ලෝකයේ ජීවත් වන ඕනෑම සත්වයෙක් ආහාරය තුළින් ජීවිතය පවත්වාගෙන යන බව බුදුදහමින් පෙන්වා දී ඇත. මෙය ප්‍රායෝගික වශයෙන් ද ප්‍රත්‍යක්ෂ කරුණකි. ජීවිතයක පැවැත්ම ඇත්තේ ආහාර තුළිනි. ආහාර නොමැති වුවහොත් ජීවිතයෙහි පැවැත්ම රඳා නොපවතී. බුදුරජාණන් වහන්සේ එය අත්දැකීමෙන්ම දැන ලෝක සත්වයාටද දේශනා කළහ.
ආහාර නොගන්නා ජීවිතයකයි, ආහාර ලබන්නාවු ජීවිතයකයි වෙනස අපට මනාව දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය උදෙසා දුෂ්කරක්‍රියා කළ බව අප හොඳාකාරව දනිමු. එම කාලය තුළ බෝසතාණන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ශරීරයට දෙන ආහාර අඩු කරන ලදී. අන්තිමට ආහාර නැතිතරමටම නොගන්නා තරමටම අධිෂ්ඨාන පූර්වකව භාවනාවෙහි යෙදුනහ. එම කාලය තුළ ශරීරය අස්ථි පඤ්ජරයක් බවට පත් විය. එහි ඇති කටුකත්වය බෝසතාණන් වහන්සේ අත්දැකීමෙන් අවබෝධ කොටගෙන ලෝක සත්වයාට දේශනා කළහ. සියලු සත්වයෝ අහරින් සිටින්නෝ ය. බෝධිසත්වයන් වහන්සේ එම ආහාර පවා නොමැතිව කළ වික්‍රමය මෙලොව තව කෙනෙකුට කළ නොහැකි තරම් දුෂ්කර වූවකි. ආහාරය නොමැති කළ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන අංග පහ පිරිහීමට ලක්වේ. එතුළින් සත්වයාගේ ජීවන ගමනද නැවතෙනු ඇත. එනිසාම බුදුරජාණන් වහන්සේ දාන වේලක් දෙන කෙනෙකුට එම අත්‍යවශ්‍ය අංග පහ දීමක් බවත්, එය තමන්ටත් ආපසු ලැබෙන බවත් දේශනා කර වදාළහ.
සිව්පසය තුළ ද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනුවෙන් හඳුන්වා ඇත්තේ ආහාරයයි. මෙහිදී, ආහාර පාන, කෑම බීම යන අදහස දී ඇති බව පැහැදිලි වේ. පානය තුළින් ද සත්වයාගේ ආයුෂ දින ගණනක් පවත්වා ගත හැකි බැවින් ආහාර පාන යන කොටස් දෙකම සම්බන්ධ කර ගැනීම සාධාරණ වේ. එහි වටිනාකම නිසාම බුදුරජාණන් වහන්සේ දානය නම් වූ පරිත්‍යාගය නොයෙක් භව වලදී සම්පූර්ණ කරන ලදී. එහිදී අප සකස් කරගන්නා ආහාර පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු අඹුදරුවන් පවා දන් දුන් ආකාරය සඳහන් වේ. ආහාරය තුළ සියලු සත්වයෝම පවතින බවට සාධකයක් ලෙස සමාජයේ සිදුකරන විශේෂ අවස්ථාවන්හි ආහාර පාන සංග්‍රහ කටයුතු සිද්ධ වීම පෙන්වා දිය හැකිය. මළ ගෙදරක, මඟුල් ගෙදරක, ශ්‍රමදානෙක, උත්සවයක, පින්කම් ගෙදරක යනාදී ඕනෑම තැනක ආහාර වලින් සංග්‍රහ කිරීම අනිවාර්යෙන්ම දැකගත හැකි විශේෂත්වයකි. යම් පුද්ගලයෙක් කිසිවක් නොමැතිව සතියක් පමණ යම් ගුහාවක හෝ කුටියක සිරකර එළියට ගත්තොත් ඔහු පළමුව ඉල්ලන්නේ ආහාරයි. එයට හේතුව ආහාරය පළමු අවශ්‍යතාවය වන බැවිනි.
ලොව ඇති ගිනි අතර කුස ගින්න තරම් ගින්නක් නැත. ආහාරය උදෙසා මිනිස් තිරිසන් බේදයකින් තොරව ඇනකොටා ගැනීම් සිදු කරනු ඇත.
“ආහාර, නිද්‍රා, භය, මෛතුනංච” යන හිතෝප දේශයෙහි සඳහන් ස්වලෝකයකට අනුව ආහාර යන වචනය මුලට යොදා ඇත. එයින් සඳහන් වන්නේ ද, ආහාරය, නින්ද, බිය, කාමසේවනය මිනිස් තිරිසන් දෙපිරිසටම එක සමානව බලපාන හා දෙගොල්ලම සිදුකරන බවයි. ‘කයට වේද රසමුසු බත් කන්නේ’ ලෝවැඩ සඟරාවෙහි සඳහන් එම කවි පදයට අනුව රස භෝජනය ශරීරය පිනවීමටත් ශරීරය පවත්වාගෙන යාමටත් ගනු ඇත. එක් එක් සත්ව කොටස් වලට අනුව ඔවුන් ගන්නා ආහාර වර්ගද වෙනස් වේ.
ගවයින්, මුවන්, එළුවන් ආදී සතුන් කොළ වර්ග ආහාරයට ගනු ඇත. මේ ආදී වශයෙන් පලතුරු වර්ග, කෘමි සතුන්, ආදි සත්ව වර්ග ආහාරයට ගන්නා සත්ව කොටස් ද ඇත. මිනිසා විසින් සියලු කොටස් ආහාරයට ගන්නා අවස්ථා ඇත. මේ ආදී වශයෙන් විවිධ සත්ව කොටස් ආහාර සඳහා යොදා ගනු ලැබේ. සමස්තයක් වශයෙන් ලෝකයේම විවිධ මිනිස් වර්ගයා විසින් ගන්නා ලද විවිධ ආහාර දෙස බැලීමේ දී ආහාරය සඳහා නොගන්නා දෙයක් නැති තරම්ය .
ආහාර නොමැතිවීමෙන් ශරීර ශක්තිය හීන වී විනාශයට පත්වේ. සමාජය තුළ හොඳ ආහාර වේලක් ගැනීමට අපහසු අය හා එය ලබා ගන්නා අය ශරීර සෞඛ්‍ය තුළින් හඳුනාගත හැකිය. සාමාන්‍ය වශයෙන් දිනකට ආහාර වේල් තුනක් ගැනීම, ක්‍රමය වුවද ආහාරයට ගිජු අය හතර වේලද ගනු ඇත. දුගී දුප්පත් අය එක වේලකින්ද දවස ගත කරනු ඇත. සමහරුන්ගේ බඩේ විශාලත්වය නිසා ශරීරය ද දරා ගැනීමටද අපහසුය. මේ ආදී වශයෙන් ලෝකේ විවිධ අය ආහාරයත් සමඟ කරන යුද්ධය මනාව පැහැදිලි වේ. පැය හයකට වරක් ආහාර ගැනීම තුළින් දිරවීම පහසු වන අතර වතුර පානය කිරීම සඳහා ද ඉඩ ඉතිරි කර ගනිමින් ආහාර ගැනීම සුභදායක වේ. සැහැල්ලු ජීවිතයක් හා නිරෝගී ජීවිතයක් උදෙසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළේ උදේ හා දවල් දානය පමණක් ගෙන රාත්‍රියට ගිලන් පසකින් ජීවිතය ගත කරන ලෙසයි. එවිට භාවනා කිරීමට වුවද පහසු වනු ඇත.
ආහාර වැඩියෙන් ගැනීම ද අඩුවෙන් ගැනීමද ලෙඩ රෝග වලට හා ශරීර සෞඛ්‍යය පිරිහීමට හේතුවේ. එනිසා බුදුරදුන් දේශනා කළේ මධ්‍යස්ථව ගත යුතු බවය. ආහාර කොතරම් තිබුණත් ගිජුකමට ගත යුතු නොවේ. එබැවින් ප්‍රමාණය දැන හා නීරෝගි ආහාර ගැනීමට නිතරම වෙහෙසිය යුතු ය.
දෙවියන් ආහාරය වෙනුවට අමෘතය නම් වූ පානයක් ගන්නා බව සඳහන් වේ. යක්ෂ, ප්‍රේත, භූතයින් යම් යම් පුද්ගලයින්ට ආවේෂ වී ආහාර සඳහා නර බිලි, සත්ව, බිලි, ඉල්ලනු ඇත. සමහර ප්‍රේත භූතයින්ගේ සාගින්න හා පිපාසාව කුමන දේ දුන්නත් අඩුවන්නේ නැත. ආහාර ටොන් ගණනක් දුන්නද, පිපාසයට ගඟක වතුර හැරෙව්වද එම දුක් ගිනි නොනිවෙනු ඇත.
එයට හේතුව සසර කර ඇති අකුසල්ය. සීවලී මහරහතන් වහන්සේ වැඩි තැන දානමානාදියෙන් අඩුවක් නොවුණි. ලෝසක මහරහතන් වහන්සේට හරියට පිණ්ඩපාතයක් වුවද නොලැබුණි. පිණ්ඩපාතය බෙදන්නට එන අයට පාත්‍රය පිරීගිය බවක් පෙනෙනු ඇත. එයට හේතුවද සසර නොදීමේ විපාකය. ප්‍රේතයින් ආහාර නොමැතිව විඳින දුක් දැනගැනීමට ප්‍රේත වස්තුව කියවීම වැදගත් වේ.
ආහාරය දානයක් වශයෙන් සිත පිරිසුදු කොට පූජා කිරීමෙන් ලොකු පින්කමක් වනු ඇත. ආහාර වේලක් දෙනවාට වඩා දාන වේලක් දීමේ දී අනුසස් වැඩි බව දේශනා කොට ඇත. එයට චේතනාවද සකස් විය යුතු බැවිනි. කොතරම් ආහාර පාන තිබුණද සමහරුන්ට බඩ පුරා ආහාර වේලක් ගැනීමට අපහසුය. එයට හේතුව තෘෂ්ණාවයි. ඉල්ලීස සිටුතුමා, මචිචරිය කෝසිය සිටුතුමා ආහාර ගැන සිහින මවමින් සිටියා හැර දැඩි තෘෂ්ණාව නිසා ආහාර නොලැබ දුක් වින්දේය. ආනන්ද තෝද්‍යෙය ආදි සිටුවරුන්ද කොතරම් ධනය තිබුණද තම ප්‍රයෝජනයටත් නොගෙන අනුන්ටත් නුදුන් අයය.
කොතරම් ආහාර තිබුණද ආහාර ගත්තද සැමදා රෝගියෙක් නම් එය දුකකි. සමහරු දිව්‍ය භෝජන ගත්තද කායික නීරෝගිකමක් නැත. එතුළින් මනසද රෝගි වේ. එහිදී නියම සතුට සැනසුම නොලැබෙනු ඇත. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් නීරෝගිරම උතුම්ම ලාභය ලෙස දේශනා කළහ. අප සෑම කෙනෙක්ම ආහාර සුදුසු ආකාරයෙන් ලබා ගතේ නීරෝගිකම ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය. ආහාරය දානයක් වශයෙන් අනුනට දී ඔවුන්ගේ කුසගින්නද නිවා පින් රැස් කර ගැනීමද කර ගත යුතු ය. එවිට කායික මානසික සැනසීම ලබා ගත හැකිය.
කොබෙයිගනේ
පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
ගලගෙදර රතනවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment