Labels

Wednesday, November 25, 2015

මුත්තා මහරහත් තෙරණින් වහන්සේ


අසිරිමත් වු ප්‍රඥාවකින් හෙබි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ නිවැරදි ගමන් මාර්ගය අනුගමනය කරමින් තෘෂ්ණාවට නොඇලී විල අතහැරයන හංසයන් සේ කුඩා මහත් හැමදේම අතහැර ගිය බුදුපියාණන් වහන්සේගේ ඖරස පුත්‍ර –පුත්‍රී රහතන්වහන්සේලා මෙන්ම රහත් තෙරණින් වහන්සේලා පිළිබඳ මෙනෙහි කළ මොහොතකුදු විරාගයෙන් සිත පිනා යනු නොඅනුමානය.

තත්කාලීන ඉන්දීය සමාජය තුළ පුරුෂයකු පැවිදි භූමියට පත්වීම එතරම් අපහසු කාර්යයක් නොවුණද කාන්තාවක ප්‍රවෘජ්‍යා භූමියට පත්ව විමුක්තිය උදාකර ගැනීම දුලභ වූ කාරණාවකි. පහත් පෙළ අයිතිවාසිකම්වලින් හෙබි බ්‍රාහ්මණ නියාමයට යටත්ව කාන්තාව මහත්වු පීඩාවකට පත්ව වාසය කළාය. නමුදු සම්බුදු සසුනේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ මහා කාරුණික චිත්ත සන්තානය නිසාවෙන් කාන්තාවකට පැවිදිව උත්තරීතර වු රහත්භූමිය ස්පර්ශකිරීමේ භාග්‍යය උදාවිය. එකල සමාජය විවරණය කිරීමේ කැඩපතක් ලෙසින් ථෙරිගාථා හැඳින්විය හැකි සේම ගිහි බන්ධනයන්ගෙන් මිදුනු කත සංසාර සාගරයෙන් එතෙරවීම පෙන්වා දෙනුයේ අපූරු ආකාරයෙනි.

ගිහි ජීවිතය තුළදී අනේක දුක් විඳ පැවිදි භූමියට පත්ව තෘෂ්ණා, මාන දිට්ඨි ක්ලේශ දුරුකොට නිවන් දොර විවර කරගත් මහරහත් තෙරණින් වහන්සේ නමක් වූයේ මුත්තා මහරහත් තෙරණින් වහන්සේය.
පෙර බුදුවරයාණන් වහන්සේ නමක් වූ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ සත්ව වර්ගයාට අනුග්‍රහ පිණිස පිඬු සිඟමින් නගරයෙහි වැඩම කරන සේක. උන්වහන්සේ වැඩම කරනු දුටු නගරවාසීහු බෙහෙවින් පැහැදී මඟ වැලි අතුරා සැරසූහ.

වීථී අමදා කෙසෙල්ගස්, පුන්කලස්, හා ධජ පතාක ඔසොවා සුවඳ දුම්, සුවඳ සුණු හා සුවඳමලින් පදුමුත්තර බුදුපියාණන් වහන්සේ පිදූහ. මණ්ඩපයක් පිළියෙල කොට බුදුරජාණන් වහන්සේට මහාදානය සඳහා අරැයුම්කොට මහාදානයක්දී අප බෝධිසත්වයන් වහන්සේ සම්බෝධිය ප්‍රාර්ථනා කළ සේක. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරා අවසානයේ විවරණ දෙවා වදාළහ.
සියක් දහසක් කල්ප ඉකුත් වූ කළ මහා භද්‍ර කල්පය ලැබෙන බවත් ඒ අතරතුර භවයක් භවයක් පාසා දෙවි මිනිස් සැප විඳ බෝධිසත්වයන් වහන්සේ උතුම් සම්බෝධිය ලබන බව පෙන්වා වදාළ සේක.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩමවීමට උපකාර කළාවූ ස්ත්‍රී පුරුෂ සෑම දෙනෙක්ම අනාගතයෙහිදී හමුවන බව පෙන්වා දුන්සේක. මනාකොට මේ සියලු පිරිස් පින්කම් කොට සිත පිහිටුවා ගෙන දෙව්ලොව උපන්නේද බෝසතාණන් වහන්සේ පිරිවරන ලද්දාහ. බොහෝ කලක් භවයන්හි සැරිසරමින් අසංඛ්‍ය ගණනින් දිව්‍ය ලෝකයන්හි මණුෂ්‍ය ලෝකයන්හිද උපත ලද්දෝය. ලබන ලද ආත්ම භාවයන්හි ආයුෂ, වර්ණය, සැපය, බලය , කීර්තිය, සුවපහසුව අතිශයින් විඳින ලදී.

නගරයෙහිදී පදුමුත්තර බුදුපියාණන් වහන්සේට උපස්ථාන කොට අභිසම්බෝධිය ලැබු අප මහා බෝධිසත්වයන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා වදාළ සේක. එකල උපකාර කොළෝද විවිධ පුද්ගල නාමයෙන් උපත ලැබූහ. මුත්තා කුමාරියෝද අනන්ත කුසල් සිදුකොට කොසොල් දනව්වෙහි ඕඝාතක නම් වූ දිළිඳු බමුණකුගේ දියණිය වී උපන්නාය. ඇය සුදුසු වයසට පැමිණි කළ මවුපියෝ ඇය කුදු බමුණෙකුට විවාහ කර දුන්හ. එම බමුණා සමඟින් ගිහිගෙහි විසීමට නොකැමැති වු ඕතෝමෝ බමුණාගේ අනුදැනුම ලබාගෙන පැවිදි භූමියට සැපත් වූවාය. සසර ඕඝයෙන් මිදෙනු පිණිස විදසුන් වැඩුවාය. එහෙත් ඇගේ සිත බාහිර අරමුණු කෙරෙහි දුවයි. වීර්යයෙන් තොර සිතට නිගා කරමින් ‘සුමුතතා සාධු මුත්තම්හි යන ගාථාව කියත්ම විදසුන් වැඩීමට උත්සුක වී පිළිසිඹියා සහිත රහත් භාවයට පත්ව මෙලොවෙහි පහළවු වීතරාගී සිත් ඇති මුත්තා මහරහත් තෙරණින් වහන්සේ බවට පත්වූහ.

රහත්භූමියට පත්වීම උදෙසා වූ උදාන පාඨයෝ රහත් භූමියට පත්වු පසුව දේශනා කොට වදාරන්නේ නිවුණ සැනසුණු නික්ලේෂී, අභිෂ්ට ක්‍රියාව සාක්ෂාත් වීමේ පී‍්‍රති ස්වරයෙනි.

’සුමුත්තා සාධු මුත්තම්හි
තීහි ඛූජ්ජෙහි මුත්තියා
උදුක්කලේන මුසලේන
පතිනා ඛුජ්ජතෙන ච
මුත්තම්හි ජාති මරණ භවනෙත් සමූහතා”
“මුත්තා , මැනවින් මිදුනේවෙමි. තුන්කුදෙන් මිදුනේ වෙමි.

 වංගෙඩියෙන්ද, මොහොලින්ද, කුදු සැමියාගෙන්ද මිදුනෙමි. ඉපදීම සහ මරණයෙන්ද මිදුනෙමි. මේ භව රැහැන නම්වු තෘෂ්ණාවෙන් මිදුනෙමි”.
ඛුජ්ජෙහි මුත්තියා වශයෙන් කුදු තුනකින් යුක්ත ගිහි බන්ධනයෙන් ඕතොමෝ මිදුනු බව දක්වන්නේ මහත්වු ජයග්‍රාහී ස්වරයෙනි. දිළිඳු බමුණු දියණියක වූ ඕතොමෝ ගෘහීය ජීවිතයේදී අනන්ත දුක් විඳ ඇත්තේය. වංගෙඩියට ධාන්‍ය දමනවිට නිතර නිතර නැමීමට සිදුවීමද මෝල්ගහෙන් කොටන විට පිට නැමීමට සිදුවීමද නොවැළැක්විය හැකි බැවින් ඒ දෙක කෙනෙකු කුදුකරවීමට හේතුවෙයි. ඇයගේ සැමියාද කුදු පුද්ගලයෙකි. ඔහුගෙන්ද වෙන්වීම අත්හැරිම තුන්කුදෙන් මිදුනු බව ඇය ප්‍රකාශ කරන්නීය.

ගෘහීය බන්ධනයන්ට හසු වූ කලෙක ඇයට විමුක්ත වීමට අවස්ථාව ලැබීම ඉතා අපහසුකාර්යයකි. පවුලක ස්වාමියා හා බිරිඳ දෙදෙනාම එම පවුල ගොඩනැගීම සිදුකළද, බිරිඳ වෙත පැවරී වගකීම් ප්‍රමාණය අප්‍රමාණය. ඇය විසින් දරුවන් වැදීම, හැඳීම ,ගෘහීය අලංකාර කිරීම, ගෘහයේ දියුණුවට කටයුතු කිරීම, ස්වාමියාගේ කුදුමහත් කටයුතු සියල්ලෙහිම වගකීම ඇය සතු වන්නීය. මවක බිරිඳක, වශයෙන් ඇය ස්වාමියාට වඩා යුතුකම් රාශියක කොටුවන්නීය. දරුවන් ලද පසුව ඇගේ ලෝකය දිවෙන්නේ දරුවන් උදෙසාය. පුත්‍රීය බැඳීම්වලින් මිදීම ඇයට ඉතා දුෂ්කර වු කාර්යයක් වන්නේය.
මෙසේ ගෘහීය බැමිවලින් මිදීමට භාග්‍යවන්ත වූ මුත්තාවෝ සියලු තෘෂ්ණා ආදී බැමි රැහැන් බිඳ දමා සියලු සත්ත්වයන් නිවී සැනසෙන උතුම් නිර්වාණ ශාන්තිය ළඟාකරගත් බැව් ඕතොමෝ ප්‍රකාශ කරන්නීය.

සසරගත සත්ත්වයා සංසාරයේ ඇලී ගැලී වසන්නේ තෘෂ්ණාව නිසාවෙනි. කාම තණ්හා , භවතණ්හා ,විභව තණ්හා ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. දුක ඉපදවීමට හේතුව තෘෂ්ණාවයි. තණ්හාවට දාසව තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටලුනු ජනයා සසර දිග්කරගන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ සේක.
රූප, ශබ්ද, ගන්ධ,රස,ස්පර්ශ යන පංචකාම වස්තූන් කෙරෙහි ඇලීම්, බැඳීම් වශයෙන් ඇතිකරගන්නා ආශාව කාම තණ්හාවයි. පුද්ගලයා නිරතුරුව දුක පිළිකුල් කරයි. සැප කැමති වෙයි. එබැවින් දුක දොම්නස් වේදනාවන්ගේ පෙළෙන විට සැපක් සතුටක් ලබනු කැමති වෙයි. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදි අරමුණු නිසා සුවයක් සතුටක් ඇතිවු විට පුහුදුන් පුද්ගලයා ඒ අරමුණෙහි ඇලී එය තමා සතු කරගැනීමට උත්සාහ කරයි.
ශෝභන රූපයක් දුටු කෙනෙකුට එම රූපය ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා ගැන ඇල්මක් ආශාවක් උපදී. එම ආශාවට ඉඩදුනහොත් එම රූපය ලබාගැනීමට උත්සාහ කරයි. ඒ සඳහා දුක් විඳී. ආශා කළ දේ නොලැබුනහොත් එයින්ද දුක් හටගනී. ලබතොත් ආශාව වැඩි වී තව තවත් බලවත් දුක්වලට ගොදුරු වේ. මෙලෙස රූප, ශබ්ද, ආදි අරමුණු කෙරෙහි ඇතිකරගත් කැමැත්ත කාම තණ්හා නම් වේ.

අරූප භවයන්හි ඇල්ම හා ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇල්මද භවතණ්හා නම්වේ. විභව තණ්හා නම් ආත්මය, සත්වයා, සදාකාලික වෙනස් නොවෙතියි ලෙස භවයට ඇතිකරගන්නා ඇල්මයි. සත්වයා මරණින් මතු යළි ඉපදීමක් නොවන්නේ යැයි මේ ජීවිතයෙන් අවසන් වේයැයි දෘෂ්ටිගත වීමයි.

මෙසේ කාම තණ්හා ,භව තණ්හා, විභව තණ්හාවට ඇලුනු තෘෂ්ණාධික පෘථග්ජන සත්ත්වයෝ නැවත පුනර්භවයක් ලබති. කාම රූප,අරූප ලෝකයන්හි ඉපදී අනන්ත දුක්විදිති.
දුක ඇතිකරන්නාවූ සසර බැඳීම් සියල්ල මුදාහැර දැමූ මුත්තා මහරහත් තෙරණියෝ නැවත සංසාර දුක්ඛයට නොවැටෙති. ඕතොමෝ භවඕඝයෙන් මිදුන සේක. ගෘහීය ජීවිතයෙහි ඇලී ගැලී මෙයම සැපයැයි සිතමින් එම ජීවිතයේ අනේක දුක් විඳිමින් මිදෙන්නට මගක් නොසොයන කාන්තාවන්ට මුත්තා තෙරණියෝ මහත්වු පිටිවහලකි. නිවනේ වසන ඇය සිතනුයේ මෙය මාගේ කර්මයයි. මේ යුතුකම වගකීම ඉටුකළ යුතුයි. නොමැති නම් නිගා කරාවි යැයි සිතති. නමුදු තමා වටා සිටින දූදරු, සහෝදර, සැමියා ආදි කිසිදු ඥාතියෙකු තමාගේ සසර දුකින් මිදීමට උපකාරක නොවනු ඇත. එම බැඳීම් සංසාරය දිග්කරනු විනා මිදීමට නොවන්නේය. තමාගේ පිහිට තමාමය යන්න සිතා මිදීමම ශ්‍රේෂ්ඨයයි සිතීමට මුත්තා මහරහත් තෙරණියෝ ආදර්ශයක්ම වන නොඅනුමානය.


 

මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment