Labels

Sunday, November 22, 2015

සසර වසන තුරු අපා දුක එපා ( බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 08)

 
‘බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි මාලාව යටතේ අපායයන්ගේ විවිධ ස්වභාවයන් පිළිබඳ පසුගිය ලිපි කිහිපයේ ම සාකච්ඡා කෙරුණි. මෙවර ද අප සාකච්ඡා කරන්නේ එවැනි විවිධ දුක්ඛිත ස්වභාවයන් ඇති තවත් අපායයන් කිහිපයක් පිළිබඳවය. විශේෂයෙන් සතුන් මරන්නන් උපදින අපායයන්ගේ ස්වභාවයන් පිළිබඳවය.


 බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 07 සසර අපා දුක් නොවිඳින් කිසිදා

 

රෝරුව නරකය

 


මෙහි දිග යොදුන් දහසක් ද, පළල යොදුන් දහසක් ද, ගැඹුර යොදුන් දහසක් ද වෙයි. මෙහි යකඩ පවුර සහ යකඩ පියන යොදුන් නවය බැගින් වෙයි. මෙහි සිටින යමපල්ලෝ යොදුනක් තරම් උසය. ඔවුන්ගේ ලොම් හා නිය ගව්වක් පමණ වෙයි. බඩ හා රැවුල අසූ රියන් පමණවෙයි. රිය සකක් හා පමණ ඇස් ඇති අතර දුටුවන් බියවන රත්පැහැ වූයේ වෙයි. ඔවුහු ගිනිගෙන දැවෙන දොර පලු හා සමාන වෑ - පොරෝ - කෙටේරි ගෙන නිරිසතුන් කපති. සසිති. පොළොවෙහි හෙලූ කඳන් කපා වෙන් කරන්නාක් මෙන් නිරි සතුන් කපා කෑලි කෑලිවලට වෙන් කරති. මෙසේ දුක් විඳින්නේ සොර සිතින් චිත්‍රකර්ම, වඩුකර්ම ආදිය කොට වංචාකොට මුදල් ලබාගත් අය හා බුදුපිළිම බණ පොත් ආදිය විකුණා මුදල් ලබාගත් අය මෙන් ම දාගැබ්, පිළිම, කරඬු හොරකම් කළ අය මෙන්ම පිනට යැයි සම්මාදන් කොට කෑවෝ ද මෙහි ඉපිද දුක් විඳිති.

සාප නරකය

 

මෙහි ද දිග පලළ හා ගැඹුර පෙර මෙනි. මෙහි රසදිය වැනි තඹ පැහැති දිය ගින්නෙන් කැකෑරෙමින් පවතියි. මෙහි වසන යොදුන් සියයක් පමණ උස හිස් ඇති යොදුන් පණහක් පමණ දිග උදරය ඇති පණුවන් විශේෂයක් මෙහි වැටෙන නිරි සතුන් කඩ කඩා කති. විශේෂයෙන් මෙහි උපදින්නේ කකුළු ආදි දිය යට වෙසෙන සතුන් මැරූ අය හා සතුන්ගේ හිස් සිඳ මරණයට පත් කළ අය හා එසේ කිරීමට උපදෙස් දුන් අයයි.

පසුඝාත නරකය

 

මෙහි දිග හා පළල තුන්සිය යොදුන් වෙයි. යකඩයෙන් නිම වූ පවුර හා පියන නව යොදුන් වෙයි. මෙහි වෙසෙන යමපල්ලෝ ගිනිගෙන දිළිසෙන ආයුධ රැගෙන මෙහි වැටෙන නිරිසතුන් කපා කොටා කෑලි කරති. මෙහි ඉපිද දුක් විඳින්නේ හරක්, ඌරන් ආදි සතුන් විවිධ අවිආයුධවලින් මරා මස් කොට කෑ අයයි. මෙහි ආයුෂ ප්‍රමාණ කළ නොහැක.

මංසපේසී නරකය

මෙහි දිග හා පළල ද තුන්සිය යොදුන් වෙයි. යකඩ පවුරු හා යකඩ පියන ද පෙර මෙන් නව යොදුන් පමණ වෙයි. මෙහි උපන් නිරිසතුන් ඇටයෙන් තොර මසින් පමණක් පිරුණේ වෙයි. මෙසේ මේ නිරයේ වැටෙන සතුන් යක්ෂයන් වැනි ගිජු ලිහිණියන් හා උකුස්සන් විසින් තියුණු යකඩ වැනි වූ හොටවලින් ඇද ඇද කඩා කති. නැවතත් ඒ නිරි සතුන් කර්ම බලයෙන් එහිම උපදිති. නැවතත් පෙර පරිදි ගිජු ලිහිණියන් හා උකුස්සන් විසින් ඔවුන් කඩා කති. මෙහි උපදින්නේ සතුන් මරා මස්කොට වැල් බැඳගෙන ගොස් විකුණා ජීවත් වූ අයයි.

සාකුණික නරකය

 

මෙහි දිග පළල හා ගැඹුර යොදුන් සාර සියයකි. මෙහි යොදුන් නවයක් පමණ ඝනකමින් හා දිගින් යුත් යකඩ කබලක් වෙයි. මෙම කබල ගින්නෙන් රත් වී නිරන්තරයෙන් දිළිසෙමින් පවතී. මෙහි වැටෙන නිරිසතුන් ගින්දරට ළංකළ ගිතෙල් මෙන් මස් දිය වී යයි. අකුසල කර්මය ගෙවී යන තෙක් නැවතත් උපදියි. නැවතත් පෙර සේ ම යකඩ කබලේ වැටී ගිතෙල් මෙන් දිය වී යයි. මෙහි උපදින්නේ අතුවැටි ගසා, උගුල් අටවා දැල්, කෙමි, මළපුඬු ආදියෙන් සතුන් මරා මස්කොට විකුණාගෙන කෑ අයයි.

ඕරම්භික නරකය

 

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි යමපල්ලන් වෙනුවට සිටින්නේ යකඩ වන් තියුණු හොට ඇති උකුස්සන් හා ගිජුලිහිණියන්ය. මෙහි මස්ගොඩවල් මෙන් වැටී සිටින නිරිසතුන්ගේ ගෙල සිඳ ක්ෂණයකින් උකුස්සන්ගේ හා ගිජු ලිහිණියන්ගේ ගොදුරු බවට පත්කර ගනිති. මෙහි උපදින්නේ බොටුව මිරිකා ගල් ආදිය බැඳ සතුන් මරා මස් කොට විකුණා ජීවත් වූ අයයි.

අසිලෝම නරකය

 

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ ශරීරයේ රෝමයන් දෙපැත්තම මුවහත් තියුණු අසිපත් මෙනි. ක්ෂණකින් අසිපත් වන් එම රෝම කූපයන් අහසට නැගී ඒ ඒ නිරිසතුන්ම කපා විනාශයට පත් කරයි. මෙසේ මෙහි දුක් විඳින්නේ ඌරන්, එළුවන් වැනි සතුන් කඩුවලින් කපා මැරූ අයයි.

සත්තිලෝම නරකය

 

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපන් නිරි සතුන් ගව්වක් පමණ උසය. ශරීරය තියුණු ආයුධ වැනි රෝම කූපයන්ගෙන් යුක්තය. කර්ම බලයෙන් ක්ෂණයකින් අහසට නගින් එම රෝම කූපයන් ආපසු අවුත් ඔවුන්ගේ ශරීරමත වැටී කැපී කෑලි කෑලි බවට පත් කරයි. කර්ම බලයෙන් නැවතත් ශරීරය එකට වෙයි. මෙහි උපදින්නේ දඩයමට ගොස් තියුණු ආයුධවලින් ඇන සතුන් මැරූ අයයි.

උසුලෝම නරකය

 

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි ද උපන් නිරි සතුන් ගව්වක් පමණ උසය. ඔවුන්ගේ ශරීරය පුරාවට ඇත්තේ ඊතල මෙන් තියුණු උල් ඇති රෝම කූපයන් ය. කර්ම බලයෙන් ක්ෂණයකින් අහසට නගිත් එම රෝම කූපයන් ආපසු අවුත් ඔවුන්ගේ ශරීරමත වැටී ඇනී ඔවුන්ගේ ශරීර පෙනේරයක් මෙන් සිදුරු කරයි. මෙහි උපදින්නේ ඊතලවලින් විද සතුන් මැරූ අයයි.

රථාචාර්යක නරකය

 

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි වැටෙන නිරිසතුන් එහි අතුරු සිදුරු නැතිව පවතින ඉඳිකටු තුඩ වැනි මුවහත් උල් ඇනී බලවත් වේදනාවට පත්වෙයි. මෙසේ ඇනෙන සමහර උල් ඔවුන්ගේ සිරුර පසාරුකරගෙන යයි. මේ නරකයේ ඉපිද දුවිඳින්නේ ඇතුන් අසුන් ගවයන් හික්මවීම සඳහා ද්වේෂයෙන් කෙවිටෙන් තලා පෙලා වධ දුන් අයයි.




 ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 19 වන  බ්‍රහස්පතින්දා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි


 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 09

No comments:

Post a Comment