Labels

Sunday, July 23, 2017

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රි දේහය ආදාහනය කළාද?


ඔක්‌කා රාජවංශයෙන් පැවත එන ශාක්‍ය වංශික සුද්ධෝදන මහ රජතුමාගේ එකම පුත් සිද්ධාර්ථ කුමාරයන් බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පිහිට වූ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන යන අගසව් දෙනම වහන්සේලා හැරුනාම ඊළඟ ප්‍රධානියා වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේය. ධුතාංග භික්‌ෂුන් අතර අගතැන්පත් වූ උන්වහන්සේ වයස අවුරුදු 120ක්‌ ආයු වළදා පිරිනිවන් පා ඇති බව වංස කථාවල සඳහන් වේ. 


ගෞතම බුද්ධ කාලයේ මගධ රාජ්‍යයේ මහතිර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයේ බ්‍රාහ්මණ පවුලක එකම පිරිමි දරුවා ලෙස උප්පත්තිය ලැබූ කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහිකල පිප්පිලි මානවක ලෙස හැඳින්වූහ. පියා කපිල බ්‍රාහ්මණයා වූ අතර මව වූයේ සුමනා බැමිණියයි. 

අසුකෝටියක්‌ මහා ධනස්‌කන්දයකට හිමිකම් කියූ පිප්පිලි මානවකයාට විවාහවීමට නිසි වයස්‌ පැමිණි කල්හි දෙමවුපියන් ඔහුට විවාහ යෝජනා ගෙන ඒමට පටන් ගත්තා. නමුත් රැගෙන ආ විවාහ යෝජනා කිසිවකට පිප්පිලි මානවකයා කැමැත්තක්‌ දැක්‌වූයේ නැති අතර අන්තිමේදී දෙමාපියන්ගේ කැමැත්තට පිටුපෑමට නොහැකි තැන රන්වලින් ඉතා සුරුපී රුවක්‌ තනා ඒ රුවට සමාන කුමරියක්‌ ලැබුණහොත් විවාහ වන බවට දෙමාපියන්ට පොරොන්දු විය. අඹන ලද රුව ඉන්දියාව පුරා රැගෙන යමින් ඒ හා සමාන රුවක්‌ සොයන අතරතුර මධුරට සාගල නුවරදී අඹන ලද රුවට සමාන ඉතා සුරුපී භද්ධ කාපිලා නමැති කුමරියක්‌ හමුවී ඇති අතර ඇයගේ දෙමාපියන් වන කොසිය ගොත්ත බ්‍රාහ්මණ පවුලට මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කළ අවස්‌ථාවේදී භද්ද කාපිලා කුමරිය මෙම විවාහ යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කර ඇත. නමුත් දෙපැත්තේ දෙමාපියන්ගේ වුවමනාවට පිප්පිලි කුමාරයාත්, භද්ද කාපිලා කුමරියත් මුණගැස්‌සවීමට තීරණය කිරීමෙන් පසුව එක්‌ දිනයකදී මේ දෙදෙනා එකට මුණගැසී ඇත. දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවේදී දෙදෙනාගේම අදහස්‌ එකම බවත්, දෙදෙනාටම අවශ්‍ය වී ඇත්තේ මහණවිමට බවත්, තේරුම් ගැනීමෙන් පසුව දෙමවුපියන්ගේ අදහසට කීකරු වි මේ දෙදෙනා විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. දායාද වශයෙන් රන්රිදී මුතුමැණික්‌ ගැල් පනස්‌පන්දහසක්‌ ලැබිණ. 

විවාහ දිනයේදී දෙදෙනා අතර ශරීර ස්‌පර්ශයක්‌ හෝ ඇති නොවීමට දෙදෙනා වගබලාගෙන ඇත. මෙසේ විවාහ වී කාලයක්‌ ගත වන විට පිප්පිලි මානවකයාගේ දෙමව්පියන් මරණයට පත් වී ඇති අතර සියලුම දේපල පිප්පිලි මානවකයා බිරිඳගේද කැමැත්ත ඇතිව දුගී මගී යාචකයන්ට දන් දී හිස මුඩුකොට සිවුරු පොරවාගෙන වනාන්තර ගත වීමට තීරණය කොට ගිහිගෙයින් නික්‌මී ඇත. මේ දෙදෙනා නිවසින් පිටත් වන විට මහ පොළවද කම්පා වී ඇත. අතරමගදී නිවන් මාර්ගය සොයා ගත හොත් නැවත දෙදෙනා හමුවන අභිප්‍රායෙන් දෙදෙනා මාර්ග දෙකකට බෙදී ගමන් කරන්නට විය. එසේ යන අතරතුරදී නාලන්දාවත් රජගහනුවරත් අතර මාර්ගයේ බහු පුත්‍රික නුග ගසක්‌ මුලදී පිප්පිලි මානවකයාට බුදුන් වහන්සේ හමුවී ඇති අතර බුදුන් දුටු සැනින් පිප්පිලි මානවක තෙමේ බුදුන් දෙපා ළඟ වැඳ වැටී නමස්‌කාරය කර ඇත. පසුව බුදුන්ගේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බුද්ධ ශාසනයේ මහණ වි දින 08 කින් පසුව සියලු කෙලෙසුන් නසා පිප්පිලි මානවක තෙමේ මහා කාශ්‍යප නමින් සිව්පිලිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක්‌ බවට පත්විය. පසුව භද්ද කාපිලා කුමරියද බුදුන් වහන්සේ හමු වි ධර්මය ශ්‍රවණය කර මෙහෙණි සසුනට ඇතුළු ව රහත්භාවයට පත්විය. මහාකාශ්‍යප නමින් රහත්භාවයට පත් වූ පිප්පිලි මානවක තෙමේ අසුමහා ශ්‍රාවකයින් අතුරින් රළු ගොරෝසු සිවුරු දනන්නන් අතර අග්‍රස්‌ථානයට පත් විය. බුදුන් වහන්සේට සමාන සිරුරක්‌ ඇති මහා කාශ්‍යප රහතන් වහන්සේ බුදුන් වහන්සේට වඩා මිටි වුයේ අඟලකින් පමණි. 

බුදුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එකමග වඩිනාවිට කවුද බුදුන් වහන්සේ කවුද මහරහතන් වහන්සේ කියා හඳුනාගැනීමට පවා අසීරු වූ බව වංශ කතාවල සඳහන් වේ. පංච - අභිඤ්ඤාලාභි රහතන් වහන්සේ නමක්‌ වු කාශ්‍යප මහරහතන් වහන්සේ නිතර වාසය කිරීමට කැමති වූයේ පිප්පිලි ගුහාවේ සහ හිමාල වනයේ ය. බුදුන් වහන්සේගේ සිවුරක්‌ පොරවා ගැනීමට පවා භාග්‍ය ලැබුවේ කාශ්‍යප මහරහතන් වහන්සේ පමණි. බුදුන් වහන්සේට තිබු මහා පුරුෂ ලක්‌ෂන 32 න් 07 ක්‌ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් තිබිණි. 

දිනක්‌ කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පිලි ගුහාව තුල වැඩ සිටියදී දැඩි සේ රෝගාතුර වු අවස්‌ථාවක බුදුන් වහන්සේ මෙම ගල්ලෙන තුලට වැඩ රෝගී තත්ත්වය විමසා බලා මහාකාශ්‍යප බොæජඤ්ංගය පිරිත දේශනා කර ඇත. මෙම සුත්‍ර දේශනා අවසානයේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ සියලු රෝගාබාධ සුවවී ඇත. බුදුන් වහන්සේගේ පරිනිර්වානය සිදු වීමෙන් පසු එය ආදාහනය කිරීමට කාශ්‍යප මහරහතන් වහන්සේ එම ස්‌ථානයට පැමිණෙන තෙක්‌ කල නොහැකි වි ඇත. බුදුන්ගේ පරිනිර්වානය සැලවීමත් සමග කාශ්‍යප මහරහතන් වහන්සේ හිමාල වනයේ සිට කුසිනාරා නුවරට පැමිණ බුදුන් වහන්සේට අවසාන ගෞරවය සිදු කළ පසු ආදාහන චිතකයට ඉබේම ගිනිදැල් වී ඇත. බුද්ධ පරිනිර්වානයෙන් පසුව බුද්ධ ශාසනයේ ප්‍රධානත්වය ලා සැලකුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේය.

බුදුන් පරිනිර්වානයෙන් තෙමසකට පසු පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් සප්තපන්නි ගල් ගුහාවේදීය. බුද්ධ ශාසනයේ උන්නතියට හා මහා සේවාවක්‌ කල මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 120ක්‌ ආයු වළදා කුක්‌කුටපාද පර්වතයේ ගල් ගුහාවක්‌ තුළ පිරිනිවන් පා ඇත. අජාසත් රජතුමා විසින් සියලු වතාවත් සිදු කර ඇති අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව ශ්‍රී දේහය මෙම ගුහාම තුලම ආදාහනය නොකර තැන්පත් කර ඇත. කුක්‌කුටපාද ගුහාව කඳු තුනකින් ආවරණය වි ඇති අතර ගිඡ්ජකූට පර්වතය ආසන්නයේ මෙය පිහිටා ඇති බව සඳහන් වේ. කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය නොනැසී අදටත් මෙම ගුහාව තුළ පවතින බව බෞද්ධ වංශ කතා සදහන් කරයි. කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයේ ආදාහනය සිදු වන්නේ අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු උන් වහන්සේ ඉදිරිපිටදී බව දේශනාවල සඳහන් වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේට බුදුවරු 14කට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුරාජණන් වහන්සේගේ කාලයේ මෙම කාශ්‍යප රහතන් වහන්සේ ඉන්දියාවේ හංසවතී නුවර වේදේහ මානවකයා ලෙස උප්පත්තිය ලැබුවේය. එසේ උප්පත්තිය ලබා නොයෙක්‌ පිං දහම් කරමින් කල් ගෙවන අතර පදුමුත්තර බුදුන් ඉදිරියේ මහා වෙසභ මහ රහතන් වහන්සේට ධූතාංග භික්‌ෂුන් වහන්සේලා අතර අගතැන්පත් තනතුර පිරිනමන අවස්‌ථාව දැක මටත් මහ රහතන් වහන්සේ නමක්‌ වී මතු දිනක එම තනතුර ලැබේවායි ප්‍රාර්ථනා කළා. ඒ සිතිවිල්ල දුටු පදුමුත්තර බුදුරාජණන් වහන්සේ වදාළේ අනාගතයේ තවත් බුදුවරු 14කට පසු ලොව පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ කෙනෙකු වී මෙම තනතුර ලබන බවයි. එසේ විවරණ ගැනීමෙන් පසු වේදේහ මානවකයා දින 07ක්‌ නොකඩවා පදුමුත්තර බුදුරාජණන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලාට මහ දන් දුන්නා. පසුව දිව්‍ය මනුෂ්‍ය ලෝකවල උප්පත්තිය ලබා අප ගෞතම බුදුන් වහන්සේට බුදුවරු 05කට පෙර ලොව පහළ වු විපස්‌සි බුදුන් කල දඹදිව බන්දුමති නගරයේ බමුණු කුලයක උපත ලැබුවා. මෙම බමුණාට සහ එම බැමිණියට ගමන් බිමන් යෑම සදහා පොරවා ගැනීමට තිබුණේ එකම එක සළුවකි. ඒ නිසා ඔහුට ඒක සාටක බ්‍රාහ්මණ කියා ප්‍රචලිත වුණා. දිවා කාලයේ බැමිණිය එම සළුව පොරවා දහම් අසන්නට යන අතර රාත්‍රි කාලයේ බමුණා එම සළුව පොරවාගෙන බණ අසන්නට යනවා. 

දිනක්‌ බමුණා විපස්‌සි බුදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කර අවසානයේ පොරවාගෙන සිටි සළුව බුදුන්ට පුජා කළා. ඒ දුටු එරට බන්දුම රජතුමා සළු 32ක්‌ බමුණාට ප්‍රදානය කළා. බමුණා ඒ සළුවලින් සඟ දෙකක්‌ තමා ළග තබාගෙන ඉතිරි සළු 30ම බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනට පුජා කළා. මෙසේ පින්දහම් කොට මෙම බමුණා සහ බැමිණිය මියගොස්‌ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා. පසුව අප ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයේ ඉන්දියාවේ මගධ රාජ්‍යයේ බ්‍රාහ්මණ පවුලක ඉපිද මහණ වි සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්‌ වි පිරිනිවන් පෑවා. අනෙක්‌ සෑම මහරහතන් වහන්සේ නමකගේම ධාතුන් වහන්සේලා දකින්නට ඇතත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් නැත්තේ එම ශ්‍රී දේහය ආදාහනය නොවී නොනැසී කුක්‌කුටපාද පර්වත ගුහාවේ නිධන් ගතව තිබෙන නිසා බව දේශනාවල සදහන් වේ. මහා ආනුභාව සම්පන්න මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ශ්‍රී දේහයට අපගේ නමස්‌කාරය වේවා!


ඩබ්. පී. දයාරත්න
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති


2017 මැයි මස 10 වැනිදා බදාදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment