බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයේ වැඩ සිටින අවස්ථාවේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කරනවා. මහණෙනි, හිමාල වනාන්තරයේ කුඩා වනාන්තර වර්ග තුනක් තිබෙනවා. ඉන් එකක වඳුරන්ට ඉන්න බැහැ. මිනිසුන්ටත් ඉන්න බැහැ. අනික් වනාන්තරයේ වඳුරන්ට ඉන්න පුළුවන් මිනිසුන්ට ඉන්න බෑ. ඊ ළඟ වනාන්තරයේ වඳුරන්ටත් ඉන්න පුළුවන්, මිනිසුන්ටත් ඉන්න පුළුවන්.
ඉහත සඳහන් කරන්නට යෙදුණු තුන්වන කැලයේ වැද්දන් හා දඩයක්කාරයන් ජීවත් වෙනවා. මේ අය මේ කැලේ ඉන්න වඳුරෝ දඩයම් කරලයි ජීවත් වෙන්නේ. ඒක නිසා මේ වැද්දෝ වඳුරන් අල්ලන්නට අමුතු උපක්‍රමයක් භාවිත කරනවා. කැලේ තිබෙන ලාටු සහිත ගස් වලින් ලාටු අරගෙන එකට එකතු කර වඳුරන් දුවන පනින තැන්වල අලවා තිබෙනවා. මේ හිමාල වනාන්තරයේ වඳුරන් වර්ග දෙකක් ඉන්නවා. අබාලා අලෝලා ඉන් එක් වර්ගයක්. අබාලා කියන්නේ මෝඩ නෑ කියන අර්ථයයි. අලෝලා කියන්නේ ආසාව තෘෂ්ණාව දකින දකින දෙය ඇල්ලීමට ආසාව නොමැති යන තේරුමයි. දෙවන වඳුරු වර්ගය බාලා, ලෝලා මේ අය හරිම මෝඩයි. අධික තෘෂ්ණාවෙන් යුක්තයි. දකින දකින දෙය අල්ලන්නට කුතුහලය ඇති වන වඳුරන් වර්ගයක්.
දැන් අර පළමු වඳුරෝ ජාතිය වැද්දන් දාලා තියෙන ලාටු ළඟට එනවා. මේ දිළිසෙන, බැබළෙන, අල්ලන්න ආසා හිතෙන, කුතුහලය ඇතිවන ලාටු ගොඩ අල්ලන්නට සිතනවා. ඒත් ඒ වඳුරෝ මෝඩ නෑ. දකින දකින දෙය අල්ලන්න යන්නේ නෑ. ආසාවක් ඇති වුවත් බුද්ධියට ඉඩ දීලා මග හැර යනවා. එහෙම යන වඳුරෝ අර දඩයක්කාරයාගේ ගොදුරු බවට පත් වන්නේ නෑ.
දෙවන වඳුරෝ වර්ගය දකින දකින දේ අල්ලන්න හිතන අය. ලාටු ගොඩ ළඟට ඇවිත් බලනවා.
හරි ලස්සනයි. ආකර්ෂණීයයි.බැබළෙනවා. මේ කුමක්දැයි අල්ලා බලන කුතුහලය ඇති වෙනවා. එය අල්ලන්න එක අතක් තියනවා. ඒ අත ලාටු ගොඩේ ඇලෙනවා. ඊට පස්සේ ඒ අත ගලවා ගන්න අනිත් අත තියනවා. දැන් අත් දෙකම ඇළිලා. ඇලුණු අත් දෙක ගලවාගන්න කකුල් දෙකේ ශක්තිය යොදවා බලනවා. ඊට පස්සේ කකුල් දෙකත් ඇලෙනවා. දැන් මුළු ශරීරයම ඇලී ගිහින්. දැන් අත් දෙකයි කකුල් දෙකයි ගලවා ගන්න ශක්තිය යොදවන්න තියෙන්නේ ඔලුව විතරයි. ඔලුවත් ලාටු ගොඩට තියා බලනවා. ගලවා ගන්නට පුළුවන් කියලා. ඒත් දෑත් දෙපා හිස යන අංග පහම ලාටුවල ඇලී ගිහින් වඳුරාට ලාටු ගොඩින් ගැලවී යන්නට බැරි නිසා උගුල ඇටවූ වැද්දාට කැමති දෙයක් කරගන්නට පුළුවන්.
මෙම උදාහරණය පැහැදිලි කර බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට දේශනා කරනවා අපද අල්ලා ගන්න, අලවාගන්න ලාටු වර්ග තියෙනවා. ඒවාට කියනවා පඤ්චකාම සම්පත් කියලා. මොනවද පඤ්චකාම සම්පත් කියන්නේ, ඇසට පේන රූප, කනට ඇසෙන ශබ්ද, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන සර්පශය, මෙම ඉන්ද්‍රියන් තුළ අපගේ අරමුණු රඳවා තබා ගන්නේ කාරණා පහක් මූලික කරගෙනයි. ඒ තමයි මෙය හොඳයි, සිතාගෙන, තමන්ගේ කැමැත්ත අනුව, සිත ඇදගන්නා ආකාරය අනුව, අසන දකින දෙය අනුව, ඇලෙන ස්වභාවය අනුව, අප පඤ්ච ඉන්ද්‍රියන් සම්බන්ධව ඇලීමක් හා ගැටීමක් ඇතිකර ගන්නවා.
මේ ආකාරයට කැමැති අරමුණුවල ඇලෙනතාක්, අකැමැති අරමුණුවල ගැටෙනතාක් ඔබේ සිත විමුක්තියට යොදවා ගැනීමේ හැකියාවක් නැහැ. එම නිසා ඇලෙන තැන නොඇලී සිටීමත් ගැටෙන තැන නොගැටී සිටීමත් තුළින් නිවන් මඟ අවබෝධ කරගන්නට හැකි වෙනවා.
විද්‍යා පීඨයේ
තණමල්විල රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment