Labels

Friday, November 13, 2015

කිසිදා නොවිඳීන් මෙවන් අපා දුක් (‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 06 )




බුදු දහමෙහි අපාය සංකල්පය  ලිපි මාලා අංක – 05  –  - අපායන්ගේ විවිධ ස්වභාවයන්

 

බුදු දහමෙහි අපාය සංකල්පය යටතේ වප් පුර පසළොස්වක පොහොය දා ලිපියෙන් අප සාකච්ඡා කළේ බුදුදහමේ සඳහන් අපායයන්ගෙන් කිහිපයකි. අද සාකච්ඡා වන්නේ ද එම අපායයන්ගෙන් තවත් කොටසකි.

 

ගූථ නරකය 

 

යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වන මෙහි පැසෙමින් පවතින මළමුත්‍රාදියෙන් පිරී ඇත. එතරම්ම ඉවසීමට නොහැකි දුර්ගන්ධයක් මෙහි ඇත. ඉදිකටු තුඩ හා සමාන විශාල ප්‍රමාණයේ ශරීර ඇති පණුවන් පැමිණ නිරිසතුන් වට කරගන්නා අතර ක්ෂණයකින් ඒ නිරිසතාගේ මස්, ඇට, ඇටමිදුලු යන සියල්ල ඉතා තියුණු තුඩින් ඇණ කා විනාශ කරති. එම නිරිසතුන්ට ආහාර පාන වන්නේ ඔවුන්ගේ මළමුත්‍රය. මෙහි උපදින්නේ ණයකාරයින් වෙත ගොස් ණය ඉල්ලා ඔවුන්ට තාඩන පීඩන කොට ඔවුන් අසහනයට ලක්කොට ණය නොදුන්න හොත් අසවල් අසවල් තැන ඉපිද අසූචි කෑවා හා සමානයැයි අන්‍යයන්ට ශාපකරන අයයි. එමෙන්ම ණය ගෙන එම ණය නොගෙවා දිවුරා තමන් ණය නොගත්තේ යැයි පවසා සොර සිතින් ණය පැහැර හැරි අයද මෙහි උපදී. අත් පා නාසා කන් ආදිය කපා අන්‍යන්ට පීඩා කළ අය ද, මිත්‍රයන්ට ද්‍රෝහී වුණ අය ද මෙහි උපදී.

කුක්කුල නරකය 

 

මෙහි ද දිග පළල ශූථ නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙම නරකයෙහි ගැඹුර යොදුන් තුන් සියයක් පමණ වෙයි. මුවවිට තෙක්ම ගිනිගෙන දැවෙන අඟුරුවලින් පිරී පවතී. මෙහි වැටෙන නිරිසතුන් වැටුණු ක්ෂණයකින්ම පතුළ දක්වා ගිලා බසයි. එයින් මුළු සිරුරම පිළිස්සී අළු බවට පත්වෙයි. එහෙත් කර්ම ශක්තිය ගෙවී නැති බැවින් නැවතත් එහිම ඉපදී නැවත එසේම දුක්විඳියි. මෙහි උපදින්නේ උණුදිය ආදියෙන් හා ගින්නෙන් සතුන්ට පීඩාකොට මරණයට පත්කළ අයයි. එමෙන්ම සිල්වතුන්ට ගරහා කෙළ ගැසූ අය ද මෙහි උපදිති.

කටු ඉඹුල් වන නරකය 

 

මෙහිද දිග පළල කුක්කුල නරකය මෙනි. මෙය වේතරණී ගඟ සමීපයේ පිහිටා ඇති අතර බඹ දහයක් පමණ මහත ඇති කියත් හා සමාන ගිනිගෙන දිලිසෙන දිග කටු ඇති ඉඹුල් ගසින් යුක්ත ඉඹුල් වනයකි. මෙහි කටු දෙපැත්තට පිහිටා ඇත. එනම් සමහර කටු යටට හැරී ඇති අතර සමහර කටු උඩට හැරී ඇත. මෙහි සියලුම ඉඹුල් ගස් මෙසේ සිව් දිගින්ම කටුවලින් වටවී ඇත. මෙහි ඇති ඉඹුල් ගස් සියල්ලෙහි කටු ගිනිගෙන දිලිසෙන නිසා ඈතට දිස් වන්නේ පහන් ගස් මෙනි. මෙහි සිටින යමපල්ලන්ගේ උස යොදුන් පමණ වෙයි. ඔවුන්ගේ නිය හා දත්ද ගව් පමණ වෙයි. රැවුල අසූරියන් පමණ වෙයි. ඇස්බැම ද අසූරියන් පමණ වෙයි. කරත්ත රෝදයක් හා සමාන රතු වූ ඇස් ඇත්තේ වෙයි. මෙහි උපදින නිරිසතුන්ට දඬුමුගුරුවලින් ගසගසා දිලිසෙන කටු ඇති කටුඉඹුලේ නන්වති. එවිට යටට නැමී ඇති කටු ඔවුන්ගේ සිරුර හිල් කරගෙන බසිති. එසේ වුවත් ඔවුහු නොමැරෙති. උඩට නැගුණු පසු නැවත බස්සවති. එවිට උඩට හැරී ඇති කටු ඔහුගේ සිරුරට නැවතත් කිඳා බසිති. ඔවුහු මරහඬ දෙමින් කෑගසති. එවිට යමපල්ලෝ ඔවුන්ගේ අතැති මුගුරුවලින් ගස ගසා නංවති. ගස ගසා බස්සවති. කෙළවරක් නැති දුක් වේදනා ඇති මෙහි උපදින්නේ පර පුරුෂ සේවනයේ යෙදුණු ස්ත්‍රීන් හා පර ස්ත්‍රී සේවනයේ යෙදුණ පුරුෂයන්ය. එසේ කළ පුරුෂයන් හා ස්ත්‍රීන් මෙහි උපදින අතර කටු ඉඹුලට නැංවීමට පෙර දෙපාර්ශ්වයටම ගිනිගත් පළඳනාවක් පළඳවති. මෙසේ ඒ ගිනිගත් පළඳනාව ද දරා කටුඉඹුලේ නගිනවිට ස්ත්‍රීන් ගීතයක් කියයි. එයට වශීවී කන්දෙන පුරුෂයා මඳක් නවතී. එවිට යමපල්ලෝ ඔහුට ගිනිගත් මුගුරුවලින් පන්සියවරක් තළති. එයින් මිය යන ඔවුහු නැවතත් එහිම ඉපදී එලෙසම දුක්විඳිති. මෙහි ආයුෂ ප්‍රමාණය කිව නොහැක.

අසිපත්ත වන නරකය 

 

මෙය ද කටුඉඹුල් නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙය කඩු මෙන් පත්‍ර ඇති ගසින් යුක්ත වූ වනයකි. ගිනිගෙන පිළිස්සෙමින් ඇවිදින නිරි සත්තු සිසිලස පතා මේ ගස් යටට යති. එවිට ම හමා එන සුළඟින් එම ගස්වල පත්‍ර අසිපත් මෙන් ක්‍රියාත්මක වී ඔවුන්ගේ අත්, පා, සිරුර සිඳ මස් ගොඩක් බවට පත් කරති. මෙහි උපදින්නේ සතුන් මරා මස්කොට විකුණු අයයි.

ඛාරෝදක නරකය 

 

මෙහි දිග පළල ද පෙර මෙනි. මේ ඛාරෝදක නරකය ලුණු දියෙන් පිරී පවතී. මෙහි දිය තඹවන් පාටය. අසූචි මුත්‍රාදියෙන් පිරී, පැසී , කැකෑරී පවතින මේ නගරයෙන් හමන දුඟද යොදුන් සියයක් දුර සිටින උන්ගේ වුවද හිස් මොළ පැලී යන තරම් අප්‍රසන්නය. සිල්වතුන්ට අක්‍රෝශ පරිභව කරමින් තමන්ගේ බලය පෙන්වා අසරණයන් මැඩූ අය මෙහි උපදින අතර එසේ උපදින නිරිසතුන් පැසෙමින් පවතින කරදිය හරහා එහි පතුළටම යති.එහි ඇති අවි ආයුධවලින් ඔවුහුගේ සිරුරු දෙපළු වන අතර කර්මශක්තියේ බලවත්කම නිසා නැවත එහිම උපදිති.

ලොහොකු ඹු නරකය 

 

මෙහි දිග පළල ද පෙර මෙනි. යොදුන් හැටක් ගැඹුර ඇති මෙය බඳුනක බහා ලූ තණ පතක් මෙන් ද උඩු යටිව පැසෙන සහල් ඇටයක් මෙන් ද උඩට යටට බහින ස්වභාව ඇති එම නරකයේ ගින්න කල්පය මුල දී හටගත්තාක් මෙන් ඉතා දරුණුය. මෙහි ඉපිද උඩු යටිකුරු වී පැසෙන්නෝ නම්, සෝවාන් ආදී සතර මග පිළිපන් උතුමන් තළා පෙළා හිරිහැරයට පත් කළ අය හා වැදි කර්මයෙන් සතුන් මරා ජීවත් වූ අයයි.

 

වේතරණී නරකය 

 

මෙහි දිග යොදුන් හැටක් ද පළල යොදුන් හැටක් ද වෙයි. හැට යොදුනක් ගැඹුරු මෙහි පැසෙන ලෝදිය නව යොදුන් ඝනකම් ඇති යකඩ පියන සිසාරා එයි. මෙහි සිටින යමපල්ලෝ වේවැල් රැහැන්වැනි කඩුපතින් ද සතරැස් හා අටැස් යකඩ මුගුරුවලින් එහි උපන් නිරි සතුන් තළති. කපති. ඉරති පැහෙන ලෝ දියෙහි ගිල්වති. මෙහි ඇති කටු උල්වල ඇණී නිරිතුන්ගේ මස් ඉරී යති. නැවත කර්ම බලයෙන් ඒවා සැකසෙන අතර කර්මය ගෙවෙන තෙක් මිය යෑමක් නැත. එකිනෙකාට කුලමල කියා අපහාස කළ අය, නිරපරාධ අයට අපරාධ කළ අයද මෙහි උපදිති.

 

සෝණඛාදක නරකය 

 

බල්ලන් ලවා කවා වද දෙන බැවින් මෙය මෙනමින් හඳුන්වයි. මෙහි දිග පනස් යොදුණකි. පළල පනස් යොදුනකි. මෙය වසා ඇති පියන නවයොදුන් ඝනකම් වෙයි. දිග මහත බඳ ඇති ගව් පමණ දිග කකුල් හා ගිනිසිළු මෙන් දිලිසෙන දත් ඇති කලු, සුදු, රතු හා නිල් පැහැ ඇති බල්ලන් විසින් මෙහි ඉපිද දුක්විඳින නිරිතුන්ගේ සම්, මස්, නහර, ඇට කඩ කඩා, බිඳ බිඳ කති. මෙහි උපදින්නේ ඌරන්, මුවන්, සාවුන් වැනි සතුන් බල්ලන් ලවා මැරූ අය, දියෙහි වෙසෙන මත්‍යසයින් දැල් - කෙමි ආදිය යොදා මැරූ අය හා විෂ බෙහෙත් ආදියෙන් සතුන් මැරූ අයයි.



 ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි


බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 07

No comments:

Post a Comment