දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග ටිකට යොමු වෙමු- "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ඒවාට.
අඹ ඇටය පොළොවේ පස් තියෙන තැනක තැන්පත් කළා, හිටෙව්වා වගේ දකින්න ප්‍රතිසන්ධි විඤ්ඤාණය මවු කුසකට පැමිණුණ හැටි, මවුකුසකට බැසගත්ත හැටි. විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මවු කුසකට පැමිණුණා ම, මවුකුසකට බැසගත්තා කියන්නේ හරියට අඹ ඇටය පොළොවේ තැන්පත් කළා වගෙයි.
ඊට පස්‌සේ ඇඹ ඇටයේ තියෙන ගති ටික පොළොවේ තියෙන ඕජා සාරය දෙක ම උදව් කරගෙන ගහක් හටගත්තා වගේ, ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතේ තියෙන "කර්ම ගති" ටික උදව් කරගෙන, බාහිර කන බොන ආහාරයත් උදව් කරගෙන, "විඤ්ඤාණය නිසා නාමරූප" කියන ධර්මාතාවක් හැදෙනවා. හිතේ තියෙන නාම ධර්මවලට අනුව කන බොන ආහාරයෙන් හැදෙන රූපය සකස් වෙනවා. අර අඹ ඇටයේ තියෙන ගතිවලට අනුව, පොළොවේ තියෙන සතර මහා ධාතු රූප කලාප අඹ ඇටයේ තියෙන ගති ටිකට අනුව රැස් වීම තමයි අඹ ගහ කියලා හැදෙන්නේ.
ඒ වගේ කන බොන ආහාරයෙන් හැදෙන, මව ගේ කුසයේ ඉඳලා මව ගන්න ඕජා ගුණයේ ඉඳලා ම අයිති කබලිංකාර ආහාරයට. ඒ කබලිංකාරාහාරය "සිතේ තියෙන කර්ම ගතිවලට අනුව" තැන්පත් වෙනවා. රැස් වෙනවා. එතකොට කියන්නේ "විඤ්ඤාණය නිසා නාම රූප වෙනවා" කියලා. දැන් විඤ්ඤාණයකුයි නාම රූපයි දෙකක් දකින්න එපා. විඤ්ඤාණය කියන කාරණය "වැය වෙලා" තමයි නාමරූප කියන කාරණාව හටගන්නේ. අඹ ඇටයකුයි, ගහකුයි දෙකක් දකින්න එපා. අඹ ඇටය වැය වෙලා තමයි ගහ කියන එක හදලා තියෙන්නේ.
එතකොට අඹ ඇටය වැය වෙලා තමයි කිව්වා වගේ, විඤ්ඤාණය කියන එක වැය වෙලා, ඒ සිතේ ම උපදින නාම ධර්මවලට අනුව රූප ටික හදමින්, හිතේ තියෙන ගතියට මයි එතකොට රූප ටික හැදෙන්නේ. අඹ ඇටයේ තියෙන ගතියට මයි අර මහාභූත රූප කලාප රාශි වෙන්නේ. හිතේ තියෙන කර්මජ ගති ටිකට මයි මහාභූත රූප කලාප රැස් වෙන්නේ. ඒ නාමරූප දෙක හැදෙනවා. හැබැයි මුල් කාලයේ දී අංකුරයක් විතරයි, අතු ඉති නැහැ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ප්‍රභේද නැහැ. නාමරූප දෙක විතරයි.
තවත් අඹ ඇටයෙයි ආහාරයෙයි අනුග්‍රහය ලබන කොට තවදුරටත් වැඩිලා අතු ඉති බෙදුණා වගේ, විඤ්ඤාණයේ අනුග්‍රහයත්, ආහාරයේ අනුග්‍රහයත් තවදුරටත් ලැබෙන්නට ලැබෙන්නට නාම රූප දෙක වර්ධනය වෙද්දී ඒකේ අතු ඉති බෙදුණා "ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස" කියලා.
අතු ඉති බෙදිච්ච ගහටත් අර දෙන්නා ගේ අනුග්‍රහය තවදුරටත් ලැබුණා - කන බොන ආහාරයි, සිතේ තියෙන ගතියි. මේ නාමරූප දෙක ටික ටික වර්ධනය වුණා. අපි පොඩි දරුවෙක් හැදෙනවා කියලා කියන තැන මේ නාම රූප දෙකේ වර්ධනයක්. නාමරූප දෙක වැඩෙනවා. කෙනෙක් වැඩෙනවා නො වෙයි, "නාමරූප දෙක" වැඩෙනවා.
හොඳට උස්‌මහත් වුණු කෙනෙක් කියන්නේ හොඳට අතුපතර විහිදිලා හැදිච්ච හෙඳ වෘක්‌ෂයක් වගේ. අපි වැඩිහිටිභාවයට පත් වුණා කියන්නේ හොඳට අතුපතර විහිදිච්ච අඹ ගහක් වගේ, විඤ්ඤාණය නිසා නාමරූප වුණා, නාමරූප දෙක වර්ධනය වෙනවා කියන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන අතු ඉති ටික හැදෙනවා. ප්‍රභේද ටික හැදෙනවා. හැදිලා ඒක හොඳට මුහුකුරා ගියා.
ඒ මුහුකුරන කොට "බාහිර" පරාග පෝෂණය වගේ. "බාහිර" රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම කියන අරමුණු උදව් කරගෙන ස්‌පර්ශය ඇති වෙලා වේදනාවක් හටගන්නවා. හරියට අර ගහේ හැදුණු ගෙඩි වගේ තමයි චක්‌ඛු සමපසසජා වෙදනා, සොත සමපසසජා වෙදනා, ඝාණ සමපසසජා වෙදනා කියන ටික.
දැන් අපි හිතාගෙන ඉන්නවා වේදනාව "මම" කියලා. වේදනාව "මගේ" කියලා. වේදනාව "මගේ ආත්මය" කියලා. අඹ ගෙඩිය කඩලා අතට අරගෙන මගේ කිව්වා වගේ. නමුත් මේ වේදනාව ගත්තොත්, වේදනාව අයිති ස්‌පර්ශයට, ස්‌පර්ශය අයිති ආයතන ටිකට. ආයතන අයිති නාමරූප දෙකට. නාමරූප දෙක අයිති විඤ්ඤාණයට.
එතකොට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටිකෙන් පින්වතුන්ට පෙන්වනවා විශාල දහම් ප්‍රදේශයක්. මේ ආයතන ටික නෙතං මම නෙසොහමසමි න මෙසො අතතා'ති - ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. මේවා නාම රූප නිසයි. එතකොට ඒ නාමරූප දෙක හැදුණේ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිතත්, ආහාරයත් නිසයි කියන ටික කියනවා.
එතකොට ඉස්‌සල්ලා ම මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන ටික අපි දත යුතුයි හරියට කෙනෙක් නො කරන, ඉබේ ම හට නො ගන්න, ආත්මයකින් නො කරන, "හේතුප්‍රත්‍යයෙන් හටගත්ත" වෘක්‌ෂයක් වගේ. ඉබේ ම හටගත්තෙත් නැහැ, කෙනෙක් කළත් නො වෙයි, හේතුඵල දහමක් තියෙන්නේ. එතකොට මේ "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියන අනාත්මයි.
ඔය ටික පටිච්චසමුපපාදයේ විදිහට "විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා" කියලා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඔය ස්‌කන්ධ ටිකට කියනවා "දුක්‌ඛ සත්‍යය" කියලා.
තව පැත්තකින් ඔක වෙන් වෙන් කරලා දෙපැත්තකින් පෙන්වන්නත් ඕනේ නම් පුළුවන්. කනබොන ආහාරයෙන් හැදුණු රූපයත්, පෙර අවිද්‍යා, කර්ම, තණ්‌හාවෙන් හටගත්ත චිත්ත වෛතසික ටිකක් කියල පෙන්වන්න පුළුවන්. මෙතැන දී මට පෙන්වන්න අවශ්‍ය වුණේ වර්තමාන ස්‌කන්ධ ටිත "කෙනෙක් ගේ නො වී" පුද්ගලයකු ගේ නො වී, මේ වගේ "ධර්මතා ටිකක්" කියන එකයි.
ගහක පැවැත්මට උපමා කරලා මම පෙන්නුවේ ගහක තියෙන ස්‌වාභාවික සිද්ධාන්තයෙන් දශමයක් වත් බාහිර නැහැ මේ කය කියන පැත්තේ තියෙන ධර්මතාව. අඹ අටයක් හිටවලා ගෙඩි හැදෙන තැන දක්‌වාත්, "විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාව ඇති වෙන තැන" දක්‌වාත් තියෙන්නේ එක ම එක සිද්ධාන්තයක්. එක ම ධර්මතා ටිකක් විතරයි.
ඉතින් මේ වේදනා හෝ ස්‌පර්ශය හෝ ආයතන හෝ නාමරූප හෝ විඤ්ඤාණය හෝ මම, මගේ නම්, අඹ ඇටය හෝ අඹ ගහ හෝ අතු ඉති හෝ පරාග පෝෂණයෙන් ඇති වන මල් හෝ ගෙඩි හෝ ආත්ම විය යුතුයි. පුද්ගලයෙක් විය යුතුයි, කෙනෙක් විය යුතුයි. ඒවා කෙනෙක් ගේ නො වෙයි, හේතුඵල දහමක් නම්, ස්‌වභාව දහමක් නම් - මේ ටිකත් කෙනෙක් ගේ නො වෙයි, හේතුඵල දහමක්, ස්‌වභාව දහමක්.
නැවතත් අර අඹ ගහේ උපමාවෙන් මම මතක් කරන්නේ තේරුම්ගන්න පහසු නිසා - මෙහෙම ගෙඩි හැදෙන තැන ඉඳලා අඹ ඇටයටත්, අඹ ඇටය හිටවපු තැන ඉඳලා ගෙඩි හැදෙන තැන දක්‌වාත් ඔවුනොවුන්ට උපකාරී, මැදින් හෝ අගින් හෝ වෙනස් කරන්න බැරි, වෙන් කරන්න බැරි, එකට බැඳුණු ධර්මතා ටිකක් තියෙන්නේ "වර්තමානයේ දී".
ඊට පස්‌සේ ප්‍රශ්නයක් ඇති වුණොත් මේ අඹ ඇටය කොහෙන් ද කියලා - අඹ ඇටය හිටවපු නිසයි අංකුරය හැදුණේ. ඒ නිසයි අතු ඉති හැදුණේ. ඒ නිසයි පරාග පෝෂණය වෙලා, මල් හැදිලා, ගෙඩි හැදුණේ. ගෙඩි නැට්‌ටට අයිතියි, නැට්‌ට අතුඉතිවලට අයිතියි, අතුඉති කඳට අයිතියි, කඳ ඇටයට අයිතියි. ඒ ටිකේ ප්‍රශ්නයක් නැහැ.
අඹ ඇටය කොහෙන් ද කියලා ප්‍රශ්නයක් ඇති වුණොත් එතකොට "මෙතැන සිද්ධිය" අතහරින්න වෙනවා. "මීට ඉස්‌සෙල්ලා" ගහක හැදිච්ච අඹ ගෙඩියක් ඇතුළෙයි තිබුණේ. ඒ කියන්නේ එතකොට චතුරාර්ය සත්‍යයේ "සමුදය සත්‍යයට" එනවා.
දුක්‌ඛ සත්‍යය දැක්‌කා - දුක් වූ ස්‌කන්ධ ටික විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා, කියන ටික. මේ දුක් වූ ස්‌කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. සංතෙතන පඤචුපාදානාකඛනධා දුකඛා - උපාදානයට හිත ස්‌කන්ධ ටිකයි දුක. ඒක හේතුප්‍රත්‍යයි. විඤ්ඤාණය නිසා නාමරූප, නාමරූප නිසා ආයතන, ආයතන නිසා ස්‌පර්ශය, ස්‌පර්ශය නිසා වේදනා, වේදනාව කියන තැනත්, ප්‍රතිසන්ධි සිත කියන තැනත් අඛණ්‌ඩයි, එහෙනම් දුකෙඛ ඤාණං කියන කොට සත්ත්ව නො වූ, පුද්ගල නො වූ, අනාත්ම වූ ස්‌කන්ධ ටිකක් කියන නුවණ ආවා.
මේ දුක ඇති වුණේ කොහොම ද? දුක්‌ඛ සමුදය ගැන නුවණ එනවා. ඒ නුවණ ඇති වෙන කොට ම පුබබනෙත ණයට යනවා. දුක්‌ඛ සමුදයට එනකොට පුබබනෙත ඤාණයට යනවා.
අඹ ඇටය කොහෙන් ද කියන කොට පෙර හේතුවට යනවා. පෙර අඹ ගහක හැදුණු අඹ ගෙඩියක් ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ විපාකයකටයි. - "විපාකයක" ඇත්ත නො දැන ඇති කරගත්තා වූ "කර්ම නිමිත්තයි" මෙතැන ප්‍රතිසන්ධියට හේතු වුණේ. එතැනත් ගෙඩියක් ඇතුළෙයි තිබුණේ.
පෙර ජිවිතයේ "විපාකයේ ඇත්ත නො දන්නාකම" නිසා ඇති කරගත්ත කර්ම නිමිත්ත හේතු වුණා විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් මෙතැනට පැමිණෙන්න. පැමිණුණාට පස්‌සේ ආයෙත් ගහක් හැදිලා ගෙඩි හැදෙනවා කියන ටික ආයෙත් වුණා. ඉස්‌සෙල්ලා අඹ ගහේ ගෙඩියක් ඇතුළෙයි මේ ඇටය තිබුණේ. ඒ ඇටෙයි මෙතැන ඇවිල්ලා පැළ වුණේ. පැළ වෙලා ගහක් හදලා ගෙඩි හැදුණේ. දැන් සමුදය සත්‍යය දකිනවා එයා පුබබනෙත ඤාණයෙන් - "පෙර".
ඊට පස්‌සේ අපරනෙත ඤාණයෙනුත් දකිනවා - අද මේ ගහේ හැදෙන ගෙඩි කාලා ඇට ඉතුරු කළොත් මේ ඇටේ ආයෙත් පොළොවේ වැටුණොත්, ආයෙත් අංකුරයක් හැදිලා, අතුඉති හැදිලා, මේ වගේ ම ගහක් හදලා ගෙඩි හදනවා. ඒ වගේ පෙර අවිද්‍යා, කර්ම නිසා මේ විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ඇවිල්ලා ස්‌පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා ස්‌පර්ශ ආයතන හයේ. මේ "විපාකයේ" මේ "ස්‌පර්ශ ආයතන හයේ" අද ඇත්ත ඇති හැටියේ නො දැක්‌කොත්, අද ඇති කරගන්න අවිද්‍යාවෙන් කර්ම කෙළෙස් ඇති කරගත්තොත්, ඒ කර්ම කෙළෙස් නිසා නැවත මේ වගේ ම ප්‍රතිසන්ධි සිතක් හටගන්නවා. හටගෙන නැවතත් මේ වගේ දුක් වූ ආයතන ටිකක් උපද්දවනවා නේ ද කියන නුවණක් එනවා.
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment