Labels

Friday, November 20, 2015

සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු


ආහාරයෙහි අවශ්‍යතාව පාට, ජාති භේදයකින් තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි. ගිහි පැවිදි භේදයකින් තොරව සියල්ලන්ටම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාර තුළිනි.
ආධ්‍යාත්මික ජීවිතය මෙන් ම භෞතික ජීවිතය වඩා අර්ථවත්ව පවත්වා ගැනීමට සමබල ආහාර වේලක් අවශ්‍යය. බුදුදහමෙහි ඉගැන්වෙන සේඛියා තුළින් සිදුකරනුයේ ද ආහාර රටාව හා ජීවන රටාව ක්‍රමවත් කිරීමය.

සඟරුවනට පිණ්ඩපාතය අනුදැන වදාරන්නේත්, ඇතැම් විට ධර්මය දේශනාකිරීමට පෙර දායකයන්ට ආහාර ලබාදෙන ලෙස බුදුරදුන් නියම කරන්නේ ද ආහාරයෙන් තොර ශක්තියක් නොමැති නිසාවෙනි. මේ ලෝකයෙහි ඇති දරුණුම රෝගය ලෙස බුදුදහම බඩගින්න හඳුන්වා ඇත්තේ ද ආහාරයෙහි අවශ්‍යතාව අනිවාර්ය බැවිනි. පොදුවේ ගත්විට අධ්‍යාත්මික මෙන් ම (බාහිර) භෞතික දියුණුව විෂයෙහි ආහාර අත්‍යාවශ්‍යය. මන්ද යත් ආහාරයෙන් තොර ශක්තියක් නොමැති බැවිනි.

ආහාරයෙහි පමණ දැන පරිභෝජනයෙහි සීමා හඳුනාගැනීම අවශ්‍යය. ආහාර අවශ්‍ය වන්නේ සවිය හෙවත් ශක්තිය ලබාගැනීම සඳහාය. ඒ සඳහා ගිජුබවක් නොදැක්විය යුතුය. ආහාරයෙහි ගිජුවීම නිසා ශරීරයේ සමබරතාව පවා ගිලිහීයාම අනිවාර්යය. කොසොල් රජුට සිදුවූයේ එවැනි තත්ත්වයකි. බුදුරදුන්ගේ මඟපෙන්වීම මත එයින් අත්මිදීමට ඔහුට හැකියාව සැලසුනි. තමා ශක්තිය ලබාගැනීමට ගනු ලබන ආහාර තම ආයුෂ කොටවීමට හේතුවන්නේ නම් එවන් ආහාර රටාවක් බුදු දහම අනුමත නොකරයි.
බුදු දහම දේශනා කරන අරියවංස, රාසිය හා කාමභෝගී යන සූත්‍ර තුළ ඉහත දැක්වූ පරිභෝජන දර්ශනය මනාව විස්තර කරයි. ආහාර පරිභෝජනයේ දී විමසුම් සහිතව පරිමාණය දැනීම අවශ්‍යය. මුළාව දැඩි ඇල්මෙන් එය නොගත යුතුය. එසේම උතුම් ජීවිත පවත්වා ගැනීමේ අරමුණ සහිතව ආහාර අනුභවය සිදුකළ යුතුවේ. එසේ නොමැති වූ විට සිදුවනුයේ පරිහානියකි. අටුවාව එය විස්තර කරනුයේ පැණි හැලියට වැටුණු ඇඹලයාටය. එසේ ම ආදීනව දැනගනිමින් ආහාරය ලබාගැනීම අවශ්‍යය.

ආහාර ඉහත සීමා අනුගමනය කරමින් ලබන්නේ නම් එය කාර්යක්ෂම හා ඵලදායී පිරිසක් නිර්මාණය කිරීමෙහිලා වැදගත්ය. එවිට අඩු ශ්‍රමයකින් වැඩි වාසි සලසා ගැනීම පහසුවේ. පළමු රහත් 60 නම අමතා බුදුරදුන් අනුගමනය කරනුයේ මේ තත්ත්වයයි. එනම් පිණ්ඩපාතයෙන් යැපීම තුළ බොහෝ පිරිසකට ධර්ම දායාදය ලබාදීමයි. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය.....” යන පාඨයෙන් එය වඩාත් හඳුනාගත හැකිය. රටක් ජාතියක් ලෙස ශක්තිමත් ව කටයුතු කිරීමේ දී සමබර ජීවිතය වැදගත්වේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී “සමජීවිකතා” ලෙස සඳහන් වන්නේ එම තත්ත්වයයි. අයවැය සමව පවත්වා ගැනීම පරිභෝජනයේ දී ඉතා වැදගත්ය. එසේ නොමැති වූ විට “අණන සුඛය” හෙවත් ණය නොවීමේ සතුට නැතිවී යයි.

මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෞකික පැවැතීමට ද එකසේ අදාළ කරගත හැක. අධික පරිභෝජනය හා නොකා නොබී නොසිට ශක්ති උත්පාදනය සඳහා පමණක් ආහාර ගෙන ණය නොවී පැවතීම බුදු දහම නිරන්තරව අගය කරයි. සමජීවිකතාවට විරුද්ධ සහ නොගැළපෙන අන්ත දෙක වනුයේ “අජද්ධූමාරිකා” හෙවත් නොකා නොබී මිය යාම හා “උදුම්බරඛාදිකා” හෙවත් අතුකපා දිවුල් කන්නාසේ භුක්ති විඳීමයි. මෙම අවස්ථා දෙකම තුළ නිවැරදිභාවයක් නොමැත.
මේ ජීවිතය තුළ දියුණුව ඇතිවීම විෂයෙහි කරුණු 4ක් අවශ්‍ය බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ම සඳහන් ය. එය සම්පූර්ණ නොවන විට දී ශක්තිමත් ජාතියක් බිහිනොවේ. එම කරුණු 04 මෙසේය.

1. උට්ඨාන සම්පදාව - උත්සාහය
2. ආරක්ඛ සම්පදාව - ආරක්ෂාව
3. කල්‍යාණමිත්තතාව - කල්‍යාණ මිත්‍රත්වය
4. සමජීවිකතාව - වශයෙනි.

උත්සාහය මහන්සිය මෙන් ම ලබන ලද ධනය ආරක්ෂා කරගත යුතුය. ඒ සඳහා යහපත් සමාජ සම්බන්ධතා අවශ්‍යවේ. ඒ මත අයවැය තුලනය කරගත් ජීවිතය ගත කිරීම අපහසු නොවේ. මෙහිදීම කරණීයමෙත්ත සූත්‍රයේ දී දක්වනු ලබන සුභරතා, අප්පිච්චිතා, සන්තුට්ඨිතාව අමතක කළ නොහැක. මන්දයත් පරිභෝජනයේ දී සම්පත් සීමිත අතර මිනිස් අවශ්‍යතා අසීමිතවේ. අසීමිත වුවමනාවන් ඉටුකර ගැනීමට යාමේ දී ගැටුම් ඇතිවේ. එහෙයින් ලද දෙයින් සතුටුවීම මෙන් ම පහසුවෙන් පෝෂණය කිරීමට හැකියාව තිබීම වැදගත්ය.
පරිභෝජනය අවබෝධයෙන් සිදුකළ යුතුය. ජීවිත ක්‍රියාවලියේ අවසානය පරිභෝජනය නොවේ. මිනිස් ක්‍රියාකාරිත්වයේ අවසාන අරමුණ ආහාර නොවේ. පරිභෝජනය කරන ප්‍රමාණය මත උස් පහත් බව මැනිය නොහැක. උස් පහත් බව මැනෙනුයේ ආහාරයෙන් ලද ශක්තිය දියුණුව විෂයෙහි යොදා ගන්නා ප්‍රමාණය මතය.

ශ්‍රමය කැපකිරීමට අවශ්‍ය ශක්තිය ආහාරයෙන් ලැබේ. එහෙයින් ශ්‍රමය කැපනොකර අන් අයගෙන් යැපීමට උත්සාහ කිරීම පිරිහීමට හේතුවේ. දියුණුව හෝ පරිහානිය මත එකිනෙකාගේ ශ්‍රේෂ්ඨත්වය පවතී. විවිධ වෘත්තීන් හා ක්‍රියාකාරකම් සිදුකරමින් පවතින බොහෝ පිරිසක් මේ මිහිපිට ඇත. ඒ සෑම කාර්යකදීම වඩාත් ඵලදායීව පෞද්ගලික අරමුණු හා ජාතික අරමුණු ජයග්‍රහණය කළ යුතුය. (කෘෂිකර්මය, වෙළෙඳාම, රාජ්‍ය සේවය, නිෂ්පාදනය) යන ඕනෑම ක්ෂේත්‍රයකට ඉහත කාරණාව පොදුය. මෙම කාර්යයන් විධිමත්ව සංවිධානය කළ යුතුය. වැඩි ඵලදාවක් ලැබෙනුයේ එවිටය. එය ක්‍රියාවට නැංවීම පිළිබඳ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුදහම පැහැදිළි කරයි. එහි දී කරුණු 05ක් මෙසේ විස්තර කරයි.

1. දක්ඛෝ - දක්ෂවීම
2. අනලසෝ - කම්මැලි නොවීම
3. තත්‍රෑපාය වීමංසාය – ඒ ඒ අවස්ථාවන්ට බුද්ධිමත් වීම
4. අලංකාතුං - කළයුතුදේ මනාව සිදුකිරීම
5. අලංසංවිධාතුං - මනාව සංවිධානය කිරීම

ඕනෑම කාර්යයක් වඩා සාර්ථකවීමට හා ඉන් වැඩි ඵලය ලැබීමට කාර්යෙහි නියුක්තවන්නන් දක්ෂ විය යුතුය. යමක් කිරීමට නොව වඩා හොඳින් සිදුකිරීම අවශ්‍යය. ආයතනයක් නම් ඒ සඳහා සුදුසු පිරිස් පත් කරගත යුතු අතර සුදුසු අය නැත්නම් පුටුව හිස්ව තැබීම නුසුදුසු අය පත්කරනවාට වඩා සුදුසුය.
ආයතනයන්හි කළමනාකාරීත්වය මේ පිළිබඳව සැළකිලිමත් වීම වැදගත්ය. දක්ෂභාවය සමගම අනලස්භාවය අවශ්‍යය. පිරිහීමේ දොරටු අතර ද අලසකම එකකි. ධනවිනාශ මුඛයන් තුළ එක් විනාශ මුඛයකි. ඇතැම් අලසයන් කෑම අඩුය දැන් බඩපිරී වැඩිය සිතා තම ශක්තිය අපතේ හරියි. එහෙයින් අනලස්ව ලබන වේතනයට සරිලන සේවාවන් සිදුකිරීමට වගබලාගත යුතුය.

විමසිලිමත්වීම හෙවත් ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන ලෙස බුද්ධිමත්වීම තවත් ප්‍රධාන කාර්යයකි. එසේ නොමැති වූ විට සම්පත් අපතේයාම හා වැඩිකාලයක් භුක්තිවිඳිය හැකි සම්පත් ඉක්මනින් විනාශ විය හැකිය. එය එසේ නොවීමට නම් අවස්ථාවට අනුරූපව බුද්ධිය මෙහෙය වීම වැදගත් වේ.
වඩා අර්ථවත් ක්‍රියාකාරකම් සඳහා ශක්තිය කළමනාකරණය කරගනිමින් යෙදවීම වැදගත්ය. වඩා ඉක්මනින් කළයුතු දෑ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුය. කාර්යක්ෂමතාව පමණක් වැදගත් නොවේ. ඵලදායීතාවක් අවශ්‍යය. එය දීර්ඝ කාලීන විය යුතුය. එදාවේල ගැන පමණක් සිතීම කළයුතුදේ තෝරාගැනීම නොවේ. කරන සෑම කාර්යයක් ම ආර්ථික ලාභය පමණක් ඉලක්ක කරගැනීම දියුණුව ලෙස අරුත්ගැන්විය නොහැක. සදාචාරයට, පරිසරයට, මිනිස් පැවැත්මට අවැඩදායක ක්‍රියාකාරකම් තුළින් ඉවත්විය යුතුය. යෝග්‍ය සුදුසු කටයුතු තීරණය කර තෝරාගැනීම අවශ්‍යය. එවිට ඇතිවන දියුණුව තිරසාර වේ.

මනාව කටයුතු සම්පාදනය කිරීම මෙහි දී අවධාරණය කරන අවසාන කාරණයයි. ඒ සඳහා භෞතික කාරණා මෙන් ම මිනිස් දිනචරියාව හැඩගස්වා ගන්නා ආකාරය වැදගත්වේ. බුදුරදුන් 45 වසරක් වැනි කෙටිකාලයක් තුළ ගොඩනැගූ ශාසනය 2600 වසරක් ම නොනැසී පැවතීමේ රහස ද එයමය.
උන්වහන්සේ තුළ භික්ෂූන් හැසිරවීමේ මනා නිපුණත්වය හා වැඩ බෙදීම සරලම උදාහරණය වේ. වර්තමානයේ සම්පත් කළමනාකරණය ලෙස දක්වනුයේ එම තත්ත්වයයි. පුද්ගලයන් සතුටු කිරීමට නොව රැකියාව අවශ්‍ය පුද්ගලයෙකු තෝරාගැනීම මනා සංවිධානයයි. සෑම කාරණාවකට ම මිල නියම කිරීමෙන් පමණක් සෑහීමකට පත්නොවිය යුතුය. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් පිළිබඳ වටිනාකම හඳුනාගත යුතුය.



කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment