නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උපාදාන පච්චයා භවො
සුපින්වත්නි
සසර කතර අතරමංවූ ජනතාවගේ විමුක්තිය උදෙසා භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ සත්ව කරුණාවෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන දේශනා කොට වදාළ සේක.
“අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි නපඤ්ඤායති” ආදී නයින් දේශනා කළ පරිදි සත්වයෙකුගේ අතීත ආරම්භය හෝ මතු අවසානය හෝ දැන ගැනීමට කිසිම කෙනෙකුට කිව නොහැකි වන්නේය. ඉපදෙමින් මැරෙමින් කල්ප ගණන් සසර ගමන් කර යළි කල්ප ගණන් ගමන් කරන සත්වයාට , ජාතී, ජරා, මරණාදී අනන්ත දුක්වේදනා විඳීමට සිදුවන්නේමය. එම සත්‍යධර්මය අවබෝධ කිරීමට මානසික නම්‍යතාවයක් නැත්තේ අවිද්‍යාවෙන් මුලාවී ආත්මදෘෂ්ටිය හා නිර්මාණවාදය ආරෝපණය කරගෙන සිටින නිසාය.
මොහොතක් පාසා සත්වයා අරමුණෙන් අරමුණට උපාදානයෙන් ග්‍රහණය කරගෙන සිටින නිසා කිසිම දෙයක සත්‍ය අසත්‍ය දැනගැනීමට උනන්දු වන්නේ නැත. එමෙන්ම එහි කෙළවර යළි භවයකට හෙවත් ජීවාත්මක පැවැත්මකට සම්බන්ධ වන්නේය.
තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවො තණ්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත් ඇතිවන්නේය. උපාදානන්ති දළ්හගහණං රූපාදී අරමුණු ඉතා ආශාවෙන් දැඩිකොට අල්ලාගැනීම උපාදානය නම් වන්නේය.
01.කාම උපාදානය
02. දිට්ඨි උපාදානය
03. සීලබ්බත උපාදානය
04 අත්තවාද උපාදානය
යනුවෙන් උපාදාන හතරක් දක්වා ඇත. තමා කැමැති දේ අල්ලාගැනීම කාම උපාදාන නම් වන්නේය.
ඇස ,කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් රූපාදී අරමුණු තණ්හාවෙන් අල්ලා ගැනීම, සතුටුවීම කාම උපාදානය නම් වන්නේය. මුලින් අල්ලාගත් අරමුණ අත්නොහැරම යළිත් එම අරමුණ ගැනීම හා මතු අරමුණකට අවකාශ ලබාදීම උපාදානයේ ප්‍රවණතාවයයි. තණ්හාවේ මෙහෙයවා ඉතාම ආසන්නව අල්ලා ගන්නා බැවින් එහි ලිහිල්වීමක් අතහැරීමක් නොවන්නේය.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදීනවයින් එක්සිය අටක් (108) ප්‍රභේද ඇති තණ්හාවන් අතර පැතිර පවත්නා උපාදානය කාම උපාදානා ද්‍රව්‍යයක් තවත් ද්‍රව්‍යයක් සමඟ අලවන්නට මැලියමක් ද්‍රවගතියක් දෙක අවශ්‍ය වන්නා සේ කාමයත් උපාදානයත් දෙකෙන් සම්බන්ධ වන මනසින් සත්වයා විඤ්ඤාණය තියෙනතුරු එක් ආත්මයක ප්‍රබුද්ධව ජීවනය පවත්වා ගන්නේය. ජීවිතයෙන් සමුගන්නේ අල්ලාගත් උපාදානය තවත් ජීවිතයකට සම්බන්ධ කිරීමෙනි.
පරලොව නැත "කර්ම නැත" ආදී වශයෙන් දසවස්තුක මිත්‍යාදෘෂ්ටි දැඩිකොට සිතින් අල්ලා ගැනීම දිට්ඨී උපාදානයයි. සත්වයෙකුට අදහසක් ඇතිවන්නේ සසරගමන් කරන කාලයේ ආත්මයෙන් ආත්මයට ගෙන ආ විඤ්ඤාණය අනුව ලබන පරිසරයට අනුගතවය. යමෙකු මිථ්‍යා දෘෂ්ටි කුලයක ඉපදී එම පරිසරයට අනුව හැඟීම් ඇතිකරගතහොත් එයින් ලබන උපාදානය දිට්ඨි උපාදානයයි.
මෙලොව, පරලොව, කර්ම ,කර්මඵල පිළිබද විශ්වාසය මෙන්ම ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳවද විශ්වාසයක් අනුගමනයක් දාන ශීල භාවනාදී ක්‍රියාකාරී පිළිවෙතක් නොමැතිව ඒකායන විමුක්ති මාර්ගය නම් ඒක දේවවාදයේ හෝ ආත්මය අනුන්ට බාරදීම දිට්ඨි උපාදානයේ ලක්ෂණයයි.
සීලයෙන් හා වෘතසමාදානයෙන් විශුද්ධි වේය යන දෘෂ්ටියෙන් ගෝවෘත අජවෘතාදිය දැඩිකොට අල්ලා ගැනීම “සීලබ්බත උපාදානයයි. තම තමන්ගේ බුද්ධිය යටපත් කරගෙන පාරම්පරිකව පැවත ගෙන එන මිථ්‍යා පිළිවෙත් නිසා ලෝකයේ වන අපරාධ අපමණය.
තම තමන්ගේ විශ්වාසය තමන්ගේ දැනීම අනුව සත්‍ය අසත්‍ය වන්නේය. එයින් වන හානිය අනුව තමන්ට හෝ අනුන්ට එහි ඇති ස්වභාවය වැටහෙන නමුත් ප්‍රතිවිපාකය ලැබීමෙන් පසුව එහි භයානකම දැනගැනීමේ ඵලක් නොමැත. මේ නිසා බුද්ධාදි උතුමන්ගේ ආර්ය ඤාණයෙන් පසක් කරගත් මෙම පටිච්ච සමුප්පාදයේ දැක්වෙන දිට්ඨී උපාදානය නැතිකර ගැනීමට අදිටන් කරගත යුතුවන්නේය. එසේ නොවන්නේ නම් මරණින් මතු ඒකාන්තයෙන්ම සතර අපායේ උපදින්නේය.
ආගම අධිගම රහිත හෙයින් අශ්‍රැතවත් පුහුදුන් මිනිසා මම මැරීගොස් පරලොව උපදින්නෙමියි ආත්මය දැඩිකොට අල්ලා ගන්නේය.
මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයෙන් මෙම අත්තවාද උපාදානය පිළිබද දීර්ඝ විස්තර විවරණයක් දක්නට පුළුවන. උපාදානයට ප්‍රත්‍යවූ රූප වේදනා,සඤ්ඤා සංඛාර , විඥාන යන පංචස්ඛන්ධ පංච උපාදානස්ඛන්ධ නම් වන්නේය.
පෘථග්ජන සත්වයා නිතරම තමා අයත් දේ යයි අල්ලා ගන්නේ හිස් දෙයකි. රූපය මගේය. වේදනාව මගේය. සංඥාව මගේය. යනාදී නයින් සිතින් අල්ලා ගන්නේ නැති දෙයකි. අවිද්‍යාවෙන් අන්ධවීමත් තණ්හාවෙන් ඇලීමත් උපාදානයෙන් දැඩිව අල්ලාගැනීමත් නිසා සංසාර ගමන නොනවත්වා පවත්වාගෙන යන්නේය.
රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන යන ස්කන්ධ පස කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන උපාදානයන් අල්ලා ගන්නා බැවින් පංච උපාදානස්ඛන්ධ නම් වන්නේය.ලෝකයේ ද්‍රව්‍යයන් හා ජීවීන් මොහොතක් හෝ පවතින්නේ සාමූහිකව ස්කන්ධ වශයෙන් පවත්නා නිසාමය. එම සාමූහික පැවැත්වීමේදි ස්වයංක්‍රීයව සිදුවන විවිධාකාර බලයන් හා ක්‍රියාවන් නිසා බුද්ධාදී මහෝත්තමයන් විසින් තබා ඇති සංඥා නාම නිසාම සෙසු ජනතාවටද ඒවා හැඳින ගැනීමට මෙන්ම අවබෝධයෙන් එයින් මිදෙන්නටද හැකි වන්නේය. රූපාදි පංචස්කන්ධය කාමාදී උපාදානයන් අල්ලා ගැනීමේ අවසානය වන තුරු සසර ගමනත් එයින් ජාති ජරා මරණාදී අසීමිත දුක්වේදනාද ඇතිවන්නේය.
තණ්හාවෙන් උපයන, සපයන,සොයන තැනැත්තා භෞතික සම්පත් රැස්කර ගන්නේය. එය ආරක්ෂා කරගැනීමෙහිලා උපාදානය හේතු ප්‍රත්‍යවන අතර කාමච්ඡන්ද නම් වූ තණ්හාව ඉතා බලසම්පන්නව ක්‍රියාත්මක කිරීමෙන් සත්වයා සමස්ත ලෝකයම තමා යටතට නතුකර ගැනීමට ප්‍රයත්න දරන්නේය. එමෙන්ම එම උපාදානය නිසා ප්‍රතිවිරුද්ධ අරමුණු එන විට යුද්ධ කෝළාහල හටගන්නේය. මෙසේ ඉතා සුළු තණ්හා අරමුණ උපාදානය දක්වා වර්ධනය වී මුළු ලොවම එකම ගිනිජාලාවක් වී යන ආකාරය ප්‍රත්‍යක්ෂ වන්නේය.
අවිද්‍යාවෙන් මුලාවන නොමග යන සත්වයා තණ්හාවෙන් සෙවීමද සෙවීමෙන් ද්‍රව්‍ය එක් රැස් කිරීමද එයින් ප්‍රමිතියද පරීක්ෂා කරන්නේය. මෙම විනිශ්චයෙන් පසු උපාදානය බලවත්වී තමා අයත් කරගත් වස්තුව සෙසු වස්තූන්ගෙන් විශේෂකොට ආරක්ෂා කරගැනීමෙහිලා අතිමහත් ප්‍රයත්නයක් දරන්නේය.
තණ්හාවට සීමාවක් නොමැති නිසා මැලිකමක් තියෙන තුරු ගෑවෙන සියල්ල ඇලවෙන්නාක් මෙන් අල්පේච්ඡ භාවයට ප්‍රතිවිරුද්ධවන අතර අවිද්‍යාවේ පවත්නා වැරැද්ද නිසා තණ්හාව පුද්ගලයාගේ පැවැත්මට උදාරත්වයට උපකාරකයක් ලෙස හඟින්නේය. තණ්හාව පරියේෂණ දුක්ඛමූල වන අතර උපාදානය ආරක්ෂා දුක්ඛ මූලවන්නේය.
උපාදාන පච්චයා භවෝ
භවය නම් සත්වයාගේ සංසාර පැවැත්මයි. කාම,රූප, අරූප යන භවයන්ට අයත්ව ඉපදෙන මැරෙන කෙළගණන් සත්වයෝ ජීවාත්මක වශයෙන් භව්‍ය නම් වන නමුත් නාමරූප වශයෙන් අනිත්‍ය වශයෙන් සංඛාර නම් වන්නේය.
අවිද්‍යාව හා තණ්හාව නිසා පුඤ්ඤාභිසංඛාර හෙවත් කාමාවචර හා රූපවාචර කුසල් සිත්ද අපුඤ්ඤභිසංඛාර හෙවත් අකුසල් සිත් දොළසද, සතර අරූපාවචර කුසල් සිත්වන අනෙංජාභි සංඛාරද ඇතිවන්නේය.මේ සියල්ල කර්ම භවයන් නිසා සංසාර පැවැත්මට සත්වයන් ගෝචර වන්නේය.
සත්වයෙකු ඉපදීම ජීවත්වීම යනුවෙන් ප්‍රකාශ වන්නේ නාමරූප නාමයන්ගේ සංකලනයයි. එය කිසිකෙනෙකුට මවන්නට හදන්නට හැකි දෙයක් නොව සත්වයා විසින්ම කර්මයෙන් සිද්ධ කරගන්නා වූ ස්වයං සිද්ධි මාලාවක ප්‍රතිඵලයකි. මෙය හඳුනාගත නොහැකි මිත්‍යා දිට්ඨි අනුගාමිකයෝ තමනුත් මුලාවේ වැටී අනුන්ද මුලාවේ දමන්නට කටයුතු කරන්නේ දිට්ඨී උපාදානය අත්තවාද උපාදානයත් නිසාය.
බුදුරජාණන් වහන්සේ බුද්ධියෙන් සොයාගත් පටිච්ච සමුප්පාද ඤාණය නූලටම ක්‍රියාත්මක වන ආකාරය එතරම් දාර්ශනික චින්තාවක් නොමැති කුඩා ළමයෙකුට වුවද ඉතාම සරළ උපමා නිර්දශනවලින් වැටහෙනවා ඇත.
ඊයේ දවස නිසා අද දවසත් ක්‍රියාත්මක විය.අද නිසා හෙට දිනයත් ක්‍රියාත්මක වන්නේය. ඊයේ දිනය වෙනත් දිනයක හේතුවක් වූවා සේම ඵලයක්ද වන්නේය. එමෙන්ම හෙට දිනයට හේතුවක්ද වන්නේය. සත්වයෙකු ජීවත්වන්නේ පෙර ජීවිතයක හෙවත් කර්මයක ඵලයක් වශයෙන් මිස වෙනත් බලයක නිර්මාණයක් නොවන වග මානව ඉතිහාසයෙන් හා දාර්ශනික චින්තාවෙන් ප්‍රත්‍යක්ෂ වන්නේය.
මිනිසා වෙනස් වන්නේ ස්වයං බුද්ධියෙන් සිතාමතා ස්වතන්ත්‍රව ක්‍රියාකොට තමා විසින්ම තමා පාලනය වීමෙනි. මෙය ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ විසින් කාලාම සූත්‍රයෙන් දක්වා ඇත.
ආගමික චින්තාමය වශයෙන් යම් කිසි දෘෂ්ටියකට ගැතිවී සිටින්නේ නම් එය මානසික වහල්භාවයකි. එවන් තැනැත්තා මෙලොවත් පිරිහී පරලොව අපායගාමි වන්නේය.
මෙම හේතුඵල ධර්ම දේශනාව කියවීමෙන් මෙනෙහි කිරීමෙන් ඔබ සැමගේ සම්මා දිට්ඨි කුසල ශක්තිය ඇතිවී ඒ හේතුවෙන් දෙලොව ශාන්තිය හා අවසානයේ උතුම් නිවනින් සැනසේවා.
සැමට තෙරුවන් සරණයි.
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment