Labels

Monday, November 2, 2015

ගිහිවත හා පැවිදිවත පෘතග්ජන - ශ්‍රාවක ප්‍රභේදය

 

සෑම සමාජයකම ගිහියනුත්, පැවිද්දනුත් (ගිහි – පැවිදි) දක්නට ලැබෙන බව සමාජ ඉතිහාසයෙන් දක්නට ලැබේ. ගෝත්‍රික සමාජවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. ආගම නියෝජනය කරණ පිරිසක් පිළිබඳ අදහස කිසිදු භේදයෙන් තොර සංකල්පයකි. බුදු දහම ද මේ ප්‍රභේදය හඳුනාගෙන ඇත. ගහට්ට (ගිහියා), පබ්බජිතා (පැවිද්දා) යනුවෙන් පුද්ගල දෙවර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ දෙදෙනාට ආවේණික සදාචාර ධර්ම පද්ධතියක් ඇති බව ‘සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ’ දැක්වේ. ඒවා ‘ගිහිවත’ සහ ‘පැවිදි වත’ නමින් දැක්වේ.

ගිහිවත යනුවෙන් දක්වා ඇත්තේ පංචසීලයයි. තවදුරටත් ගිහිවත නම් ධාර්මිකව මව්පියන් රැකබලා ගැනීම, ධාර්මික වෙළෙඳාමෙහි යෙදීම, ආදි වශයෙන් දක්වා ඒ අනුව ගිහිවතෙහි අප්‍රමාදී වන්නා දෙවියන් අතරට යන බව දැක්වේ.
පැවිදිවත පිළිබඳව දීර්ඝ විස්තරයක් ධම්මික සූත්‍රයේ දැක්වෙන අතර විනය ශික්ෂා ලෙස ද භික්ෂූන් වහන්සේලාට හඳුන්වා දී ඇත. ආහාරයෙහි ද, සෙනසුනෙහිද ඇඳි වතෙහි දූලි සෝදා හරින ජලය මෙන්ද, පොකුරු පතෙහි දිය බිඳුමෙන් ද නොඇලී වාසය කිරීම භික්ෂුවගේ ස්වභාවය වේ. ගිහියාගේ ජීවිතය ආශක්තය. (බැඳී සිටී) භික්ෂුවගේ ජීවිතය අනාශක්තය. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ දී මේ කරුණු තවදුරටත් පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ සමාජයේ වසන පිරිස් දෙකක් ගැන හැඳින්වීමක් කර ඇත. එයින් එක පිරිසක සාමාජිකයෝ අඹුදරුවන් සොයති. කෙත්වතු සොයති. දැසි දස්සන් සොයති. වතුපිටි සොයති. රන්රිදී මුතුමැණික් සොයති. මේ සෙවීම හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ඇති පදය ‘පර්යේෂණ’ යන්නය.

අනෙක් පිරිසේ සාමාජිකයෝ අඹුදරුවන් හැරපියා, කෙත්වතු හැරපියා, දැසි දසුන් හැරපියා, වතුපිටි හැරපියා, රන්රිදී, මුතුමැණික් හැරපියා, අනගාරයෙහි පැවිදිවෙති. මේ පැවිද්ද හැඳින්වීම සඳහා යොදා ඇත්තේ ‘අගාරස්මා’ ‘අනගාරිය’, ‘පබ්බජිති’ යන පද තුනය. මහාචාර්ය රීස් ඩේවිස් මැතිණිය ප්‍රකාශ කොට ඇති පරිදි, මේ පද තුනෙහි අර්ථය වෙනත් බසකට පරිවර්තනය කිරීම අතිශයින් දුෂ්කර බවය.

භික්ඛු - භික්ඛුණී, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස අතුරින් උපාසක – උපාසිකා ගිහි ගණයට ද, භික්ඛු - භික්ඛුණී පැවිදි ගණයට ද, වැටෙන ප්‍රභේදයක් වූවද, ඉන් ආධ්‍යාත්මික විජයග්‍රහණය නිරූපණය නොවෙයි. මේ සිව්වනක් පිරිස ලෞකික සමාජ වර්ගීකරණයක් වූවද, බෞද්ධ අධ්‍යාත්මික සමාජය නිරූපණය වන්නේ ‘පෘථග්ජන’ සහ ශ්‍රාවක පද තුළිනි. ශ්‍රාවක තත්ත්වයට පත්වන භික්ෂූන් වහන්සේ හෝ භික්ෂුණිය, පෘථග්ජන තත්ත්වයේ පසුවන උපාසක හෝ උපාසිකාවට වඩා උසස්ය. මේ අනුව කෙනෙකුගේ ආධ්‍යාත්මික උස්මිටිකම් තීරණය වන්නේ, සිව්වනක් පිරිස ප්‍රමාණ කොටගෙන නොව, පෘථග්ජන ශ්‍රාවක ප්‍රභේදය ප්‍රමාණකොට ගෙනය.

‘පෘථග්ජන’ යන පාලි පදයේ අර්ථය ජනයාගෙන් වෙන් වූ යන්නයි. ඒ අනුව පෘථග්ජනයා තමා ගැන පමණක් කල්පනා කරයි. සමාජයක් ඇති බව නොසලකයි. පෘථග්ජනයාට කවර සුදුසුකම් තිබුණ ද ඔහු බුදුරදුන්ගේ ධර්මය නොඇසූ කෙනෙකු හැටියට පිළිගැනේ. ආර්යයන් නොදකින, ආර්ය ධර්මය නොදන්නා, ආර්ය ධර්මයෙහි හික්මීමක් නැති, සත්පුරුෂයින් නොදකින, සත්පුරුෂ ධර්මය නොදන්නා, ඒ පිළිබඳව හික්මීමක් නැති නෙකෙකු හැටියට, බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයා හඳුන්වයි.

‘ශ්‍රාවක’ යන පදයේ අර්ථය ‘ඇසූ තැනැත්තා’ යන්නයි. බුදුරදුන්ගේ ධර්මය ඇසූ තැනැත්තකු බවට පත්වන්නේ ‘ශ්‍රාවක’ තත්ත්වයේ වසන කෙනෙකු පමණි. ශ්‍රාවකයා, ආර්යයන් දක්නා, ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි විනීත, සත්පුරුෂයන් දකින, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ විනීත කෙනෙකු හැටියට නිතර හැඳින්වේ.
බෞද්ධයා ඉදිරියෙහි පවතින ගැටලුව හැටියට, බුදු දහම දකින්නේ ‘පෘතග්ජන’ භූමියෙන් ‘ශ්‍රාවක භූමියට ඇතුලු වීමය. ශ්‍රාවක භූමියට ඇතුලුවීමට සම්පූර්ණ කළ යුතු කරුණු රාශියක් සූත්‍ර දේශනාවල දැක්වේ.
පළමුව, බුදුරජාණන් වහන්සේ කෙරෙහිද ධර්මය කෙරෙහි ද, සංඝයා කෙරෙහි ද, අවෙච්චක් ප්‍රසාදය ඇත්තෙකු විය යුතුය. ‘අවෙච්චක්ප්‍රසාද’ යන්නෙන් අදහස් කරන්නේ කරුණු අවබෝධ කොට ගැනීමෙන් ඇතිවන ප්‍රසාදයයි. එම ප්‍රසාදය කිසිදු හේතුවක් නිසා අප්‍රසාදයක් බවට පැමිණෙන්නේ නැත.
දෙවනුව - සත්පුරුෂ සංසේවා (හොඳ අය ආශ්‍රය කිරීම) සද්ධර්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර සහ ධම්මානු ධම්ම පටිපත්ති යන කරුණු සතර සම්පූර්ණ කළ යුතුය.

තුන්වැනිව - ශ්‍රාවකයා ‘අවනිපාන ධම්ම’ (පහතට යන්නේ නැත) හා ‘නියත සම්බෝධි පරායන’ (වැඩිකල් යන්නට කලින් ධර්මය අවබෝධ වීම) යන ලක්ෂණ දෙකින් යුක්ත විය යුතුය.
සතරවෙනුව - ආයු, වර්ණ, සුඛ, අධිපති යන ලක්ෂණ හ තර ශ්‍රාවකයා අතර පිරිපුන්වේ. මේ කරුණු සෝතාපත්ත්‍යාංග හැටියට හැඳින්වේ. ශ්‍රාවකයකු වීමට නම් යටත් පිරිසෙයින් ‘සොතාපන්න’ තත්ත්වයටවත් පත්විය යුතුය. ඉන් මෙපිට සිටින සියලු දෙනා හැඳින්වෙන්නේ ‘පෘතග්ජනයා’ හැටියටය. ශ්‍රාවකයෝ කොටස් දෙකකි. ඉන් පළමුවැන්න ‘සේක’ ය. දෙවැන්න අසේක යනුවෙනි. බුදුරජාණන් වහන්සේ දිවමානකල සිටි ගිහි ශ්‍රාවකයන් පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයේ නොයෙක් තැන දක්නට ඇත. ‘ශ්‍රාවක ගිහි’ යන පදය දක්නට ලැබෙන අතර, ‘සෝතාපන්න’ තත්ත්වයට පත් වූ ගිහියන් පිළිබඳව තොරතුරු බෞද්ධයන් අතර ප්‍රකටය. අංගුත්තර නිකායේ සූත්‍රයක, බුදුරදුන් දවස පැවැති රැස්වීමක සිටි අනාගාමී ගිහියන්ගේ සංඛ්‍යාව හත්සීයක් වශයෙන් දක්නට ලැබේ.

ගිහියෙකු රහත් වුවහොත්, එක්කෝ මහණ විය යුතුය. නැතිනම් පිරිනිවන් පෑ යුතුයයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයයක් පමණ ගත වූ තැන ලියවුණු පාලි ‘මිලින්ද පඤ්ඤයේ’ සඳහන්වේ.
අංගුන්තර නිකායේ දුක්ඛ නිපාතයේ ඇති සූත්‍රයක භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් වසන බව සඳහන්වේ. එක් පිරිසකට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ පිරිසක් හැටියටත්, අනෙක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළ පිරිසක් හැටියටත් දක්වා ඇත. අංගුත්තර නිකායේ අටුවාවේ දී මේ සූත්‍රයට විස්තර සපයමින් බුද්ධඝෝෂ හිමියන් කියා සිටින්නේ දෙවැනි පිරිසට අයත් අය ‘පෘතග්ජනයන්’ බවය. මේ කියන අර්ථයෙන් ‘පෘතග්ජන භික්ඛු’ යන ප්‍රයෝගය පාලි අටුවාවල නිතර දක්නට ලැබේ.

කෙනෙකුගේ ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය නිරූපණය වන්නේ සිව්වනක් පිරිස අතර, ඔහු දරන තැන අනුව නොව, පෘතග්ජන හා ශ්‍රාවක ප්‍රභේදය තුළ ඔහු දරන තැන අනුව බව ‘සක්ත පංච සූත්‍රය – දි. නි’ සඳහන්වේ. අධ්‍යාත්මික වශයෙන් සලකන කළ පුද්ගලයන් සිව් දෙනෙක් දක්නට ලැබෙයි. එනම් පෘතග්ජන, සේඛ, අසේඛ හා තථාගත වශයෙනි.
පෘතග්ජනයා තවම මගට පිවිස නැත, සේඛ තැනැත්තා - මගේ ගමන් කරයි. අසේඛ – ගමන අවසන් කොට ඇත. පෘථග්ජනයා මරණයට බියය. සේඛයා අමරණියත්වයේ දොරට තට්ටු කරමින් සිටී. අසේඛ අමරණීයත්වයට පත්ව ඇත. පෘතග්ජනයාට සද්ධා, වීර්ය, සති, සමාධි, පඥා යන ඉන්ද්‍රිය පහ නැත. ‘සේඛ තැනැත්තා එම ඉන්ද්‍රිය පහ එක්තරා ප්‍රමාණයකට දියුණු කොට සිටී. ‘අසේඛ තැනැත්තා ඒවා පරිපුර්ණත්වයට පත්කොට ඇත.

පෘථග්ජනයා දිගින් දිගට සසර සැරි සරයි. සේඛ තැනැත්තා මිනිස් ලොවට අටවැනි වාරයකට වඩා පැමිණෙන්නේ නැති බව දැක්වේ. අසේඛ නැතැත්තා යළි නූපදී.
පෘථග්ජනයාට බුදු රදුන්ගේ දහම පිළිබඳව නිවැරැදි අවබෝධයක් නැත. සේක තැනැත්තා බුදුරදුන්ගේ දහම එක්තරා ප්‍රමාණයකට අවබෝධ කොට සිටී. බුදු දහම සම්පූර්ණයෙන් ම අවබෝධ කළ තැනැත්තා ‘අසේඛ’ නම් වේ.

බෞද්ධයා ඉදිරියේ ඇති අභියෝගය, පෘතග්ජන භූමියෙන්, ශ්‍රාවක භූමියට පිවිසීමය. එය ඉතා අසීරු කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමියත්, ශ්‍රාවක භූමියත් අතර තවත් භූමියක් දක්වා ඇත. එය ‘සත්පුරුෂ’ භූමිය වශයෙන් දැක්වේ. පෘථග්ජනයා පළමුව සත්පුරුෂ භූමියටත්, ඉන් අනතුරුව ශ්‍රාවක භූමියටත් පිවිසිය යුතුය.




ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති
ගෞරව ශාස්ත්‍රවේදී
දරණාගම කුසලධම්ම හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදාදින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිිපියකි

No comments:

Post a Comment