අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි
අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අශ්‍රැතවත් පෘතග්ජන වූ අප විසින් මේ ජීවිතය පවත්වා ගැනීමේ දී භෝග සැපයීම පිළිබඳව, භෝග සම්පාදනය කර ගැනීම, ජීවිතය, ඉගෙනීම, ඇඳුම් පැළදුම්, ආහාරපාන, නිවාස, බෙහෙත් හේතේ ආදී වූ භෝගයන් සම්පාදනය කරගත යුතුවන ආකාරය, මේ ආකාරයෙන් පැහැදිලි කර වදාළේය.
උට්ඨානවිරියා දි ගතේ හි භෝගේ හි
බාහාබල පරිචිතේ හි සේදා වක්ඛිත්තේ හි
ධම්මිකේ හි ධම්ම ලද්දේ හි
උට්ඨාන වීර්යයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය වගුරුවමින්, ධර්මානුකූලව, ධර්මයෙහි ම පිහිටා සිටිමින් ධනය හෙවත් භෝග සම්පාදනය කරගත යුතු බවයි මෙහි දක්වා තිබෙන්නේ
මේ අනුව සම්මුතිය තුළ ඔබට ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීම සඳහා මිල මුදල්, නිවාස, ඇඳුම් පැළඳුම්,ආහාරපාන, බෙහෙත් හේත් සම්පාදනය කරගත හැකියි. තවත් සරලව සඳහන් කළොත් කිසිවිටකවත් පස් පව්, දස අකුසල්වලට යොමු නොවිය යුතුයි. මේ පස් පව්, දස අකුසල් සිද්ධ කරන්නේ තමා නිසා, ස්වාමියා, බිරිඳ, දරුවන් හා දෙමාපියන් නිසා හෝ යැයි පැවැසීමට ඔබට හැකියාවක් නැතිවිය යුතුයි. එනම් සියල්ල අනිත්‍ය වූ ලෝකයක් තුළ පස්පව්, දස අකුසල්වලට යොමුව භෝග හෝ ධනය හෝ මිල මුදල් සොයන්නට යෑමෙන් සිදුවන්නේ, මෙලොව ජීවිතයට ලාමක පාප ධර්ම රැස්වීම හා පිරිහීමකට ලක්වීමයි. එලෙසින් ම අනිවාර්යයෙන් ම පරලෝක ජීවිතය සතර අපායේ ඉපදීමට අවස්ථාවක් සලසා ගැනීමයි.
මේ අනුව සීලයේ පිහිටා සම්මුතියෙහි මිල මුදල් හෝ භෝග සම්පාදනය කරගෙන ඔබට ඔබේ ජීවිතය සංතෘෂ්ටියෙන් පවත්වා ගැනීමට හැකියි. නැවතත් සරලව සඳහන් කළොත් ප්‍රාණඝාත ආදී පස් පව්, දස අකුසලයන්ගෙන් බැහැරව ඔබට මේ භෝග, ධනය සම්පාදනය කරගත හැකියි. ඒවා එසේ සම්පාදනය කරගත්තත් මේ සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව කියන පරමාර්ථ ධර්ම කතාව ඔබ විසින් අනිවාර්යෙන් ම මෙනෙහි කළ යුතුයි. ඒ පරමාර්ථ සත්‍යයට ඔබේ සිත පුරුදු කළ යුතුයි. පුහුණු කළ යුතුයි. එසේ නොමැති වුවොත් ඔබ ධර්මානුකූලවම, ඔබේම උත්සාහයෙන්, දෑතේ බාහු බලයෙන්, දහදිය මුගුරු වගුරුවා ලැබූ ධනය කෙරෙහි පවා ලෝභය, විෂම වූ ලෝභය පවත්වාගත හැකියි. තමාම උපායගත් ධනය පරිහරණය නොකොට ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවන් වශයෙන් ඔවුනොවුන්ගේ ප්‍රයෝජනය පිණිසවත් නොයොදා දැඩි ආශාවකින්, විෂම වූ ලෝභයකින් ජීවත්ව ඒ ධනය මෙලොව තබා ඔබ මිය යා හැකියි.
එපමණක් නොව බොහෝ භෝග තබාගෙන දුක්විඳිමින් කඳුලින් ශෝකයෙන් යුතුව කාලය ගත කරන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. එමෙන් ම මහා භෝග ලබාගෙන ඒ මහා භෝග ගොඩගසාගෙන ඒවා පරිහරණය නොකොට ඒවා රැකගැනීම පමණක් කරමින් මුරකරුවෙක් බවට පත් වී දුක්විඳින නොනිදා සිටින සැකයෙන්, බියෙන්, ජීවත්වන පුද්ගලයෙක් බවට පත්විය හැකියි. අවසාන ප්‍රතිඵලය නම් සිතෙහි දැඩි වූ ලෝභය, සැකය, බිය, තරහව නම් වූ බොහෝ කෙලෙස් පමණක් රැගෙන අන්‍යයන්ගේ ප්‍රයෝජනයට එකතු කළ ධනය මෙලොව තබා, අන්‍යයන්ගේ ප්‍රයෝජනයට අවස්ථාව සලසා දී මිය යා හැකියි. මිය යන ඔහු හෝ ඇය සතර අපායේ අනිවාර්යයෙන් ම උපදින්නට හේතුවක් කර ගත හැකියි. මේ නිසා ඔබ විසින් තේරුම් ගත යුතු සත්‍ය කරුණු දෙකක් ඇත. එනම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍යයයි.
පරමාර්ථ සත්‍යයට අනුව සියලු සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවයි. ඒ අනුව ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සැදුම් ලත් මම, ඔබ කියා හඳුන්වන එසේ නැතිනම් සත්වයා, පුද්ගලයා කියා හඳුන්වන මේ ශරීරයත් ඒ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්. පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වා ම ගලපා බලන්න, සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කායානුපස්සනාව යටතෙහි පටික්කූල සංඥා වෙහි පෙන්වා දෙන ආකාරය මෙසේයි.
ඉමමේව ඛායං උද්ධං පාදතලා
අධෝ කේස මත්ථකා
තචපරියන්තං පූරං නානප්පකාරං
අසූචිනෝ පච්චවෙක්ඛති
පාදාන්තය පටන් හිස්මුදුන දක්වාම ගලපා බලන විට නොයෙක් විදියෙන් අපවිත්‍ර දැයෙන් පිරුණු මේ ශරීරයෙහි මගේය හෝ මමය, මාගේය කියා උපාදානය කරගත හැකි කිසිවක් නැත්තේය.
අපගේ සරල වචනයෙන් සඳහන් කළොත් දවසකට කීපවතාවක් කවා, පොවා, නහවා පිරිසුදු කරමින් කැඩපත ළඟ හැඬ බැලුවත් දිරාගෙන යන විට මේ ශරීරයේ රෝම කූපයක තරම් සැබෑ අයිතියක් නැති බව ඉතාම පැහැදිලියි. මේ රටේ පමණක් නොව ලොව පුරාම ලක්ෂ සංඛ්‍යාත හෝ කෝටි සංඛ්‍යාත පිරිසක් ලෙඩදුක් ඉදිරියේ දරාගන්නට බැරිව මෙසේ දුක්විඳින්නට ඇයි ද? මම ඉපදුණේ කියමින් දුක්වෙන හැටි, හඬන හැටි, නොනිදා සිටින හැටි ඔබ අසා තිබෙන්නට පුළුවනි. එසේ නොමැති නම් ඔබ බොහෝ කෙනෙකුට එවැනි අත්දැකීම් ඔබේ ම ජීවිතවලින් මෙනෙහි කරන්නට පුළුවනි. පරමාර්ථ වශයෙන් සිහිපත් කරන විට එසේ හට අරගෙන වෙනස්වෙමින් බිඳීයන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් යමක් සැබෑ අයිතියක් තමාට නැතිනම් කුමක් හෙයින් මෙලොව, යමක් මගේ කරගන්නේ ද? මට අයිති යැයි, මගේ පාලනයක් තිබේ යැයි සිතින් අල්ලාගෙන ජීවිතය පවත්නේ ද පරමාර්ථ වශයෙන් පුරුදු කරන ලද සිතකට සම්මුතිය තුළ සතුටින් ගත කරන්නට අවස්ථාවක් සලසා ගන්නේ කෙසේ ද? පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නා සිතකට සම්මුතියෙහි පිහිටා සතුටින් ජීවිතය පවත්වා ගන්නේ කෙසේ ද? දහමේ පෙන්වා දෙන මේ නිදසුන ගැන මෙනෙහි කොට බලන්න.
“විශාල අගාධයක් හෝ ප්‍රපාතයක් සමීපයට ගොස් එහි අත්වැලක් හෝ ආරක්ෂාවක් නැතිව එබී බලන අයෙක් තම ශරීරය සමබරව, අගාධයට ඇඳ නොවැටී පවත්වාගන්නේ කෙසේ ද? මනා වූ සිහියෙන් ශරීරය පිටුපසට ම බර කරගෙන අර ප්‍රපාතයට හෝ අගාධයට එබී බලන්නේ ය. සතිය නොමැති වුණොත් ශරීරය පිටුපසට බරකර ගැනීම පවත්වා ගන්නට නොහැකි වුණොත් සැබවින් ම ඒ පුද්ගලයා ඒ ප්‍රපාතයට හෝ ආගාධයට ඇද වැටිය හැකියි.” ඒ ජීවිත විනාශයකි. මේ නිසා අනිත්‍ය වූ ලෝකය තුළ ජීවත්වන හැම අයෙක් ම පරමාර්ථ ධර්මය මතකයේ තබාගෙන අනතුරින් බේරෙන්නට කය පිටුපසට බරකර ගෙන ප්‍රපාතයට එබී බලනවා සේ සම්මුති ලෝකය තුළ ජීවිතය පැවැත්විය යුතුයි. සම්මුති ලෝකයේ සැබෑ කතාව නම් සොම්නසින් දුටුවත් රුව එය බොහෝ දුක්ගෙනෙන වධයක් නැතිනම් බොහෝදුක් දෙන වධයක් හෝ මරුවෙක් හා සමානයි. පරමාර්ථ ධර්මයෙන් පුරුදු නොකරගත් මේ සිත රුව දෙස බලන්නේ සොම්නසින් පිරිපුන් වූ සිතකින්මයි.
මේ අභාවිත සිත් ඇති තැනැත්තා ප්‍රිය රූපයෙහි ඇලෙනවා. අප්‍රිය රූපයේ ගැටෙනවා. එහෙත් ඒ ප්‍රිය රූපය වෙනස්ව යන විට එය වධයක් මහා දුකක් බව දැනෙන්නට පටන් ගන්නවා. අකැමැති රුවෙහි ගැටෙන විටත්, එය මහා වධයකි. මහා දුක්ඛ වේදනාවකි. එය අකැමැති රුවට ඇති වුණු අකැමැත්ත පටිඝය, තරහවක්, වෛරයක්, පළිගැනීමක්, බවට පත්වුණාම දෙලොව ජීවිතය ම මහා විපතක් ගෙන දෙන මූල හේතුවක් බවට පත්වෙනවා.
මේ නිසා සම්මුති ලෝකයේ හෙවත් ඔබගේ ජීවිතවල ඇසට සොම්නස ලබා ගැනීම ස්වභාවිකයි. ධර්මයට අනුව සඳහන් කළොත් සොම්නසින් රුව දෙස බලන්න. එහෙත් ඒ රුව සදාකාලික නොවන බව මෙනෙහි කරන්න. කායික, වාචසික සංවරයෙන් යුතුව යම් රුවක් ඇසෙහි හටගත්තොත් එය කිසිවිටකවත් රාගයකින් හෝ ද්වේෂයකින්, මානසික පීඩාවක් ලබා නොදෙන බව භාවිත සිත් ඇති සුපසන් හදවතක් ඇති මනුෂ්‍යයෙකුට තේරුම්ගත හැකියි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි
No comments:
Post a Comment