Labels

Sunday, July 23, 2017

අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම උතුම් සදහම් පරියාය දේශනා කරන ලද්දේය. " මහණෙනි යම් භික්‌ෂුවක්‌ මාගේ සඟළ සිවුරු කොණ අල්ලා ගෙන මාගේ පියවරෙහි පියවර තබමින් පසුපසින් ගමන් කරන්නේ වේද? එනමුත් හෙතෙම අධික ලෝභී වූයේ පඤ්චකාම සම්පත්තියෙහි තියුණු ඇලුම් ඇත්තේද, විපරීත සිත් ඇත්තේද, දූෂිත චිත්ත සංකල්පනා ඇත්තේද මුළා වූ සිහි ඇත්තේද සම්‍යක්‌ ප්‍රඥ නැත්තේද, එකඟ වූ සිත් නැත්තේද විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ඉන්ද්‍රිය සංවර නැත්තේ, එසේ ඇති කල්හි ඒ භික්‌ෂුව භාග්‍යවතුන් වහන්සේට දුරෙහි වේ. භාග්‍යවතුන් වහන්සේද ඒ භික්‌ෂුවට දුරෙහි වෙයි. එමෙන්ම ඒ භික්‌ෂුව නව ලොවුතුරා දහම නොදකී. ධර්මය නොදක්‌නේ භාග්‍යවතුන් වහන්සේ නොදක්‌නේය."

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. "මහණෙනි යම් භික්‌ෂුවක්‌ යොදුන් සියක්‌ දුර වාසය කරන්නේ නමුදු, හෙතෙම අධික ලෝභී නොවූයේ පඤ්ච කාමයෙහි තියුණු ආශා නැත්තේ විපරීත සිත් නැත්තේ දූෂිත චිත්ත සංකල්පනා නැත්තේ, එළැඹ සිටි සිහි ඇත්තේ සම්‍යක්‌ ප්‍රඥ ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, සංවර වූ ඉන්ද්‍රියයන් ඇත්තේ වේද, එසේ ඇති කල්හි, ඒ භික්‌ෂුව මාගේ සමීපයෙහි වෙයි. මමද ඒ භික්‌ෂුවට සමීපයෙහි වෙමි. එයට හේතු කුමක්‌ද? මහණෙනි, ඒ භික්‌ෂුව නව ලොවුතුරා දහම් දකී. දහම් දකින්නේ භාග්‍යවතුන් වහන්සේ දකින්නේය."

භාග්‍යවතුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන අවස්‌ථාව මෙම වසරේත් උදා වී ඇත. වැඩිහිටියන් ලෙස වෙසක්‌ පොහෝ දින කොපමණ ගත කොට ඇත්තේද? සිදුහත් උපතේදී ලෝකයාට ලබාදුන් පණිවුඩය ලෙස "අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස" "මම ලොවට අග්‍ර වෙමි" ආදී ලෙස දහම් පෙළ සිහිපත් කළෙමු. ආශ්චර්යමත් වූ බුදු උපතින් අදහස්‌ කළේ කුමක්‌ද? මතු චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්, ත්‍රිවිද්‍යා Æණ ලැබ, සියලු කෙළෙසුන් නසා ලොවට අග්‍ර වන බවය. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව වදාළ උදානයද සිහිපත් කරමු. "නොයෙක්‌ ජාතිවල උපත සාදා නැවත නැවත දුකම උරුම කළ තෘෂ්ණාව නමැති වඩුවා සොයා ගතිමි. ස්‌කන්ධ පඤ්චකය නමැති ගෙය නැවත නුඹ මට සාදන්නේ නැත. ගෙයි කැණිමඬලද සියලු පරාලද සුණු විසුණු කළෙමි. ඒ අවිද්‍යාව සහ සියලු ක්‌aලේශයන්ය. මා සිත නිවනට ගියේය. තෘෂ්ණාව වැනසීමි. රහත් බව ලදිමි." මෙම අදහස්‌ පෙළින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අප කුමක්‌ ලැබිය යුතු දැයි පැහැදිලිය. යළි යළි ඉපදීම දුකය. සතර අපායේ ඉපිද විඳි දුක්‌ අපමණය. මෙම දුකින් නිදහස්‌ වීමක්‌ නොදැන දුකටම පත්වීමු. අප භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ දුකින් නිදහස්‌ වීමේ මඟ අපට වදාළහ. අවුරුදු හතළිස්‌ පහක්‌ තුන් ලොවක්‌ සැනසූ භාග්‍යවතුන් වහන්සේ අසූ වැනි වියේදී පිරිනිවන් පා වදාළහ. මෙහිදී වදාළ අවසන් බුද්ධ වචනය අප සැවොම නිතර සිහිපත් කළ යුත්තකි. " භJදදානි භික්‌ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදෙථ" "මහණෙනි, මම නුඹලාට කරුණාවෙන් ආමන්ත්‍රණය කරමි. සියලු සංස්‌කාරයෝ නැසෙන සුලුය. එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන්න."

භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා වැඩ සිටි අවුරුදු හතළිස්‌ පහක කාලයක්‌ දෙසූ අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධය ඉහත ඉතාම කෙටියෙන් සඳහන් කළ දහම් පාඨයන්ගෙන් මතු කොට ගත හැකිය. සියලු දෙනාම නොවුණත් වැඩිපුරම පිරිසක්‌ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක නාමයෙන් සිට අනුගමනය කරන්නේ කුමක්‌ද? භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කොණ අල්ලාගෙන පිටුපසම යන්නාසේ විවිධ පුද පූජා පවත්වමින් කටපාඩම් කරගත් ගාථා හෝ පදවැල් කියමින් සිටින්නේය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දහම් මඟට අවතීර්ණ විය යුතුය. පුද පූජාවන්ද ඇතුළු පිංකම් කළ යුතුය. එනමුත් ලෝභ, දොaස, මෝහ ආදී කෙළෙස්‌ ප්‍රහාණයට මුල්තැන ලැබෙන ආකාරයෙන් පරමාර්ථ ධර්ම මාර්ගයට එක්‌විය යුතුය. මෙය සඳහන් කරන අපත් ඔබ සියලු දෙනාමත් මේ පිළිබඳව සප්පුරිස වූ මනසකින් යුතුව මෙනෙහි කළ යුතු වන්නේය. කතා කරන වචන, අදහස්‌, සිතුවිලි, හැසිරීම්, ක්‍රියාවන්, පිළිවෙත් ඔස්‌සේ තම තමන්ගේ සිත්වල ස්‌වභාවය තේරුම් ගත හැකි වන්නේය. විරාගී චර්යාවන් පුරුදු කළ යුතු දහම් මාර්ගයක තණ්‌හා, මද, මාන වැඩෙන ආකාරයෙන් සිතීම, කතා කිරීම සහ හැසිරීම කොපමණ දුරකට භාග්‍යවතුන් වහන්සේට සමීප වන්නේද? භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස්‌ වන්නේද? අධික ලෝභයෙන්ද, පඤ්චකාම සම්පත්තියෙහි තියුණු ලෙස ඇලීමෙන්ද, තරහාවෙන්, ක්‍රෝධයෙන් යුතු වීමෙන්ද, දුෂිත වූ සිතුවිලි නිතර පවත්වා ගැනීමෙන්ද, මමය, මාගේය නම් දෘෂ්ටියට යොමු වූ සිහි මුළාවෙන්ද, සියලු සංඛ්‍යත සංඛාර වස්‌තු අනිච්ච, දුක්‌ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් කොට අවබෝධ කිරීම නම් වූ සම්‍යක්‌ ප්‍රඥව නොමැති වීමෙන්ද එකඟ වූ සිත් නොමැතිව විපරිත සිත් ඇතිවද, ඉන්ද්‍රිය සංවරයෙන් බැහැරව හැසිරීමෙන්ද කටයුතු කිරීම නම් වූ නව ලොව්තුරා දහම නොදැකීමේ මාර්ගය පුළුල් වන බව පෙනේ.

"අත්හැරීම" පුරුදු කළ යුතු දහමක, දර්ශනයක, පිළිවෙත් මාර්ගයක අපි වැඩි පිරිසක්‌ කටයුතු කරන්නේ කොතැනද? භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස්‌ නොවීමට අපි ඉටා ගැනීම අවශ්‍යය. භාග්‍යවතුන් වහන්සේගේ මඟට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමට නම් සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩෙන මඟට සිහිය පැවැත්වීම අවශ්‍යය. සිවු පිරිස කෙරේම මෙම බෝධි පාක්‌ෂික ධර්ම එක සේ වැඩීම අවශ්‍යය. ගිහි පැවිදි යෑයි බෙදී දෙආකාරයකින් ලොවුතුරු දහම දැකිය නොහැකිය. දහම අවබෝධ කර ගැනීමේ මාර්ගය එකක්‌මය. සතර සතිපට්‌ඨානය, සතර සම්‍යක්‌ ප්‍රධන් වීර්ය, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය පඤ්චබල, සප්ත බො-Cධංග ධර්ම සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන මාර්ගයටම ආමිස, ප්‍රතිපත්ති පූජාවන් සකස්‌ කර ගැනීම අවශ්‍යය. ආමිසයෙන් ආරම්භ කළද පිළිවෙත් මාර්ගය ප්‍රබල කොටගත යුතුය. මේ නිසා ආමිස පූජාවන් පැවැත්විය යුත්තේ පිළිවෙත් මාර්ගය නම් වූ පරමාර්ථ ධර්ම තම සිත්හි වැඩෙන ආකාරයට සිහිය පවත්වා ගනිමින්ය. සතර සතිපට්‌ඨානය වැඩෙන ආකාරයෙන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා නම් වූ සිව් පිරිසම සතර ඉරියව් පැවැත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු යමක්‌ නොවේ. හේතුව නම්, "ඒකායනො අයං භික්‌ඛවෙ මග්ගෝ සත්තානං විසුද්ධියා...." යනුවෙන් එකම එක මාර්ගය නම්, සත්වයන්ගේ කෙළෙසුන්ගෙන් පිරිසිදු වීමට සතර සතිපට්‌ඨානයම බව දේශනා කොට ඇති බැවිනි. සතර සතිපට්‌ඨානයෙහි අනුක්‍රමයෙන් සිහිය පවත්වන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේට සමීප වීම සහ නවලොවුතුරු දහම, දහම් ඇසින් දැකීම සිදු කළ හැකි වන්නේය. එහිදී භාග්‍යවතුන් වහන්සේට සමීප වීම ලෙස සංකේතවත් කළ හා නව ලොව්තුරු දහම දැකීම ලෙස දැක්‌වූ අධික ලෝභ නොවීම, පඤ්චකාම සම්පත්තියෙහි තියුණු ආශා නැතිවීම, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් යුතු විපරීත සිත් බැහැර වීම, දුෂිත චිත්ත සංකල්පනා නැති වීම, එළඹ සිටි සිහියෙන් යුතු වීම, සම්‍යක්‌ ප්‍රඥව ඇති වීම, එකඟ වූ සිත් ඇති වීම, ඉන්ද්‍රියයන්හි සංවර බව ඇති වීම ලෙසින් මාර්ගය සැකසෙන්නේය. එය බුද්ධානුශාසනයයි.

සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පළමු කොට තෙරුවන්හි ගුණ නුවණින් දැන සිත්හි වැඩීම අවශ්‍යය. මෙය දස අනුස්‌සති භාවනා මඟෙහිද දැක්‌වෙයි. දහම අන් අයට කියා දෙන්නට මත්තෙන් තමා විසින් එය පුරුදු කළ යුතුය. අඩුම තරමේ තමා විසින් පුරුදු කරමින්වත් සිටිය යුතුය. අලුතින් ශාසනයට පැවිදි වීමෙන් ඇතුළත් වූ අය පාලි භාෂාවත් මුල් කොට ගෙන ධර්ම විනය මැනවින් හැදැරීම අවශ්‍ය වේ. ගිහි ජීවිතයේ ලෞකික විෂය දැනුම තිබුණු පමණින් ශාසනික ධර්ම පරියාය හිතුමතේට වෙනස්‌ කිරීම් නොකළ යුතුය. බොහොමයක්‌ ගිහි පිරිස්‌ පාලි භාෂාව නොදනී. එබැවින් වචනාර්ථය හෝ සද්ධර්ම පිළිවෙත ගැන අවබෝධයක්‌ නැත. අපි පමණක්‌ සියල්ලම දන්නවා යෑයි මෙයින් අදහස්‌ කරන්නේ නැත. ධර්ම විනයෙහි පිරිපුන් පැවිදි උතුමන් විසින් සම්මත කොට කාලයක්‌ පුරා පැවතී ගෙන එන යමක්‌ පිළිබඳ වෙනස්‌ කිරිමකට පෙර මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් පරිදි සතර මහෝපදේස අනුගමනය කළ යුතුය. පැවිදි පිරිසද මනා කොට ශාසන බ්‍රහ්ම චරියාවෙහි හැසිරිය යුතු මෙන්ම ගිහි පිරිසද ගිහි විනයෙහි පිහිටා ප්‍රතිපදා මාර්ගයටම ප්‍රමුඛස්‌ථානය දිය යුතු වන්නේය. ගිහි පැවිදි අපි දෙපිරිසම බුද්ධ ශ්‍රාවකයෝ වෙමු. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනම අරමුණ කරමු.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2017 මැයි මස 10 වැනිදා බදාදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment