Labels

Wednesday, November 25, 2015

භාවනාව අතිශයින්ම ගැඹුරු විෂයකි


ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට අනුශාසනා කළ ඒ ධර්ම මාර්ගයේ, ධර්ම ප්‍රතිපදාවේ ප්‍රායෝගිකව යෙදෙන්නට අප අදහස් කරනවානම්, සතිපට්ඨාන දේශනාව භාවනා යමකු සිදු කරන්නේ නම්, ඒ භාවනාවට යෙදෙන්න ප්‍රථම අප දැනගතයුතු බොහෝ කරුණු ඒ තුළ ඇත කියා අප විශ්වාස කරනවා.

අපි කුමන භාවනාවක් කළත්, ඒ භාවනාව පිළිබඳව හාත්පස දැනුමක් ඇතුව යම් භාවනාවක යෙදෙන්න පුළුවන්නම් එය වටිනවා. අප බොහෝ වෙලාවට භාවනා කර්මස්ථාන කාගෙන් හෝ අසා දැනගෙන ඒ අසාගත් පිළිවෙලට භාවිතා කිරීමයි පුරුදු කරන ක්‍රමය. අපට අසන්නට ලැබෙන, අපට කියාදෙන ක්‍රමවිධි බැලුවාම එකිනෙකාට වෙනස් බවකුත් දකින්නට ලැබෙනවා. ඒ නිසා අපට වර්තමාන ලෝකයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ යමක්ද වදාළේ ඒ උන්වහන්සේ වදාළ දේශනා කළ ක්‍රමය කෙසේද කියා සොයා බැලීම, විමසා බැලීම අප කාට කාටත් බොහෝමත්ම ප්‍රයෝජනවත් වෙනවා
භාවනාව කියන විෂය අතිශයින් ගැඹුරු විෂයක්. ඒ වගේම ඒ භාවනාව කියන වචනයෙන් අදහස් කරන සීමාව ස්වල්ප නැහැ. භාවනාව කියන වචනය බෞද්ධයන් වූ අපට පමණක්ම සීමා වූවක් නොවේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නටත් ප්‍රථම ලෝකයේ භාවනා පැවතුණා. එදා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සතර පෙරනිමිති දැක උන්වහන්සේ ජීවිතය පිළිබඳව ලොකු අවබෝධයක් ලැබුවා.

ඡන්න ඇමැති කියා දුන් ධර්මය අහලා උන්වහන්සේ කල්පනා කළා මේ ගතකරන ජීවිතය කුමක්ද?. අද දවසේ මේ සිරුර දෙසින් මහ පුරුෂ ලක්ෂණයෙන්, අසූවක් මහ ලකුණින් යුක්ත වුවත් හෙට වනවිට මේ වගේ දණ්ඩයක ආධාරයෙන් වෙවුල වෙවුල යන්නට වෙනවාම යි. එසේත් නැත්නම් බිම ඇද වැටිලා තව කෙනෙකුගේ ආධාරයෙන් උපකාරයෙන් සෙලවෙන්නවත් නොහැකිව අසරණ බවට පත්වෙනවානම්, තව නොබෝ දිනකින් රෝගියෙක් බවට පත්වෙලා මලමුත්‍රා ගොඩේ වැටිලා අසරණයෙක් බවට පත්වෙන්න වෙනවානම්, නොබෝ දිනකින් මිය ගිහින්, ඉදිමිලා , නිල්වෙලා, ඕජස් ගලලා මළ මිනියක් බවට මේ සිරුර පත්වනාවා නම් මේ රජ ගෙදර සැප කුමකට ද? එයට විසඳුමක් සොයන්නයි රජ මැදුරෙන් පිටවෙන්නේ. උන්වහන්සේ ඒ ගිය ගමනේ දී ආචාර්යවරුන් ගැන කියවෙනවා.

ආලාරකාලාම, උද්දකාරාමපුත්ත ඒ වගේම උන්වහන්සේ පුංචි අවදියේ දකින්නට පැමිණි අසිත තවුසා පිළිබඳවත්. මේ හැම කෙනෙක්ම භාවනා ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා රූපී අරූපි ධ්‍යානතල වලට තමන්ගේ මැනස පත්කරගෙන සිටියා. භාවනාවෙන් ලෞකික ලෝකය තුළ යන්නට පුළුවන් ඉහළම තල දක්වා මනැස වැඩිදියුණු කරගත් අය වුණා.
එසේනම් මනුසත් භව ඉක්මවා දෙව්ලොව, දෙව්ලොව ඉක්මවා රූපි බඹලොව, රූපි බඹලොවද ඉක්මවා අරූපි බඹලොව දක්වා ගිහින් මනැස වඩන්න, දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම එදා තිබුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාරකාලාම තවුසාගෙන් රූපි ධ්‍යාන හතරකුත්, අරූපි ධ්‍යාන තුනකුත් ඉගෙනගෙන සප්ත සමාපත්ති උපදවාගෙන ඉන් නො නැවති උද්දකරාම තවුසා වෙතට ගොස් තවත් අපූරූ සමාපත්ති උපදවාගත් බව අප දන්නවා. තමන් වහන්සේ රජ ගෙදරින් පිටවූයේ යම් අරමුණක් නිසාද, ජරා මරණයෙන් තොර වූ තැනක් එතැන නොවුන බව උන්වහන්සේ හඳුනාගත්තා.

බඹලොව විමසන විට උන්වහන්සේ දුටුවා ඒ ඒ බඹලොව තල ප්‍රතිසන්ධි ලබල පහළවන බ්‍රහ්මරාජයන් ගැන. ඒ වගේ ම උන්වහන්සේට දැක ගන්න ලැබුණා ඒ බ්‍රහ්මවරුන්ගේ ආයුෂ ගෙවිලා චුත වී යන බ්‍රහ්ම රාජවරු. ඉපදීමක් ඇත්නම් මරණයකුත් ඇත්නම් ඒ අතර දිරා යාමයකුත් ඇතැයි උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා මෙතැනත් ජරා මරණයෙන් තොර වූ තැනක් නොවේ ජරා මරණයෙන් යුක්ත තැනක් යැයි කියන අවබෝධයෙන් රැඳෙන්නට සුදුසු තැනක් නොවේ කියන අවබෝධයක් තමන් වහන්සේ සොයාගෙන යන ගමනට එතැන පිළිතුරක් නැති බව සිහිපත් කොට ඒ ආචාර්යවරුන් ප්‍රතික්ෂේප කරමින් ගයා ශීර්ෂයට වැඩම කරවු බව ඔබ දන්නවා.

එසේනම් අපට මතකයි ඒ දක්වා ලෝකයේ භාවනා ක්‍රම තිබුණා. උන්වහන්සේ ඒ සියල්ල අත්හැර ගයා ශීර්ෂයට වැඩම කර දුෂ්කර ක්‍රියා අවදියක් ගෙවා බුද්ධගයා බෝධි මණ්ඩලයේ දී වෙසක් පුර පහළොස්වක පොහෝදින ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති, ශෝක පරිදේව දුක්දොම්නස් නැති උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගත්තා. ඒ මූලික සැපයුම උන්වහන්සේ අවබෝධ කර ගත්තා. එතැන් පටන් උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ පස්වග තවුසන් ප්‍රමුඛ අටලොස් කෝටියක් දෙව් බඹුන් උදෙසා ඒ ජරා මරණයෙන් මිදෙන මාර්ගය වදාළා.

අද දවසේ අප බොහෝ දෙනෙක් භාවනා කරනවා තමයි. නමුත් ඒ භාවනා යම් විදිහකින් එදා සිද්ධාර්ථ බෝසතාණන් අත්හැර ගිය භාවනාව නම්, අදට අප එය නිවන අරමුණු කරගෙන නම් කරන්නේ නිවන අරමුණු වුණාට නිවනට යන්න බැරි දෙයක්නම් අප භාවිතා කරන්නේ එය දුෂ්කරව ලබාගත් මිනිස් ජීවිතය අනර්ථ කිරීමක්. ඒනිසා භාවනාව කියන වචනය අපට සොයන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ අත්හල දේ නොවේ. එතැන අත්හැරලා උන්වහන්සේ ලෝකය තුළ අවබෝධ කරගෙන ලෝකයට කළ දේශනාව තුළින් අපට භාවනාව පිළිබඳව විමසන්න වෙනවා. ත්‍රිපිටකයේ අසිරිමත් දේශනා තිබෙනවා. සමහර අවස්ථාවල ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා පිණ්ඩපාතය පිණිස වැඩම කරලා පිණ්ඩපාතයට වේලාව තිබෙනවානම්, උන්වහන්සේ ආගමික සහජීවනව උදෙසා ආසන්නයේ තිබෙන අන්‍ය තිර්තකයන්ගේ ආරාම වෙත ගිහින් ඔවුන් සමඟ සුවඳ කතාබහක යෙදෙනවා. එහිදී අන්‍ය ශාස්තෘවරු භික්ෂූන් වහන්සේට කියනවා මම මගේ ශ්‍රාවකයන්ට පනවන්නේ, අප භාවිතා කරන්නේ සතර දිසාවට දස දිසාවට අතරක් නැතුව අප්‍රමාදිව මෛත්‍රිය කරුණාව වඩන්නයි. ඒ විදිහටමයි අප භාවිතා කරන්නේ. ශ්‍රමන භවත් ගෞතමයන් වහන්සේ ඒ ටිකමයි කියන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ දස දිසාවට අප්‍රමාණව මෛත්‍රීය, කරුණාව, වඩන්න පතුරුවන්න කියා. එසේනම් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවේත් අපේ අනුශාසනාවේත් වෙනස කුමක් ද?

අප දෙගොල්ලෝම කියන්නේ එකම දේශනාවක්. එකම භාවනාවක්ය කියලා. තථාගත ධර්මය සමකොට ඔවුන්ගේ දේශනාවන් පිළිබඳව කළ සංවාද ශ්‍රවණය කළ ස්වාමින් වහන්සේ බොහෝ සතුටු වන්නේත්, අසතුටු වන්නේත් නැතුව පිණ්ඩපාතයෙන් අනතුරුව සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහින් උදෑසන සිදුවූ මේ සංවාදයන් පිළිබඳව උන්වහන්සේ හමුවේ ප්‍රකාශ කළාම ඔවුන්ගේ භාවනාවන් හා අපේ භාවනාවන් අතර වෙනස උන්වහන්සේ වදාළා. පින්වත් මහණෙනි අපත් මෛත්‍රීය වඩනවා තමයි. අපත් කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩනවා තමයි. නමුත් විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කොට නිවනට නැඹුරුවයි අපේ භාවනාව තිබෙන්නේ. මහණෙනි, විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කොට නිවනට නැඹුරුව මේ භාවනාව වඩන්නේ කොහොමදැයි කියා ඇසුවොත් ඔවුන්ට උත්තර දීමට නොහැකි වේවි. දෙපිරිසම කරන්නේ එකම භාවනාව තමා. නමුත් ඒ තුළ විශාල ගැඹුරක් තිබෙනවා. නිවන අරමුණු කරගෙන, නිවන උපකාරි කරගෙන නිවනට නැමුණත් කොටයි ඒ භාවනාව වඩන්නේ. එසේනම් අප මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා භාවනා වඩන්න පුළුවන්. නමුත් අප දැනගෙන ඉන්න ඕන ඒක නිවනට නැමුණත් කොට වඩන්නේ කොහොමද කියා. එවිට අර අන්‍ය ශාසනයේ ඉගැන්වීමත්, මේ ශාසනයේ ඉගැන්වීමේ වෙනසක් තිබෙනවා. අප බුද්ධ ශාසනය තුළ බුද්ධ ශ්‍රමණයන් ලෙස කරන භාවනාව වැරදිලා හරි අන්‍ය ශාසනයක කරන පිළිවෙලක නම් අදාල වෙන්නේ අප ඒ බුද්ධ ශාසනය තුළ පිළිවෙත් නො පිරුවා වෙනවා. ඒ නිසා අපට මේ භාවනාව කියන වචනය පුද්ගලික අදහස්වලින් තොරව බුදුරජාණන් වහන්සේ වදාළ තුළින්ම විවරණය කරගන්න වෙලා තිබෙනවා. අද අපේ බෞද්ධ පින්වතුන් හුඟ දෙනෙක් භාවනාව වරදවාගෙන මොනවා හරි භාවනාවක් කරනවා. එහි යහපතක් නැතිවා නොවේ. එය භාවගාමී කුසල විපාක ගෙනදෙන භවගාමී කර්ම විෂයට යට වූවක් බවට පත්වෙනවා පමණයි. නමුත් නිවනට ඉලක්ක කොට, නිවනට නැමුණත් කොට වඩන්න නම් එය ආවාට ගියාට කරන්න බැහැ. එනිසා අපට ඒ පිළිබඳව විමසන්න වෙනවා.

උදාහරණ ලෙස අපට කොළඹ නගරයට යන්න කැමැත්තක් තිබෙනවා. අප පාරට බැහැලා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා. උත්සාහය, වීර්ය, කැපකිරීම කොළඔට යන්න. නමුුත් ප්‍රතිරුද්ධ දිසාවට හැරිලා තිබෙන්නේ. කොළඹ නගරයෙන් දුරස් වීමක් තිබෙන්නේ. ඒ නිසා භාවනා තුළින් අප නිවන් දකින්න කියා ඒක නිවනට නැමුණත්, නිවන අරමුණු කරගෙන නිවන දිසාවට නිවන් ලබන ආකාරය දැනගෙන එය කළයුතුයි. නැවන ඇසුරු නොකර කළේනම් අප නිවනින් ඈත්වීමක් සිදුවෙන්න පුළුවන්.

ඒ නිසා භාවනාව පිළිබඳව වර්තමාන ලෝකයේ අප හැමෝම විවෘත සංවාදයක එළැඹිලා පුද්ගලික මතවාදයක් විවිධ අලුත් අලුත් දර්ශනයන්ගෙන් අදහස් පිරිලා තිබෙන අප නැවත නිවැරැදි වෙලා සැබෑ තැනින් පටන් ගත්තොත් මේ ජීවිතය තුළ මඟඵල ලබන්නට පුළුවන්. මේ ධර්මය සන්දිට්ඨික යි. මේ ධර්මය අකාලික යි. මේ ධර්මය ඒහිපස්සික යි. ධර්මයේ අඩුවක් නොව අපේ අඩුවක් තිබෙන්නේ. ඒ නිසා අප හරි දේ හරි විදිහට නිවැරැදි ලෙස පිළිපදින්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට වදාළා ධර්මය සර්පයෙකුට උපමා කරමින්. සර්පයා වැරුදි තැනින් ඇල්ලුවොත් දෂ්ඨ කරනවාම යි. සර්පයෙක් අල්ලනවානම් සර්පයාගේ හිසින් අල්ලා ගන්න ඕන. සර්පයා අත දිගට වෙලා ගනියි. නමුත් දෂ්ඨ කරන්නේ නැහැ. අනතුරක් නැහැ. ඒ වගේ ධර්මය නිසි තැනින් ගන්නේ නැත්නම් වරදින්න පුළුවන්. සැබෑ ධර්මය තුළ සංසිදුනු පිරිසක් පමණයි සිටින්නේ.





පිටිගල ගුණරතන හිමි







 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 21 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment