Labels

Tuesday, November 10, 2015

ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයකි

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
සච්චං හවේ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨංති 

 
කාරුණික පින්වතුනි,

 අද ධර්ම දේශනාවේ මාතෘකාව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයෙහි උරග වර්ගයට අයත් ආලවක සූත්‍රයයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත ධර්ම කරුණු මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගැනීමටත් සංසාර විමුක්තිය සළසා ගැනීමටත් උපකාර වෙනවා. නමුත් සම්පූර්ණ සූත්‍රයම සාකච්ඡා කරන්නට අවස්ථාව නොවන නිසා ධර්ම කරුණු කිහිපයක් විස්තර කරන්නට අපේක්ෂා කරනවා.

දිනක් අලුයම ලොව බලන බුදුරදුන්ට ආලවක ඇතුළු පිරිස සදහම් සිසිලෙන් සැනසීමේ වාසනාව ඇති බව පෙනෙනවා. ඒ අනුව සුදුසු අවස්ථාවක් බලා උන්වහන්සේ අලව්නුවර ආලවක භවනට වඩිනවා. ආලවක යක්ෂ සේනාධිපතියා රැස්වීමකට ගිය අවස්ථාවක් ඒ. දොරටුව අසල “ගදාභ” කියල මුරකරුවෙක් සිටිනවා. භවන තුළට යන්න අවසර පතන බුදුරදුන්ට අවසර ලැබෙන්නේ නැහැ. ආලවක යක්ෂයාගේ සැර පරුෂ බවත් තමන්වහන්සේටත් තමන්ටත් සිදුවිය හැකි විපතක් ඔහු විස්තර කරනවා. බුදුරදුන්ගේ මධුභාෂී පිය තෙපුලින් නිවී සැනහූ ‘ගදාභ’ ආලවකගෙන් අවසර රැගෙන එන්නට යනවා. මෙය අවස්ථාවක් කරගත් බුදුරජාණන් වහන්සේ ආලවක භවනට වැඩමවල ආලවක අසුන් ගන්නා අසුනෙහිම වැඩ හිඳ යක්ෂයින්ට ධර්මය දේශනා කළා. මේ අවස්ථාවේ යක්ෂ සමාගමට යන යක්ෂයින්ද පැමිණ බුදුරදුන්ට නමස්කාර කොට සමාගමට ගියා. ඔවුන් ආලවක අමතා සියල්ල සැළකළා. මේ වන විට ගදාභ ද තොරතුරු පවසා සිටි හෙයින් ආලවක ඉමහත් කෝපයට පත්වුණා. විවිධ ශබ්ද නගමින් ආයුධ වැසි, ගින්දර වැසි විසුරුවමින් එතැනට පිවිසුනා.

කෝපයට පත් ආලවක “නික්ඛම සමණාති” වහාම මෙතැනින් නික්මෙන යැයි කියනවා. බුදුහාමුදුරුවෝ පිටතට වඩිනවා. නැවැත පවිස සමණාති යනුවෙන් ප්‍රකාශ කරනවා. බුදුරදුන් ආලවක භවනට ඇතුල් වෙනවා. මේ අයුරින් දෙවැනි තෙවෙනි වතාවටත් යක්ෂයාගේ විධානය අනුව උන්වහන්සේ ක්‍රියා කළා. සිව්වෙනි වතාවේත් එළියට යන්නැයි කියල යක්ෂයා කියනවා. උන්වහන්සේ ඊට යහපත් ප්‍රතිචාරයන් දැක්වූයේ නැහැ. ඉන්පසු ආලවක චෝදනාභිමුඛයෙන් තර්ජනය කරනවා. නෙසැළී වැඩ සිටි බුදුරදුන් දෙස බලන යක්ෂයා කියනව, මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනවා. පිළිතුරු නොදුන්නොත් ඔබේ සිත පෙරලනවා. හදවත පලනවා. දෙපයින් අල්ලා මුහුදට දමනව කියලා.

මෙම අභියෝගයට පිළිතුරු සපයන අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා දෙව් මිනිසුන් සහිත මේ ලෝකයේ මගේ සිත පෙරලන්න, හදවත පලන්න. දෙපයින් අල්ලා මුහුදට දමන්නහැකි කෙනෙක් වෙතැයි මම නොදන්නෙමි. ඔබට සැක ඇති තැනක් වෙත්නම් අසා දැනගන්නයි කියලා. ආලවක ප්‍රශ්න අහනවා. මේ ලෝකයේ පුරුෂයාට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨද? කවර නම් ධර්මයක් සැපගෙන දෙනවද? රසයන් අතුරින් කිනම් රසයන් වැදගත් වෙනවද? කවර අයෙකුගේ ජීවිත වැදගත්ද කියලා.

මෙම ප්‍රශ්නවලට ඉතා සාර්ථක පිළිතුරු සපයන බුදුපියාණන් වහන්සේ ‘සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ‘ යනාදි ගාථාව ඉදිරිපත් කෙරෙමින් කරුණු පැහැදිලි කළා. ශ්‍රද්ධාව පුරුෂයාට ඇති ශ්‍රේෂ්ඨ ධනය බවත් මනාකොට පුහුණු කරන ලද කුසල ධර්මයන් සැප ගෙන දෙන බවත්, රසයන් අතුරින් ධර්ම රසය අතිශය වැදගත් බවත්, ප්‍රඥාවෙන් දිවිගෙවන පුද්ගලයා අතිශය ශ්‍රේෂ්ඨ බවත් උන්වහන්සේ පැහැදිලි කළා. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඉමහත් ප්‍රසාදයට පත් ආලවක ‘මම බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් නමස්කාර කෙරෙමින් ගමින් ගමට, නගරයෙන් නගරයට සංචාරය කරන්නෙමි. අද පටන් දිවි ඇතිතාක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වායි අයැද සිටියා.

මීළඟට මෙම ධර්ම කරුණ දෙස කෙටියෙන් විමසා බලමු. මිනිසාට ඇති උතුම් වස්තුව ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියල කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇති ප්‍රසාදය විශ්වාසය ගෞරවය හා අවබෝධයයි. බුදුදහමේ ඉගැන්වෙන ශ්‍රද්ධාව අන්ධභක්තිය නෙවෙයි. ප්‍රඥාවේ ආලෝකය ලැබූ අවබෝධය පදනම් කර ගත් උතුම් ධර්මයකි. ශ්‍රද්ධාව ධනයක් හා සමාන බැව් “සද්ධා ධනං” යන බුදුවදනින් පැහැදිලි වෙනව. එමෙන්ම ශ්‍රද්ධාවන්තයා සතු ලක්ෂණ කිහිපයක් බුදුපියාණෝ දේශනා කොට වදාළා. සිල්වතුන් දක්නට කැමැතියි. (දස්සනකාමෝ සීලවතං) සද්ධර්මය අසන්න කැමැතියි. (සද්ධම්මං සෝතු මිච්ඡති) මසුරු මළ දුරුකොට දන් දෙන්න කැමැතියි. (විනෙය්‍ය මච්ඡේර මලං) ඒ ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණයි.

ආලවකගේ මීළඟ ප්‍රශ්නය වුණේ ලොව සැප සදා දෙන කරුණු මොනවද කියලයි. ඊට පිළිතුරු ලැබුණේ කුසල ධර්මයන් සැපගෙන දෙන බවයි. බෞද්ධ වූ අපගේ පරමාධ්‍යාශය සංසාර විමුක්තිය සළසා ගැනීමයි. ඒ සඳහා අපට උපනිඞශ්‍රය වන්නේ ධර්මයයි. මනාකොට පුහුණු කරන ලද ධර්මයන් හා උතුම් ශ්‍රී සද්ධර්මය සැප ගෙන දෙනවා. දිව්‍ය මනුෂ්‍ය නිවන් යන ත්‍රිවර්ග සැප ඉන් ලැබෙනවා. ධර්මය හොඳින් පුරුදු පුහුණු කරගත් පසු විශාල මානසික සුවයක්ද ලද හැකියි.

ආලවකගේ මීළඟ ප්‍රශ්නය වුණේ රස අතුරින් කිනම් රසයක් වැදගත්ද කියලයි. රස අතුරින් ධර්මරසය ඉතා වැදගත් වෙනවා. “සබ්බං රසං ධම්ම රසං ජිනාති” ලොව පවතින විවිධ රස තාවකාලිකයි. නමුත් ධර්ම රසය මිනිසාගේ විමුක්තිසුව සදා සලසා දෙනවා.චතුරාර්ය සත්‍යය ධර්මයේ රසය සදාකාලිකයි.
ඉන් පසු ආලවක අහනවා කවර නම් ජීවිතයක් ශ්‍රේෂ්ඨද ? කියලා. ප්‍රඥාවෙන් යුතුව ජීවත්වන පුද්ගලයාගේ ජීවිතය අතිශය ශ්‍රේෂ්ඨ බව බුදුපියාණෝ අවධාරණය කළා. පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” මගේ මේ දහම ප්‍රඥාවන්තයින්ට ගෝචර දහමක්. “පඤ්ඤා නරානං රතනං” ප්‍රඥාව මිනිසාට තිබෙන උතුම් රත්නයක් ආදි දේශනා තුළින් බුදු දහමේ උගන්වන මේ ප්‍රඥාව අතිශය වැදගත් බව පැහැදිලි වෙනවා. එබැවින් ආලවක සූත්‍රයේ ඉගැන්වෙන කරුණු තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගෙන මෙලොව පරලොව දෙලොව සැනසීමත්, අවසන උතුම් නිර්වාණ සුවයක් සලසා ගැනීමට උත්සාහවන්ත වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි
 
 
 
මාදුළුපිටිය ශ්‍රී සුමන බෝධිරුක්ඛාරාමාධිපති
ශ්‍රී සද්ධර්මවාගීශ්වර පණ්ඩිතාචාර්ය
නාමල්වත්තේ ශ්‍රී ආනන්ද නා හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment