වප් අමාවක පොහොය දිනයේ කතා කළ “ගද්දුලබද්ධ” සූත්‍ර දේශනාවට අනුව සිතේ හටගන්නා වූ කාමච්ඡන්දය ගැන විස්තරාත්මකම සාකච්ඡා කළ අප, අපගේ සිතට මීළඟට සිදුවන්නේ කුමක් ද? අර රූපය නම් වූ සංඛතය “උප්පාද ඨිති භංග” වශයෙන් හට අරගෙන වෙනස් වෙමින් නැතුව යන විට ශෝකයට පත්වීමයි. දුකට පත්වීමයි. ළයේ අත්ගසා ගැනීමයි. වැළපීමයි. මුලාවීමයි. මේ විදිහට කනෙන් ලබන ශබ්දයත්, නාසයෙන් ලබන ආඝ්‍රාණයත්, දිවෙන් ලබන රසයත්, කයට හසුවන ස්පර්ශයත්, මනසින් ලබන සිතිවිළිත් ශෝකයකට හේතුවක් කර ගනී.
දුකකට, වැළපීමකට, බලවත් සිත්තැවුල් නම් වූ උපායාසයකට දැවීම් බඳු වූ පරිලාහයකට හේතුවක් කර ගනී. අවිද්‍යාවෙන් යුතු මේ පුද්ගලයා වෙනස්වන ලෝකයේ මේ සංඛාර වස්තූන් මගේය. මම වෙමි, මගේ ආත්මය යැයි සිතමින් එනම් මගේ වසඟයේ පවතිනවා යැයි සිතමින් තෘෂ්ණාවෙන් ම කටයුතු කරයි. එවිට ඇයට හෝ ඔහුට සිතෙන්නේ කුමක් ද? ඇසත් මගේය. ස්ථිරයි. සදාකාලිකයි. ඒ ඇසට හසු වූ රූපයත් මගේ යැයි ස්ථිරයි සදාකාලිකයි. මේ ලෙසින් චක්ඛු විඤ්ඤාණයත්, ස්පර්ශයත්, සැපදුක්, මධ්‍යස්ථ කියන සියලු විඳීම් ද මගේය. මම වෙමි. මගේ ආත්මය කියා දැඩිව සිතාගන්නට පටන් ගනී. එවිට බලවත් වූ තෘෂ්ණාව ඔහුගේ සිතේ හටගනී. මේ තෘෂ්ණාව කාම තණ්හා ඇසෙන් ලබන රූප ආදී පංචකාමයට ඇති ආශාව බවට පත්වේ. භව තණ්හා නැවත නැවත ඉපදෙමින් මේ විදිහට ම කාමයන් ආශ්‍රවකරන්නට කැමැත්තක් ඇතිවෙයි. විභව තණ්හා මින් මතු භවයක් නැහැ. ඒ නිසා මේ ජිවිතයේ ම ඉන්ද්‍රියන් සතුටු කරන්න කැමැත්තක් ආශාවක් ඇතිවෙයි. මෙහි ප්‍රතිඵලය කුමක්ද? මේ සසරෙහි පවත්නා දුක පිළිබඳව සතර අපායේ වැටී ලබන්න සිදුවන කෙළවරක් නැති දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව අවබෝධයෙන් ගිලිහෙනවා. ඒ නිසා ඔහු හෝ ඇය නැවත නැවතත් රාග, දෝස, මෝහ ආදී කෙලෙස්වලින් ම බැඳී පස් පව් දස අකුසල් ආදී පාප කර්මයන්ටම යොමු වෙනවා. ඔහුට හෝ ඇයට භව චක්‍රය නැවතත් සකස්වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් මේ භව චක්‍රයේ පවත්නා දුක, දුකට හේතුවනම් වූ තෘෂ්ණාව දුකින් මිදීම නම් වූ තෘෂ්ණාව නැතිකිරීම හා දුකින් මිදීමේ මාර්ගය නම් වූ සම්මාදිට්ඨියේ පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව අවබෝධයක් නැතිව යයි. මෙය මුලාව මෙන් ම නීවරණ හැටියටත් දක්වයි. එනම් ධර්ම මාර්ගය වසා ගැනීමක් හැටියටත් දක්වනවා. අවිද්‍යාව, මෝහය හැටියටත්, පරමාර්ථ ධර්මයෙහි මිත්‍යාදෘෂ්ඨිය, සක්ඛාය දෘෂ්ඨිය, ආත්මසංඥාව ආදී වචනවලින් විවිධ ආකාරයෙන් සඳහන් කළ හැකියි.
මෙසේ අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාව උපදවාගෙන දුකින් පිරුණු භව චක්‍රයට හසුවී හඬමින් වැළපෙමින් දුවන සංසරණය කරන මේ සත්වයන්ගේ ස්වභාවය ඉතාම දුක්ඛිත එකකුයි. බොහෝ කෙනෙකුට මේ බව අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා දුර්ලභව ලබාගත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය ද කෙලෙස්වලින් පුරවාගෙන භයානක වූ දුකකට වැටීමට මාර්ගය සාදාගන්නවා. යම් කෙනෙක් මෙලොවම නිරයක් බඳු ජීවිතයක් බවට පත්කරගෙන දුක්විඳිනවා. රාගයෙන් හා ද්වේෂයෙන් පිරුණු මනුෂ්‍යයන් ඔහුන්ට ම ඔවුන් කරගන්නා වූ විපත සතුරු අයෙක් තවත් එවැනිම සතුරු අයකුට කරන විපතකට වඩා බරපතල එකකුයි. ඔවුන් දුගතිය පෙනි පෙනී මෙලොව දුක්විඳින පිරිසක් බවට පත්ව සිටිනවා.
මීළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, දම්වැලකින් බැඳුණු සුනඛයෙක් බදිනා ලද කණුවෙහි ඒ වටාම දුවනව ද? පෙරෙළෙනවා ද? අන්න ඒ වගේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා නොදක්නා, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු ඒ වගේ ම සත්පුරුෂයන් නොදක්නා, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශ්‍රැතවත් පෘතග්ජන නමින් හඳුන්වන මේ පුද්ගලයා රූපය ආත්මය වශයෙන් සලකන ආත්මය රූපය ලෙස සලකනවා. ආත්මයෙහිලා හෝ එකතුකොටගෙන රූපය ලෙස සලකනවා. රූපයෙහිලා හෝ එකතුකොටගෙන ආත්මය දකිනවා. මින් අදහස් කරන්නේ කුමක් ද?
සුනඛයාට දුවන්නට පෙරලෙන්නට පුළුවන්කම ලැබෙන්නෙ තමා බඳිනා ලද උල හෝ ටැඹ වටේ පමණයි. එහිම ළගිනවා. එහිම පෙරළෙනව ඒ වටේ ම දුවනවා. මේ වගේ ම අවිද්‍යාවෙන් වැහුණු පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව අවබෝධයක් නැහැ. අඩුම තරමේ අවබෝධ ලබන්නට ශීලයේ පිහිටන්ට ඕනෑකමකුත් නැහැ. ඒක හරියට අපවිත්‍ර දැයෙහි සිටින පණුවෙක් වගේ, අපවිත්‍ර යමක් අහරට සොයන ඌරු දෙනක් වගේ, අපවිත්‍ර දෙයම අවුස්සා සොයන කපුටෙක් වගේ රාග, දෝස, මෝහයේ ඇති නිසරු බව මේ මුලාවට පත් වූ පුද්ගලයාට අවබෝධයක් නැහැ. මේ නිසා මේ පුද්ගලයා ආර්ය ධර්මය හෝ සත්පුරුෂ ධර්මය විදර්ශනා නුවණින් දැකගන්නෙ නැහැ. එයට නිදසුනක් දක්වන්නට පුළුවනි. කවුරුන් හෝ ඇසුවොත් ඔබ ලෙඩවෙන බව දිරාගෙන යන බව, මැරෙන බව දන්නෙ නැද්ද, මේ පුද්ගලයා මෙසේ පවසන්න පුළුවනි. මොකද මම දන්නෙ නැත්තෙ ඉපදුණාම ලෙඩවෙන්න පුළුවන්, දිරාගෙන යන බව මැරෙන බව මම දන්නවා. එසේ පැවසුවත් ඒ පුද්ගලයා තම සිතෙහි අරමුණු ඇස, කන, ආදී ඉන්ද්‍රියයන්ගෙන් පිටකරන්නෙ, එනම් ආවේග පිටකරන්නෙ පස්පව් දස අකුසල් සමගිනුයි. ලෙඩවෙන බව දිරාගෙන යන බව මැරෙනා බව දන්නා කියන පුද්ගලයා ලෙඩ නොවෙන වයසට නොයන, නොමැරෙන පුද්ගලයෙක් හැටියට හැසිරෙන්නට කතා කරන්නට සිතන්නට පටන් ගනී. තමාගේ සිතෙහි අරමුණු ඉටුකර ගන්න, ප්‍රාණඝාත කරයි. සොරකම් කරයි. ඉන්ද්‍රියන් වරදවා සතුටු කරයි. බොරු කියයි. මදයට, ප්‍රමාදයට හේතුවන මත්වතුර පානය කිරීමට පටන් ගනී. නුවණින් බලන අයකුට සිතෙන්නෙ, මේ පාපී පුද්ගලයා අවුරුදු දෙතුන් දාහක් ජීවත්වන්නට උත්සාහ කරන පුද්ගලයෙක් වගේ හැසිරෙන බවයි. තමන්ගේ ශරීරයේ රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් නැති මනුෂ්‍යයෝ හෙවත් සියලු සත්වයෝම මගේය, මමය, මාගේය කියමින් සිතමින් හැසිරෙන ආකාරය සංවේගයකට ම කරුණක් බව පැහැදිලි වේ.
භාග්‍යවතුන් වහන්සේ පැහැදිළි කළ අයුරින් මේ ආර්යය ධර්මය නොදකින ආර්ය ධර්මයේ අකීකරු අවිනීත පුද්ගලයා රූපය ආත්ම වශයෙන් හෝ ආත්මය රූපය වශයෙන් දකී. ඉන් අදහස් කරන්නේ කුමක් ද? අර ඇසට හමුවන රූපය, කනට හමුවන ශබ්දය, නාසයට එකතුවන ආඝ්‍රාණය, දිවට හමුවන රසය, කයට එකතුවන ස්පර්ශය, මනසට එකතුවන සිතිවිලි මමය මාගේය යයි සිතමින් ආත්මවත්කොට ගන්නවා. තමා කර ගන්නවා. තමා කෙරෙහි උපදවා ගන්නවා. එය රූපය, ශබ්දය, ආදී වශයෙන් ආත්මවත් කොට සිතනවා යැයි සඳහන් කළේ. එය තවදුරටත් මෙසේ පැහැදිළි කළ හැකියි. යම් කෙනෙක්, යම් කෙනෙක් දැක ඒ පුද්ගලයා තමයි මම කියන්නෙ ඔහුගෙ පෙනුම, ඔහුගෙ ආකාරය, ඔහුගෙ සිනහාව නිමිති ව්‍යංජන වශයෙන් අරගෙන ඒකට මම කැමැතියි, මගේ ජීවිතය කියන්නෙ එයයි. මගේ ජීවිතය රඳා පවතින්නෙ ඒ මතයි. කෙසේ හෝ එය ලබන්න ඕනෙ. මා සතු කරගන්න ඕනෙ. එවිට මගේ ජීවිතය සම්පූර්ණ යැයි පවසමින් ආත්මවත් කොට සිතයි. ටික ටිකවත් පරමාර්ථ ධර්මයට අනුව එනම් විදර්ශනා නුවණින් බැලුවොත් එය එසේ නොවන බව අවබෝධ විය යුතුමයි. නමුත් මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා අර රූපය ආත්මවත් කොට සිටිනවා. අනිත් ආකාරයෙන් ආත්මය රූපය කොට සිතනවා. ඒ රූපය තුළ මා සැකසෙනවා වගේ ම, මා තුළත් ඒ රූපය සැකසෙනවා යැයි සිතනවා. මට ජීවත්වන්න ඒ පුද්ගලයා, ඒ වස්තුව අවශ්‍ය වගේම ඒ පුද්ගලයාටත්, ඒ වස්තුවටත් මා සිටිය යුතුමයි. මා එහි පැවැතිය යුතුමයි. රූපය යනු මමයි, මම යනු රූපයයි, ඔබ යනු මම යි. මම යනු ඔබයි කියා සිතයි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment