එක්තරා කාලයක් මම සිරගෙදර සිරකරුවන්ට භාවනාව ගැන කියා දුන්නා. සති ගණනක් එක දිගට ඉගැන්වීම් කළා. දවසක් එක් සිරකරුවෙක් මා සමීපයට ආවා.
”පොඩ්ඩක් පිටුපසට ඇවිත් මා කියන දෙයට ඇහුම්කන් දෙන්න පුළුවන්ද?”
ඔහු මගෙන් ඇසුවා. ඔහුට මා සමඟ කතා කරන්න ඕනෑ වී තිබුණා. හැකි විගසින් තමාට යමක් කියන්නට තිබෙන බව ඔහු කිව්වා. භාවනා පන්තිය නිම වූ පසු මා පිටුපසට ගොස් ඔහු හමුවුණා.
”මොකද වෙලා තියෙන්නේ?” මා ඇසුවා
”මට මෙන්න මේ දේ ඔබට කියන්න ඕන වී තිබෙනවා. මා මේ සිර දඬුවම් විඳින්නේ කවදාවත් නොකළ වරදකටයි. මා අහිංසකයි”. ඔහු පැවසුවා. “හැම හිරකාරයෙක් ම කියන්නේ ඔය කතාව තමයි”. මම කීවා.
”ඒත් මම බොරු කියන්නේ නෑ. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක්. මගේ ගුරුවරයා. මම ඔබට ගෞරව කරනවා. ඔය කියන සොරකමනම් මම කොහොමටවත් කළේ නෑ”.
ඔහු කී කතාවේ ඇත්තක් තිබෙන බව මට සිතුණා. ඔහුට උදව් වෙන්න පුළුවන් මා දන්නා හඳුනන අය කවුරුන්දැයි කල්පනා කළා. තමන් නොකළ වරදකට කෙනෙක් හිරේ, විලංගුවේ වැටී සිටිනවා. මම ඔහු වෙනුවෙන් මොනවා හරි කරනවා, එසේ සිතමින් සිටින වෙලාවේ ඔහු මට බාධා කළා. ඔහු කපටි සිනාවකින් මුව සරසාගෙන සිටියා.
”ඒත් මම මේ වරද නොකළාට සොරකම් ගණනාවක් කර තිබෙනවා. ඒවා අසුවුණේ නැහැ. ඒ නිසා නොකළ වරදකට වැරැදිකාරයා වීමේ අසාධාරණයක් නැහැ” ඔහු සිනහසෙමින් කිව්වා.
මේ කර්මයේ නීතියට ඔහු මුහුණ දුන් අවස්ථාවක් නොවේද? ‘කළ දේ – පල දේ’ යමක් කරන්නේ ද එහි ප්‍රතිඵලය තමන් පසුපස හඹා එනවා යන අදහස්වලට මුල් වන්නේ කර්මයේ නීතියයි.
”ඒක අසාධාරණයි” යැයි ඔබ කොපමණ වතාවක් කියා ඇත්ද? මෝටර් රථයෙන් වේගසීමාව ඉක්මවා ගිය විටෙක, වේගය මනින උපකරණයකින් ඔබ වරදට හසුකරගත් විට ඔබ එසේ කියා ඇති. වේග සීමා ඉක්මවා රිය පදවා ඇතත් ඔබ වරදට හසු නොවූ අවස්ථා කොපමණ ඇත්ද? ඒ කියන දවසේ වේග සීමා මනින උපකරණ අක්‍රීයව තිබෙන්නට ඇති. එවැනි වෙලාවකදීත් ‘ඒක නම් හරිම අසාධාරණයක්’ කියා පැවසුවාද? කොපමණ වතාවක් බොරු කියා ඒ බොරු හසු නොවූණ අවස්ථා ඇත්ද? තමන්ගේ සහකරුවාට සහකාරියට යම් යම් වංචා කර ඇතත්, ඒ බව හසු නොවී ඇත්ද? ඒ ලෙස කල්පනා කර බැලුවොත් සාධාරණය, නැතිනම් යුක්තිය පිළිබඳ අප දරන අදහස සාධාරණදැයි සිතෙනවා.
ඔබ අනෙක් අයට කරුණාවන්ත නම් අනෙක් අයද ඔබට කරුණාවන්ත වෙනු ඇති. නිර්ලෝභී නම් සෙසු අය ඔබටද නිර්ලෝභී වනු ඇති. ස්වභාවික යුක්ති ධර්මය ද මීට සමානයි. සමහරවිට පුළුල් චිත්‍රය දෙස නො බලන විට, අපට මේ බව දැක ගන්නට බැරි වෙනවා.
ජීවිතය සාධාරණයි. යුක්ති සහගතයි. එක් වරදකට හසු වූ විට හරිම අසාධාරණයි කියන්නා වගේ ඉඳහිට සිදුවන අසාධාරණකම් මුල් කරගෙන ජීවිතය අසාධාරණ යැයි කීම නුසුදුසුයි.
සමහර විට ‘මම මොනවා කළත් ජීවිතය හරිම දුකක්. පරාජයක්. හැම දෙයක්ම අවසන් වෙන්නේ මට නරකක් වෙමින්’ මේ ලෙස ජීවිතය ගැන කලකිරී අසහනකාරී බවක් ඇති වෙනවා. දොම්නස් බවක් ඇති වෙනවා. කලකිරෙනවා. ඇතැම්විට ජීවිතය පවා එපා වෙනවා. මේ නිසාම සියලු කටයුතු අතපසු වෙනවා. භෞතික ජීවිතය පිරිහෙනවා. අධ්‍යාත්මික ගුණයන් පිරිහෙනවා. ඔබගේ ඉරණම තීරණය කරන්නේ වෙන කිසිවෙක් නොවේ. ඔබමයි. කර්මයේ නීතිය දැනගත් විට එය ඉහළ සිටින, නොපෙනෙන බලවේගයක වරදක් හෝ වෙනයම් කෙනෙකුගේ වරදක් නොවන බව තේරුම් ගත හැකියි. ඔබ සතු බලය ඔබගෙන් ඉවත්කර වෙනත් කෙනෙකුට නොපැවරිය යුතුයි. ජීවිතයේ සතුට, දුක, යහපත, අයහපත තීරණය කිරීමේ බලය ඇත්තේ තමන්ටයි. අනාගතය අර්ථ විවිරණය කර ගැනීමේ හැකියාව ඇත්තේ තමන්ටයි. ධර්මානුකූලව ජීවිතය හසුරුවන්න. අයහපත බැහැර යහපතෙහි යෙදෙන්න. අර්ථවත් ජීවිතයක පදනම එමඟින් නිර්මාණය වනු නො අනුමානයි.
ඕස්ට්‍රේලියාවේ,
පර්ත් නුවර
අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්
විසින් දේශිත ධර්ම දේශනාවක් ඇසුරිනි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment