බුදුරදුන් වදාළේ දරුවන් මව්පියන්ගේ වස්තුව බවයි. (පුත්තාවත්ථු මනුස්සානං) මෙම බුදුවදනෙහි සත්‍යතාව දන්නේ දරුවන් සිටින මව්පියන්ය. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මව්පියන් සිදුකරන කැපකිරීමේ සීමාවක් නොමැත. තම දරුවාට ලොව උසස්ම තත්ත්වය හිමිවනු දැකීම මව්පියන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. දරුවාගේ දියුණුව වෙනුවෙන් අවංකව සතුටුවන්නේ මව්පියන් ය
. එහෙත් ඒ සිහිනය බිඳ වැටුණු මව්වරු පියවරු දහසක් ලොව සිටිති. වාසනාවන්ත අනාගතයකට හිමිකම් කිවූ දරුවන් දහස් ගණනින් නොමග ගිය අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. දරුවන් නොමග යෑම කෙරෙහි බලපාන හේතු විවිධ වේ. ඒ සියල්ල අපට පාලනය කළ නොහැකිය. එසේම දරුවන් නොමග යන්නේ යැයි සිතා ඔවුන් සමාජයෙන් වෙන්කොට හුදෙකලා කොට තැබිය නොහැකිය. නවීන තාක්ෂණය දරුවන් නොමග යාමට හේතුවක් වී තිබේ. එහෙත් තාක්ෂණය භාවිතයෙන් දරුවන් ඈත්කොට තැබීම කළ නොහැකි අතර එය කිසිසේත්ම නොකළ යුත්තකි. දරුවන් නොමග යාමෙන් වළක්වා ගැනීම පිණිස කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම මව්පියන්, ගුරුවරුන් හා යහපත් පුරවැසියන් සියලු දෙනාගේම වගකීම වේ. එම වගකීම නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය සදාචාරාත්මක අවබෝධය බුදුදහමින් නොමඳව ලබාගත හැකිවේ. කායික හා මානසික වශයෙන් නීරෝගී එමෙන් සදාචාර සම්පන්න දරුපරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම ඉගැන්වීම් බෙහෙවින් වැදගත් වේ.
දරුවන් නොමඟ යාම කෙරෙහි බලපාන එක් වැදගත් කරුණක් වන්නේ ඔවුන් නිසි පරිදි සමාජානුයෝජනය නොකිරීමයි. පුද්ගලයා සමාජයට උචිත ආකාරයට හැඩ ගැස්වීම සමාජානුයෝජනයයි. දරුවා සමාජයට උචිත ආකාරයට සකස්කිරීම මව්පියන්ගේ යුතුකමයි. එම සමාජ වගකීම නිසි පරිදි ඉටු නොවුණු තැන දරුවා තුළ අපගාමී පෞරුෂ ලක්ෂණ ඇති වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවා නොමග ගිය අයෙකු බවට පත්වේ.
මව්පියන්ගේ යුතුකම් පිළිබඳ කරුණු අවධාරණය කරන සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන්නේ ශාස්ත්‍රීය හා වෘත්තීය අධ්‍යාපනය පමණක් නොව සදාචාර අධ්‍යාපනයද දරුවාට ලබාදීම මව්පියන්ගේ යුතුකමක් බවයි. දරුවා පවින් වැළක්වීමත් (පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදවීමත්( කල්‍යාණේ නිවෙසෙන්ති) මව්පියන්ගේ යුතුකමකි. මේ අනුව දරුවා නොමග යෑම සම්බන්ධයෙන් දෙමව්පියන්ට අනිවාර්යෙන්ම වගවීමට සිදුවේ. ඔවුන් තම වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් තම දරුවා අපරාධකරුවෙකු ලෙස සමාජ ගත වෙයි. පැවිද්දට පත්වන සාමණේර භික්ෂුව ආචාර්ය උපාධ්‍යාය යනුවෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් යටතේ ශික්ෂණය විය යුතුයැයි පැවිදි විනයෙහි දක්වා තිබේ. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ වගකීමද අතිශය පුළුල්ය. කුඩා සාමණේර හිමිනමක් ශික්ෂණය කරන්නාක් මෙන් මව්පියන්ද තම දරුවා නිසි පරිදි ශික්ෂණය කළ යුතුවේ.
දෙමව්පිය ඇසුරෙන් ගිලිහුණු දරුවාගේ ජීවිතය අඳුරු වූවකි. මව්පිය රැකවරණය අහිමි වූ තැන බිහිවන්නේ සමාජයට වෛර කරන දරුවෙකි. මව්පිය සෙනෙහස හා රැකවරණය තරම් විශ්වසනීය රැකවරණයක් වෙනත් අයෙකුගෙන් අපේක්ෂා කළ නොහැකිය. ගිහි ගෙය අතහැර පැවිද්දට පත්වන පුද්ගලයාට ආචාර්ය උපාධ්‍යයන්ගේ සෙනෙහස හා ආදරය රැකවරණය ලැබිය යුතුයැයි දක්වා එම බැඳීම පිය, පුතු සෙනෙහසකට උපමා කර තිබේ. මව්පිය රැකවරණයෙන් මිදී සසුනට ඇතුළත්වන තැනැත්තාට ආචාර්ය උපාධ්‍යායන්ගේ රැකවරණය ලැබුණ විට යහපත් පැවිද්දෙක් නිර්මාණය වෙයි. දෙමාපිය ආදරය හා රැකවරණය නොමදව ලැබුණ විට යහපත් දරුවෙක් සමාජ ගත වෙයි. මෙම යහපත් දරුවා සමාජයේ යහපත් සාමාජිකයෙක් බවට පත්වෙයි. මව්පිය රැකවරණය නොලැබුණ පුද්ගලයා පත්වන ඉරණම කවරේද යන්න ජාතකපොතේ දැක්වෙන අකාලරාවී ජාතකයෙන් පැහැදිලි වේ.
එහි දැක්වෙන පරිදි දිසාපාමොක් ආචාර්යවරයාගේ පන්සීයක් සිසුහු තමන් අළුයම අවදිකරවන කුකුළා මිය ගිය පසු සොහොන් භූමියක වාසය කළ වෙනත් කුකුළෙකු ගෙනවිත් ආරාමයේ තබාගත්හ. එහෙත් එම කුකුළා වෙලාව වරදවා අකාලයේ හඬලන්නට විය. සිසුන් එම වෙලාවට අවදිව පාඩම් කරන අතර ටික වේලාවකින් නැවතත් නින්දට පත් වූහ. එයට හේතුව අලුයම යැයි වරදවා මධ්‍යම රාත්‍රියෙහි අවදි වීමයි. එසේ වීමට හේතුව වූයේ අලුතෙන් ගෙන ආ කුකුළා වැරැදි වේලාවල හැඬලීම නිසයි. මෙසේ අකාලයේ හඬලන හෙයින් එම කුකුළාගෙන් ප්‍රයෝජනයක් නැතැයි සළකා සිසුන් විසින්ම එම කුකුළා මරා දමන ලද අතර මේ පිළිබඳ දිසාපාමොක් ආචාර්යවරයා දැනුවත් කරන ලදී. එම අවස්ථාවෙහි දිසාපාමොක් ආචාර්යවරයා දක්වන්නේ ‘මව්පිය සෙවණෙහි නොවැඩුණු, ගරුවරුන්ගේ ඇසුර නොලද කුකුළා නාඳ කළ යුතු හා නොකළ යුතු වේලාව හා විකාලය නොදන්නා බවයි. මෙම කතාව අනුව සොහොන් බිමෙහි නිදැල්ලේ හැසුරුණු කුකුළා වේලාව හා අවේලාව නොදැන නාද කළ නිසා එක් අතකින් සිසුන්ගේ පාඩම් වැඩවලට බාධා වූ අතර සිසුන්ගේ කෝපයට භාජනය වීමෙන් මරණයට පත්විය. කුකුළාට තම කුකුල් මාපියන්ගේ හා ගුරුවරුන්ගේ ඇසුර ලැබුණේ නම් ඌ නාද කළ යුතු හා නොකළ යුතු වේලාව මැනවින් දැන ගනී. එසේ නොවුණ නොවී තම හිතුමතේට නාද කිරීම නිසා කුකුළාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.
මෙම ජාතක කතාවෙන් පෙන්වාදෙන්නේ මව්පිය රැකවරණය නොලද, ගුරු ඇසුර නොලද පුද්ගලයාට හොඳ නරක, යහපත අයහපත පිළිබඳ වැටහීමක් නොමැති නිසා වැරැදි ක්‍රියාවලට යොමු වීමෙන් ජීවිතයෙන් වුව වන්දිගෙවීමට සිදුවන බවයි. මව්පියන්ගේ ඇසුර මඟපෙන්වීම නොලද දරුවා සමාජයට පීඩාකාරී පුද්ගලයෙක් බවට පත්වෙයි. නිවසින් දරුවාට හිමිවිය යුතු නිසි රැකවරණය නොලද විට එය දරුවා තුළ අපගාමී පෞරුෂ ලක්ෂණ ඇතිවීමට හේතුවක් වෙයි. එවන් දරුවන් නිවසින් බැහැර සමාජයට ගිය විට විවිධ දූෂිත පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්ව විනාශ වේ. හොඳ, නරක පිළිබඳ වැටහීමක් නොමැති නිසා ඉතා කඩිනමින් නරකට යොමු වෙයි. එම දරුවන්ගේ ජීවිත අවසන් වන්නේ ජීවිතාන්තය දක්වා සිරගත වීමෙන්ය. නැතහොත් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු ලෙසින් ය. එසේත් නැතහොත් කාමාතුරයන්ගේ අවශ්‍යතා සපයන්නෙකු බවට පත්වීමෙන්ය.
මව්පියන් බොහෝ විට කල්පනා කරන්නේ දරුවන්ට අධ්‍යාපනය හා ආහාරපාන සැපයීමෙන් පමණක් තම වගකීම සම්පූර්ණ වන බවයි. එහෙත් එය එසේ නොවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයයි. ළමයින් පමණක් නොව වැඩිහිටියන්ටද නිසි මඟපෙන්වීම හා රැකවරණය නොලද විට වැරැදිවලට පෙළඹෙන අවස්ථා එමටය. ඇසුර හැම විටම දරුවාගේ ජීවිතයට බලපාන බව ඉතා ප්‍රකට සත්තිකුම්භ ජාතක කතාවෙන් පැහැදිලි වේ. එකම කුරුලු මවකගේ කුසින් බිහිවුණු කුරුලු පැටවුන් දෙදෙනෙකු ඇසුරට වැටුණු පුද්ගලයන් නිසා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ හැසිරීම් හා පෞරුෂ ලක්ෂණවලින් යුක්ත වූ අයුරු එම කතාවෙන් පැහැදිලි වේ. දරුවන්ගේ මූලික ගතියක් නම් අනුකරණය කිරීමයි. ඔවුන් යමක් ඉගෙන ගන්නේ වැඩිහිටියන් අනුකරණය කිරීමෙන්ය. මෙය උක්ත ජාතක කතාවෙන් තවදුරටත් තහවුරු වේ. මෙම සත්‍ය මව්පියන් මෙන්ම ගුරුවරුන් හා වැඩිහිටියන් විසින් ද මැනවින් වටහාගත යුතුවේ. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. අනුකරණය කිරීමෙන් යහපත් පුද්ගලයන් බවට පත්කෙරෙන ආදර්ශ දරුවන්ට ලබාදීම මව්පියන්ගේ වගකීමයි. යහපත් ආදර්ශය දරුවාට අනාගත ලෝකය ජය ගැනීමට උපකාරී වේ.
මව්පියන් පූර්ව ආචාර්යවරුන් හෙවත් පළමු ගුරුවරුන් ලෙස බුදුරදුන් විසින් හඳුන්වා දී තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයට බෙහෙවින් බලපායි. මව්පියන් පූර්වාචාර්යවරුන් ලෙස නම් කරන්නේ ඔවුන් විසින් දරුවාට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන පුද්ගලයන්ය යන අර්ථයෙන්ය. මෙම ප්‍රාථමික අධ්‍යාපනය නිවස ඇසුරු කොට පවතින්නකි. එය නොලැබීම හේතුවෙන් දරුවා නිසි පරිදි සමාජානුයෝජනය නොවේ. පූර්වාචාර්යවරුන් වන මව්පියන්ගෙන් ලැබෙන මුල් මඟපෙන්වීම දරුවාගේ ජීවිතය අර්ථවත් කරන පරමාදර්ශයන්ය. කුඩා කල ගෙදරින් ලැබෙන සදාචාරාත්මක වටිනාකම් පසු කලෙක යහපත් පුරවැසියෙකු බවට පත් වීමට උපකාරී වේ.
දරුවා යහපත් පුද්ගලයකු බවට පත්කිරීමේ දී මව්පියන් දරුවාගේ මිතුරන් බවට පත්වීමට අත්‍යවශ්‍ය වේ. නිවසේ වෙසෙන හොඳම මිතුරා මව යැයි (මාතා මිත්තං සකෙ ඝරෙ) බුදුරදුන් වදාළ සේක. දරුවන් වඩාත් සමීප වන්නේ මවටය. දරුවන් හා මව අතර පවතින්නේ අවියෝජනීය බැඳීමකි. එය මිනිසුන්ට නොව සතුන්ටද පොදු ධර්මතාවකි. දරුවාගේ රහස් සියල්ල දැනගැනීමේ හැකියාව මවට තිබිය යුතු අතර එය කළහැකිවන්නේ ඇය යෙහෙළියක් හෝ මිතුරියක් ලෙස කටයුතු කරන්නේ නම් පමණි. මව්පියන් දරුවාගේ හොඳම යහළුවන් වන විට දරුවාට සැඟවුණු ජීවිතයක් නොපවතී. එවිට දරුවා තම සියලු රහස් මව්පියන්ට පවසනු ඇත. එහෙත් එම රහස් දැනගත් මව්පියන් ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ මහත් ඉවසීමකින් හා දුර දක්නා නුවණින්ය. ඇතැම් විට ඔවුන් තුළ පවතින නොඉවසිල්ල හා අදූරදර්ශී බව හේතුවෙන් දරුවා කායික හා මානසිකවද පීඩාවට ලක්වීමට තිබෙන අවකාශය වැඩිය. දරුවකුගේ ජයග්‍රහණයේදී සතුටු වන්නේ මව්පියන් පමණක් නොව තවත් බොහෝ දෙනෙක් සිටිති.
එහෙත් දරුවන්ගේ මව්පියන් පමණක් නොව තවත් බොහෝ දෙනෙක් සිටිති. එහෙත් දරුවන්ගේ පරාජය බෙදාගන්නට සිටින්නේ මව්පියන් පමණි. එබැවින් දරුවන්ගේ ජයග්‍රහණ හමුවේ උද්දාමයට පත්වන අතරම පරාජයන් හමුවේ ඔවුන් දිරිමත් කිරීමද වැදගත් වේ. බුදුරදුන් පරාජිතයන් දිරිමත් කළ අයුරු චුල්ලපන්ථක තෙරුන්ගේ අපදානයෙන් කියවේ. මෝඩයකු යැයි ගරහා තම සොහොයුරා විසින් ආරාමයෙන් බැහැර කළ චුල්ලපන්ථක හිමියන් වෙත බුදුරදුන් දැක්වූ කරුණාව කවරේදැයි උන්වහන්සේ විසින් කරන “බුදුරජාණන් වහන්සේ එහි පැමිණියේ ය. මාගේ හිස පිරිමැද්දේය. මගේ අතින් අල්ලාගෙන ආරාමයට කැඳවාගෙන ගියේ ය. ප්‍රකාශයෙන් පැහැදිලිය. බුදුරදුන්ගේ කරුණාවෙන් ධෛර්ය ලද චුල්ලපන්ථක හිමියන් කෙලෙසුන් නසා මනෝමය ශරීර නිර්මාණයේ දක්ෂයෙකු බවට පත් විය. මව්පියන් හා ගුරුවරුන් විසින් මෝඩ යැයි නම්කොට බැහැර කරන දරුවන් තුළ කොතෙකුත් දක්ෂතා පවතී. ඒවා ඉස්මතු කර ගැනීමට නම් අප දරුවන් කෙරෙහි කාරුණික විය යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ,
පාලිහා බෞද්ධ අධ්‍යයන ඒකකයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත දර්ශනපති
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment