Labels

Wednesday, November 25, 2015

මිනිසා හඳුනාගැනීම උදෙසා වූ කළයේ උපමාව



 නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌සෘෘෘ
'චත්තාරො මේ භික්‌ඛවෙ කුම්භා. කතමේ චත්තාරො?

තුච්ඡෝ පිහිතො, පුරො විවටො, තුච්ඡො විවටො, පුරො පිහිතො. ඉමෙ ඛො චත්තාරො කුම්භාති.'

ඉහත දක්‌වනු ලැබුවේ අංගුත්තර නිකායට අයත් චතුක්‌ක නිපාතයෙහි කුම්භ සූත්‍රයෙහි හැඳින්වීම් ධර්ම කොට්‌ඨාසයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, කුම්භයෝ (කළ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක්‌ද? ඇතුළත හිස්‌ වූ පිටත කළයේ කට වැසූ එකකි. ඇතුළත දිය පිරුණු නොපියවූ කට ඇති එකකි. ඇතුළත හිස්‌ වූ නොපිය වූ කට ඇති එකකි.ඇතුළත දිය පිරුණු පිය වූ කට ඇති එකකි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. මහණෙනි, එපරිදිම මේ කුම්භ (කළ) උපමාකොට ඇති පුද්ගලයෝ සතර දෙනෙක්‌ ලෝකයේ දකින්නට සිටිති. ඒ සතර ආකාර පුද්ගලයෝ කවුරුන්ද? ඇතුළත හිස්‌ වූ වැසූ මුව ඇති පුද්ගලයෙකි. ඇතුළත පිරුණු නොවැසූ කට ඇති පුද්ගලයෙකි. ඇතුළත හිස්‌ වූ නොවැසූ කට ඇති පුද්ගලයෙකි. ඇතුළත පිරුණු වැසූ කට ඇති පුද්ගලයෙකි. භාග්‍යවතුන් වසන්සේ විසින් මේ පුද්ගලයන් සතර දෙනා පිළිබඳ උපමාවලින් දැන්වූ අදහස විවරණය කොට මෙසේ පෙන්වා දෙන ලදහ.

'මහණෙනි, කෙසේ පුද්ගලයෙක්‌ ඇතුළත හිස්‌ වූයේ වැසූ කට ඇතියේ යෑයි දේශනා කළේද? මේ ශාසනයේ ඇතැම් පුද්ගලයකු ඉදිරියට යාම, පිටුපසට ඒම, ඉදිරිය බැලීම, ඔබ මොබ බැලීම, අත්පා හැකිලීම, අත් පා දිග හැරීම, පාත්‍රා තුන් සිවුරු දැරීම ප්‍රසාදය ඇති කරන්නේ වෙයි. එනමුත් මේ පුද්ගලයා 'මේ දුක යෑයි තත්වාකාරයෙන් නොදනී. මේ දුක්‌ඛ සමුදය යි, මේ දුක්‌ඛ නිරෝධයයි', මේ දුක්‌ඛ නිරොධ ගාමිණී පටිපදා' යෑයි තත් වූ පරිදි නොදනී. මේ පුද්ගලයා ඇතුළත හිස්‌ වූයේ පිටත වැසූ කට ඇතියේ වෙයි. යම් පරිදි ඒ කළය ඇතුළත හිස්‌වූයේ පිටත වැසූ මුව ඇතියේ වේද, මහණෙනි මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි වදාරමි.

මින් අදහස්‌ කරන්නේ කුමක්‌ද? මේ සම්බුදු සසුනෙහි පැවිදි පිරිස අතර මෙන්ම ගිහි පිරිස අතර ද බාහිර සංවරය පෙන්වා අභ්‍යන්තරය කෙළෙස්‌වලින් ගහනව යම් පිරිස්‌ සිටින බවය. දුක්‌ඛ ආදී ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නැත්තේ එම පුද්ගලයා කෙලෙස්‌ මලට හසුවූ හෝ කෙලෙස්‌ මලට හසුවීමට ඉඩ ඇති පුද්ගලයෙකි. දුක පිළිබඳව ආර්ය සත්‍යයක්‌ ලෙස අවබෝධයට හසුනොකර ගත් තැනැත්තාගේ සිත පහසුවෙන්ම රාගාදී කෙලෙස්‌වලට හසුවෙයි. එය නිසි ලෙස සෙවිලි නොකරන ලද ගෙය ස්‌වල්පවූ වැස්‌සකට නමුත් තෙමෙන්නාක්‌ මෙනි. පරමාර්ථ ධර්මය (අනිච්ච, දුක්‌ඛ, අනත්ත) පිළිබඳ අවබෝධය නැත්තේ, මුව වසා ඇති හිස්‌ කළයකි. මොහුගේ බාහිර සංවර බව, දකින්නන් කෙරේ ප්‍රසාදය ඇති කරයි. ඇස, කණ ආදී ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීමේදී, බාහිරව එම ඉන්ද්‍රියන්ගේ හික්‌මුණු, සංවර බවක්‌ විදහා දක්‌වයි. බිමට යොමු කොටගත් දැස්‌ද බොහෝ හඬෘ නොනැගෙන වදන්ද,සංවර ඉරියව්ද පැවැත්විය හැකිය. එනමුත් ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා වූ අරමුණු, පුද්ගල සන්තානයේ රාග ගිනි, ද්වේෂ ගිනි ආදී වශයෙන් ඇවිළෙමින් සකස්‌විය හැකිය. දුක්‌ඛ ආදී චතුරාර්ය සත්‍ය කෙරේ අවබෝධයක්‌ නැති මේ පුද්ගලයා ඇස, රූපය, චක්‌ඛු විඤ්ඤාණය, ස්‌පර්ශය විඳීම් මමත්වයට හසුකර ගනී. මගේය, මම වෙමි, මගේ ආත්මය යෑයි අභිනන්දනය කරයි. එනම් සතුටු වෙයි. එසේ නොමැති නම් අකමැත්තෙන් ගැටෙයි. සක්‌කාය දිට්‌ඨිය වැඩෙයි. දුකම පෝෂණය වෙයි. රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්‌කන්ධ පඤ්චකමය, මමත්වයෙන් උපාදානය කර ගනී. මොහුගේ බාහිර පෙනුම ප්‍රසාදනීය වුවත් අභ්‍යන්තර කෙලෙස්‌ කහටින්ම පිරුණු අයෙකි. යම් විටෙක සැඟවුණු දැඩි ආශා ඇති, ඊර්ෂ්‍යා සහගත වෛරී, කපටි, මායාකාරී කුහක අයෙක්‌ විය හැකිය. මොහු උපමාවෙන් ගැළපුයේ ඇතුළත හිස්‌ මුව වැසූ කුම්භයක්‌ ලෙසිනි.

දෙවැනි උපමාවෙන් මෙසේ දැක්‌විණි. 'මහණෙනි, කෙසේ පුද්ගලයා, ඇතුළත පිරුණේ පිටත නොවසන කටක්‌ ඇතියේ වේද? මහණෙනි, මේ සස්‌නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියට යැම්, පෙරළා ඊම්, ඉදිරිය බැලීම්, ඔබ මොබ බැලීම්, අත් පා හැකිලීම්, අත් පා දිගහැරීම්, තුන්සිවුරු පාත්‍රා දැරීම් ප්‍රසාදජනක නොවෙයි. නමුත් මෙම පුද්ගලයා, 'මේ දුක' යෑයි තත්ත්වාකරයෙන් දනී. 'මේ දුක්‌ඛ සමුදය' යෑයි තත් වූ පරිදි දනී. මේ දුක්‌ඛ නිරෝධ යෑයි තත්වූ පරිදි දනී. මේ දුක්‌ඛ නිරෝධය ගාමිණි පටිපදා යෑයි තත්ත්වාකාරයෙන් දනී. මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. 'මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි'. මෙසේ මේ දෙවැනි උපමාවෙන් දක්‌වන පුද්ගලයා, දහම හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දැකගත් අයෙකි. එනමුත් ඔහුගේ ඉරියව් පැවැත්මෙහි ප්‍රසාදය දැනවීමක්‌ නැත. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම අවවාදය වන්නේ 'අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා භීවෝභාවාය' යනුවෙනි. එනම් අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් හැසිරිය යුතු බවයි. එනම් ඉරියව් පැවැත්විය යුතු බවයි. යම් පුද්ගලයන්ගේ සසරගත දොaස නිසා හැසිරීමෙහි දුර්වලකම් පැවැතිය හැකිය. එනමුත් බුදු සසුනෙහි මූලිකම පියවර වන්නේ සීලයෙහි පිහිටීමයි. 'භික්‌ඛු සීලවා හෝහි' භික්‌ෂුව සිල්වත් වන්න' යනුවෙනි. ඒ අනුව කායික, වාචසික සංවරය මනාව පැවැතිය යුත්තකි. ප්‍රාතිමෝක්‌ෂ සංවරසීලය මැනවින් ආරක්‌ෂා කිරීම, ආචාර ගෝචර සම්පන්න වීම හා කුඩා අනු කුඩා වරදෙහි පවා බිය දක්‌නා සුලු අයෙක්‌ වීම, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි. විනය, ශික්‌ෂණය බුදු සසුනෙහි පැවැත්මෙහි මූලික අංග බැවින් පිටතින්ද මනාවූද, අවංකවූ ද ශික්‌ෂණය හෙවත් වැසුනු බවක්‌ අවශ්‍යය. මේ පුද්ගලයා ධර්මය දැකගත් බැවින් ප්‍රශංසනීය පුද්ගලයෙක්‌ වන්නේය. ඔහුගේ පැත්තෙන් බලන විට, ඔහු සසර දිනූ අයෙකි. එනම් ධර්මය අවබෝධය නිසා දුක නැති කළ සසර නිවීම ඇතිකරගත් අයෙකි. වඩාත් වටින්නේ එතැනයි.

තුන්වැනි පුද්ගලයා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. 'මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස්‌ වූයේ පිටත හිස්‌ වූයේ වේද? මහණෙනි, මේ සස්‌නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියට යැම, පෙරළා ඊම, ඉදිරිය බැලීම, ඔබ මොබ බැලීම, අත් පා හැකිලීම, අත් පා දිගු හැරීම, තුන් සිවුරු පාත්‍රා දැරීම ප්‍රසාද ඇති කරන්නේ නොවෙයි. එමෙන්ම මේ පුද්ගල 'මේ දුක' යෑයි තත් වූ පරිදිනොදනී. මේ දුක්‌ඛ සමුදය' යෑයි තත් වූ පරිදි නොදනී. 'මේ 'දුක්‌ඛ නිරෝධය යෑයි තත් වූ පරිදි නොදනී'. 'මේ දුක්‌ඛ නිරෝධ ගාමිණි පටිපදා යෑයි තත් වූ පරිදි නොදනී. මහණෙනි, මේ පුද්ගල ඇතුළත හිස්‌වූයේ, පිටතත් විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත හිස්‌වූයේ පිටත විවෘත වූයේ වේද, මම මේ පුද්ගල එබඳු උපමා ඇත්තෙකැයි කියමි' යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. මේ පුද්ගලයා කිසිසේක්‌වත් ප්‍රශංසනීය පුද්ගලයෙක්‌ නොවේ. ඇතුළතින් හිස්‌ වී පිටතත් හිස්‌ වූ පුද්ගලයා ලෙස දැක්‌වීමෙන් මතු වන්නේ, ආධ්‍යාත්මික, බාහිර දෙකෙන්ම දියුණුවක්‌ නැති පුද්ගලයෙක්‌ ලෙසය. බොහෝ සෙයින් බාහිර අසංවර පුද්ගලයෝ ධර්මය නොදුටු හෝ නොදකින පුද්ගලයෝය. අඩුම තරමේ, හොඳ - නරක, පව් - පින්, කුසල් - අකුසල් පවා මැනවින් දැන හඳුනා ගත්තෝ නොවෙති. ඔවුන් විසින් පස්‌පව්, දස අකුසල් රැස්‌කරන චරිතයන්ගෙන් ඒ බව මනාව පැහැදිලිය. ඔවුහු දෙලොව පිරිහෙවාගත් පුද්ගලයෝය.

සතරවැනි පුද්ගලයා පිළිබඳව මෙසේ උපමාකොට දැක්‌විණි. 'මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටතද වසන ලද මුව ඇතියේ වේද? මහණෙනි මේ සස්‌නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යැම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබ මොබ බැලීම, අත්පා හැකිලීම්, අත් පා දිගු කිරීම්, සඟල සිවුරු පාත්‍රා දැරීම ප්‍රසාදය ඇති කරන්නේ වෙයි. එමෙන්ම හෙතෙම 'මේ දුක' යෑයි තත් වූ පරිදි දනී. මේ 'දුක්‌ඛ සමුදය' යෑයි තත් වූ පරිදි දනී. 'මේ දුකඛ නිරෝධය' යෑයි තත් වූ පරිදිදනී. මේ 'දුක්‌ඛ නිරෝධ ගාමිනිපටිපදා' යෑයි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටතද මුව වැසූ ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේද, පිටත වැසූ මුව ඇතියේ වේද, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි' යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. මෙම පුද්ගලයා ප්‍රශංසනීයම පුද්ගලයා වන්නේය. හේතුව නම් මෙසේය.

ධර්ම විනයේ පිළිපන් ආර්ය ශ්‍රාවකයෙක්‌ බවට පත්වීමයි. ශාස්‌තෘ ශාසනයෙහි දායාද ලැබූ තැනැත්තෙක්‌ වීමයි. මේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව කෙරේ මනා වූ සීලය දක්‌නට ලැබෙයි. එය උතුම් වූ දහම අවබෝධයෙන්ම දැක ගැනීම නිසා ඇතිවූවකි. නිරතුරුව සතර සතිපට්‌ඨානයෙහි ලා සිහිය පිහිටුවා ගැනීමට භාවිත සිතක්‌, කයක්‌, ප්‍රඥවක්‌ ඇත්තෙකි. ඔහුගේ හෝ ඇයගේ බාහිරව මතුවී පෙනෙන හික්‌මීම, අධ්‍යාත්මයේ හෙවත් ඇතුළත සකස්‌ වූ හික්‌මීමෙහිම සංකේතයකි. කැඩපතකි. සිතුවිලි, වචන, ක්‍රියාවන් දැක්‌මට සුපසන් වෙනවා මෙන්ම, අධ්‍යාත්මිකව සිදුවන නිකෙලෙස්‌ සෞම්‍ය බවද මතුකොට දක්‌වයි. චිත්ත සමථයද සීලයේ පරිපූර්ණත්වයද, චිත්ත ඒකාග්‍රතාවද මැනවින් දැක්‌වෙයි. ඔහු හෝ ඇය දෙලොවම දිනූවෙකි. ඔහු හෝ ඇය මේ සම්බුදු සසුනෙහි ගවයන් බලනා ගොපල්ලෙක්‌ නොවී ගවයන් හිමිකරු වී ඒ නිසා පස්‌ගෝ රසයට හිමිකම් කියන උතුම් බුදුසසුන සැබෑවට දායාද ලැබූ, ලබන අයෙක්‌ බවට පත්වෙයි. ඔබද, මමද මේ සතරවැනි පුද්ගල ස්‌වභාවයට අයත් වූ ශ්‍රාවකයෙක්‌, ශ්‍රාවිකාවක්‌ බවට පත්වෙමු.


 ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment