ප්‍රශ්නය – ව්‍යවහාර ලෝකයේ සැප දෙකකි. ඒ මොනවාද? පැහැදිලි කරන්න.
පිළිතුර–
1. ලෞකික සුවය හෙවත් පංචකාමයන්ගෙන් ලබන සුවය එකකි. එය පසිඳුරන් මගින් ලබන තාවකාලික වූ සැපයකි. එහි කෙළවර දුකක්ම වෙයි.
2.විමුක්ති සුඛ හෙවත් ලෝකෝත්තර සැපයයි. සියලු ලෞකික සංස්කාර ධර්මයන්ගෙන් සදහටම මිදීමයි. උප්පජ්ක්‍ධිත්වා නිරුජ්ඣන්ති, තෙසං වු පසමො සුඛො. එය උපත විපත නැතිවීමෙන් ලබන අවේදයිත සුවය යැයි ගත හැක්කේ එයින් ඇතිවන තත්ත්වය සුවය හෙයිනි. එනම් රෝග 3 ක් නැතිවීමේ සුවයයි.
ප්‍රශ්නය – භින්න රුචික සමාජයක විවිධ පුද්ගලයෝ ජීවත් වෙති. මෙම විවිධත්වය ඔවුන්ගේ බාහිර පෙනීම සහ ක්‍රියාකාරකම් මත හඳුනාගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රමාණ හතරක් පමණ දක්වා ඇත. ඒ ප්‍රමාණ මොනවාද? පැහැදිලි කරන්න.
පිළිතුර –
1.සංවාසෙන – සහවාසයෙන් එක්ව වාසය කිරීමෙන් සදාචාරය පිරික්සීම සඳහා මේ ක්‍රමයෙන් “දීසෙන අද්ධුනා න ඉත්තරං” දීර්ඝ කාලයක් ගතවේ.
2. සං වොහාරෙන -සංලාපය කතාබහ, වාද විවාද මගින් මානසිකත්වය පරික්ෂාවට ලක් කිරීම.
3.ආපදාසු –ආපදාවකදී හදිසි අවස්ථාවක දී නොසිතූ සිදුවීමක දී ඔහු ක්‍රියා කරන ආකාරය.
4. සාකච්ඡාය – සාකච්ඡාවෙන් බුද්ධිමත් බව පරීක්ෂා කර බැලීම
ප්‍රශ්නය – බුදු දහමේ කර්මය පිළිබද මූලික ඉගැන්වීම චූල කම්ම විභංග හෙවත් සුභ සූත්‍රයයි. තොදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා විසින් ලෝක සත්වයන් අතර පවත්නා අප්පායුක, දීඝායුක, බව්හාබාධ , අප්පබාධා, දුබ්බණ්ණ, සුවණ්ණ, අප්පෙසක්ඛ, මහෙසක්ඛ
අප්පභොග, මහා භොග, නීච කුලීන, උච්ච කුලීන, අප්පඤ්ඤ පඤ්ඤාවකන්ත හීන විචාළ විට බුදුරජාණන් වහන්සේ වෙතින් කම්මස්සකා මානව සත්තකම්ම දායාදා කම්මයොනි කම්මබන්ධු කම්ම පටි සරණා කම්මං සත්තේ විභජති යදිදං හීනපපණීතතාය යන මේ දේශනාව කළ සේක. බුදුදහමේ පදනම කර්මය කර්මඵල පිළිබඳ අවබෝධයි. ඉහත සඳහන් දේශනා පාලිය ඇසුරු කරගනිමින් බෞද්ධ කර්මය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර – ලොව සියලු සත්වයෝ තම තමන් විසින් තුන්දොරින් රැස්කරන ලද කර්ම රාශියම ස්වකීය සන්තක ධනය කොට ඇත්තාහුය. කර්ම රාශියම ඥාතිකොට ඇත්තාහුය. කර්ම රාශියම තම තමන් පිහිට කොට ඇත්තාහ. සත්වයන් පිළිබඳව යම් හීන ප්‍රණීත බවක් වේ නම් කර්මය තෙමේ ඒ උස් පහත් භේදයෙන් සත්වයන් බෙදන්නේය.
මෙයින් බුදුන් වහන්සේ සත්ව ලෝකයේ අසමානත්වය විසමත්වය, විවිධත්වය, දෙවියකු බ්‍රහ්මයකු නිසා හෝ අහේතුකව ඇතිවුවක් නොව කර්ම සංඛ්‍යාත හේතු ප්‍රත්‍යය නිසා සිදුවූවක් බව පැහැදිලි කළ සේක. ඒ අනුව බුදුදහමේ පදනම කර්මඵල දක්නා කම්මස්සකතා ඤාණයයි. ලෝකයේ නානාප්‍රකාර සැප දුක් විඳින සසර සැරිසරණ සත්වයන් ගේ නානා තත්ත්වය හා විවිධත්වය කර්මය විසින් කරන ලදැයි දක්නා නුවණ ප්‍රඥාව කම්මස්සකා ඤාණයයි.
ප්‍රශ්නය – සත්වයන් කෙරෙහි සම්‍යග් ප්‍රතිපත්ති හෙවත් නිවැරදි පරමාදර්ශී වූ පිළිවෙත මේ යැයි යන අරුතින් බ්‍රහ්ම විහාර යන සද්ගුණයන් සඳහා මේ නම යෙදී ඇත. සමාජයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් නිසා උද්ගත වන සියලු අවස්ථාවන්ට විසඳුම් මේ මානසික ගති හතර ඉදිරිපත් කරයි. ප්‍රතිවිරුද්ධතාවන් ඉවත් කරන සමාජ ගැටුම්වල දී සමගිය ඇතිකරන ජීවිත සටනේදි ඇතිවන කායික හා මානසික තුවාල සුවකරන සමාජ බාධකයන් නැති කරන සුහද හිතුමිතුරුකම් ගොඩනගන කාලයක් තිස්සේ අමතකව ගොස් ඇති ප්‍රබෝධය අවදි කරන පී‍්‍රතිය හා බලාපොරොත්තු යළි ඇති කරන මේ සදාචාර ගුණධර්ම ආත්මාර්ථකාමී භාවයට ප්‍රතිවිරුද්ධ වු සහෝදරත්වය මෙම බ්‍රහ්ම විහාර සද්ගුණයන් නිසා සමාජය තුළින් උද්ගත වෙයි. මේ සද්ගුණයන් එකින් එක පැහැදිලි කරන්න.
පිළිතුර – සිව් බඹ විහරණ හෙවත් බ්‍රහ්ම විහාර සද්ගුණයන්ගෙන් පළමුවැන්න මෙත්තා හෙවත් මෛත්‍රියයි. මිතුරු බවයි. මිතුරා සිතක් ජනිත කළ යුතු ආකාරය, මෙත්ත සූත්‍රය විස්තර කරයි. මවක් තම එකම පුතා සිය දිවියෙන් යම් සේ රකීද? එහෙයින් සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ වූ (සීමා රහිත) මෙත් සිතිවිලි වඩන්නේය. සියලු සත්හු සුවපත් වෙත්වා. උවදුරු රහිත වූවෝ වෙත්වා, සුවපත් සිත් ඇත්තෝ වෙත්වා. සිටින , ඇවිදින, හිඳින, නොනිදන, හැමවිටම මේ මෙත් සිත ඇතිව සිටින්නේය.
පරමාදර්ශී ලෙසින් මෙත් සිත් වඩන්නාහු තමාගේ අවයවයන් කියතකින් කපා වෙන් කරද්දී වුවද එසේ කරන්නවුන් කෙරෙහි වෛරයක් ඇතිකර නොගත යුතු බව කකචුපම සූත්‍රය කියයි. ඉතා සැඩ පරුෂ මිනිසුන් වාසය කරන සුනාපරන්තයට ගිය පුණ්ණ තෙරුන් ගේ කථාව මෛත්‍රි චිත්තය භාවිතා වු සිතක් ඇත්තවුන් ගේ චරියාවෙහි අචංචල උදාරත්වය පහදයි.
අනුන්ගේ දුක දැක එය බැහැර කරනු කැමැත්තෙන් සාධුන්ගේ සිත්හි ඇතිවන කම්පනය කරණා යනුවෙන් දෙවන බ්‍රහ්ම විහාරය ලෙස හැදින්වෙයි. අනුකම්පා දයා යන වචන ඊට සමානාර්ථවත්ව යෙදෙන බව පෙන්වා දී ඇත්තේය. මෛත්‍රියට සියලු සතුන් අරමුණු වන අතර දුකටපත් සත්වයා කරුණාව ම අරමුණ වෙයි. අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව, දයාව, අනුකම්පාව, ලැබේවයි. මෛත්‍රිය තමා සමාන කොට අන් අයද කෙරෙහි හිත මිතුරු ආකල්පයන් ඇතිකරන අතර දුප්පත්කම දුරලීම සඳහා පුද්ගලයා අවදි කරවා ක්‍රියාකාරිවීමේ ශක්තිය කරුණාවට හිමි වෙයි. බලාපොරොත්තුවක් නැතිව පරහිතකාමීව අනුන් සඳහා ධනය, කාලය, උගත්කම, ශ්‍රමය, කැපකිරීම, කරුණාව, ලෙසින් හඳුනාගත හැකිය.
අනුන්ගේ සැපතෙහිදී සතුටුවන ස්වභාවය මුදිතාවයි. අනුන් විඳින සැප තමන්ගේ තත්ත්වය හා සසඳා බලා නිගමනවලට එළඹීම (හෙවත් මානය) මැනීම මිනිස් ගතියයි. මේ සැසැදීමේ දී තමන් අනුනට වඩා උසස් සමාන හෝ පහත් බව දකින විට ඊට අදාළ වන අයුරු මානසික ගති ඇති කර ගැනීමට මිනිසා යුහුසුළු වේ. තමාට වඩා සැප පහසුවෙන් වැඩි ජීවිත ගතකරන අය දැක සිතේ නොසන්සුන්තාවක් ඇතිකර ගෙන ඔවුනට වෛර කිරීමට හෝ ඊර්ෂ්‍යා කිරීමට අසංවිධිත සිතක් ඇත්තකු නියත වශයෙන්ම පෙළඹේ. සමාජය තුළ ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවීමට මෙබඳු දූෂිත සිතිවිල්ලක් හේතු වනු ඇත. ඒ හේතුව නිසාම සමාජයට හානිකර විපත්ති දායක තත්ත්වයක්ම උද්ගත වෙයි. අනුන් ගේ සැපතෙහිදී අසහනයට පත් නොවී හිතවත් හැඟීමක් ඇතිකරගෙන එම සැපත කෙරෙහි සතුටු විය හැකි නම් එය සමාජ සාමය උද්ගත කරවන විශිෂ්ට පදනමක් වෙයි.
උපේක්ෂාව නම් මැදිහත් බවයි. අනුන් පහත් කොට සලකා තමන් උසස් කොට සිතා කටයුතු නොකර සමාජ සුබ සාධනය සඳහා සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම උපේක්ෂාවයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර්
03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment