මහා මංගල සූත්‍රය නොදන්නා නොඇසු බෞද්ධයෙකු මෙලක සිටිතැයි සිතිය නොහැක. මංගල කරුණු 38 කින් සමන්විත මෙම සූත්‍රයේ පළමුවැනි මංගල කාරණය 'අසේවනාච බාලානං' යනුවෙන් හැඳින්වේ.
එනම් බාලයන් ඇසුරු නොකළ යුතුය යන්නය. බාලයන් යනුවෙන් හැඳින්වෙන්නේ වයසින් බාලවුවන් නොවේ. ගුණධර්ම හා සිල්වත් භාවයක් නොමැති පුද්ගලයන් යන්නය. මුළු ජීවිතයම විනාශවන්නේ අනර්ථකාරී වන්නේ නොමඟට යන්නේ දියුණුවක් නැති වන්නේ පරිහානියට පත්වන්නේ හා අවසානයේ ජීවිතය පවා නැතිවන්නේ බාලයින් ඇසුරු කිරීම නිසාය මෙතරම්ම ජීවිත හානියට බලපාන වෙනත් පුද්ගලයෙක් නොමැති තරම්ය. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ මෙම කාරණය පළමුවැනි කාරණය ලෙස යොදාගෙන ඇත්තේ මේ නිසාය.
බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දෙවැනි කරුණ ලෙස සඳහන් කරන්නේ පණ්‌ඩිතානංච සේවනාය. එනම් පණ්‌ඩිතයන් ඇසුරු කිරීමය. පණ්‌ඩිතයන් යනු ගුණධර්ම හා සිල්වත්භාවයෙන් පරිපූර්ණ පුද්ගලයින්ය. මෙම ලිsපියේ අරමුණ මහා මංගල සූත්‍රය ගැන අදහස් දැක්‌වීම නොවේ. අප යහමගට යොමු කරන මග පෙන්වන මෙම ගුණධර්ම සහිත පුද්ගලයන් කවුරුන්දැයි හඳුනා ගැනීටමය. මන්ද කුසල් වර්ධනය කර සුගතිගාමී වීමට නැතහොත් නිබ්බානගාමී වීමට, ගුණධර්ම සහිත පුද්ගලයින් ඇසුරු කළ යුතු නිසාය. අපට සතර සම්‍යක් ප්‍රධාන ඇති කරගත හැක්‌කේ එවිටය. සතර සම්‍යක් ප්‍රධාන යනු ලෝකොත්තර මාර්ග ඥානයට උපකාරීවන ධර්ම හතෙන් එකකි. එම සතර නම් උපන් අකුසල් ප්‍රාහානය කිරීම පිණිස කරන ව්‍යායාමය නූපන් අකුසල් නූපදීම පිණිස කරන ව්‍යායාමය, නූපන් කුසලයන් ඉපදීම පිණිස කරන ව්‍යයාමය හා උපන් කුසලයන් වැඩි දියුණු කිරීම පිණිස කරන ව්‍යායාමයන්ය. එසේ නම් කුසල් වැඩිදියුණු කරගත හැක්‌කේ කිනම් පුද්ගලයින් ඇසුරු කිරීමෙන් දැයි විමසා බලමු.
දිනක් සැරියුත් මහරහතන් වහන්සේ ව්වේකීව සිටින අවස්‌ථාවක අකුසල් ඉවත්කර කුසල් වැඩිකර ගන්නේ කෙසේදැයි කල්පනා කළේය. උන්වහන්සේට අවබෝධවූ දෑ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරණ ලදී. බුදුරජාණන් වහන්සේ සාදු නාදයක්‌දී ඒ සියල්ල අනුමත කළේය. ශාස්‌තෘ ගෞරවයෙන් යුක්‌තව බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඇසුරු කිරීමෙන් කුසල් වැඩි දියුණුකර ගතහැකි බව උන්වහන්සේගේ සිතට නැගී කරුණු විය.
සම්බුද්ධ පර්නිර්වානයෙන් වසර දෙදහස් හයසිය ගණනක් දැනට ගෙවී ඇති බැවින් අපට ඇසුරු කිරීමට බණ පදයක් ඇසීමට ජීවමාන බුද්ධ රත්නයක් නැත. ඇත්තේ උන්වහන්සේගේ ශාරීරික පාරිභෝගික හා උද්දේශික වස්‌තූන් පමණි. එ වස්‌තූන් වැඳපුදා ගැනීමෙන් අප කුසල් අත්කර ගනිමු අපට ඇසුරු කිරීමට ඇත්තේ උන්වහන්සේ දේශනා කරණ ලද සද්ධර්මයයි. ඒ සද්ධර්මය අඩංගු පොතපත හැදෑරීමත් ධර්ම දේශනාවලට සවන්දීමෙනුත් කුසල් අත්කර හැක. මෙම කුසල් අත්කරගැනීමට මගපාදාගත හැක්‌කේ එම මාර්ගයට යොමුවිය හැක්‌කේ ගෞරවණීය මහා සංඝයා වහන්සේලා ඇසුරු කිරීමෙන් හා සිල්වතුන් හා සත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් පමණි.
දිනක් බුදුරජානන් වහන්සේ වෙත පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
'ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ නිවන් මාර්ගයෙ හරි අඩක්‌ම තියෙන්නේ කල්‍යාණ මිත්‍රතාවය මතය කියා මට සිතේ.' බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක. 'ආනන්ද ඔබ වැරදිය. හරි අඩක් නොව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාන මිත්‍රතාවය මතය'. ඒ අනුව කුසල් වැඩි කරගැනීමට වඩාත්ම උපකාරී වන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. සංයුක්‌ත නිකායේ ඇති මිත්ත නම් සූත්‍රයේ ද බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍යවන බාහිර අංගයක් ලෙස සඳහන් කර ඇත්තේ කල්‍යාන මිත්තතාවයය. බෝධිසත්ව කාලය ගැන සඳහන් වන පන්සිය පනස් ජාතකය හා බුද්ධ චරිතය හදාරන විට මෙහි සත්‍යතාවය මනාව පැහැදිලි වේ. මෙයට හොඳම උදාහරණයක් වන්නේ ජෝතිපාල නමින් අප මහබෝසතාණෝ ඉපදී සිටි අවස්‌ථාවයි. බෝධසත්වයන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන යන්නේ සිය කල්‍යාණ මිත්‍රයා විසින්ය.
බුදුදහමේ කල්‍යාණ මිත්‍රයා නමින් හඳුන්වන්නේ අප බොහෝ විට හඳුන්වන යමෙක් තමාට වඩාත් හිතවත් ළඟම අඹ යාළුවා නොවන බව සඳහන් කළ යුතුය. අඹ යාළුවා යනු තමා ළඟින්ම ඇසුර කරන තමාගේ හොඳම මිත්‍රයාය. ඔහු යහපත් පුද්ගලයෙක් මෙන්ම අපහපත් පුද්ගලයෙක්‌ද විය හැකිය. පාතාලයේ මැරයකුට මං පහරන්නෙකුට ස්‌ත්‍රී දුෂකයකුටද තමාට උපදෙස් දෙන තමාගේ වැඩවලට හවුල්වන උදව් උපකාරී වන අඹ යාළුවකු සිටිය හැක. එහෙත් ඔහු කිසිවිටෙක කල්‍යාන මිත්‍රයකු නොවේ. කල්‍යාන මිත්‍රයා යනු තමන්ට සසර දුකින් එතෙරවීමට උදව් කරන පුද්ගලයා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මෙලොව බිහිවූ හොඳම කල්‍යාණ මිත්‍රයා තමා බව බුදුරජානන් වහන්සේම උන්වහන්සේ දේශනාකර ඇති සාරිපුත්ත දෙAශනයේ සඳහන්කර ඇත. ඒ අනුව දැනට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් අපට නොමැති නිසා අපට සිටින ඇසුරු කිරීමට ඇති හොඳම කල්‍යාණ මිතුරා උන්වහන්සේ දේශනා කළ සද්ධර්මය හා ගෞරවණීය මහා සංඝයා වහන්සේලාය.
අද බොහෝ බෞද්ධයින් සංඝයා වහන්සේලා ඇසුරුකරන්නේත් විහාරස්‌ථානයට යන්නේත් තමන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහාය. පාංශකූලයට වඩම්මා ගැනීමට දානය හෝ පිරිතට වඩම්මා ගැනීමට බෝධි පූජාවක් පවත්වා ගැනීමට ආදී අවශ්‍යතාවන් සපුරා ගැනීමටය. ඒ අතින් අපි අන්‍ය ආගමිකයන්ට වඩා බොහෝ පහළින් සිටින බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පිංකම් කිරීමට විහාරස්‌ථානයටම යායුතු දැයි පන්සල් රැක්‌කාම මදිදැයි අසන්නෝද සිටිති. එසේම අද බොහෝ පිංවතුන් අස්‌ඨාංග ශීලය සමාදන්වීම සඳහාද විහාරස්‌ථානයට නොගොස් නිවසේම රූපවාහිණිය ඉදිරිය් සිල් සමාදන් වීමට පුරුදුවී සිsටිති. සාමාන්‍ය ජනතාව සමඟ එකට සිටීමට ඇති අකමැත්ත දානය ගැනීමට ඇති අකැමැත්ත ආදී මහන්තත්වකම හේතුවක් කරගෙන එසේ අෂ්ඨාංග ශීලය සමාදන්වීම අනුමත කළ නොහැක. අනික තුනුරුවන්ම නිවසේ නොසිටින බව ඔවුන් අවබෝධ කරගත යුතුය. කල්‍යාන මිත්‍රයා සේම අනෙක් වැදගත් පුද්ගලයා වන්නේ සත්පුරුෂයින්ය.
බෝධිසත්ව චරිතය, මහා ශ්‍රාවක චරිත වෙනත් භික්‌ෂු භික්‌ෂුණීන් හා උපාසක උපාසිකා සිව්වනක් පිරිස ගැන සලකා බලන විට ඔවුන්ට එම තත්ත්වයට ළඟාවීමට හැකිව ඇත්තේ සත්පුරුෂ ආශ්‍රය නිසා බවය. සත්පුරුෂයින් යනු කවුද? හඳුනාගන්නේ කෙසේද? ඇසුරුකළ යුත්තේ කෙසේද? යන්න ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කිහිපමයක් දේශනා කර ඇත. ඒ බව අංගුත්තර නිකායේ පස්‌වන මහාසන්නායකයේ සප්පුරිස වග්ගයේ සඳහන් වේ. යම්කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතය නොකරයිද, අනුනුත් ප්‍රාණඝාතය වැළක්‌වීම සඳහා සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක් තෙමේත් අදත්තාදානය නොකරයිද, අනුනුත් අදත්තාදානය වළක්‌වා ගැනීම කෙරෙහි සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක් තෙමේත් කාමමිච්ජාචාරය නොකරයිද, අනුනුත් කාමමිච්ඡාරයෙහි යෙදීමෙන් වළක්‌වා ගැනීම කෙරෙහි සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක් තෙමේත් මුසාවාදයෙන් වැළකී සිටීද අනුනුත් මුසාවාදයන් වළක්‌වා ගනීද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක් තෙමේත් රහමෙර පානය නොකරයිද අනුනුත් සුරාපානය වළක්‌වා ගනීද හෙතෙම සත්පුරුෂයෙකියි යනුවෙන් සත්පුරුෂයින් යනු කවුරුන්දැයි දේශනා කළේය.
මීට අමතරව කුසල් වර්ධනය කරගතහැකි ගුණාංග සහිත පුණ්‍යවන්තයින් සතු ගුණාංග හතක් සහිත සත්ත වෘත පද හතක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේත් ධම්ම පදට්‌ඨ කථාවේත් අඩංගුය. බුදුරජාණන් වහන්සේ මහාවිs නම් ලිච්චවී රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම කරුණු හත දේශනා කරන ලදී. ශක්‍ර සම්පත්තිය ලැබීමට පවා මෙම කරුණු හේතුවේ. මඝ නම් මානවකයා සක්‌දෙව් රජ වූයේ මේ ගුණාංග හත අනුව ක්‍රියා කළ නිසා බවද බුදුන් වදාළේය එම කරුණු හත නම්
1. මව්පියන් පෝෂණය කරන
2. කුල දෙටුවන් පුදන
3. මෘදු වචන කථාකරන
4. කේලාම් නොකියන පුද්ගලයින්ය
5. මසුරු මල දුරුකරන 6. සත්‍ය වචන කියන
7. ක්‍රෝධ නොකරන පුද්ගලයා
කල්‍යාණ මිතුරන් හා සත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් අප සන්තානයේ ඇති බොහෝ කෙලෙස් මගහරවා ගෙන යහපත් මාර්ගයට යොමුවීමට ඔවුන් උපකාරී වනු ඇත. කුසල් කිරීමට වැඩිදියුණු කිරීමට ඔවුන් උපකාරී වන්නේ ඒ අයුරින්ය. ඔවුන් ඔබව යහමඟට ගනු ඇත.
ඉහත සඳහන් ගුණාංග වළින් පරිපූර්ණ කල්‍යාන මිතුරන් ඇසුරු කිරීමෙන් අපට කුසල් වැඩිකර පින් සිදුකර ගැනීමෙන් සුගතිගාමී විය හැකිය.
වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාම ළත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment