Labels

Saturday, November 7, 2015

බඹයක් පමණ වු ශරීරයට මුළු විශ්වයම විඳගත හැකියි


බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අසිරිමත් දහම සිතිවිලි සිතට ගැනීමෙන් අපේ සිත පුණ්‍යවන්ත වෙනවා. ජීවිතය නිවරැදි කරගෙන ජීවිත ආලෝකය ලබාගෙන අසිරිමත් ගමනක් ආධ්‍යාත්මික ගමනකින් සුවපත් වීමට මඟ සැලසෙනවා.

මේ සිත යම්කිසි වස්ත්‍රයකට උපමා කරන්න පුළුවන්. පිරිසුදු සුදුපාට වස්ත්‍රයකට යම්කිසි සායම් ටිකක් දැම්මොත් එය ලස්සනට සායම් කර ගන්න පුළුවන්. හැබැයි බොහෝ අවපැහැ ගැන්වූ මඬ තැවරුණ දූවිලි ගෑවුනු වස්ත්‍රයකට සායම් පොවන්නට ගියොත් අප බලාපොරොත්තු වන ලස්සන ඒ වස්ත්‍රයෙන් ගන්නට බැහැ. ඒ වගේ තමා අපේ සිතේ නරක නපුරු භයානක ක්ලේෂ ධර්ම අනවශ්‍ය සිතිවිලි පුරවාගෙන අඬ අඬා වැළපි වැළපී ශෝක කරමින් පශ්චාත්තාප වෙමින් අප ජීවත් වුණොත් මේ ජීවිතයේ අර්ථයක් සොයා ගන්නට අපහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා යම් දවසක් ආරම්භ කරන මොහොතේම පුණ්‍යමය සිතිවිලි වලින් ඔබේ සිත සුවපත් කර ගන්න කියා. සිත ප්‍රභාශ්වර කරගත්විට මුළු ජීවිතයටම එය අර්ථයක් එකතු කරනවා. ධර්මයට සිත යොමු කිරීම තුළින් ඔවුන් ජීවිතයේ අභිවෘද්ධිය කරා ගමන් කරනවා. ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙනවා. පන්සල ඕන නැහැ, ස්වාමින් වහන්සේ ඕන නැහැ මම මට හිතෙන ආකාරයට ජීවත් වෙනවා කියා හිතන අය නො දැනීම බොහෝම භයානක පාපී ජීවිත උරුමකර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය විවිධ උපමා රූපක ඔස්සේ වුවත් අපට උගතහැකිව තිබෙනවා. උන්වහන්සේ දේශනා කළේ එකම ධර්මය වුවත් හැම කෙනාටම එය බලපාන ක්‍රමය වෙනස්. දිනක් එක්තරා තරුණයෙක් තථාගතයන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. මොහුට තේරුණා මේ ජීවිතය බොහෝම භයානකයි. මේ මනුස්ස ජීවිතයේ ආයුෂ බොහෝම කෙටියි. හරියට පුංචි දිය කඩිත්තක් වගේ මේ මිනිස් ආයුෂ. දිය කඩිත්ත තද හිරු රෂ්මිය වැටීමෙන් දවසින් දෙකෙන් මුළුමනින්ම සිඳී යනවා. අපේ ආයුෂත් ඒ වගේ. ඒ නිසා ඉක්මනින් අප්පමාන පදය පුරන්න ඕන කියා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා.

සෑම කමටහනක්ම හැම කෙනෙකුටම ගැලපෙන්නේ නැහැ. ඔබ භාවනාකරන විට නිතරම මෛත්‍රී භාවනවා වඩනවා ඇති. නමුත් එය හැමටම ගැලපී යන්නේ නැහැ. එයට හේතුව අපේ චරිත බොහෝම වෙනස්. බලන්න ඔබ, ඔබේ චරිතය හඳුනනවාද? අප අතර ප්‍රධාන චරිත හයක් තිබෙනවා. ඒ තමා රාග චරිත , ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග මිශි‍්‍රත අරමුණු වැඩි කෙනෙකුට මෛත්‍රී කමටහන ගැලපෙන්නේ නැහැ. ඔහුට අසුභ භාවනාව වැඩීමට උපදෙස් දියයුතු වෙනවා. ඒ වගේම ද්වේෂ චරිතයට මෛත්‍රී භාවනාව ගැලපෙනවා. ඔබ සිතන්න ඔබේ චරිතය කුමක්ද කියා. ඒ වගේම සමහර චරිත තිබෙනවා ඉක්මණින් මුලාවේ වැටෙනවා. පැටලෙනවා. සොයන්නේ බලන්නේ, විිමසන්නේ නැහැ.ඒ මෝහ චරිත. ශ්‍රද්ධා චරිතයා යම් දෙයක් හොඳට සොයාබලා විමසාබලා යමක් විශ්වාස කරනවා. ඒ වගේම බුද්ධි චරිතයා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයි. ඒ තැනේ හැටියට අවශ්‍ය කරන ආකාරයට කටයුතු කරනවා. විතක්ක චරිත ඇති පුද්ගලයා විවිධ විතර්ක සිත තුළ පහළ කරගෙන ඇත්ත පෙනි පෙනී ඇත්ත යට කරනවා. විිවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒනිසා දැන් ඔබට යම්තරමට හරි තේරෙනවා ඇති මගේ චරිතය මේ වගේ නේද කියා.
ඉතින් මේ තරුණ හිමියන් කමටහන් අරගෙන වනයකට ගමන් කළා. තුන් මාසයක් වීර්යෙන් භාවනා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ සිතුවා මම බුදුරජාණන් වහන්සේ හමුවෙලා මේ ගැන කියන්න ඕන කියා ජේතවනාරාමයට එන්න පිටත් වුණා. ගමන අතර මඟ ලස්සන ඇළ, දොළ හමුවෙනවා. මල් පිපුන ගස් මුණ ගැහෙනවා. උන්වහන්සේ වඩින අතර ටිකක් දහවල වුණා. මහපාරේ ඈත වතුර තිබෙනවා වගේ උන්වහන්සේ දුටුවා. ළංවෙලා බලද්දී එතැන වතුරක් නැහැ. නමුත් ආයෙමත් ඈතින් ඒ වතුර පෙනෙනවා. එලෙස උන්වහන්සේ දුටුවේ මිරිඟුවක්. ඒ මිරිඟුව දැක හිතනවා අපේ ජීවිතයත් හරියට මිරිඟුවක් වගේ. මුළු සමාජයම එකම මිරිඟුවක්. අපේ ඇසට හමුවන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට හසුවන ගන්ධ, දිවට හසුවන රස, කයට හසුවන පහස, කියන මේ ලෝකය භාණ්ඩ වර්ග පහකින් යුක්තයි. මේ ලෝකය සංකීර්ණ නැහැ. ලෝකය සංකීර්ණ කරගන්නේ මනස, හිත මතයි කියා තේරුනා.

ඔබ බලන්න, ඔබේ නිවසේ කෙතරම් භාණ්ඩ වර්ග තිබෙනවාද? ගමේ, පළාතේ, රටේ, ලෝකයේ කෙතරම් භාණ්ඩ වර්ග තිබෙනවාද? නමුත් මේ භාවනාවට සිත යොමු කර සිටි හිමියන්ට තේරෙනවා මේ ලෝකය, සමාජය සංකීර්ණ නැහැ. මෙහි තිබෙන්නේ භාණ්ඩ වර්ග පහක ප්‍රශ්නයක් පමණයි. මේ විශ්වයම පුංචි බඹයක් පමණ ශරීරය ඉලක්ක කරගෙන ඇතිබව දැක්කා. අපේ මේ පුංචි ඇස් දෙකට මේ විශ්වයේම තිබෙන රූප විඳගන්න පුළුවන්. ඇසට බැරි ලෝකය කනට පුළුවන්, කනට බැරි ලෝකය නාසටය පුළුවන්, නාසයට බැරි ලෝකය දිවට පුළුවන්. දිවට බැරි ලෝකය කයෙන් විඳගන්න පුළුවන්. පුංචි බඹයක් සහිත මේ ශරීරයට මුළු මහත් විශ්වයම විඳ ගත හැකි බවත්, ඒ තුළ මනස ආකූලබවට සංකීර්ණභාවයට ගමන් කරන හැටිත් මේ ස්වාමින් වහන්සේ මිරිඟුව දෙස බලමින් සිතන්නට පටන් ගත්තා. දැන් උන්වහන්සේගේ සිත හරි ප්‍රභාශ්වරයි. උන්වහන්සේ අචිරවතී ගංඟාවට බැස දිය පහසු වුණා. ගඟේ වතුර එකට හැප්පෙන හැටි බලාගෙන හිටියා. ගංඟා ජලයේ පෙණ මතුවෙන ආකාරය බලාගෙන හිටියා. එවිට දුටුවා වේගයෙන් ඒ පෙණ බිඳෙනවා,

කැඩෙනවා. විනාශ වෙනවා. තේරුණා මේ ජීවිතය පෙණ හා සමානයි කියා. හැම මොහොතකම මේ ශරීරයේ ශෛල ඇතිවෙන නැතිවෙන ආකාරය දුටුවා. මේ හිමියන්ගේ සිත තව තවත් ප්‍රබල භාවයට, පරිශුද්ධ භාවයට, දැනුවත් භාවයට ගමන් කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා කමටහන් ගත් හිමියන් දැන් කොහිද? උන්වහන්සේගේ මානසික දියුණුව කොහොමද? කියා. බුදුරජාණන් වහන්සේ දුටුවා සසරින් එතෙර වෙන්නට දැන් උන්වහන්සේට උදව්වක් අවශ්‍ය බව දැනී ආකාසයෙන් වැඩම කොට රශ්මි බුද්ධ රැස්මාලාව විහිදෙව්වා. මේ බුදුකිරණ දකින ඒ හිමියන්ගේ සිත තවත් ප්‍රභාශ්වර වුණා. දැන් උන්වහන්සේට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ ආකාසයේ වැඩ සිටමින් වදාළා පින්වත් මහණ, යම්කිසි පුද්ගලයෙක් මේ ශරීරය පෙණ පිඬක් සමාන කර දකින්න උත්සාහ කරනවා නම්, ප්‍රඥාව මතුවෙනවානම් එය ඉතා හොඳයි. මේ ජීවිතය මිරිඟුවක් කියා දකිනවානම්, දැනෙනවානම් එයත් ඉතා හොඳ අවස්ථාවක්. එහෙම දකින අයගේ සිත හොඳට පන්නරය ලබනවා. ප්‍රඥා භාවය ලබනවා. ඒ ප්‍රඥාව දියුණු කරගත් ආයුධයෙන් මාරයාට පහර දීලා මාරයාට සොයා ගන්නට බැරි ආකාරයට යන්නට භාග්‍යය ලැබෙනවා කියා වදාළා. මේ ගාථාව ඇසෙනවිටම භාවනාවට සිත යොමු කළ හිමියන්ට හොඳට ඒ කරුණු වැටහුනා. සිතේ සියලු සෛල අවදි වුණා. සිත පුරාම පී‍්‍රතියක් දැණුනා. උත්තම රහත් භාවයට පත්වුණා කියා මේ දේශනාවේ සඳහන් වෙනවා.

රහත් භාවය ලබන්නේ පංච උපාධානස්කන්ධයෙහි උපාධාන ශක්තිය නැතිකර ගෙනයි. රහතන් වහන්සේ ජීවත් වෙනවා නමුත් උන්වහන්සේට නැවත වාරයක් මරණයක් මුණ ගැහෙන්නේ නැහැ. පරිනිර්වාණය කියන්නේ මරණය නොවේ. මැරෙන පුද්ගලයා භවයක් ලබනවා. පරිනිර්වාණයට පත්වෙන උතුමන්ට නැවත භවයක් නැහැ. අප අතර මැරෙන කෙනාගේ සිත තුළ බීජ වර්ග තුනක් තිබෙනවා. ඒ කර්ම බීජ, ක්ලේෂ බීජ, ස්මෘත බීජ. කර්ම බීජ කියන්නේ පින හෝ පව්. පින තිබෙන අය උත්තම ජීවිත ලබනවා. පාපය වැඩිනම් සතර අපායේ ඉපදී දුක් විඳිනවා. ක්ලේෂ බීජ තිබෙනවානම් අප සසර ට ඇදෙනවා. ස්මෘත බීජ කියන්නේ මතක සටහන් මඟින් සසරට ඇදෙනවා. මැරෙන කෙනා තුළ බීජ තිබෙනවානම් පැළවෙනවා. භවයක් ලබනවා. කර්ම ඇතිකළ භව ඇත. කර්ම නැති කළ භව නැත. බීජ ඇති කළ භව ඇත. බීජ නැති කළ භව නැත. රහතන් වහන්සේට කීනාසව කියන්නේ ඒකයි. සියලු බීජ ක්ලේෂ සියල්ල සහමුලින්ම නැතිකළ උත්තමයා.

ඒ නිසා රහතන් වහන්සේගේ මනසේ ක්ලේෂ බීජ නැහැ. රහත් මනසේ ස්මෘත බීජ නැහැ. රහත් මනසේ පින් හෝ පව් දෙකම නැහැ. ඒනිසා නැවත භවයක් ගමනක් නැහැ. ඒ නිසයි උන්වහන්සේ පරිනිර්වාණයට පත්වුණා කියන්නේ. පරිනිර්වාණය කියන්නේ ගෞරවයට පමණක් කියන වචනයක් නොවේ. මරණයට වඩා සපුරාම වෙනස්. බීජ වර්ග ක්ෂය කළ, නැවත ගමනක් නැති කළ මාරයාටවත් ගිය ගමන සෙවිය නොහැකි අවස්ථාවයි. එය අසිරිමත් නිවීයාමක් පමණයි.



 කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි



 
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment