Labels

Thursday, November 26, 2015

ඔබත්, යහපත් නිවසක හිමිකරුවකු වන්න



බුදුරදුන් සදෙසා වදාළ නිවාස පහ

 මිනිස්‌ ප්‍රජාවගේ ජීවත්වීම උදෙසා කාරණා හතරක්‌ විහේෂ වශයෙන් බලපාන බව පෙනේ. එම කාරණා හතර ගිහි පැවිදි දෙපක්‌ෂයටම බලපාන කරුණුය. නමුත් පැවිදි පක්‌ෂය තුළදී මේ කාරණා හතර වෙනත් නම්වලින් හඳුන්වන නමුත් අර්ථයෙන් එකහා සමානය. ගිහි ජීවිත ගතකරන අපට ජීවත්වීම සඳහා ඇඳුම්, පැළඳුම්, ආහාර-පාන, ගෙයක්‌-දොරක්‌ මෙන්ම ලෙඩ රෝග සඳහා බේත් හේත් අත්‍යවශ්‍ය වේ. පැවිදි ජීවිතය තුළදී එම කාරණා චීවර, පිණ්‌ඩපාත,
සේනාසන, ගිලාන ප්‍රත්‍ය නමින් අර්ථ ගැන්වේ. මේ කාරණා හතර පොදුවේ සිව්පසය ලෙස හැඳින්වෙයි. මේ කවර ආකාරයෙන් ගෙන බැලුවද අන් කවර දේ අඩුවැඩි වශයෙන් තිබුණද නිවහනක්‌ අත්‍යවශ්‍යය.

මේ පිළිබඳව අප බුදුරජාණන් වහන්සේ 'පංචපාද' සූත්‍රයේදී ඉතා වැදගත් කරුණු රැසක්‌ හෙළිකර ඇත. පැවිදි පක්‌ෂය අතින් ගත් කල උන්වහන්සේලා ධර්මදූත සේවයේ හෝ පිණ්‌ඩපාත චාරිකාවේ යෙදී සිට නැවත ළඟාවනුයේ තම තමන්ගේ ආරාමවලටය. නැතහොත් කුටිවලටය. ගිහි පිරිස දිවා කාලයේ තම තමන්ගේ දෛනික කටයුතු නිමවා රාත්‍රිය ගත කිරීමට ළඟාවනුයේ තම නිවසටය. දිවා කාලයේ ගත කළ විඩාබර ජීවිතයෙන් තාවකාලිකව මිදෙනුයේ තම නවාතැනට පැමිණ නිදහසේ ගත කිරීමෙනි. ඒ නිසා මේ නවාතැන සුන්දර තැනක්‌ විය යුතුයි. නැතහොත් ඒ විඩාව දෙගුණ තෙගුණ වන නියතය. තම නවාතැනට ළඟාවූ පසු නිදහස හා සතුට නැතිවුවහොත් එය මහත් දුකකි. සමහර විට ජීවිතය පවා එපාවන තරමට කරුණු යෙදේ. මෙය පැවිදි, ගිහි කවර තරාතිරම් අයකුට වුවද පොදු ධර්මතාවකි.

යහපත්, සැපවත්, සතුටුදායක, නිරෝගී ජීවිත ගත කිරීම සඳහා ධර්මානුකූල පදනම වටහාදෙන බුදුරජාණන් වහන්සේ එම නිවහන වර්ග පහකට බෙදා වෙන්කර ඒවායේ ලක්‌ෂණ එකිනෙක විස්‌තර කරමින් පංචපාද සූත්‍රයේදී දක්‌වා තිබේ. ඒ වර්ගීකරණය පිළිබඳව යම් පමණකින් කරුණු දැනගෙන අප අයත් වන්නේ ඉන් කවර කොටසකටදැයි විමසා බලමු.

'පංච පාද' යනු පාද පහ යන්නයි. පාද යන වචනයේ නොයෙක්‌ තේරුම් ඇත. ගණිත විෂය යටතේද 'පාද' යන නම භාවිත වන අතර දෙපාවලටද පාද යන වචනය යෙදේ.නිවසක්‌ ඉදිකිරීමේදී වඩුකාර්මිකයා හෝ පෙදරේරුවා විසින් අත්තිවාරම් සලකුණු කර කරනු ලබන බෙදීමටද පාද බෙදීම යන නම භාවිත කෙරේ. ඒ අනුව නිවසක ඇති පාද මේ සූත්‍රයෙන් අර්ථගන්වා ඇත. එය නිවසට පමණක්‌ නොව තමන් සේවා කරන ස්‌ථානයේ, වැඩිබිමේ ඒකාරාශීව කටයුතු කරන ස්‌ථානය වශයෙන්ද ගෙන විග්‍රහ කළ හැකිය. මෙම 'පංචපාද' යන වචනය සරල කරගැනීම සඳහා නිවාස වර්ග පහක්‌ ගැන අපි මෙනෙහි කරමු. කල්පනා කරමු. ජීවත්වන නිවස වර්ග පහකට බෙදා දක්‌වන බුදුරජාණන් වහන්සේ බුද්ධ පාද, දේව පාද, යක්‌ෂ පාද, භූත පාද සහ ප්‍රේත පාද ලෙස දක්‌වමින් එම නිවාසවල ජීවත්වන අයගේ හැසිරීම් රටාව, ක්‍රියාකාරකම් හා පරිසරය ගැනද මැනවින් කරුණු විස්‌තර කර ඇත. ඒ පිළිබඳව කෙටියෙන් සලකා බලමු.

බුද්ධ පාද නිවස

මේ නිවසේ ජීවත්වන පිරිස නිති පන්සිල් සුරකින ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතු පිරිසකි. ඔවුහු දිනපතා උදේ සවස මල් පහන් පූජාකරන අතර රාත්‍රී කාලයේ සියලු දෙනා එක්‌වී පිරිස්‌ සඡ්Cධායනා කරති. නැතහොත් නව තාක්‌ෂණය මගින් පිsරිත් සූත්‍ර විසුරුවා හරිති. උදේ සහ දවල් බුදුරජාණන් වහන්සේ උදෙසා ආහාර බුද්ධ පූජාව පවත්වති. ඉඩලද අවස්‌ථාවල විහාරස්‌ථානය කරා ගොස්‌ බෝධි පූජා, බුද්ධ පූජා පවත්වති. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට මෙන්ම යාචකයන්ට දන්දෙති. ගරුතර මහා සංඝරත්නය හොඳින් ඇසුරු කරන අතර, උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත කටයුතු කරති.

මොවුහු ධර්මානුකූලව ජීවිත ගතකරන්නේ බාහිර සමාජයට පෙන්වීම සඳහා නොව ඔවුන්ගේ මෙලොව, පරලොව ජීවිත සැපවත් කර ගැනීම සඳහාමය. මවුපිය දෙපළ ඉතා කාරුණිකය. සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග හා සම ප්‍රඥ යන ගුණයන්ගෙන් යුක්‌ත ඔවුහු නිහතමානීය. තම දරුවන්ද එම අඩිපාරේම යමින් ඔවුන්ද දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට කීකරුව කටයුතු කරති. මේ නිසා මේ නිවස නිතරම සතුට වපුරුවා හරියි. සිනහවෙන් පිරී ඇත. දවසේ වැඩ දවස තුළ නිමා කරති. මිහිරි හඬින් නිතරම කතාබහ කරති. මෙවැනි පවුලක්‌ ජීවත්වන නිවස බුද්ධ පාද නිවසක්‌ බව බුදුන් වහන්සේ දක්‌වා ඇත. දැන් ඔබේ නිවසත් මෙවැනි නිවසක්‌දැයි සිතා බලන්න. අඩුපාඩු තිබේ නම් ඒවා සකස්‌කර ගැනීමට කටයුතු කරමු.

දේව පාද නිවස

තමන් ජීවත්වන නිවස හා පරිසරය හොඳින් පිරිසිදුව තබාගනිමින් තුණුරුවන් උදෙසා මල්පහන් පූජා කරමින් දෙවියන්ට පිං අනුමෝදන් කරමින්, මව්පියන් හා දූදරුවන් පන්සිල් ආරක්‌ෂාකරමින් සිල්වත්ව කටයුතු කරන නිවස දේව පාද නිවසකි. මවුපියන්ගේ හා දූදරුවන්ගේ කථාබහ ප්‍රියජනකය. ඔවුන්ගේ සිත්වල වෛරය නැත. ක්‍රෝධය නැත. නිතරම මෛත්‍රී සිතින්ම කටයුතු කරති. නිතර පිරිත් දේශනා කරන මෙම නිවස තුළින් ඇසෙන පිරිත් හඬට දෙවියෝ පවා සවන් දෙති. ඒ නිසා ඔවුන් මෙම නිවසට නිතර ආරක්‌ෂාව සලසා දෙති. ඒ නිසා නිවසේ ජීවත්වන අයට සොර බිය, ගිනිබිය, ජල බිය හා වෙනත් සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රවවලින් තොරව ජීවත්වීමට අවස්‌ථාව ලැබේ. ඒ නිසාම ඔවුන්ගේ දියුණුව ඇති වේ. හොඳින් සිල්වත් ජීවිත ගතකරන අයට දෙවියන් පවා වඳින බව බුදුන්වහන්සේ දේශනා කර ඇති අතර සක්‌දෙවිඳු වරක්‌ එය ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලදී. නිතර දන්දෙන, පින්කම් කරන, යහපත් වචන කතාකරන, මෙවැනි නිවාස දේව පාද නිවසක්‌ බව බුදුරජාණන් වහන්සේ විස්‌තර කර ඇත. ඔබේ නිවසේ අඩුපාඩු ඇත්නම් ඒවා මඟහරවාගෙන ඔබේ නිවසත් 'දේව පාද' නිsවසක්‌ බවට පත්කර ගැනීමට කටයුතු කරන්න.

යක්‌ෂ පාද නිවස

යක්‌ෂයින් අප දැක නැත. එහෙත් යක්‌ෂයන්ගේ හැඩරුව, කතාබහ හා සැඩපරුෂ බව ගැන ධර්ම දේශනාවලදී අසා ඇත. ඒ නිසා යක්‌ෂයින් ගැන යම් තරමක අවබෝධයක්‌ අපට ඇත. මේ වචනය ඇසෙන විට අපට ඇතිවන්නේ බියකි. සමහර නිවෙස්‌වල ජීවත්වන අම්මා, තාත්තා ඔවුන්ට කතා බහ කරන්නේ යක්‌ෂ භාෂාවෙනි. තාත්තා, අම්මාට කතාකරන්නේ යකෝ, යක්‌ෂණිය නම යොදාගෙනය. (යකෝ මෙහෙ වරෙන් ආදී වශයෙනි). අම්මා, තාත්තාට කතා කරන්නේත් ඒ අයුරිනි. එපමණක්‌ නොව අම්මා, තාත්තා තම දරුවන්ට කතා කරන්නේද මේ යක්‌කු, මේ යකා මේ යක්‌ෂණී ආදී වශයෙනි. සමහර විට දරුවනුත් අම්ම, තාත්තාට එම වචනවලින් කතාකරන අවස්‌ථා නැතුවා නොවේ. ඒ කතාකළ අයුරින්ම අන් අයට හැඟෙන්නේ ඒ ගෙදර යක්‌ෂ ගෙදරක්‌ ලෙසිනි. එපමණක්‌ නොව ඔවුන්ගේ කටයුතුද ඒ පරිද්දෙන්මය. ඔවුනොවුන් නිතර බැණ ගනිති, රණ්‌ඩුවෙති, සමගියක්‌ නැත. නිවසේ කිසි පිළිවෙළක්‌ නැත. හැමදෙයම අපිsළිවෙළට සකස්‌වී ඇත. ඔවුන් නිවසින් පිටවී යන්නෙත් නැවත නිවසට ඇතුල්වන්නෙත් තරහින්, කෝපයෙනි. මේ යක්‌ෂ පාද නිවසක ලක්‌ෂණ කිහිපයක්‌ පමණි.

නිවසේ දෙවියන්ට බුදුන්ට පහනක්‌ දල්වන්නේ නැත. මලක්‌ පිදෙන්නේ නැත. උපයන දෙයින් කෑමට බීමට වැය කරනවා පමණි. පිනක්‌ දහමක්‌ කරන්නේද නැත. මේනිවසට පිටස්‌තර උදවිය පැමිණෙන්නේ නැත. මේ නිවසේ අය අන් අය සමග සම්බන්ධකම් පවත්වන්නේද නැත. අඳින ඇඳුම් පවා පිළිවෙළකට, පිරිසිදුව අඳින්නේ නැත. ඔබේ නිවස මේ ආකාර යක්‌ෂ පාද නිවසක්‌ සේ සකස්‌ කර නොගෙන යහපත් නිවසක්‌ කර ගැනීමට උත්සාහ කරන්න.

භූත පාද නිවස

සමහර නිවෙස්‌වලින් නිතර අසන්නට ලැබෙන්නේ අගහිඟකම් හා නැතිබැරිකම් ගැනයි. කොතෙක්‌ මුදල් උපයනු ලැබූවත් අගහිඟකම්වලින් අඩුවක්‌ නැත. උපයන මුදලට වඩා වැඩියෙන් අනවශ්‍ය දේවලට වැයකරන නිසයි මෙහෙම වෙන්නේ. එමෙන්ම පෙර ආත්මවල කරන ලද අකුසල් නිසයි. ඒ බව තේරුම් නොගන්නා මොවුන් ගෙදරට ගෙනෙන මුදල් බාහිරවයා ගිලිනවා, භූතයො ගන්නවා කියා විශ්වාස කර යන්ත්‍ර - මන්ත්‍ර - ගුරුකම් කරවා ගනිති. එයින් සිදුවන්නේ තව තවත් අසහනයකි. භූතයින් සඳහා නිතර පහන් දක්‌වති. තොවිල් කරති. මේ භූත පාද නිවසක මූලික ලක්‌ෂණයි.

මෙවැනි නිවෙස්‌වල හැමදාම ලෙඩ්ඩුය. ලෙඩ ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා තව තවත් ලෙඩවෙති. මෙවැනි භූත පාද ගෙවල්වල බොහෝ අවස්‌ථාවල අම්මා, තාත්තා අතර කතාබහ නොමැත. දරුවන් අතර කතාබහ නැත. භුතයින් සේ කාලය ගත කරති. ආගමක්‌ නොඅදහති. යහපත් අය ඇසුරු නොකරති. යහපත් වැඩවල නොයෙදෙති. ඒවාට උදව් උපකාර නොකරති. ඉතින් ඔබේ නිවසත් මේ ආකාරයෙන්ද? උත්තරය 'ඔව්' නම් අදම නිවැරැදි කරගන්න. තෙරුවන් ගුණ කෙරෙහි විශ්වාසය තබමින් පන්සිල් ආරක්‌ෂා කරමින්, සත්පුරුෂ ආශ්‍රය කරමින් කටයුතු කරන්න. ඔබේ නිවසත් දියුණුවට පත්වේවි.

ප්‍රේත පාද නිවස

මේ නිවසේ ඇතුළත පමණක්‌ නොව පිටතද කිසිදු පිරිසිදුකමක්‌ නැත. මිදුලත් අපිරිසිදුය. එළුවා,බල්ලා, බළලා, කුකුල්ලු ආදී හැම සතුන්ම ගෙදර ඇති කරති. බොහෝවිට උන් සිටින්නේ ගේ ඇතුළේය. උන් මිදුල පමණක්‌ නොව ගෙයද අපිරිසිදු කරති. ගේ වටා දුගඳ හමයි. හරියට අමු සොහොනක්‌ බඳුය. නිවස තුළ කිසි පිළිවෙලක්‌ නැත. ගෙයි මුළුවල හා තැන තැන කිළිsටි ඇඳුම් ඇත. ඒවායින් නිකුත්වන දුගඳ දසතම පැතිරේ. කුස්‌සියද එබඳුය. හැමතැනම හැලි වළං ඇත. දින ගණනාවකින් සෝදා නැති හැළි වළං හා පිඟන් ගොඩගසා ඇත. අපායක්‌ බඳුය. නිවසේ හැමතැනම මකුළුදැල් බැඳ තිබේ. කුස්‌සියේ අපිරිසිදුකම නිසා කැරපොත්තන් වැනි සතුන් පමණක්‌ නොව තෙල් කූඹි හා කළු කූඹි නිවස අරක්‌ගෙන ඇත. ජීවත්වන අයගේද පිරිසිදුකමක්‌ නැත. අඳින්නේ වැරහැලිය. හොඳ ඇඳුම් තිබුණත් ඒවා අඳින්නට පිනක්‌ නැත. ඔබේ නිවස ප්‍රේත පාද නිවසක්‌ බවට පත් නොකර පිරිසිදු නිවසක්‌ බවට පත් කරගන්න. එවිට නිරෝගී, යහපත් ජීවිත ගත කළ හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකය. ඒ බව සිතා මේ 'පංචා පාද' සූත්‍රයේ අඩංගු කරුණු කෙරෙහි සැලකිලිමත්වී යහපත් නිවසක්‌ ගොඩනගා ගැනීමට වෙර දරන්න.



ගුණපාල කාරියවසම්

2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment