තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශ්‍රයට සුදුසු කලණ මිත්‍රයෙකු සොයන්නේ, තමාට හා සමාන හෝ තමාට වඩා උසස් මිත්‍රයෙකු සොයා ගත නොහෙන්නේ නම් පාපියෙකු සමඟ එක් නොවී හුදකලා වාසය කිරීම උතුම්බව පෙන්වා වදාළහ.
බුදුසව් මහකසුප් මහ රහත් තෙරණුවෝ එක් කලෙක "පිප්ඵලී" නම් ගුහාවෙහි වැඩ වෙසෙති. එකල උන්වහන්සේට ශිෂ්‍ය දෙනමක්ද වෙති. මෙම දෙදෙනාගෙන් එක් භික්ෂුවක් ගුරුතුමන්ට අතිශයින්ම බැතිබරය. අනෙකා වංචාකාරිය. කපටිය. ඔහු අනුන් කරන දේ තමන් කළ දේ ලෙස ගුරුවරයාට අඟවමින් ප්‍රශංසා ලබයි. බැතිබර ශිෂ්‍යයා ගුරුහිමියන් සඳහා දැහැටි පැන් සපයා ලූ විට අනෙකා ගුරුතුමන් වඩමවා ගෙන එයි. නාන්නට ,දෙපා දෝවනයට පැන් සපයාලූ විට ගොස් ඊට ආරාධනා කරයි.
මෙම භික්ෂුවගේ වංචනික ක්‍රියා කලාපය නොඉවසූ බැතිබර ශිෂ්‍යනම එක් දිනක් මොහුට පාඩමක් උගන්වන්නට සිතයි. මොහු තමන් කරන සියලු දේ ඔහු කළ දේ ලෙස හඟවා ප්‍රශංසා අපේක්ෂා කිරීමේ බාල ගුණයට අභියෝග කරන්නට සිතා වංචනික භික්ෂුව දහවල අහර වළදා නිදන්නට ගිය විට ගුරුහිමියන්ට ස්නානය පිණිස උනු පැන් සකසා සඟවා තබයි. සැලියෙහි වතුර ස්වල්පයක් ඉතිරි කොට හුමාලය නංවමින් උණුවන ආකාරය පෙනෙන්නට සලස්වයි. නිදිගත් වංචනික භික්ෂුව සවස් යාමේ පිබිද වතුර සැළියෙහි හුමාලය නැගෙනු දැක ගුරුහිමියන් වෙත ගොස් ස්නානයට ආරාධනා කොට වඩමවයි. තෙරුන් වහන්සේ නාන කොටුවට වැඩමවා වතුර නොදැක වතුර කොහිදැයි විමසති. වංචනිකයා ගිනිහල් ගෙට ගොස් දුම්දමන සැළියෙන් වතුර ගන්නට උත්සාහ දරයි. එහෙත් එහි ජලය නොමැති බව දුටු විට දුෂ්ටයා යනුවෙන් අමතමින් පරිභව කොට තෙමේම වතුර උණු කරන්නට සැරසෙයි.
එවිට කීකරු ශිෂ්‍යනම ගුරු තෙරුන් වහන්සේට ස්නානය පිණිස සකස් කළ උණුූ ජල බඳුන රැගෙන විත් දුෂ්ටයා කවරෙක්දැයි ප්‍රත්‍යක්ෂ කරවයි. එවිට මෙතෙක් කලක්ම මේ වංචනික ශිෂ්‍යයා කළේ කීකරු ශිෂ්‍යයාගේ වැඩවලින් වැජඹෙන්නට උත්සාහ දැරීම බව ප්‍රකාශ කරමින් ඔහුට දෝෂාරෝපණ කරයි. භික්ෂුවක් කළ යුත්තේ තමන් කළ දේ පමණක් තමන් කළ ලෙස ඇඟවීම බවත් අනුන්ගේ දක්ෂතාවෙන් වැජඹෙන්නට උත්සාහ කිරීම දුෂ්ට මිනිස් ගතියක් බවක් දක්වමින් මහා කාශ්‍යප තෙරහු අවවාද කරති.
එහෙත් දුෂ්ටත්වයේ ම මූර්තියක් බඳු වූ අකීකරු ශිෂ්‍යයා වතුර ටිකටත් මේ තරම් දෝෂාරෝපණය කරති’යි ගුරු හිමියන්ට ගර්හා කරයි. පසුදින ගුරු හිමියන් සමඟ පිඬු සිඟා යාම, ප්‍රතික්ෂේප කරයි. ආචාර්යයන් වහන්සේ කීකරු ශිෂ්‍යයා සමඟ පිඬුසිඟා වැඩි විට අකීකරු ශිෂ්‍යයා වෙනත් ගමකට තනියම පිඬු සිඟා වැඩ තම ගුරු හිමියන් කොහිදැයි ඇසූ විට ශරීර අපහසුතා හෙයින් නොවැඩි බව කියයි. උන්වහන්සේට කවර දානයක් අවශ්‍යදැයි විමසූ විට ඔහු කැමැති දෑ දායක පිරිස් වෙතින් ලබා අතරමගදි ඒවා තනියම වළඳා විහාරයට පැමිණෙයි.
දෙවන දවස් ආචාරීන් වහන්සේ එම ගමට පිඬු සිඟා වැඩමකර ගම්වැසියන් උන්වහන්සේගේ ශරීර අපහසුතා විමසා පෙර දිනයෙහි උන්වහන්සේට අවශ්‍ය සියලු දානමාන පිළියෙළ කර එවූ බවත් ඒවා වළඳන ලදදැයි විමසයි. එයින් ඔබ වහන්සේගේ ශරීර අපහසුතා මගහැරුණේදැයි විමසන ගැමියන් හමුවේ තුෂ්ණිම්භාවයෙන් ආපසු විහාරයට වඩී. සවස් යාමයෙහි මෙම අකීකරු භික්ෂූ නම ගෙන්වා භික්ෂූන්ට නොගැළපෙන මෙතරම් පහත් වැඩක් කළේ ඇයිදැයි විමසයි. ඔබ කළේ බරපතළ වරදක් බව පෙන්වා දෙයි. එයින් කෝපයට පත්වන භික්ෂුව මේ මහලු තෙරුන් වහන්සේ ඊයේ වතුරට නිග්‍රහ කළ බවත් අද කෑමට නිග්‍රහ කරන බවත් කියා වෛර බැඳගනී. පසුදා තෙරුන් වහන්සේ පිඬු සිඟා වැඩි විට අකීකරු ශිෂ්‍යයා විහාරයෙහි නැවතී සිට පොල්ලකින් ආරාමයේ සියලු දෑ බිඳ දමා ගිනි තබා පැන යයි. අතරමඟදීම හදිසි අනතුරකින් විපතට පත්ව නරකයෙහි උපදී. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එම ප්‍රදේශය හැරදමා වෙනත් ප්‍රදේශයකට වඩිති.
මේ අතර එක්තරා භික්ෂුවක් මෙම ප්‍රදේශයේ සිට බුදුරදුන් දකිනු රිසියෙන් රජගහනුවරින් නික්ම දෙව්රම් වෙහෙරට පැමිණෙයි. බුදුරදුන් වැඳ සතුටු සාමීචි කථා කොට කොහි සිට පැමිණියෙහිදැයි බුදුහිමියෝ විමසති. ස්වාමිනි, රජගහනුවර පිප්ඵලී ගුහාව ප්‍රදේශයේ සිට යයි දැන්වු කල්හි මහාකාශ්‍යප මහරතන් වහන්සේගේ තොරතුරු කවරේදැයි බුදුහිමියෝ විමසති. එවිට එම ආගන්තුක භික්ෂුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අකීකරු ශිෂ්‍ය නම කළ කී දෑ දන්වා ඒ හේතුවෙන් මහාකාශ්‍යප හිමියන් එම ප්‍රදේශයෙන් බැහැරට යවා ඇති බව දන්වයි. එවිට මෙම ශිෂ්‍යයාගේ පෙර බවය දකින බුදුහිමියෝ මේ අකීකරු බව පෙර සිට පැමිණෙන දෙයක් බව වදාරති. වැසි කල ගසක අත්තක කුඩා කූඩුවක් සාදා නොතෙමී සිටි පුංචි කුරුල්ලෙකු එහිම තෙමී සිටි වඳුරෙකු අමතා මෙතරම් ශරීරයක් හා දෑත් තිබියදීත් වැසි කල නොතෙමී සිටින්නට සෙවණක් සදා ගන්නට අපහසු ඇයිදැයි ඇසූ විට එයින් කෝපයට පත් වඳුරා කුරුලු කූඩුව කඩා වනසා දැමූ ආකාරය ගෙනහර පාති. එහි කුරුලු පැටියා මහාකාශ්‍යප මහරහත් වහන්සේය. වඳුරා මෙදා අකීකරු වූ ශිෂ්‍ය භික්ෂුව යැයි වදාරා පෙරපර සන්ධි ගළපා වදාරති.
මේ කථාව කෙළවර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශ්‍රයට සුදුසු කලණ මිත්‍රයෙකු සොයන්නේ තමාට හා සමාන හෝ තමාට වඩා උසස් මිත්‍රයෙකු සොයා ගත නොහෙන්නේ නම් පාපියෙකු සමඟ එක් නොවී හුදකලා වාසය කිරීම උතුම්බව පෙන්වා වදාළහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ, අංශාධිපති
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක්
වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි
No comments:
Post a Comment