Labels

Monday, November 9, 2015

වස් පවාරණය හා කඨින චීවර පූජා


ඒ ඒ පොහොය දිනයන්හි විශේෂ වැදගත්කම් රාශියක් ශාසන ඉතිහාසයේ දැක්වේ. වප් පුර පසළොස්වක පොහොය ගිහි පැවිදි කාගේත් ජනාරදයට ලක්ව ඇත්තේ පසුදා සිට එනම් ඉල් මස පුර පසළොස්වක් පොහොය දක්වා කඨින චීවර පූජා පැවැත්වෙන බැවිනි.
ථෙරවාදි භික්ෂු ශාසනයෙහි වස් විසීම් දෙකක් ගැන සඳහන් වේ.ඒ පෙර වස් විසීම හා පසු වස් විසීමයි. පෙරවස් විසු භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ වප් පුර පසළොස්වක් පොහෝදින පොහොය කොට මහා පවාරණයෙන් පවාරණය කිරීමෙනි.පවාරණය පිළිබද ප්‍රඥප්්ති අනුප්‍රඥප්ති ඉතා විශාල සංඛ්‍යාවක් මහාවග්ග පාළියේ පවාරණක්ඛන්ධකයෙහි සඳහන් වේ.
වස් පවාරණය පිළිබඳ නිධාන කථාවක් එහි සඳහන්ව ඇත. කෝසල ජන පදයේ ඇසු දුටු මිතුරන් වූ එක්තරා භික්ෂු පිරිසක් එහි ආරාමයක වස් විසූහ. උන්වහන්සේලා වස් කාලය තුළ ගතකළ යුතු ආකාරය පිළිබඳව කථිකා කර ගත්හ. ඒ අනුව ඔවුනොවුන් එකිනෙකා සමඟ කථා බහ නොකොට ආවාසයෙහි දාන ශාලාවෙහි, වැසිකිළි ,කැසිකිළි වල , ගිනිහල් ගෙයෙහි පුටු ආදියේ වතාවත් පිඬු සිඟා පැමිණී පිළිවෙළට ස්වේච්ඡාවෙන් සිදු කළහ. කථා කිරීමට අවශ්‍ය වුවහොත් හස්ත මුද්‍රාවෙන් සංඥා කොට ගෙන වතාවත්, ඉටු කළහ. මෙම භික්ෂු පිරිස වස් පවාරණය කොට බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණියහ.

බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලා සමඟ වස් කාලය ගත කළ ආකාරය පිළිබඳ තොරතුරු විමසීමේදී මේ භික්ෂූහු නුසුදුසු පැවැත්මක් අනුගමනය කරමින් මෞන වෘතය රකිමින් තීර්ථක පිළිවෙත් අනුගමනය කරමින් සිටි බව පවසා මෝඝ පුරුෂ වාදයෙන් ගැරහීමට ලක්කොට ඇත.
මේ හේතුව පදනම් කරගෙන පවාරණ ශික්ෂාව පැනවු බව මහා වග්ගපාළියේ සඳහන් වේ. මෙම කාරණය උක්ත නිධාන කථාවට කෙතෙක්දුරට සාධාරණ දැයි සිතිය යුතුය. මීට සමාන කථා පුවතක් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්නසකයෙහි චූල ගෝසිංහ සූත්‍රයෙහි දැක්වේ. ගෝසිංහ සාලවනයෙහි වස් විසූ අනුරුද්ධ නන්දිය, කිම්බිල යන තුන් නම පිණ්ඩ පාතයෙහි ගොස් පළමුව පැමිණි තැනැත්තා මුලින් සදහන් කථා වස්තුවේ පරිදි වතාවත් සිදු කොට හත්වෙනි දින ඔවුන් නොවුන් කථා බහ කරමින් අඩුපාඩු සකස් කර ගනිමින් ධර්ම සාකච්ඡා කරමින් කල් ගෙවු බව සදහන්වේ. මේ දින චරියාව කෙරෙහි පැහැදුනු බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් බව සඳහන් වේ. එබැවින් පවාරණයට හේතු සාධක වූ කරුණු ධර්ම ගෞරවයෙන් යුතුව සෙවීම උචිත යැයි හැඟේ.

මහාවග්ග පාළියේ පවාරණ දෙකක් ගැන සඳහන් වේ. චාතුද්දසී පවාරණය හා පණ්ණරසී පවාරණය යනු ඒ දෙකයි. පවාරණ කර්මද හතරක් ගැන සඳහන් වේ. අධාර්මිකව බෙදී කරණ පවාරණය අධාර්මිකව සමගිව කරණ පවාරණය , ධාර්මිකව බෙදි කරණ පවාරණය, ධාර්මිකව සමගිව කරණ පවාරණය මෙයින් ධාර්මිකව සමගිව කරණ පවාරණය උතුම් බව විනයෙහි දැක්වේ.

වස් විසූ භික්ෂූන් වහන්සේලා සම්මත සීමාවකට පැමිණ පොහොය කොට වැඩිහිටි භික්ෂූන් වහන්සේ පළමුව තනිපොට සිවුර ඒකාන්ස කොට උක්කුටුකයෙන් සිට නමස්කාරය කියා”සංඝං ආවුසො පවාරෙමි . දිට්ඨෙනවා සතනවා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි යනු වෙන් තෙවරක් ප්‍රකාශ කළ යුතුය. පවාරණය සඳහා අවම වශයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ පස් නමක්වත් සිටිය යුතුය.
එකට වස් විසූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කොට විසිර යෑමට ප්‍රථම තම තමන් අතින් කිසියම් වරදක් දුටුව හොත් එසේම ඇසුවහොත්, වරදක් කළේය යන සැකය දුරු කර ගැනීමට අවවාද ලබා ගැනීම වස් පවාරණ වාක්‍යයෙන් කියවේ.

වස් පවාරණය යන්නෙහි අර්ථය වස් අවසන් කිරීම යනුවෙන් සැලකේ. පොල්වත්තේ බුද්ධ දත්ත, පාළි සිංහල ආකාරාදීයේ පවාරණ යන්නට තේරුම් තුනක්දි ඇත. එනම් පැවරීම, භාර කිරිම හා වස් අවසන් කිරිමයි. මෙයින් වඩා උචිත තේරුම වස් අවසන් කිරීම යනුයි. වස් පවාරණය සඳහා අමුතුවෙන් පවාරණ ප්‍රඥප්ති යක් අවශ්‍ය වේ යැයි නොසිතේ මක් නිසාද? වස් සමාදන් විමේදී “ඉමස්මිං විහාරෙ තෙමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි” යනුවෙන් වස් සමාදන් වීමේදීම තුන් මාසයකින් පසු වස් අවසන්වන බව සඳහන් වේ. ඒ නිසා වස් පවාරණය කිරිම වෙනමම අවශ්‍ය නොවන බව සමහරෙකුගේ මතයයි.
දකිනු පිණිස වඩින්නේ අතර මගදි වස් කාලය උදාවිය. එම භික්ෂුන් වහන්සේ සාකේත නගරයේදී වස් සමාදන්වි තෙමසකින් පසු වස් පවාරණය කොට ජේතවනාරමායට වඩින අතර මග මහා වර්ෂාවකට අසුවි සිවුරු පිරිකර තෙමාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට වැඩම කළහ. තෙත සිවුර පිටින් වඩින භික්ෂුන් වහන්සේලා දුරදීම දුටු බුදුරදුන් භික්ෂූන් වහන්සේලා ගැන ඉමහත් අනුකම්පාවක් ඇතිවී යැයි කිසිදු සැකයක් නැත. බුදුරදුන් භික්ෂුන් වහන්සේ සමඟ සතුටු සාමීචියෙහි යෙදී කඨින ශික්ෂාව පනවා තිබුණේ නම් මේ භික්ෂූන්ට තුන් සිවුරෙන් තොරව සිටීමේ පහසුව සිදුවන්නේ යැයි සලකා කඨින ශික්ෂාව පනවා වදාළහ. එනම් වස් වැස අවසන් වු භික්ෂූන්ට කඨිනයක් ඇතිරීමට නියම කරමි. නැතහොත් අතිරේක සිවුරක් පිළිගැනීමට අවසර දෙමි.

කඨිනයක් ලැබු භික්ෂුවට ආනිසංස පහක් ලැබෙන බව විනයෙහි දැක්වේ. ඒ ආනිසංස පහනම්
1.අනාමන්තචාරය (නොවිචාරා ගොදුරු ගමේ හැසිරීම
2. අසමාදානචාරය (තුන් සිවුරෙන් තොරව ගමේ හැසිරීම)
3. ගණ භෝජනය (සමූහව දන් වැළදීම)
4.යාව දත්ත චීවර (කැමති පමණ සිවුරු පිළිගැනීම)
5. චීවර උප්පාද (විහාරයට ලැබෙන සිවුරු සියල්ලම කඨිනය ලැබූ භික්ෂුවට ගත හැකි බව)

කඨිනය ලැබූ භික්ෂුවට ආනිසංස පහක් ලැබෙනවා වගේම කඨින චීවර පූජා කරන අයටත් අසීමිත ආනිසංසයක් ලැබෙන බව ධර්මයේ සඳහන් වේ.
කඨින චීවරයක් පූජා කිරීමට තුන් සිවුරෙන් ඕනෑම සිවුරකින් සිදු කළ හැකි බව විනය ශික්ෂාවල සඳහන් වේ.
තුන් සිවුර යන්නෙන් අදහස් වන්නේ දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුනයි. මසන ලද සිවුරකින් කඨිනයක් පිරිනැමීමට බැරිකමක් නැත. “කඨිනය” යනු සංඝයා යැයි අටුවාවේ සඳහන්ව ඇත. එබැවින් උපසම්පදා සංඝයා වහන්සේ අවම වශයෙන් පස් නමක්වත් කඨින චීවර පූජාවක් සඳහා සිටිය යුතුය.
කඨිනයක් නො ඇතිරීමට හේතු වන කාරණා 24 ක් ද කඨිනයක් ඇතිවීමට හේතුවන කරුණු 17 ද මහාවග්ගපාලියේ සඳහන් ව ඇත. මෙහි දක්වන ලද්දේ කඨිනය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයකි. කඨින ආනිසංස ගැන විස්තර වෙනමම දැක්විය යුතුවේ.

කඨින චීවර පූජා සමය ගම් දනව් අතිශයෙන්ම ප්‍රබෝධමත් වන කාලයකි. ගිහි පැවිදි සබඳතා මැනවින් රැඳී පවතී. තම තමන්ගේ දායකත්වය පවතින විහාරස්ථානවල පමණක් නොව අවට විහාරස්ථාන වලටද අවකාශ පරිදි සැදැහැවතුන් සහභාගි වී අටමහා පින්කම්වලට අයත් මේ පළමු පින්කමට සහභාගි වන්නේ ඉමහත් භක්තියෙන් බව සඳහන් කරනු කැමැත්තෙමි.

 කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය
ශාස්ත්‍රපති පණ්ඩිත පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක
පූනාහැල සද්ධානන්ද හිමි 


 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment