Labels

Saturday, November 7, 2015

දියුණුවේ දොරටුව 04 දියුණුවේ ක්‍රම දෙකයි


තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම ආධ්‍යාත්මික දියුණුව, බාහිර දියුණුව වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනවා. ආධ්‍යාත්මික දියුණුව කියන්නේ අපේ සිතේ දියුණුවයි. සිත දියුණු කරගන්න අපහසු නිසා බුද්ධ අනුශාසනාවක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් අපට සිත දියුණු කරගන්න පුළුවන්.
අපට කමටහන් හතළිහක් දීලා තියෙන්නේ සිත දියුණු කර ගැනීමටයි. දස අනුස්සති, දස කසිණ, දස අසුභ, සතර ධාතු , සතර අරූප, ආහාර පටික්කූල සංඥාව කියන මේ කර්මස්ථාන හතළිහම අපට දේශනා කළේ සිත තැන්පත් කර ගැනීමටයි.

සිතේ ඇත්ත ඇති සැටිය දැක ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ විදසුන් භාවනාවක් වදාළා. ආධ්‍යාත්මික දියුණුව සකසා ගන්න එතන ක්‍රම දෙකක් තථාගත ධර්මයේ දැක්වෙනවා. බාහිර දියුණුව කියන්නේ මිල, මුදල් , කෙත් වතු, යානවාහන ආදිය සකල සම්පත්වල දියුණුවයි.
මේ දේත් අවශ්‍යයයි. නමුත් බාහිර ගුණ දියුණුවත් එක්කම ආධ්‍යාත්මික ගුණ දියුණුවත් එකතු වුණහම සරුසාර ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ලෝකයේ බොහෝ දෙනා සිතන්නේ බාහිර දියුණුව පමණයි. පසුගියදා අති විශාල ධනවාදී මහත්මයෙක් සිටියා. එතුමා හරියට අඳින්නෙ පළඳින්නේ , කන්නෙ බොන්නෙ නෑ. නමුත් දැවැන්ත ව්‍යාපාරිකයෙක්. එක්තරා මහත්මයෙක් එතුමාට මෙන්න මෙහෙම කියලා තිබුණා. “ඔබතුමා දාන මාන පින්කමක් කරන්න, පන්සල්වලට උදවු කරන්න, දුගී මගී අයට සලකන්න කියලා. අපෝ! වෙලාවක් නෑ කිව්වා. තව දවසක් කියලා තිබුණා ඔබතුමා බුද්ධගයාවට ගිහිල්ලවත් වන්දනා මාන කරගෙන ආවොත්? අපෝ! ඒවට දින ගණනක් ගත කරන්න බැහැ, මේ වැඩකටයුතු කරන්න කෙනෙක් නෑ කිව්වා. කතාව ඔහොම නැවතුණා. දින දෙක තුනක් ගියා. හෘදයාබාධයක් හැදිලා මේ ව්‍යාපාරික මහත්මයා මරණයට පත් වුණා. බලන්න, පින්වතුනි, අර සද්පුරුෂයා කියපු කථාව ඇහුවේ නෑ. අන්තිමේදී හිස් අතින්ම පරලොව ගිහිල්ලා අනන්ත දුක් විඳින්න ඇති. සැපවත් ජීවිතයක් , ආධ්‍යාත්මික ජීවිතයක් , බාහිර සැප ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙද්දීත් එතුමා හදිසියේම මරණයට පත් වුණා. මොනම දෙයක්වත් පරලොවට ගෙන යන්න බැරි වුණත් පව අරගෙන යන්න ඇති. තණ්හා, තරහ, ක්‍රෝධ , වෛර, මදමාන ඒවා අරගෙන යන්න ඇති. පිනක් දහමක් කරගත්තේ නෑ. සේවක සේවිකාවන්ට උදවු උපකාර කළේ නෑ. හරියට කෑවේ බීවේ ඇන්ඳේ පැළැන්ඳේ නෑ. එහෙමනම් මොන තරම් ධනවාදී වුණත් ඒ ජීවිතයේ කිසිම තේරුමක් නෑ. අන්න ඒවා අපට හොඳ ආදර්ශ. හැමෝම මැරෙනවා. අඩු වයසෙන් මැරෙනවා. ඒ වගේම පරලොව ගිහිල්ලා සැපෙන් ඉන්න ඕන කියලා දියුණුව පිණිස කවුරුත් සිතලා වැඩ කටයුතු කළ යුතුයි. හැමෝම වැඩ කරන්නේ දියුණුව පිණිසයි. හැබැයි සිත දියුණුකර ගන්න බොහෝදෙනෙක් මහන්සි ගන්නේ නෑ. විශාල ගෙයක් කවුරු හරි හැදුවොත් අනේ! මටත් ඒ විදිහට දියුණු වෙන්න ඕන කියලා සිතලා වැඩ කරනවා. නමුත් ඒක නියම දියුණුවක් නෙමෙයි. සිතේ දියුණුවත් එක්කම බාහිර දියුණුවත් සකසාගත යුතුයි. බුදු සසුනකින් පමණයි මේ සිතේ දියුණුව සකසා ගන්න පුළුවන්.
දවසක් අප ළඟට ආවා පිටරට සුදු මහත්වරු කණ්ඩායමක්. ඒ අයගේ ඇඟ පුරාම රතු පාට දද තිබුණා.

ඒගොල්ලන්ට පිරිත් පැන් ටිකක් දීලා සිරුරේ ගා ගන්න කියලා පිටත් කළා. ඔවුන් පසුදාත් නැවත පැමිණිලා මෙහෙම ඇහුවා. “අර වතුර ටික බොහොම සනීපයි. අපේ දද, කුෂ්ඨ ඔක්කොම වියළිලා ගියා. මොකක්ද, ඒ වතුර ටික කියලා ඇහුවා. ඒ තමයි “අපේ බුදුරජාණන් වහන්සේගේ දේශිත දහම මේ වතුරට ඇතුළත් කරලා තියෙන බව මා ඔවුන්ට පහදා දුන්නා. ඇල්වතුර වුණාට මේකෙ බලය වැඩියි. ඔය විදිහට දද , වන, පිළිකා, කුෂ්ඨ රෝග වැඩිපුර හැදෙන්නේ ආගමක් දහමක් නැති නිසයි. ඒ නිසා ඉන්න තැනකට ගිහිල්ලා බුදු පිළිමයක් අරගෙන මල් පහන් පූජා කරලා වන්දනාමාන කරන්න කියලා අවශ්‍ය ගාථා ටිකත් ලියලා දුන්නා. ඒ කණ්ඩායම ඒ රටට ගිහිල්ලා ඒ විදිහට වන්දනාමාන කරන බව පැවසුවා. ඔය විදිහට නැවත කණ්ඩායමක් පැමිණියා. ඒ අයගේ ශරීරවලත් දද. මොකද, කාරණය පින්වත්නි, පීඩනය අධිකකමයි. හොඳ සැනසුමක් නෑ. දහමක් නෑ. පිළිසරණක් නෑ. මුදල් ඕන තරම්. ජීවත් වෙනවා, කනවා , බොනවා අන්තිමේදී සැනසුමක් නෑ. සිත හදාගන්න බෑ. දැවිලා, පිච්චිලා, මැරිලා අපායට යනවා. ඒ ගොල්ලො අතර වුණත් සැපයට පත්වෙන්නේ සිත හදාගත්ත ස්වල්ප දෙනයි. ඒ නිසා කොයි කවුරු වුණත් මහන්සි ගන්න සිත හදා ගන්න. අපට පරලොවක් තියෙනවා. සංසාර ගමනෙ නැවැත්මක් නෑ. නවතින්නේ රහත් වුණ දවසක විතරයි. ඒතාක් මේ ගමන දුවන්න ඕන. අන්න ඒ දුවන ගමන අපායකින් දුවන්න බෑ. සුගතියකින් දුවන්න ඕන.

ආධ්‍යාත්මික ගුණ වගාව සකසා ගත්ත හැමෝම අද මනුලොව, දෙව්ලොව, බඹ ලොව ඉන්නේ. බොහෝ දෙනෙක් නිවන් මඟට පැමිණියා. සිත සකසා ගන්න බැරිවුණ සියල්ල අපායට ගියා. ඒගොල්ලෝ අනේ! මටත් දානයක් දෙන්න බැරි වුණා, කිසිම පිනක් කරගන්න බැරි වුණා , මවට – පියාට සළකන්න බැරි වුණා කියලා සුසුම් හෙළනවා. ආධ්‍යාත්මික ගුණ දියුණුව නැති අය අඬනවා. , වැළපෙනවා, කෑගහනවා. ඒ අනුව ඔබ අප සියලු දෙනාම තදින්ම සිතට ගත යුත්තේ සිත සකසාගෙන ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමටයි. එසේනම් ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ඥාන, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ආදරය , සෙනෙහස , ශීල, සමාධි , ප්‍රඥා, දාන , පි‍්‍රය වචන, අර්ථචර්යා, සමානාත්මතාවය දියුණු කර ගැනීම අධ්‍යාත්මික ගුණ වගාවට හොඳයි.

ඔබලා දියුණුව පිණිස යන්න නම් දක්ෂයෙක් විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. විශේෂයෙන් අවංක විය යුතුයි. සුවච කීකරුබව, නිහතමානීකම , ලද දෙයින් සතුටුවීම , පෝෂණයෙන් සමර්ථයෙන් වීම, අල්ප කෘත්‍ය ඇති අයකු වීම, සැහැල්ලු ගති පැවැතුම් ඇත්තෙකු වීම ,ඇස් –කන් – නාස ආදිය සංවර කරගෙන නුවණින් වැඩකටයුතු කිරීම, නපුරු ගති පැවැතුම් නැති වීම, දුවා දරුවන් ඥාතීන්, හිතවතුන්ගේ ගේ දොර, වතුපිටි ආදී මගේ , මගේ කියලා අල්වා ගැනීමෙන් වැළකීම, කුඩා වූ නමුත් වරදක් කිරීමෙන් වැළකීම අවශ්‍යයයි කියලා අපට නීති මාලාවක් බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න ඒ නීති මාලාවට කියන්නේ ආධ්‍යාත්මික ගුණ දියුණුවයි. එයට ගුණ වගාව කියලත් කියනවා. ඊට පසුව සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! කියලා සිතන්න පුළුවන් නම් අන්න ඒක අගේ ඇති සිතේ දියුණුවක්. අගේ ඇති සැනසුමක්, අප ලබාගෙන තියෙනවා. ඒවගේ සැනසුමක් ලබන්න බුදු සසුනේ හැර කිසිම දහමක බෑ. දවසක් අජාසත්ත රජතුමා බොහෝ සිතේ වේදනාවෙන් සිටියේ තමන්ගේ පියා මරපු නිසා. එතුමා නිගණ්ඨනාථපුත්ත, පකුධකච්චායන, මක්ඛලී ගෝසාල පුත්ත වගේ එදා ජන සමාජය භාරතයේ හිටපු ප්‍රධාන ශාස්තෘවරු හමුවෙන්න ගියා. ඒ ගොල්ලෝ රජ්ජුරුවෝ පැමිණීම ගැන සතුටු වූණා. සමහර අය බියට පත් වුණා. රජතුමා, අප ළඟට විතරයි එන්නේ වෙන කාගෙවත් අසලට යන්නේ නෑ කියලා සමහරුන් තමන්ගේ ගුණ වර්ණනා කර ගත්තා. “මම මෙහෙම කළෙමි. මම පව් නොකරමි. අකිරියවාදියි. අවිහිංසාවාදියි. ඔය විදිහට තමන්ගේ ගුණය වර්ණනා කළා.” නමුත් එයින් රජතුමාගේ සිතට බෙහෙතක් ලැබුණේ නෑ. සිත ඔක්කොම පිරිහිලා. ගුණ ධර්ම මුකුත්ම දැන් නෑ. බඩ පපුව දැවෙනවා. මොකද හේතුව? තමන්ගේ පියා මැරුවේ. මවට , පියාට සැලකිය යුතු වුණත් සිදු කළේ අනර්ථයක්. අන්තිමේදී එක්තරා ඇමැතිවරයෙක් රජතුමාට මෙහෙම කියනවා. “ අපි යමු මහ රජතුමනි, ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට. අපෝ !බැහැ කිව්වා. උන්වහන්සේගේ ප්‍රධාන දායකයා මගේ පියා. මා කළේ ලොකු වරදක්. එහෙම එකේ බුදුරජාණන් වහන්සේ හමුවෙන්නේ කෙසේද? කියලා ඇහුවා. නෑ, මහරජ,භය වෙන්න එපා. අපි යමු ඔබගේ සිතට ලොකු බෙහෙතක් ලැබේවි. ඒ මඟින් ආධ්‍යාත්මික ගුණ දියුණුවක් ලබන්න පුළුවන් කියලා අමාරුවෙන්ම රජතුමා බුදුරදුන් ළඟට ගෙන ගියා. එහිදී බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 1500ක් වාඩිවෙලා සිටියා. ඉදිකටුවක් බිම වැටෙන ශබ්දයක්වත් ඇහෙන්නේ නෑ. ඒ තරම්ම නිහඬයි. අනේ! මගේ “උදය භද්‍ර කුමරුවත්” මෙහෙම හැදුණොත් කොයි තරම් හොඳද? කියලා රජතුමාට සිතිලා තියෙනවා. එහෙමනම් රජතුමාගේ දරුවත් දරුණු බව එයින් පෙනෙනවා. ගුණ දියුණුවක් නෑ. ඊට පස්සේ රජතුමා මෙහෙම අහනවා. “ස්වාමීනි, මේ හාමුදුරුවරු ගිහිගෙයින් නික්මිලා මොනවා ගැන දියුණුවක් සිතාගෙන ද මහණ දම් පුරන්නේ? මේකෙන් ලැබෙන සාමඤ්ඤ ඵලය මොකක්ද? මහරජ, ඔබගේ රාජ්‍ය සේවකයෙක් දැන් මහණ වෙනවා. එවිට ඔබ පිළිපදින්නේ කෙසේද,? කියලා බුදුරදුන් විමසුවා. ස්වාමීනි, දාන මාන නැත්තන්ට දාන මාන ලබා දෙනවා. ඉන්න තැනක් නැත්නම් හදලා දෙනවා. වඳිනවා, පුදනවා. කිව්වා. අන්න ඒක තමයි මහරජ, පළවෙනි සාමඤ්ඤ ඵලය කියලා වදාළා. ඔය විදිහට දෙකෙන් පටන් ගෙන ශීල, සමාධි, ප්‍රඥා, කියන දාන අභිඤ්ඤා මාර්ග ඵල විපස්සනා කියන ඔක්කොම වදාළා. මේ විදිහට භික්ෂු ජීවිතයේ ඵලය, දියුණුව, යහපත පැහැදිලි කළවිට රජතුමා බොහොම සතුටු වුණා. එදා මේ දේශනාව ශ්‍රවණය කළ රජතුමාට නිවන් දකින්න වාසනාව තිබුණත් නිවන් මඟ ඇහිරීගියේ පියා මරපු පාපය නිසයි. අන්න එහෙමනම් බලන්න, ගුණ දියුණුව කියන දේ කොපමණ වටිනවද කියලා.

එසේනම් ලෝකවාසී හැමෝම ගුණ පිරිහෙන්නට ඉඩ නොදී ගුණ දියුණුකරගන්න ඕන. මවට – පියාට හොඳට සළකලා සිත දියුණු කරන්න. දරුවන්ගේ රැකවරණය, යහපත ,දියුණුව ඉටුකර දීම දෙමාපියන් සතු මහඟු යුතුකමක්. දෙමාපියන් පංචශීලය ආරක්ෂා කළ යුතුයි. සුරාව, සූදුව, දුරාචාරය කියන අයහපතෙන් වැළකිය යුතුයි. එහෙම වුණොත් දෙමාපියන්ගේ දියුණුව , සමගිය, සමාදානය නිබඳව රැකෙනවා. මවත් – පියත් යහපත් නම් ඔවුන්ගේ දියුණුව හොඳට රැකෙනවා. දරුවෝ කීකරු විය යුතුයි. දෙමාපියන්ට යටහත් පැවතුම් ඇති කරගෙන වඳින්න පුදන්න. දෙමාපියන් කියන දේ දරුවන් ඉෂ්ඨ කළොත් ඒ අයට ආධ්‍යාත්මික වශයෙන් ලොකු දියුණුවක් ලැබෙනවා. එක ගෙදරක මෙහෙම සැරසුණහම ඒ ගෙදර අයට දෙවියොත් වඳීවි. සෑම ගෙදරකම මෙහෙම වුණොත් ඒක ලෝකෙටම සැනසුමක්, ශාන්තියක්. අන්න බලන්න, ගුණ වගාව– ගුණ දියුණුව සෑම දෙනාගේම බාහිර දියුණුවට බලපාන හැටි. මේ ගුණ සම්පත් දියුණු කරගන්න මහන්සි ගන්න. අපට ඉතිරි වෙන්නේ ඔය ටික පමණයි.


මිල මුදල්, යාන වාහන කොපමණ තිබුණත් මරණෙදි අපට සියල්ල අහිමි වෙනවා. නොබෝදා වෛද්‍යවරයෙක් මිය ගියා. ඔහුට වයස අවුරුදු හතළිස් දෙකයි. මොනම දෙයක්වත් අරගෙන ගියේ නෑ. එතුමා බොහොම කලක් සේවය කරන්න බලාපොරොත්තු වුණා.

නමුත් මරණයට පත් වුණා. ඒ බව තේරුම් අරගෙන තම දියුණුව හොඳට සකසා ගන්න. දියුණුවේ ක්‍රම දෙකයි. මිල, මුදල්, කෙත්වතුවල දියුණුව සහ සිතේ දියුණුවයි. පින් කරලා බණ භාවනා කරලා සිත සකසා ගැනීමෙන් මරණින් මතු යහපත් තැනකට යන්න පුළුවන්. කිසිම කෙනෙක් සිත හොඳ නම් මරණින් මතු දුකකට නම් පත්වෙන්නේ නෑ. සිත හොඳ නැති ඔක්කොම මැරිලා වැටෙන්නේ අපායට. සිත හොඳ අය සැපයට පත්වෙනවා. සිත හොඳනම් කරදර පීඩා නෑ. මෙලොවත් පරලොවත් හොඳයි . සංසාරෙම හොඳයි. සිත හොඳ නැත්නම් විඳින දුක අනන්තයි. අධ්‍යාපනය, රැකියාව හරියන්නේ නෑ. සිත හොඳ නැත්නම් ඒකට අප කියනවා ඊර්ෂ්‍යාව කියලා. එහෙම අයට මොනම දියුණුවක්වත් නෑ. ඊර්ෂ්‍යාව අඩු කරලා, තරහා වෛර අඩුකරලා, පළිගැනීම් අඩු කරලා, මෛත්‍රී ගුණ දියුණු කළහම අපේ සිත හොඳයි. සිත දැකුම්කළුයි. මනරම්. ඒ එක්කම බාහිර දියුණුවත් අවශ්‍යයයි. තමන්ගේ අධ්‍යාපනය, වෙළෙදාම, ගොවිතැන් කටයුතු, පශු සම්පත් කටයුතුවල දියුණුව සිතලා යහපත් ලෙස කටයුතු කළොත් සෑමදෙනාටම පුළුවන් ඔය කියන දියුණුව සලසා ගන්න. එහෙමනම් බුද්ධ ශාසනය කියන්නේ මෙලොව දියුණුව සලසා දෙන, පරලොව සුගතියට පමුණුවන, සංසාර ගමන කෙළවර කරන, පාරමී ගුණ සම්පත් දියුණු කරන උත්තරීතර දහමක්. ඔය බුදු , පසේ බුදු, මහරහත් උතුමෝ යන විශේෂ තනතුරු ලැබුවේ සිතේ දියුණුව නිසයි. ඒ උත්තමයෝ කය දියුණු කළා නෙවෙයි, ධන බල සම්පත් නිසා නොවෙයි, ඒ උත්තමයන්ගේ සිතේ දියුණුව බලවත්. සමහරු බලය, ධනය, කුලය නිසා ගමන් කරන්නේ ඉහළින්. ඒක හොඳ දෙයක් නෙවෙයි. මාන්නය, උඩඟුකම නැති කළ උතුමන් පමණයි අර බුද්ධාදී උතුමන්ගේ තත්ත්වයට පත් වුණේ. අපත් කවදා හරි සිතට දිරි අරගෙන ලාමක ගති පැවතුම් සියල්ල ඉවත් කරලා හොඳ ගති පැවතුම් දියුණු කරලා කටයුතු කළ යුතුයි. එසේ වුණොත් සෑම දෙනාටම යහපතක් මිස අයහපතක් සිදු වෙන්නේ නෑ. බුදු සසුන ලැබුණේ අපේ වාසනාවට. එයින් උපරිම ඵල නෙළාගන්නට කවුරුත් මහන්සි විය යුතුයි. මෙවැනි ගුණ දහම් තමයි දියුණුවේ දොරටු හැටියට සඳහන් කරන්නේ. මේවා දියුණු කළොත් මෙලොවත් පරලොවත් ශාන්තිය සැලසෙනවා. කායික මානසික සුවපත්භාවය සකසා ගන්න පුළුවන්. එහෙමනම්, ඔබ අප සියලු දෙනාම දියුණුවේ දොරටු හොඳට හඳුනාගෙන, මෙලොව දියුණුව පරලොව දියුණුව සකසාගෙන ඉතා ඉක්මන් භවයකදීම, සෑම පින්කමකම ආනිශංසයන්ගෙන් ධර්මඥාන, භාවනා දියුණු කරගෙන නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා!




 අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment