසා මේ පුද්ගලයාට මේ රූපය නම් වූ වස්තුව වෙනස්වන බවක් හෝ දුකට හේතුවක් බව වැටහෙන්නේ නැහැ. එනම් හේතුපත්‍යයන්ගෙන් හටගත්ත සංඛතයක් බව හෙවත් සංස්කාරයක් බව වැටහෙන්නේ නැහැ. පඨවි ආදී ධාතූන්ගෙන් නිර්මාණය වූ සෑම දෙයක් ම සංඛතයක් හෙවත් සංස්කාරයකුයි. ඒ හැම සංඛතයක් හෙවත් සංස්කාරයක් ම ඒ පඨවි ආදී ධාතු කොටස් විසිරී යන විට එයින් හටගත්ත ඵලයත් විසිරී යනවා. නැතිවී යනවා. අවිද්‍යාවෙන් යුතු පුද්ගලයාට මේ ගැන අවබෝධයක් නැහැ. කැඩෙන බිඳෙන දිරාගෙන යන ලෙඩවෙන බව පිළිබඳව දැනුමක් තිබෙනවා. නමුත් දැකිය යුතු අවබෝධයක් මේ පුද්ගලයාට නැහැ. ඒ නිසා ඇසෙහි හටගත් අර රූපය කෙරෙහි චක්ඛු විඤ්ඤාණය සකස් වෙන්නෙ, එනම් ඇසෙහි සිත සකස් වෙන්නෙ ඉහත සඳහන් කළ අයුරින් ඉටුවඩන, මනවඩන, ආදී වශයෙන් බලවත් වූ කැමැත්තක් ඇතිවයි, එනම් කාමච්ඡන්දයයි.



බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment