වප්පුර පසළොස්වක පෝය දිනයෙහිදි අප සාකච්ඡා කළේ “නතුම්හ” සුත්‍ර දේශනාව ඇසුරෙන් පෘතග්ජන වූ අපගේ ජීවිත හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳවයි. අද අප මේ සූත්‍ර දේශනා සාකච්ඡාව අවසන් කිරීමට පෙර මෙසේ සළකා බලමු.
සීලයකින් තොරව කටයුතු කරන පුද්ගලයාගේ මනසද දුසිල්වත් බවට ම යොමු වුණ සිතක් සේ දැනෙනවා. එය ධර්මයෙන් පැහැදිලි කරන්නේ,
යත්ථ සීලං - තත්ථ පඤ්ඤා
යත්ථ පඤ්ඤා – තත්ථ සීලං එනම් යම් තැනෙක සීලය තියෙනවා ද? එතැන ප්‍රඥාව තියෙනවා. යම් තැනක ප්‍රඥාව තියෙනවාද? එතැන සීලයක් පිහිටනවා.
එහෙම නම් යම් කෙනෙක් කායික, වාචසික සංවරය නම් වූ සීලයෙන් යුක්තව ලෝකය හා සමඟ ගැටෙන විට ලෝකය හා සමඟ ජීවිතය පවත්වන විට ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට අවස්ථාව සැලසෙනවා. එනම්, අපේ මේ ඇසෙන් ගන්නා වූ අරමුණ කොපමණ ආස්වාදයක්, සොම්නසක් ලබා දුන්නත් එය දිරාගෙන යෑම උරුමයි. එය සදාකාලික වස්තුවක් වෙන්නේ නැහැ. ඇසෙන් දකින සෑම රුවක් කෙරෙහි ම, කනෙන් අසන සෑම හඬක් කෙරෙහි ම ඔබ මේ ලෙසින් මෙවැනි වදන් පෙළක් කියන්නට හෝ නිතරම සිතන්නට යන්නෙ නැති බව සැබෑවක්. එහෙත් පුරුදු කරන ලද මනසෙහි ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සවලට හේතුවන පස්පව් දස අකුසල්වලින් වළක්වා රූපය දෙස බලන්නත්, හඬට ඇහුම්කන් දෙන්නත් ආඝ්‍රාණය ලබන්නත්, රසය විඳින්නත්, කයේ පහසුව ලබන්නත්, සිතිවිලි පවත්වාගන්නත් භාවිත සිත අවස්ථාව සලසා දෙනවා. එසේ නොමැති වුවොත් සොම්නසින් පිළිගත් රුව ඔබේ සිතෙහි තැන්පත්වන්නේ ඔබේ ස්වභාවයට නොගැළපෙන රාගයකින් හෝ රතියකින් යුක්තවීමෙන් හෝ ඔබට නොගැළපෙන මහත් විපත්දෙන තරහවකින්, ව්‍යාපාදයකින්, ඊර්ෂ්‍යාවකින් වෙන්නට පුළුවනි. එසේත් නැතිනම් ඔබට ඔබවත් තේරුම්ගන්නට නොහැකිවෙන ආකාරයෙන් මෝහය හෙවත් මහත් වූ මූලාවකට පත්වීමක් විය හැකියි.
එනම් ඒ රුව මගේ ස්වභාවයට ගැළපුණත්, නොගැළපුණත් මගේමයි. එය මට අවශ්‍ය කරනවා. එය දැන් මට අමතක කරන්නට බැහැ. එය මා ලැබිය යුතුමයි. මෙවැනි වෙලාවක සාදාචාරය නීතිය හා පවත්නා පරිසරය අනුව එය තමාට ලැබිය නොහැකි බව ලබාගත නොහැකි බව සිතට දැනෙන්ට පුළුවනි. එහෙත් අභාවිත සිත සොම්නසින් දුටු රුව, ඇසූ හඬ, ලැබූ ආඝ්‍රාණය, ලැබූ රසය, ලැබූ ස්පර්ශය, සිතිවිලි ඉල්ලා, කරදර කරන්නට පුළුවනි. අභාවිත සිත මීළඟ පියවර තබන්නේ කුමන දුක්ඛ දෝමනස්සයකට මුහුණ පෑවත්, යම් විටක ඊළඟ භවය, නිරයක වැටුණත් මේ සැපයයි දෙන මේ වස්තුව තමා සතුකරගත යුතු බවම කියන අදහසිනි. ලෞකික වශයෙන් සදාචාරයට එරෙහිවීම හෝ විරුද්ධව යාම නිසා ඇතිවන ගැහැට දුක්ඛ දෝමනස්ස අප්‍රමාණ විය හැකියි. එම පුද්ගලයාගේ පවුල් පරිසරය මුළු මුණින්ම විනාශ වී යා හැකියි. සමාජය තුළ නින්දා ලබන දෝස දර්ශනයට ලක්වන පාපී පුද්ගලයෙක් හැටියට නම් ලද හැකියි. එමෙන් ම නීතිය ඉදිරියේ සිරගෙයි වැටී දඬුවම් ලබන, “මත්ස්‍යයන් නැති දිය සිඳීගිය විලක් ළඟට වී හඬන කොස්වා ලිහිණියෙක් සේ” සිරගෙදරක යකඩ කූරු අතර ජීවිතාන්තය දක්වාම දුක්විඳින පුද්ගලයෙක් බවට පත්විය හැකියි.
මේ නිසා පරමාර්ථ ධර්මය අවබෝධ කරගෙන සම්මුතිය තුළ ජීවිතය පවත්වන්නට සීලය උපයෝගී කරගන්නා විට ඔබට පරමාර්ථ ධර්ම කතාවේ පෙන්වාදෙන සම්‍යක් ප්‍රඥාව ඔබේ සිතට අවබෝධය ගෙන දෙනවා. එවිට සුපසන් ජීවිතයක ඔබ ලබන සතුට ඔබට ලබන්නට පුළුවනි.
මනස සුපසන් වූ මනුෂ්‍යයෙකුගේ මුහුණ ප්‍රසන්න වෙනවා. ඒ මුහුණෙහි පවතින ගැටලුව සුදු ද, කළු ද, දුඹුරු ද යන්න නොවෙයි සුදු, කළු, දුඹුරු සමක් වුවත් මනසේ ඇතිවන ප්‍රභාෂ්වර බව නිසා මුහුණ නමැති කැඩපතින් බොහෝ ප්‍රසන්න බවක් දකින්නට ලැබෙනවා. ඒ නිසා සියලු දෙනා අතර සුපසන් මනුෂ්‍යයෙක් වෙනවා. අර පිරිසුදු සිත නිසා වස්ත්‍ර කිහිපයක් තිබුණත්, පිළිවෙලකටත්, පිරිසුදුවත්, හඳින්න, පළඳින්න තරම් මනසේ ක්‍රියාකාරිත්වයක් ඇතිවෙනවා. බොහෝ ඇඳුම් තිබුණත්, වටිනා ඇඳුම් තිබුණත් ව්‍යාකූල මනසක් ඇති දැඩි ලෝභයෙන්, රාගයෙන් යුතු පුද්ගලයන්ගේ ඇඳුමෙහි පවා පවතින්නේ අසංවර බවකි. ගමනෙහි, කතාවෙහි පවා පවතින්නේ අසංවර බවක්. හික්මුණ සිත්, දමනය වූ සිත් පවා නොහික්මවන්නට, දමනයෙන් බැහැර කරන්නට තරම් ඔවුන්ගේ ඇඳුම, පැළඳුම, ගමන, බිමන, වචනය පවා සකස්වන හැටි බොහෝවිට ඔබට දැකගත හැකියි. පෙරලා ඔවුන්ගේ ම එම වැරැදි චරණය, ඔවුන්ට දුක්දෙන බව ඔවුන් වෙත හඹායන දුක් කරදරවලින් අන් අයට තේරුම්ගත හැකියි.
එම නිසා සුපසන් මනසක් ඇති කරගත්ත යම් කෙනෙක් පරමාර්ථ වශයෙන් දැකගෙන ඔවුන් මේ ජීවිතයේ යහපත් වූ ම සංතෘෂ්ටියක් ලබනවා. යම් විට එය බාහිර ලෝකයේ බලාගෙන සිටින කෙනෙකුට නොපෙනිය හැකියි. එයට හේතුව මේ අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයේ බොහෝ කෙනෙක් සැපයැයි සිතන්නට මානයක් කොට ගන්නේ, එනම් ප්‍රමාණ කොට ගන්නේ, මිම්මක් කොට ගන්නේ මුදල්. එසේ නැතිනම් ගේ දොරයි, යාන වාහනයි, අඳින පළදින, ඇඳුම් පැළදුම් හා මුතු මැණික් ආභරණයි. නමුත් ඒවා සැප නොවන බව තේරුම් ගත යුතුයි. ඒවා සැපයට උදව් කරනවා. හැබැයි සැප පවතින්නේ මනසේ ඇති කරගන්නා අප මෙතෙක් සඳහන් කළ අවබෝධයෙන් ඇති කරගත්ත සංතෘෂ්ටියෙයි. ඒ කතාව වඩාත් පැහැදිලිවන්නේ බොහෝ, ධනය ඇති අය පවා නොනිදා, නමින් මහ මන්දිරවල කදුළුපිරි දෙනෙතින් රැය පහන් කරද්දී දිළිඳු යැයි සාමාන්‍ය ලෝකයා පැවැසුවත් සාමාන්‍ය ගෙදරක සුවසේ නින්දක් ඇතිව රැය පහන් කරන යම් වූ ද පිරිස් දැක ගත හැකියි. සංකල්ප ගොඩනගාගෙන සැප යැයි ගේදොර තුළ දුක් සහගත සිතකින් ගත කිරීමත්, සම්මත ලෝකය තුළ ධනවත් නොවේ යැයි සිතන සාමාන්‍ය යම්තම් සකස්කරගත් නිවහනක එහෙත් යහපත් වූ සිතිවිලිවලින් ජීවිතය පවත්වන පුද්ගලයෙකුත් අතර වඩා යහපත් වන්නේ කුමක්දැයි? ඔබට ම තේරුම් කරගත හැකියි. තියෙනවා, තියෙනවා කියමින් හෝ සිතින් සිතාගත්ත සංකල්පවලට සිරවී මනසින් දුක්විඳ ඉක්මනින් ලෙඩ වී දිරාගොස් මරණයට පත්වීමට වඩා ජීවිතයට අවශ්‍ය තරමට භෝග හා ධනය ලබා ‘යථා ලාභ සංතෘෂ්ටිය’ හෙවත් උත්සාහයෙන් වීර්යයෙන් කටයුතුකොට ඉන්පසුව ලද දෙයින් සතුටු වී ජීවිතය පවත්වන්නට පුළුවනි නම්, එයම වඩා අගනේ නේ දැයි ඔබට තේරුම් ගත හැකිවනු ඇත.
මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ නැවත සිහිපත් කරන්න. ‘ඔය ශරීරය නුඹලාගේ නොවේ. වෙනකාටත් අයිති ද වන්නේ නැහැ. පෙර කරන ලද කර්මයේ ඵලයකුයි. පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකකි. චේතනාව මුල්කොට ඇත්තේ ය. විඳීමට වස්තු විෂය වී ඇත්තේය. එනම් මම, මගේ හෝ ඔබ ඔබේ හෝ මම ඔබේ හෝ ඔබ මගේ හෝ අප අපේ යැයි සම්මතයේ හඳුන්වන සියල්ල ම සම්මතයේ වචන හෝ අදහස් හෝ සංකල්ප කොට්ඨාසයක් පමණක්මයි. පරම සත්‍යයට අනුව මේ සියල්ල ම හේතූන්ගෙන් හටගත්ත ඵලයක දැක්මකුයි. ඒ හේතූන් බිඳී විසිරී යන කොට අර දක්නට ලැබෙන ඵලය ඔබ හෝ මම හෝ ඔබ සොම්නසින් දකින ගෘහයක්, යානවාහනයක් ඇඳුමක් පැළඳුම් හෝ පරිසරය හෝ සියල්ල ම හටගත්තා වගේ ම නැතුව යන්නේ ය. අවසන් වශයෙන් ඔබට සඳහන් කළහැකි දහම් පෙළක් මෙසේයි.
සීලයේ පිහිටා සම්මුතියෙහි ආස්වාදයෙන් ලොව දකින්න. එහෙත් එය සදාකාලික නොවන බවට සිත පුරුදු කොට තබන්න. ආස්වාදයෙන් හඬට ඇහුම්කන් දෙන්න. එහෙත් ඒ හඬ අනිත්‍ය බව සිත පුරුදු කොට තබන්න. නාසයෙන්, සොම්නසින් ආඝ්‍රාණයට ලංවුවත් ඒ ආඝ්‍රාණය මගේ නොකරගන්න. එයට හේතුව වෙනස්වීම උරුම කොට ඇති නිසාය. දිවෙන් ඔබ රස ලබාවි රසයි, ප්‍රණීතයි කියාවි. එහෙත් රස රාගයට හසු නොවන්න. රස රාගය දුක්දෙන බැවිනි. කයේ පහසුව හෙවත් ස්පර්ශය ලබන්න. එහෙත් ඔය කයවත් සැබෑවට ම ඔබට අයිති නැති නම් ඒ ස්පර්ශය ඔබේ වෙන්නෙ, සදාකාලික වන්නේ කෙසේද? යහපත් වූ සිතිවිලි සිතේ සකස් කරන්න. ඔබ කැමැති සිතිවිලි කුසලයක් නම් ප්‍රිය අරමුණක් නම් එය පවත්වන්න. එහෙත් ඒ කිසිවක් සදාකාලික ස්ථිර නොවන බවම ඔය සිත පුරුදු කොට තබන්න. සම්මුතියෙන් පරමාර්ථයටත්, පරමාර්ථයෙන් සම්මුතියටත් පැමිණ ජීවිතය සමානාත්මතාවයෙන් ධර්මයේ හඳුන්වන “ඡත්‍ර මජ්ජත්ථතා” ගුණයෙන් යුක්තව පැවැත්වුවොත් සතුටු සිතින් ජීවිතය පවත්වන ලෞකික ලෝකයේ වෙසෙන බෝධිසත්වයෙක් ලෙස ඔබට ම ඔබේ හදවත දැනෙන්නට පටන් ගනීවි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර්
03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment