ආදරණීය දුවේ, පුතේ! කොසොල් රටේ විශාල ධනයකට උරුමකම් කියන තෝදෙය්‍ය කියලා බමුණෙක් හිටියා. ඔහු ඉතාම ලෝභයි. ඒ වගේම බොහොම පොහොසත් කෙනෙක්. ඒ නිසාම ඔහු බොහොම ආඩම්බරකමින් ජීවත් වුණා. කවදාවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්නෙ නැහැ. දවසක් මේ බමුණා තමන්ගේ පුතාට කතා කළා. තමන් මිය ගිය පසු පුතාට අයිතිවන කෝටි සංඛ්‍යාවක ධනය ඉතාමත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස අවවාද දුන්නා.
"කාන්තාවෝ තව තවත් ලස්සන වෙන්නට හිතාගෙන , ඒ වගේම නෙතු සඟලට සිසිල් සුවය ලැබෙන්නට සඳුන් ආදී සුවඳ වර්ග එක් කර සෑදූ අඳුන් කල්කය ආලේප කරනවා. ඉතාම ස්වල්පයක් ආලේප කිරීම ප්‍රමාණවත්. ඒත් ඒවා ඉතා ඉක්මනින් ඉවර වෙනවා. ඒ වගේ තමයි මේ ධනයත් ඉතා ඉක්මනින් ඉවර වෙනවා. එය කොයි වේලාවේ කොහොම සිදුවෙනවාද කියන්න දන්නේ නෑ. පුතේ! වේයො ටික ටික පස් ගෙනිහින් විශාල තුඹසක් ගොඩනගන්නා වගේ ටිකෙන් ටික හෝ ධනය එකතු කරනවා මිස අඩුවන විදියට විය පැහැදම් කරන්න එපා” මෙන්න මෙහෙම තමන්ගේ පුතාට මේ බමුණා අවවාද කළා.
පුතේ, දුවේ, ටික කාලයකට පස්සේ මේ මසුරු බමුණා මිය ගියා . මිය ගිහින් තමන්ගේ ම ගෙදර සුනඛ පැටවකු වී ඉපදුණා. තෝද්‍යෙයගේ පුතා වන සුභ තරුණයා මේ සුනඛ පැටියා බොහොම ආදරයෙන් යුතුව ඇති දැඩි කළා. නිදාගන්න ඇඳකුත් වෙන් කර තිබුණා.
ඔන්න එක දවසක් බුදුහාමුදුරුවෝ සුභගේ ගෙදරට පිඬු සිඟා වැඩියා. එවිට ගෙදර සිටි අර සුනඛයා බුරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ, "අනේ තෝදෙය්‍ය, උඹ මට පෙරත් ඔහොම බිරුවා. දැනුත් බුරනවා නේදැයි” ඇසුවා. ඊට පස්සේ සුනඛයා වෙනද වගේ ඇඳේ නිදා ගන්නේ නැතුව බිමට බැහැලා අළුගොඩක නිදා ගත්තා. සුනඛයා ගේ වෙනස ගැන ගෙදර අය පුදුම වුණා. සුභ මේ ගැන සොයා බැලුවා.
දුවේ, පුතේ ඊට පස්සේ දැන ගත්තා. බුදුහාමුදුරුවෝ මේ සුනඛයාට තම පියාගේ නමින් ආමන්ත්‍රණය කළ බවත් ඉන් පසු සුනඛයාගේ හැසිරීම වෙනස් වුන බවත්. මගේ පියාගේ නමින් සුනඛයාට ඇමතීම තදබල වරදක්. මම දැන්ම ගිහින් ඒ ගැන විමසනවා. ඔහු මහත් කෝපයෙන් බුදුරදුන් හමුවට ගියා.
සුභ තරුණයා බුදුහාමුදුරුවෝ හමුවට ගිහින් මෙහෙම අහනවා. “භවත් ගෞතමයන් වහන්ස, මගේ තාත්තාගේ නමින් සුනඛයාට ඇමතුවේ කවර හේතුවක් නිසාද?”
“මානවකය, ඔබගේ තාත්තා මේ වන විට කොහේ ඉන්නවා ඇතියි කියලද ඔබ හිතන්නේ?” බුදුහාමුදුරුවෝ ඇසුවා. “ස්වාමින් වහන්ස, බඹලොව ඉපිද සිටියි” “මානවකය, ඔබගේ පියා කොපමණ ධනයට හිමිකරු වී සිටියද?
“ස්වාමින් වහන්ස අසූ කෝටියක් පමණ ධනයකට”
“එම ධනය ඔබට පවරා දුන්නද?”
“නැත ගෞතමයන් වහන්ස”
“ඔබ එම ධනය ලබා ගන්න කැමැතිද?”
එසේය, ගෞතමයන් වහන්ස
“එසේනම් , ඔබ දැන්ම ගෙදරට ගොස් ඔබගේ බිරිඳට කියා ගිතෙල් මිශ්‍ර කිරි බතක් සාදවන්න. සුනඛයා හොඳින් නාවා , සිරුර පිරිසුදු කර ඒ කිරිබත් කන්නට දෙන්න. ඉන් පසු සුනඛයා නින්දට යයි. තද නින්දට වැටුණ සුනඛයා සමීපයට ගොස් ඔබ මෙසේ කියන්න.
“තාත්තේ , තාත්තේ, ඔබ තැන්පත් කළ ධනය තබා තියෙන්නේ කොහේද? එවිට සුනඛයා ධනය සඟවා ඇති තැන් ඔබට පෙන්වා දෙයි.
ඉතින් දුවේ , පුතේ සුභ තරුණයාත් බුදුහාමුදුරුවන් ගේ උපදෙස් අකුරටම පිළිපැද්දා. සුනඛයා තද නින්දට ගිය පසු "තාත්තේ, ඔබ සැඟවූ, වස්තුව කොහේද තියෙන්නේ?" ඇසුවා. සුනඛයා නැගිට කන්පට ගසා ගෙයි මුල්ලකට ගිහින් පහුරු ගාන්නට වුණා. එම ස්ථානය හාරා බැලූ සුභ මානවකයාට සතුටක් හා පුදුමයක් ඇති වුණා. ධනය නිසා සතුටට පත් සුභ තම තාත්තා සුනඛයෙක් වී ඉපදුණේ කෙසේදැයි දැන ගන්න බුදුරදුන් සමීපයට ගියා. බුදුරජාණන් වහන්ස, මෙතරම් ධනයකට හිමිකම් කී මගේ තාත්තා සුනඛයෙක් වී ඉපදුණේ කොහොමද?
“මානවකය, ධනය හරි හම්බ කළ යුත්තේ තම ප්‍රයෝජනටත් ,අන් අයගේ ප්‍රයෝජනයටත් ගැනීමටයි. දෙවියෙක්, බමුණෙක් හෝ මිනිහෙක් සුනඛයෙක් ආදි ලෙස උපත ලැබීම තමන් කරන හොඳ නරක කුසල අකුසල මත තීරණය වෙයි.” මෙලෙස බුදුරදුන් සුභ මානවකයාට කරුණු පැහැදිලි කර දුන්නා. ඔහු ඒ දේවල් තේරුම් අරගෙන හොඳ බෞද්ධයකු බවට පත් වුණා.
ආදරණීය දුවේ, පුතේ ඔබට තේරෙනවා නේද විශාල ධනයක් හරි හම්බ කළත් ඒවා දනට පිනට නොදුන් නිසා තෝද්‍යෙය බමුණාට සිදු වූ දේ. බෙදා හදාගෙන ජීවත්වෙන්න පුංචි කාලේ සිටම පුරුදු වෙන්නට ඕනෑ. ලෝභ වුණොත් ජීවිතය පිරිහෙනවා. මේ ජීවිතය පමණක් නොවෙයි. පරලොව ජීවිතයත් පිරිහෙනවා. මේ කතාවේ දෙන පණිවුඩය පුංචි ඔබගේ ජීවිතයට ආදර්ශයක් කර ගන්න.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 16 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment