Labels

Saturday, November 28, 2015

තම සිතින්ම සෙවිය යුතු සැනසීම


දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ.

ළපටි අවධියේ ප්‍රභාෂ්වරව තිබෙන මනස වයසින් වැඩීමත් සමඟ විවිධ වූ අරමුණු හා හැඟීම් ඔස්සේ දිවීම නිසා කිළිටි වේ. එහෙත් පෙර භවයෙන් ගෙනා දේ හිතේ තැන්පත්ව නිසොල්මන්ව තිබෙන බව ද අමතක නොකරන්න. සංඛාර පච්චයා විඤ්ඤාණං සකස් වන කුසල අකුසල සියල්ල විඤ්ඤාණ ගතවේ. විඤ්ඤාණ පච්චයං නාම රූපං, ඒ විඤ්ඤාණය කිසියම් මව්කුසක පිළිසිඳ ගනී. ඒ නාම රූපයයි. ආයතන පහකුත් එකතු කරගෙන මව් කුස තුළින් ළදරුවෙකු හැටියට බිහි වන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාව තථාගතයන් වහන්සේ ලොවට හෙළි කළ සේක.

ධර්මය හැදෑරීම එක දෙයකි. අත්දැකීම, අනෙකකි. හුදු ඉගෙනීමෙන් ඔබ්බට ගිය ධර්ම ගවේෂණය ප්‍රතිඵලදායක වන්නේ අපේ ජීවිතවල පවතින අතෘප්තකරතාවන් බැහැර කිරීමටත් අප අවට සිටින්නන්ගේ සතුට හා සැනසිල්ල සඳහාත්ය. දුක, දොම්නස උපදින හැටි හා එහි රඳා පැවැත්ම තේරුම් ගත හැක්කේ විසිරුණු මනසකට නොවේ. නිසසල මනසකට ය. සසලතාවයට පත් මනස දුක මෙන්ම සතුට උපදින සිතිවිලි බිහි වී නොසන්සුන්ව තිබෙන නිසා දුක හට ගැනීම හා දුක පවතින හැටි තේරුම් ගත හැක්කේ මනස සංසිඳුණු විටයි.

එසේම මනසෙහි සසල බව, හිස් බව, නොසෑහීමට පත් ස්වභාවය දැනගත හැකි වන්නේ මනස දෙස තැන්පත්ව බැලීමෙන් ය. හේතුන් නිසා හටගත් නිර්මාණ රාශියක් චේතනා හා සංස්කාර නමින් ඇත. සංස්කාර යනු චේතනාවලට තව නමකි. මේවා උපදින්නේ ඇත්ත ඒ වූ ආකාරයෙන්ම නොදන්නාකම නිසා ය. අවිද්‍යාව කියන්නේ ඒ නොදන්නා කමයි. ලෝකයේ යම්තාක් දුක් දොම්නස් තිබේ නම් ඒවා හට ගන්නේ තණ්හා උපාදාන භව ජාති යන පටිච්ච සමුප්පාද ධර්මතාව නිසාය. අවිද්‍යාව තිබුණොත් කර්ම වෙනවාමයි. කර්ම සකස් වීම් හෙවත් සංස්කාර වුණොත් විඤ්ඤාණය පිහිටනවාමයි. විඤ්ඤාණය පිහිටියොත් මව් කුසකට බැසගන්නවාමයි. එවිට ජරා, ව්‍යාධි, මරණ ඇති වෙනවාමයි. ඉපදීම යම් තැනක නොතිබේද, ජරා මරණ නැත.

අත හැරීම බුදු දහමේ මූලික උපදේශයයි. දුක මෙන්ම මායාකාරී සැපය ද අයත් වන ලෝකයෙන් මිදීමට පදනම් වන්නේ අතහැරීමයි. භාවනාවේ ප්‍රධාන අරමුණ ද අතහැරීමයි. භාවනා අරමුණ ගැන පමණක් ම නොසිතා සිතට එන අරමුණු කපා හරිමින්, සිතිවිලිවලින් මිදෙමින් දොඩමලු කල්පනා භරිත මනස ඒ වල්පල්වලින් මුදා ගත යුතු ය. එවිට ගැඹුරු අවබෝධය කරා ඔබව ගෙන යනවා ඇත.

මමය, මගේය, කියන හැම දෙයක්ම අත හැරිය යුතු බව බුදුදහම අපට උපදෙස් දෙති. මනස පුහුණු කළ යුත්තේ මේ බව අවබෝධයට ගැනීමටයි. සියලු සිතිවිලි නම් වූ සංස්කාරවලින් නිදහස් විය හැක්කේ මේ මනස පුහුණු කිරීමෙනි. මනස පිරික්සන විට අපට දැනගත හැකි වන්නේ ඒවා මානසික මූලධාතු කැටියක් වශයෙන් විනා මම යයි ගත හැකි දෙයක් නොවන බවයි. හැම දෙයක්ම කරන්නේ මමය. පෘථග්ජන පුද්ගලයා මම නැතිවනවාට බිය වේ. හැම දෙයක් ම මගේ කර ගන්නේ මම හිස් වනවාට බියෙනි. ‘මම’ අත හැරීම මහා බරකින් නිදහස් වීමක් වන බව තථාගතයන් වහන්සේ දේශනා කළහ. ශ්‍රද්ධා වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන මේවා ඉන්ද්‍රිය ධර්ම වේ. මුල් ධර්මතා සතර වැඩෙන්නේ ප්‍රඥාව සමඟය. ප්‍රඥාවකින් තොරව ශ්‍රද්ධාව වැඩීමට ඉඩක් නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ අප අත් දකින අවබෝධය නිවැරදි නම් පමණි. එය ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමක් ය.

සමාධි වූ හිත ශාන්ත බවට පත් වීම ස්වභාවයයි. ඒ ශාන්ත බවට ඇලුණොත් සමාධිය බිඳේ. හෙළි පෙහෙළි කළ බිමක් වල් බිහි වීමට ඉඩ හළ හැකිය. නැතහොත් එළවළු වගා කළ හැකිය. සමාධි වූ සිතට ඇලීම වල් බිහි වන්නට ඉඩ හැරීමක් වැන්න. ඒ තව දුරටත් භවයෙහිම රැඳී සිටීමකි. ඒ නිසා සමාධියේ ශාන්තභාවය මගේ කර ගත යුතු නොවේ. ඒ පඤ්චුපාදානස්කන්ධයට ඇලීමකි. මම යනු රැවටිලි කාරයෙකි. මම නැති තැන පූර්ණ නිදහසකි. කුසල් අකුසල් හෝ බිය සැක තොර බැඳීම් නැති පූර්ණ සංසිඳීමක්ය. හරියටම අප මම කෙනෙකු මවාගෙන තිබෙන්නේ මවගේ තුරුලෙහි සැඟ වී බිය ජනක තැනකට යන දරුවෙකු මෙන්ය. සිතින් කය බදාගෙන සිටින්නේ, මේ සිතත්, කයත් වෙන් වූ ධර්මතා දෙකක් බව නොදැනයි. හිත සහ කය එකක් නම් මරණින් පසු එක්වම යා යුතු ය.

සැප දුක යන දෙකම අප හට හිමි කර දෙන්නේ සිතය. ලෝකයේ හඳුනා ගැනීමට බැරිම හිතය. භාවනාවෙන් පවිත්‍ර වන මනස අරමුණු වල හොඳ නරක හඳුනා ගනී. හිත දූෂ්‍ය වන්නේ අරමුණුවල පැටලීමෙනි. හිත පූර්ණ ලෙස නිවහල් බවට පත් කිරීම බුදු නුවණින් සිද්ධ කළා වූ මහා ප්‍රාතිහාර්යයයි. මෙසේ පත් කළ සමාහිත සිතින් ලොව හැම දෙයක් ම හේතුන් නිසා හට ගන්වන ආකාරය පෙන්නුම් කෙරෙන පටිච්ච සමුප්පාද ධර්මතාව බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍යය බෝධි සූත්‍රය ඇසුරින් ගාථා ධර්ම තුනකින් දේශනා කර වදාළහ. වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් අවබෝධ වීම හා සමඟ ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරුවී යයි. මේ අන් කිසිවක් නොව සංස්කාර ධර්මයන් නොදන්නාකමින් ගොඩ නඟා ගෙන තිබෙන පෘථග්ජනභාවය නිසා මිනිසා දුකට පත් වී ඇති ආකාරයයි.
වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් නැතිකර දැමීම ප්‍රත්‍යක්ෂ වන කල්හි ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරු වී යයි. මෙසේ දෙවැන්නෙන් දේශනා කළේ එම සංස්කාර ප්‍රහීණ කිරීමෙන් සියලු දුකින් නිදහස් ආර්යභාවයට පත්විය හැකි බවයි.

වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒවා කැටුව එන මාර සේනාව විධ්වංශනය කොට අහස් කුස බබළන සූර්යයා මෙන් නැගී සිටියි. මෙසේ තුන් වැන්නෙන් හෙළි කළේ අනුලෝම වශයෙන් ප්‍රත්‍යයන් විසින් නිර්මාණය කරනු ලබන සංස්කාර දුක ද, ප්‍රතිලෝම වශයෙන් සංස්කාර දුක නැතිකර දැමීමේ හැකියාව ද එකිනෙක ගලපා අවබෝධ කිරීමෙන් සියලු කෙලෙස්වලින් මිදී නිවන් අවබෝධ කළ හැකි බවයි.

සිදුහත් බෝසතුන් නිසැකවම සියල්ල දක්නා (සර්වඥ) අයෙකු බවට පත්වූහ. වෙනස් වන ස්වභාවයන්ට අනුව යමින් දුකට, හෝ සතුටට පත් නොවී සිටියහ. ඉපදීමෙන්, ලෙඩ දුකින් වයස් ගත වීමෙන්, මරණයෙන් ද මිදී හේතුඵල හෝ සංස්කාරයන්ගෙන් තොර දුක සැප හා යහපතින් අයහපතින් ඈත් වී පවත්නා මේ තත්ත්වය සැබෑම නිවීම වන්නේ ය.
බුදු දහම ඉගෙනීමෙන් පමණක් සසර ගමන නැවැත්විය නොහැක්කේ ය. හොඳ නරක දුක සැප ආදී සියලු තත්ත්වයන් තුළ ඒවාට අනුව හිත වෙනස් වේ නම් තවමත් ඉපදීමෙන් හා මරණයෙන් මිදී නැත. හිතේ පහළවන හැම දෙයකම ප්‍රකෘර්ති ස්වභාව මතුකර ගනිමින් ඇලීමේ හා ගැටීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැක්කේ මනසේ සැබෑ තතු මතු කර ගැනීමෙන් ය.

කෙලෙස්වලට සුපුරුදු පෝෂණය ලබා නොදී ඒවාට විරුද්ධව සටන් කරන විට භාවනාව වැඩේ. අප ක්‍රියාත්මක විය යුත්තේ ගැටලුවක් හා ගැටීමක් ඇති වන තැනින් ය. සැනසිල්ල ඇත්තේ කඳු ගංගා තැනිතලා, දිය ඇලි යන කිසි තැනක නොවේ. සැනසීම ඇත්තේ තමාගේ සිත තුළමයි. කැළඹීම හා දුක ඇති වන තැනින් ම සැනසීම සොයා ගත හැකිවේ. සියලුම දුක් කරදර වලින් මිදීමට නම් අප අපගේ ම සිත්වල පාලකයන් වීමට උත්සාහ ගත යුතු ය.

භාවනාවේ දී මුලදීම නොවැළැක්විය හැකි පරිදි හිත විසිර යයි. මේ කෙලෙස්වල බල පෑමෙනි. ඇතුළත තුවාලයකට කරන බාහිර පිළියම් නිසා තුවාලය සුව නොවන්නා සේ ක්ලේශයන් තෘප්තිමත් කිරීමෙන් පලක් නැත. මේ කෙලෙස් වලටයි බෙහෙත් දිය යුත්තේ. සිතිවිලි මාධ්‍යය කරගෙන එන කෙලෙස් හඳුනාගෙන ඒවා හාමත් කර ප්‍රාණය නසාලිය යුතු ය. අපේ හිත මෙල්ල කළ යුත්තේ මී හරකෙකු මෙල්ල කරන පරිද්දෙනි. හිත නම් වූ මී ගවයා, සිතිවිලි නම් වූ කෙලෙස් ගොයම දෙසට ඇදේ. ප්‍රඥාව නම් වූ ගව පල්ලා සිතිවිලි නම් වූ ගොයම දෙසට ගවයාගේ යාම වැළකිය යුතු ය. අපේ හිත් තුළ ද ප්‍රඥාවේ මෝදු වීම මෙලෙස විය යුතු ය. මම හැඟීමේ මූල බීජයක් එහි අවසානයත්, සියලු දොම්නස්වල කෙළවරත්, මේ අනුසාරයෙන් දැන ගත හැකි වේ.              

 



 කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති
“බෞද්ධයා” මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී
දරණාගම කුසලධම්ම හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment