සිය මහලු පියාණන් බලු කූඩුවක සිරිකොට බලු පැටවුන් සුමුදු යහන් මත සැතපවූ දුවක් ගැන පුවතක් පසුගිය දිනක ඇසීමු. අහෝ· මේ බුදුන්ගේ දේශයදැයි පවසමින් විස්‌සෝපයට පත්වීම වෙනුවට එහිවූ සමාජ විපත දෙස පැහැසරව බලා පිළියම් යෙදීම නොවේද අප කළ යුතු වන්නේ.
මහලු දෙමව්පියන්ට නොසළකන්නා වසලයෙක් බව බුදුහු දෙසූහ. වසල සූත්‍රයේදී බුදුන්වහන්සේ ඒ පිළිබඳව මෙසේ දක්‌වති.
යො මාතරංවා පිතරංවා
භාකරංභගිණං සසුං
හන්ති රෝසේති වාධාය
නං පඤ්ඤ වසලො ඉති.
මව්පියන් පමණක් නොව සොයුරියන් මයිලණුවන් ආදි සියලු දෙනාම නොතකා හරින්නා වසලයෙක් සේ හැඳින්විය යුතු බව ඒ බුදු වදනය.
අප නිතර සිහිකරන ජනමාධ්‍ය ඔස්‌සේද උදේ සවස ඇසෙන මංගල සූත්‍රයේ සඳහන් වන්නේද මව්පිය උවටැනින්, දූපුතුන්ට සංග්‍රහ කිරීමත්, නිරවුල් කර්මාන්තයන්හි යෙදීමත් මංගල කරුණක් බවය.
බොදු නොබොදු බෙදීමකින් තොරව පුද්ගල සමාජය නිරෝගීව පවත්වා ගැනීමට මේ උපදෙස් කොතරම් අගනේදැයි අමුතුවෙන් කිව යුතු නැත. අද අප අබියස ඇත්තේ සිත් පිත් නැති සමාජයක් බව දසදෙසින් ඇසෙන බොහෝ පුවත්වලින් තහවුරු වේ. ළඳුන්, බිලිඳුන් බිලිගන්නා සමාජයක හැදියාව ගැන කවර කතාද? සොර සිතින් අන්සතු දේ උදුරා අඹු දරුවන් රකින අධමයෝ කොපමණ සිටිත්ද? පොදුජන සම්පත් අවභාවිතය ගැන නැගෙන මැසිවිලි කොතරම්ද? ගංගා, සාගර ඇතුළු සොබා සොඳුරු බව විනාශ කරන අශිෂ්ටයන්ගේ පුවත්ද හිඟ නැත.
සමාජයක් විපතකට වැටෙන්නේ එහි යහ ගුණදම් බිඳෙන් බිඳ වැනසීයැමත් සමගය. පවට බියක්, අපරාධයට පසුබැසීමක් අද නැත. 'අදමින් ජීවත්වෙනවා වෙනුවට දහමින් මිය යනු සොඳමයි දනහට' යන සුබස අද වල්වැදී ඇති සෙයකි.
පියකුගේ සුවඳ නොදත් පිය ගුණයට අඳවූ දියණියක් පවක්‌මැයි. එබඳු දූවරුන්ගෙන් පිරෙන සමාජයක් යනු ගොරතර වනසක්‌මැයි. 'අනේ මගේ ප්‍රිය දියණිය නොවේදැයි කුමරි වියෙහි උර මත දරා සෙනෙහසින් සිඹ සිත සුවපත් කළ පියාණන්ට සුදුසු බලු කූඩුව යෑයි සිතන දූවරු මේ මිහිමතට බරක් නොවෙත්ද? ඒ කුරිරු ළදැඩි දියණියන් වෙනුවෙන් මතු දිනක මේ මහපොළව විවරවී ගිනිදැල් මතුවී ඔවුන් නිරයට ඇද නොයනු ඇතැයි සිතිය හැකිද?
මිනිස් හට සොඳුරු ගුණ නුවණ දෙකම ඇතැයි තවත් සුබසක්‌ද ඇත. එහෙත් මේ කුරිරු ගුණ නොමිනිස් අවගුණ නම් මිනිස් සිත් තුළට නොඒවායි අපි පතමු. පියකුගේ කඳුළ, ඉකිබිඳුම, නොහඳුනනා දූදරුවන්ට යහපත් පැහැපත් හෙටක් නොලැබෙන බව නිසැකය. ඒ ළදැඩි හිත් මුදුව මිනිස් ගුණ සුවඳ උතුරා ගලන සමාජයක් සඳහා බුදුමඟ වෙතට නැඹුරු වන මෙන් අපි ඔබට අයෑදිමු.
2015 ඔක්තෝබර් 27 වැනිදා ඉරිදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment