Labels

Thursday, November 12, 2015

මල් පූජාවේ සැබෑ ආනිසංස ලබන්නේ කෙසේද?


පෞද්ගලික වශයෙන් ලබාදෙන උතුම්ම පූජාව බුද්ධ පූජාවයි. බුදුරදුන් උදෙසා බොහෝ පිරිස් විවිධ පූජාවන් සිදු කරනු ලබයි. බුදුරදුන් ජීවමාන කාලයේදී මෙන්ම උන්වහන්සේගේ පිරිනීවීමෙන් පසුවද මෙම පූජාවන්හි අඩුවක් නැත.
එම පූජාවන් අතර සුවිශේෂී පූජාව මල් පූජාවයි. එනම් එය එදත් අදත් පැවත එන ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි පූජාවකි. කුමන මල් කුමනාකාරයකින් පූජා කළ ද එය ප්‍රශ්නයක් නොවේ. බෞද්ධයා නිරන්තරවම මල් පූජාවේදී වඩා අර්ථවත්ව මෙම පූජාවන් සිදු කළ යුතු අතර එසේ වන්නේ නම් දෙලොව සැප විපාක ලැබිය හැකිය.

මල් පූජාවේ ආනිසංස සිහිපත් කිරීමේ දී බෞද්ධ සාහිත්‍යයේ බොහෝ අවස්ථා ඇත. මෙයින් බොහෝ දෙනාගේම අවධානය යොමුවන අවස්ථාවක් ධම්මපදට්ඨකතා අටුවාවේ ඇතුළත් ය. සැබෑ අනුසස් ලැබෙන ලෙස මල් පූජා කිරීමත්, පූජාව කෙසේවිය යුතුද? යන්නත් මෙයින් මනාව හඳුනාගත හැකිය. මෙය අරභයාම බුදුරදුන් බාල වග්ගයේදී ගාථා ධර්මයක්ද දේශනා කර ඇත. එහි නිධාන කථාව මෙසේ ය.

‘මල් විකිණීම තම රැකියාව කරගත් "සුමන" නම් මල්කරුවෙකු සෑම දිනකම බිම්බිසාර රජුට මල් ගෙන යයි. දෑසමන් මල් නැලි අටක් ගෙන යන මොහුට කහවණු අටක් ලැබෙන අතර එයින් තම ජීවිතය පවත්වාගෙන යයි. එක් දිනක් බුදුරදුන් වඩිනු දුටු මොහු තමා රජුට ගෙනයන මල් ජීවිත පරිත්‍යාගයෙන් බුදුරදුන්ට පිදූහ. එම සියලුම මල් බුදුරදුන්ට වියනක් මෙන් උන්වහන්සේ වඩින පසුපස ගමන් කළහ. මෙය දුටු සුමනමාලාකරුට මහා සතුටක් ඇතිව තම නිවසට ගිය මුත් බිරිඳ එයින් අමනාපව රජු කරා ගොස් සමාව අයදීය. රජුට ගෙනයන මල් බුදුරදුන්ට පිදීම ගැන ඇය රජු ඉදිරිපිට තම සැමියාට දොස් කියූ නමුත් රජු ඇයගේ ශ්‍රද්ධාව ගැන අනුකම්පාකොට බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන්ට රජ මිදුල තුළ දානය පිළිගැන්වීය. මල් තිරයෙන් ආවරණ වූ බුද්ධ රූපය දුටු රජු ඇතුළු පිරිස මහත් ප්‍රමෝදයට පත්වූහ. දන් වැළඳීමෙන් පසු බුදුරදුන් සුමනමාලාකරුගේ මල් පිදීමේ පින්කම පිළිබඳ ඇගයීම් වශයෙන් මෙසේ ධර්ම දේශනා සිදු කළහ.

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවතී 

 
ධර්ම දේශනාව අවසානයේදී රජු මහත් සෙයින් ප්‍රසාදයට පත්ව සෑම වස්තුවකින්ම අටබැගින් මහත් පරිත්‍යාගයක් සුමනමාලාකරුට සිදුකළහ. එම පරිත්‍යාගය අටුවාව දක්වනුයේ ‘සබ්බට්ඨක’ පරිත්‍යාගය වශයෙනි. මෙම ගාථාවේ ඇතුළත් විවරණය කරගත යුතු ප්‍රධාන වචන හතරක් ඇත. එය මනාව තේරුම්ගන්නා කෙනෙකුට මෙම ගාථාවෙන් කියවෙන සොම්නස ඇතිවන ක්‍රියා නැවත නැවත සිදු කිරීම යහපත් වන අයුරු අවබෝධ කරගත හැකිය. ඒ වචන හතර මෙසේ ය.

1. කම්මං,
2. න අනුතප්පති ,
3. පතීතෝ
4. සුමනෝ

සාමාන්‍ය ජීවිතයේදී සිදුකරන සෑම ක්‍රියාවක්ම පොදුවේ සලකනුයේ කර්ම ලෙසය. හොඳ කර්ම කුසල හෙවත් යහපත් ලෙසත් නරක කර්ම අකුසල හෙවත් අයහපත් ලෙසත් විස්තර වේ. කුසල නම් එය විඳීමට හැකි අතර අකුසල නම් විඳ විය හැක. සුමන මාලාකරුගේ ක්‍රියාව කුසල වූ අතර එය මෙලොව බොහෝ සැප සම්පත් ලැබීමට හේතුවූවා පමණක් නොව ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ යම්දින සුමන මාලාකරු සුමන නමින් පසේ බුද්ධත්වයට පත්වන බවයි. එය එසේ වනුයේ රජුගෙන් දඬුවම් ලැබේ යැයි දැන දැනම රජු විෂයෙහි දිය යුතු මල් බුදුරදුන්ට පිදීමයි. එසේ සිදු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. එය දානයෙහි පරමත්ථ ගණයට වැටෙන්නකි. තාවකාලික භෞතික අවාසි නොසලකා දීර්ඝ කාලීන ආනිසංස ගැන කල්පනා කරමින් යහපත් ක්‍රියා සිදු කිරීම කෙතරම්ම යහපත් දැයි සුමන මාලාකරුගේ මල් පූජාවෙන් තේරුම් ගැනීම පහසුය. එය සසර විඳින්න තරම් පිනකි. එය එසේ යැයි සඳහන් කළ හැක්කේ ඔහු තුළ පැවති චේතනාව මතය. බොහෝ මල් වර්ග බොහෝ සෙයින් පිදුවද ඇතැම්විට බලාපොරොත්තු අනුසස් නොලැබෙනුයේ චේතනාව අපිරිසුදු බැවිනි. අනුන් පැරදවීම, ඊර්ෂ්‍යාව, ලෝභය සහිතව මල් පිදීම යහපත් කර්මයක් නොවේ. එසේම අතු බිඳ, මල් පොහොට්ටු විනාශ කරමින්, අන්‍ය වතු වලින් හොරාට නම් මල් නෙළන්නේ එය යහපත් නොවේ.

මල් පිදීමේ දී එය පිනක්, කුසල කර්මයක් වනුයේ තමන් සතු දෙයක්ම පිදිය යුතු ය. එම චේතනාව ධර්මයෙහි විස්තර කරනුයේ ‘අත්තූපකරණ පරිච්චාග චේතනාව‘ වශයෙනි. නාගවිමාන වස්තුවෙන් පවා පැහැදිලි වන්නේ එම තත්ත්වයයි. මුගලන් හිමියන් දිව්‍ය ලෝකයේදී දකින දෙවියන් මහේශාක්‍ය වීමට හේතුව වූයේ මල් කරුවාගෙන් මිලදී මල්ගෙන පිදීමයි. පෙර භවයක ඔහු විසින් පිදුවේ මල් අටකි. එහෙත් අනුසස් මහත්ය. හේතුව චේතනාව පිරිසුදු ය. නෙළුම්මල්, පිච්චමල් කූඩගණන් පිදුව ද සිත අපිරිසුදු නම් වංචනික, වංක නම් එය යහපත් කර්මයක් කුසල කර්මයක් නොවේ.

පසු තැවිලි නොවීම හෙවත් පශ්චාත් තාප නොවීම, ‘න අනුතප්පති’ ලෙස මෙහිදී විස්තර වේ. සිදුකළ ක්‍රියා මෙනෙහිවීමේ දී සොම්නසක් ඇතිවිය යුතු ය. එය පිනකි. කුසලයකි. එසේ නොවන්නේ නම් එය පවකි. අකුසලයකි. පින තුළින් භව සමූහයද කුසලය තුළින් නිරෝධයද ඇතිවේ. එහෙයින් සුමන මෙන් ආත්ම තෘප්තිය ඇතිවන ක්‍රියා සිදු කළ යුතු ය. දෙව්දත් තෙර අපාගත වන්නේත් මුගලන් හිමි කළුපාට වන්නේත් කුස රජුගෙ මූණ කැවුමක ස්වරූපය ගනු ලබන්නේ ද පසු තැවිලි වන ක්‍රියා සිදුකිරීම තුළිනි. මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නේ ද සිතාමතා නරකින්, හොඳ වෙන් කරගෙන කටයුතු කිරීම නිසාවෙනි. එය එසේ නොවන්නේ නම් මිනිසත්කම ගැටලු සහගතය.

යසස, කීර්තිය පැතිරීම මෙහිදී පතීතෝ ලෙස විස්තර වේ. සුමන මාලාකරුගේ ක්‍රියා නිසා එතුමාගේ යසස පැතිරෙන අයුරින් බුදුරදුන් කටයුතු කළහ. පිණ්ඩපාතය සඳහා මහමඟ වැඩීම මෙන්ම රාජ මාලිගාව තුළට නොවැඩ මාලිග මිදුලෙහි වැඩ සිටියේද ඒ නිසාය. යම් හෙයකින් උන්වහන්සේ මාලිගාව තුළට වැඩියේ නම් සාමාන්‍ය ජනයාට මෙම ඓශ්චර්ය දැකිය නොහැකිය. කෙනෙකුගේ යසස වැඩීම ඔහුගේ ජීවිත කාලය තුළ කෙරෙන ක්‍රියාකාරකම් යහපත් විය යුතු ය. උපතේ දී හා විපතේ දී සෑම විටම එක පිරිසක් දුකට වේදනාවට පත්වේ. මිනිසත්කමේ උතුම්බව රඳා පවතින්නේ ජීවිත කාලය තුළ සෑම පාර්ශ්වයක්ම සතුටු වන ආකාරයෙන් තම ජීවිත පවත්වාගත හැකිනම් පමණි. සුමන මාලාකරු, අනේපිඬු සිටු, විශාඛා, බන්ධු මල්ලිකා, කෝසල මල්ලිකාව පිළිබඳව එදා මෙන්ම අදද ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කරනුයේ ඒ නිසා ය.

සොම්නස පී‍්‍රතිය හෙවත් පිනායාම මෙහිදී සුමනෝ යන්නෙන් අදහස් කෙරේ. පින යනු ද සතුටයි. ධර්මය තුළ පිනායාම පින ලෙස අර්ථවත් වේ. හදවත සිත සතුටුවේ නම් එය පිනකි. කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනව සතුට ඇතිවන ක්‍රියා සිදුකිරීමට සෑමවිටම බුද්ධිමතා කටයුතු කරයි. සුමන මාලාකරුට බොහෝ සම්පත් ලැබෙනුයේ මේ පින තුළිනි. බුදුරදුන්ට මල් පිදීම නිසා සතුටු වනුයේ උන්වහන්සේ නොව, පුදන ඇත්තන්ය. එහෙයින් සතුට සොම්නස පවතිනුයේ මල් තුළ නොව සිත් තුළය. කුමන ඉන්ද්‍රිය වෙහෙසවා ක්‍රියා කළද සතුට දැනෙනුයේ සිතටය. පින්කමක් සිදුකිරීමෙන් පසු, එසේ සොම්නසට පත්නොවන්නේ නම් මල් හෝ වෙනත් පූජාවකින් ඵලයක් නැත.

මල් පූජාවක සැබෑ ආනිසංස ලැබීමට නම් සුමන මාලාකරු මෙන්ද නාගවිමාන වස්තුවේ දෙවියන් මෙන් කටයුතු කළ යුතු ය. එසේ ම ලංකාවේ සිටි සුළුගුළු උපාසක මෙන් දිව්‍ය ලෝකයේ දී දකින ලද රක්තවර්ණ දිව්‍ය රාජයා මෙන් මල් පිදීම කළ යුතුමය. එවිට යසස පැතිරේ. සතුට ඇතිවේ. එමෙන්ම දෙලොව ජයගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා.



කොලොන්නාව පුරාණ විහාරවාසී
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
සියඹලාගොඩ ධම්මින්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment