යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි එක්තරා බමුණෙක් තමාගේ ගොනුන් සොයමින් වනයට ගියේ ය. අතරමං වී සතියක් පමණ කුසගින්නෙන් ඇවිදින අතර ගසකට නැග ගඩා ගෙඩි කන අතරේදී ගසින් වැටී අසල ඇති ගැඹුරු වළකට වැටුණේ ය.
එයින් ගොඩවන්නට නොහැකිව දවස් හයක් පමණ දුක් විඳිමින් ඉන්න අතරේ දී අපගේ බෝධිසත්වයන් වහන්සේ වඳුරු කුලයක ඉපිද වනයෙහි ඇවිදන අතරේදී එම මිනිසා දැක මහත් කරුණාවෙන් ඔහුව ගොඩ ගත්හ.
මිනිසා ගැන විශ්වාසයෙන් වෙහෙස නිවා ගැනීමට මිනිසාගේ උකුල මත හිස තබාගෙන වඳුරා නිඳා ගත්තේ ය. පසුව අර දුෂ්ඨ මිනිසා වඳුරා මරා මස් කෑ යුතුයැයි සිතා ගලක් ගෙන වඳුරා මතට දමා ගැසීය. එයින් වඳුරාට මඳක් තුවාල විය. එම වඳුරාගේ තිබුණ කරුණාව හේතුවෙන් කැලයේ අතරමං වී සිටින මෙම දුෂ්ඨ මිනිසා තුළ දුර්ගුණ තිබුණත් මොහුට පිහිට නොවී සිටීම මා වැන්නෙකුට සුදුසු නොවන්නේයැයි සිතා ඔහුව මිනිස් වාසයකට ඇරලුවේ ය.
එම දුර්ගුණ මිනිසා, තමාට උදව් කළ වඳුරාට කළ අකෘතඥකම ගැන නිතර නිතර සිතා ඒ තුළින්ම ශෝචනීයව රෝගාතුර විය. ශරීරය පුරාම කුෂ්ඨ රෝගයක් ඇති වී අප්‍රමාණ වේදනාවකින් සිට මියගොස් නිරයේ උපන්නේ ය.
මේ කතා පුවතින් පැහැදිලි වන්නේ ජීවිතය පවා බේරාගැනීම අමතක කොට ද්‍රෝහී වීමේ සිද්ධියකි. එවැනි මිනිස්සු බුදුරදුන් කල ද සිටියහ.
සමහරු අව් රශ්මියෙන් මිදීමට ගසක සෙවණ ලබා ගත්තත් එම ගස කැපීමට විනාශ කිරීමට තරම් දුර්ජනයන් වන පුවත් ද, අසන්නට දකින්නට ලැබේ. කිරි දුන් මව, පෝෂණය කළ පියා අමතක කර දැමීමට තරම් සමහර දූදරුවෝ අකෘතඥ වෙති.
තමන් ආ ගමන් මඟ දෙස නැවත නැවත හැරී බැලීම මිනිසත්කම ඔපවත්කර ගැනීමට රුකුලක් වනු ඇත. එසේ නොවන්නේනම් එය මනුෂ්‍යකමට නොගැළපෙන්නකි. සමාජයේ කුමන විධියකින් ධන සම්පත් ලබා සිටියත් මුලදී සත්පුරුෂයන්ගේ පිහිටක් පිළිසරණක්, උදව්වක් උපකාරයක් නොලැබුණා නම් අද තත්ත්වයට ඒමට අපහසුය. එසේ සත් පුරුෂ ඇසුරක් නොලැබුණා නම් සමහර විට සොරෙක්, බේබදු පුද්ගලයෙක් කපටියෙක්, කාලය අපතේ හරින්නෙක් බවට පත්වීමට ද ඉඩසැලසෙනු ඇත.
ඒ අනුව මිනිසත් බව ලැබූ අප කවුරුත් අපට උදව් උපකාර කළ අය අමතක නොකළ යුතු ය. යමක් ඇති අය පසුවට හමු වුවද මුලදී තම යාළුවෝ, සද්පුරුෂයෝ, වැඩිහිටියෝ කළ උපකාර අමතක නොකළ යුතු ය. වර්තමානයේ මන්දිර ඉදිවෙන්නට අතීතයේ සත්පුරුෂ ඇසුර ශක්තිමත් අත්තිවාරමක් සඳහා සෘජුවම බලපාන්නට ඇත.
එම මිනිසත්කම ඔපවත් වන්නේ ගුණ ධර්ම තුළිනි. මැණිකක් ඔප කිරීමෙන් වඩාත් දිස්නය දෙමින් ගුණාත්මක බව වැඩි වන්නා සේ මිනිසෙකු හොඳ ගුණ ධර්ම ප්‍රගුණ කරන්නේ නම් ඒ මිනිසත්කමට වටිනාකමක් ලැබේ.
එබැවින් බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට පළමුවෙන් කියාදුන්, ආදර්ශයෙන්ම පෙන්වා දුන් කළගුණ සැලකීමේ උතුම් ගුණාංගය අප වෙතද වර්ධනය කරමින් දුර්ලභව ලැබූ මිනිසත් බව ආරක්ෂා කර ගැනීමට උත්සාහවත් වෙමු.
මාස්පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී,
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ
නියෝජ්‍ය පරිවෙණාධිපති,
ගලගෙදර රතනවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment