බුදුරජාණන් වහන්සේ තුළ පවතින මහා කරුණාව වෙනත් කිසිවෙකුට සම කරන්න බැහැ. ඒ වගේම එක් එක් පුද්ගලයා සතුව පවතින වාසනා ගුණයන් හඳුනා ගැනීමේ හැකියාවත් හරි පුදුමයි. හඳුනා ගත් විවිධ චරිත වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියාවන් අපට හිතා ගන්නවත් අමාරුයි. ඒ හැම තැනකදීම අවසන් ප්‍රතිඵලය වෙන්නේ කාට හෝ විමුක්තිය සලසා දීමමයි. වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු සතු නොවන ඒ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් බුදු සිරිත කියවන වාරයක් වාරයක් පාසා අප තුළ ඇති කරන්නේ මහත් ශ්‍රද්ධාවක්.
වේළුවන විහාරේ දම් සභා මණ්ඩපයේ දී බුදු අසිරිය පිළිබඳ ස්වාමීන් වහන්සේලා කතා කරමින් සිටියා. එදා දවසේ කිසිවෙක් නොසිතු විදියට අරහත් තත්වයට පත්වූ භික්ෂුවක් පිළිබඳවත් ඒ භික්ෂුව සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූ ආකාරයත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ කමටහනත් හැම දෙනාටම ආශ්චර්යජනක මාතෘකාවක් වුණා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කළා.
“මහණෙනි මා එන්නට පෙර කිනම් කරුණක් ගැනද? ඔබ වහන්සේලා කතා කරමින් හිටියෙ”
“ස්වාමිනි, අප කතා කරමින් හිටියෙ චුල්ලපන්ථක හාමුදුරුවො ගැන, මාස හතරක් යනතුරු එක ගාථාවක්වත් කටපාඩම් කරගන්න බැරිව හිටිය උන්වහන්සේ අද උදේ සිවුරු හැරල ගෙදර යන්න පිටත් වුණා. ඒ ගමන වැළැක් වූ ඔබ වහන්සේට පුළුවන් වුණා. දවල් දානෙ වෙලාව එනකොට උන්වහන්සේට ධර්මාවබෝධයත් ඇති කරවල සියලු කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේ නමක් බවට පත් කරන්න. අපි කතා කළේ ඒ අසිරිමත් බුද්ධ මහිමය ගැනයි ස්වාමීනි.
“මහණෙනි, මම අද විතරක් නෙවෙයි මීට පෙර භව වලදීත් චුල්ලපන්ථකට ඒ වගේම ප්‍රඥාව දියුණු කරගන්න පිහිට වෙලා තියෙනව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ එක භික්ෂුවකට පාලි පාඩම් කරගන්න බැරිව ඉන්න කොට චුල්ලපන්ථක විහිළු තහළු කළා. ඒකෙන් ලැජ්ජාවට පත් වුණ ඒ භික්ෂුව සසුන් දිවිය අතහැර දැම්ම. ඒකෙ ආදීනව තමයි භව ගණනාවක් යනතුරු කිසිවක් කටපාඩම් කර ගන්න බැරිව මනසින් දුක් වින්දෙ. දැන් මගේ පුත්‍ර චුල්ලපන්ථක ඒ අකුසලයෙන් නිදහස් වෙලයි වැඩ ඉන්නෙ.
තවත් අවස්ථා දෙකකදීම මේ මාතෘකාව පිළිබඳව දම් සභා මණ්ඩපයේදී සාකච්ඡාවට භාජනය වුණා. ඒ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළේ තම ශ්‍රේෂ්ඨ අරමුණු ජය ගැනීමට අවශ්‍ය කෙනෙකු සතුව වීර්යය තිබේ නම් ඒ සඳහා කැපවීමත් තිබේ නම් සංවරශීලිව ක්‍රියා කරයි නම් ඔහුට සිව් මහා ඕඝයන්ට (සතර මහ සැඩ පහරට) හසු නොවී ආරක්ෂා සහිත දිවයිනක් තනා ගන්න පුළුවන් කියල.
රජගහනුවර මහා ධනවත් සිටුවරයෙක් හිටිය. ඔහුගෙ තරුණ දියණියක් දෙමව්පියන්ට හොරෙන් මෙහෙකරුවෙක් එක්ක පැනල ගියා. රාගයෙන් මුසපත් වූ ඇයට දුර දක්නා නුවණක් තිබුණෙ නැහැ. සිටු මැදුරක සුකුමල දිවියක් ගෙවූ ඇයට එතැන් සිට ගෙවන්න වුනේ අසුන්දර දිවියක්. පටාචාරාවට සිදු වූ දේ මයි ඇයටත් සිදු වුනේ. ඇයටත් දරුවන් දෙදෙනෙක් හිටිය, චුල්ල පන්ථක මහා පන්ථක කියන නම් දෙක දරුවන් දෙදෙනට දුන්නෙ ඒ දෙදෙන ලැබුණෙත් මහ මගදි නිසා.
කාලෙකට පස්සෙ මේ සිටු කුමරි දෙමව්පියන් බලන්න. රජගහනුවරට පැමිණියත් සිටුවරය තම පවුලට අවමන් කළ දියණියවත් බෑණාවත් දකින්න කැමති වුනේ නැහැ. ගෙදරට එන්න ඉඩ නොදුන්නත් ඒ අයට ජීවත්වීමට අවශ්‍ය ධනය ලැබෙන්න සැලැස්සුව. ඒ මුණුබුරන් දෙදෙන ගෙදරට ගෙන්න ගත්ත. සිටු ගෙදර තියෙන සැප සම්පත් දුටු මේ දරුවන් දෙදෙනට දිළිඳු ලෙස ගෙවූ අතීත ජීවිතය අමතක වුණා. සීයයි ආච්චියි දෙන්නත් ආදරෙයි. ඒ නිසා සිටු ගෙදරම නතර වුණා. නිතර නිතර බණ අහන්න පන්සල් යන පිරිස එක්ක මේ දරුවන් දෙදෙනත් පන්සල් යන්න පුරුදු වුණා. සීයත් ඒකට බොහොම කැමතියි.
මහාපන්ථක සීයත් එක්ක පන්සල් ගිහිල්ල බුදුහාමුදුරුවන්ට කීව මහණ වෙන්න ආසයි කියල. බුදු නුවණින් ඔහු දෙස බැලු උන්වහන්සේ, මහාපන්ථක සතු මේරූ කුසල් ශක්තිය දැකල ඒ මොහොතෙම මේ දරුව මහණ කෙරෙව්ව. ලෞකික බැඳීම් ගැන කිසිදු ආසාවක් නොදක්වමින් මහණකමටත් ආදරය කරමින් මහාපන්ථක සසුන් බඹසර හැසුරුණා. කෙටි කලකින්ම සියලු කෙලෙසුන් ප්‍රහීණ කරල අරහත් තත්වයට පත්වෙන්න මේ පොඩි හාමුදුරුවන්ට භාග්‍යය ලැබුණා.
ලොව්තුරු සුවය විඳිමින් සිටින මහාපන්ථක හිමියන්ට සිතිවිල්ලක් පහල වුණා. මගේ මළණුවන්ටත් මේ සුවය ලබාදෙන්න ඇත්නම් කොපමණ හොඳද කියල. සීයත් එක්ක ඒ බව කියන කොට චුල්ලපන්ථකත් මහණ වෙන්න ආසාවෙන් සිටින බව සීයට තේරුණා. ඒකට කාගෙන්වත් බාධාවක් වුණේ නැහැ. චුල්ල පන්ථකත් මහණ වුණා. සිවුරට හරිම ආදරෙයි. භාවනා කරන්නත් ලොකු ආසාවක් තිබුණ. ඒත් චුල්ලපන්ථකට තිබුණ ලොකුම අවාසනාවක් තමයි කිසිම දෙයක් කටපාඩම් හිටින්නෙ නැහැ. ඒක පෙර අකුසලයක්.
දවසක් මහා පන්ථක හාමුදුුරුවො චුල්ලපන්ථකට ගාථාවක් කියල දුන්න මේක කට පාඩම් කරගන්න කියල. ඒ ගාථාවෙ තියෙන්නෙ බුදු ගුණ. මාස හතරක්ම වෙහෙසී පාඩම් කළා. ඒත් එක පදයක් කියන කොට දෙවන පදය මතක නැහැ. මහා පන්ථක හාමුදුරුවො ඒ ගැන කළ කිරීමෙන් වගේ සොහොයුරාණන් වහන්සේ වන චුල්ල පන්ථකට කතා කළා.
“ආයුෂ්මතුනි, ඔබ වැනි අයට මේ ශාසනේ ඵල ලබාගන්න බැහැ. ඊට වඩා හොඳයි සිවුරු හැරල ගෙදර ගිහිල්ල යහපත් ගිහි ජීවිතයක් ගත කරන්න. පුළුවන් හැම වෙලාවෙම පිනක් දහමක් කරගන්න”.
චුල්ලපන්ථක හිමියන්ගෙ ඇස්වල කඳුළු පිරුණා. සොහොයුරාණන් වහන්සෙ කියන්නෙ ඇත්ත. ඒත් ගිහි ඇඳුම්වලට දැන් ඔහු කිසිම ආසාවක් නෑ. සිවුරට හරිම ආසයි. භාවනා කරන්නත් ඒ වගේම කැමැත්තක් තියෙන්නෙ. එදා තමයි චුල්ලපන්ථකගේ දුක්බරම දවස. රෑ නොනිදාම පහන් කළා. පාන්දර මුවකට දෝවනය කරල කඳුළු පිසිමින් කුටියෙන් එළියට බැස්ස. කකුල ඉස්සරහට තියන්න හිත ඉඩ දෙන්නෙම නැහැ. ඒත් මොනව කරන්නද බිම බලාගෙන හෙමින් හෙමින් වේලුවනාරාමේ දොරටුව ළඟට ආවා. ඒ එක්කම පරිසරයේ මොකක්දෝ වෙනසක් දැනුන. ලෝකයේ ඇති මිහිරිතම කටහඬත් ඒ එක්කම ඇහුණ.
“චුල්ලපන්ථක කොහෙද යන්නෙ?” ඒ හඬ බුදු හාමුදුරුවන්ගෙ.
“මම ගෙදර යනව ස්වාමීනි. මම හරිම අවාසනාවන්තයි. මට මොනවක් පාඩම් හිටින්නෙ නැහැ. ඒ නිසා මහා පන්ථක හාමුදුරුවො මට කීව සිවුරු හැරල ගෙදර ගිහින් පින් දහම් කරගෙන ජීවත් වෙන්න කියල. ඒත් ස්වාමීනි. මම තාම සිවුරට ආසයි. භාවනා කරන්න කැමැතියි” දුක් මුසු ලෙස කීව.
බුදු අතින් චුල්ලපන්ථකගෙ ළමා හිසත් ළමා හිතත් දෙකම පිරිමැද්ද, චුල්ලපන්ථකගෙ අතින් අල්ල ගත්ත. “ඔබ මහණ වුණේ මා වෙනුවෙන් නේද? ඉතින් ඇයි මට කියල යන්න ආවෙ නැත්තෙ. ගෙදර යන්න ඕන නැහැ. භාවනා කරන්න ආසයි කීව නේද? මම භාවනා කරන හැටි කියල දෙන්නම්”.
බුදුරජාණන් වහන්සෙ තම සුවඳ කුටිය ළඟට චුල්ලපන්ථක එක්කර ගෙන ගියා. ඍද්ධියෙන් පිරිසුදු සුදු රෙදි කඩක් මවල අතට දුන්න. එළිය තියන තැනකින් වාඩි කෙරෙව්ව. රෙදි කඩ දෙස බලාගෙන වෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ‘රජෝ හරණං රජෝ හරණං’ කියමින් මේ රෙදි කඩ පිරිමදින්න ‘ කියල බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න. එදා ජීවක වෛද්‍යවරයාගෙ ගෙදර දානයක්. බුදුහාමුදුරුවො දානෙට වැඩම කළා. චුල්ලපන්ථක හිමියන් හැර අනිත් සියලුම ස්වාමීන් වහන්සේලත් බුදුරජාණන් වහන්සේ සමඟ දානෙට වැඩම කළා.
හරි පුදුමයි. ගාථාවක් මාස හතරකින් පාඩම් කරන්න බැරි වූ චුල්ලපන්ථකගේ සිත සමාධිගත වෙන්න පටන් ගත්ත. රෙදි කඩ ටිකෙක් ටික කිලිටි වෙනව. මේ අනිත්‍යතාවය නේද පේන්නෙ. රෙදි කෑල්ල වගේම අපේ හිතත් අරමුණු නිසා කිලුටු වෙනව. මේ රෙදි කෑල්ල පිරිසුදු කරනවට වඩා වටින්නෙ මගේ හිත පිරිසුදු කරගන්න එක චුල්ලපන්ථක හිමියන්ට හිතුන. දිගටම භාවනා කළා.
දානෙ ගෙදර වැඩ සිටින බුදුරජාණන් වහන්සේට මේ සියල්ල පේනව. උන්වහන්සේ චුල්ලපන්ථක ළඟට ආලෝක ධාරාවක් මුදා හැරිය. මනෝමය කයක් මවල ධර්මය දේශනා කළා. දේශනාව අවසාන වෙනකොටම චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ සිව්පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තෙවලා දහම පිළිබඳවත් ඒ සමගම පූර්ණ අවබෝධයක් ලැබුණ.
ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දානෙ ගෙදරින් කෙනෙක් එව්ව උන්වහන්සේ දානෙට වඩම්මන්න කියල. එදා දානෙ ගෙදර අනුමෙවෙනි බණ දේශනා කළෙත් චුල්ලපන්ථක රහතන් වහන්සේ. දහම් සභාවෙ උන්වහන්සේ ගැන මේ තරම් කතා කරන්න හේතුව ඒකයි.
“මගේ ශාසනයෙහි ,පටන්ගත් වීර්යය ඇති නොපමා බවින් යුක්ත ඉන්ද්‍රිය දමනයෙන් යුතු පුද්ගලයා ලෝකෝත්තර ධර්මාවබෝධයට හිමිකාරයෙක් වෙනව, සිව් මහා ඕඝයන්ට හසු නොවන දිවයිනක් තනා ගන්න ඔහුට පිළිවන් වෙනව“ දහම් සභාවෙ දී බුදුරජාණන් වහන්සේ කළ මේ දේශනාව බොහෝ දෙනෙකුට සැනසීම පිණිස හේතු වුණා.
කැලණිය, වේවැල්දූව,
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment