Labels

Sunday, July 23, 2017

ආමිෂයෙන් භවය ප්‍රතිපත්තියෙන් නිවන

හැම මොහොතකම ගෙවී යන්නේ ඔබගේ මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යයි සිතාගත නොහැකි උතුම් බුද්ධොත්පාද කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබගේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැතිවන මොහොත ඉතා ළඟය. 

උතුම් මනුෂ්‍යාත්ම භාවය ජීවමානයි. උතුම් 

ශ්‍රී සද්ධර්මය ජීවමානයි. උතුම් ක්‍ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක්‌ පුරා පාරමිතා පුරා උපත ලැබූ ඔබට ආර්ය භූමියේ ස්‌ථාවර වී සෝවාන් ආදී මාර්ගඵල ආනන්තර්ය කුසල් සිත් වඩා නිවන් දැකීමේ හැකියාව ඇත. ඒ සඳහා අද අදම, දැන් දැන්ම ධර්මය තුළට පැමිණ රැකවරණය ලබාගත යුතුය. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනු ඇත. 


"ධම්මෝ භවේ රක්‌ඛති - ධම්මචාරි" 

සත්‍යාවබෝධය සඳහා යන ගමනේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ වැඩිය යුතු මාර්ගය පැහැදිලිව තේරුම්ගත යුතුය. ප්‍රඥව යනු මානසික සංවර්ධනයේ ඉහළම අවස්‌ථාවයි. 

අති පාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ අවස්‌ථාව උදාවනුයේ ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයකිනි. ඒ සඳහා තථාගතයාණන් වහන්සේ මාර්ග උපදේශකත්වය දෙනු ඇත.

"තුම්හෙහි කිච්චං ආතප්පං

අක්‌ඛාතාරෝ තථාගතා"

ඔබ මඟ වඩන්න. තථාගතයාණන් වහන්සේ මඟ කියති. විශ්වාසයෙන් සත්‍ය අවබෝධ නොවනු ඇත. එහෙත් සත්‍යාවබෝධයට විශ්වාසය ඉතා වැදගත්. ඇදහීමෙන් සත්‍යය අවබෝධ නොවේ. පොතපතින් සත්‍යාවබෝධ නොවේ. ත්‍රිපිටකය කටපාඩම් වූ පමණින් සත්‍යය අවබෝධ නොවේ. ත්‍රිපිටකයේ සඳහන් වනුයේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි. එය ඇසීමෙන් ප්‍රතිවේධය නොවනු ඇත. සම්බුද්ධ දේශනාව ග්‍රන්ථ ධුර - විදර්ශනා ධුර වශයෙන් දෙකොටසකි. ග්‍රන්ථ ධූරයෙන් උපදේශනයත්, විදර්ශනා ධූරයෙන් ප්‍රතිවේධයත් ලැබෙනු ඇත. ග්‍රන්ථ ධූරයෙන් "මන" අවදිමත් කර විදර්ශනාවෙන් "නිවීම" ඇති කරයි.

මනසින් අවබෝධ කරගත් දර්ශනය තවත් මනසකට සම්ප්‍රේෂණය කළ නොහැක. දහම් දෙසනුයේ ශ්‍රාවකයා සත්‍ය දෙසට නැඹුරු කිරීමටයි. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මන අවදිමත් කිරීමටයි. පුබුදාලීමටයි. ඒ සම්මා දිට්‌ඨ§ය ඇති කරදීම සඳහා අනුබල දීමකි. උපාය මාර්ගයක්‌ පමණි. ඒ නිසා ශාන්ති නායකයාණන් වහන්සේට "Æණය ප්‍රදානය" කිරීමට නොහැකිය. තුන් පිටකයේ අන්තර්ගත වන්නේ වාර්තාකරණයන්ය. ප්‍රකාශනයි. උපමා උපමේය සංකේත මගින් ධර්මය විවරණය කරදීමයි. එමගින් කෙරෙනුයේ උපක්‍රම භාවිතාව සඳහා සම්‍යග් ප්‍රයෝගය දියුණු කිරීම සඳහා ශ්‍රාවකයා යොමු කිරීමයි. තුන් පිටකය කටපාඩම් කළත් ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකවේදී වුණත් ප්‍රතිවේධයක්‌ නොමැත. උපාය මාර්ගය මගින් ලබන ප්‍රතිපදාවකින්මයි. Æණ සම්භවය සිදු වන්නේ. මේ බව වඩාත් පැහැදිලි කරදෙන ධර්ම විවරණයකි ම.නි. චන්කි සූත්‍රය. සත්‍ය ගවේෂී ආර්ය ශ්‍රාවකයා චිත්ත පාරිශුද්ධිය බලාපොරොත්තුවෙන් ශාස්‌තෘන් වහන්සේ වෙත පැමිණේ. 

* සද්ධා ජාතෝ උපසංකමති ( උපන් සද්ධාවෙන් සමීපයට පැමිණේ.

* උපසංකමන්තෝ පයිරුපාසති ( එළඹ ඇසුරු කරයි.

* පයිරු පාසන්තෝ සෝතං ඕදහති ( ඇසුරු කරමින් සවනත යොමු කරයි.

* ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි.

* සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී.

* ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්‍ෂා කර බලයි. විමසා බලයි.

* අත්ථං උප පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහාගනී.

* ධම්ම නිඡ්Cධානක්‌ඛන්තියා සති ඡන්දො ජායති( උස්‌සහති( ධර්මය වැටහෙන්න, වැටහෙන්න දහමේ කැමැත්ත ඇති වේ. උත්සාහවත් වේ. ප්‍රමුදිත වේ. 

* උස්‌සහිත්වා තුලෙති ( ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන්, අධ්‍යාත්මික ගුණාත්මක භාවයේ ප්‍රගතිය කිරා මැන බලයි. සමාලෝචනය කරයි.

ඉහත දැක්‌වූ සූත්‍ර පාඨයෙන් "දහම් ඇස ලැබීමේදී යෝගාවචරයාගේ පූර්ව කෘත්තිය පරිපූර්ණ වේ. ප්‍රතිවේධය සඳහා පසුබිම සැකසේ.

* තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන මේව පරම සච්චං සච්ජිකරොති, පඤ්ත්‍රය චනං අතිවිCධ පස්‌සති ( ප්‍රතිවේදයෙන් සත් තිස්‌ බෝධි පාක්‍ෂික ධර්ම වැඩියාමෙන් පධන් වීර්යයෙන් සමන්විත වූයේ නිවනට යොමුවූ සිත් ඇත්තේ සත්‍ය අවබෝධය කරගනී. ප්‍රඥව පහළ වේ. 

* එත්තාවතා ඛෝ භාරද්ඡ්වාජ, සච්චානු බොධොහොති. භාරද්ඡ්වාජයෙනි, මෙ පමණකින්ම ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගනී. දහම් ඇස ලැබුවේ වේ. 

* එත්තාවතා සච්චානූ මනුබුඡ්Cධති ( මෙතකින්ම සත්‍ය අවබෝධ කරයි කියනු ලැබේ. 

* එත්තාවතා ච මයං සච්චානූ බොධං පඤ්ඤාපේමි. මෙපමණකින්ම මම ඔහුට සත්‍ය අවබෝධය ඇති වූ බවට ප්‍රතිඥ දෙමි. 

* නෙFව කාච සච්චානුපත්ති හොති "ති" මේ ක්‍රමවේදයෙන් පරිපූර්ණ නොවූයේ නම් මම ඔහුට සත්‍ය අවබෝධ වූයේ යයි නොපවසමි.

මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරදෙන ධර්ම මාර්ගය වෙත වහ වහා සපැමිණිය යුතුය. අප සසර ගමන තව තවත් දික්‌ කරන දුර දිග යැමට හේතු කාරක වන ආමිෂයට මුල්තැන දීමෙන් පිං දහම් කරමින් වටිනා කාලය නිකරුණේ කා දමනවා. එසේ කරමින් මේ දානාදි පිංකම්වලින් නිවන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම මතු මනාවූ අනාගතයේ පහළ වන්නා වූ සැමටම මෛත්‍රි වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ සියෑසින් දැක උන්වහන්සේ විසින් දේශිත මධුර මනෝහර ශ්‍රී සද්ධර්ම දේශනාව අසා දේශනාව අවසානයේ සෝවාන් ආදි මාර්ගඵල ලබා නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරයි.

දැන් පහළ වී සිටින ගෞතම ශාක්‍යසිංහ බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ධම්මචක්‌ක සූත්‍රයමයි මතු අනාගතයේ පහළ වන මෛත්‍රි ශාඛ්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේත් දේශනා කරන්නේ ගෞතම ශාක්‍ය මුනි දේශනාව තවමත් ජීවමානයි. ඒ පිවිතුරු දහම අද ද අවබෝධ කළ හැකිය. අද අවබෝධ කරගත නොහැකි දහමක්‌ මතු අනාගතයේ අවබෝධ කර ගැනීමට අමුතු හැකියාවක්‌ අමුතු දක්‌ෂතාවක්‌ කෙසේ නම් ඇතිවේද? ඔබ ඔබේ හැකියාව අවතක්‌සේරු කරගෙන නැවත මේ වගේ උත්තම බුද්ධොත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක්‌ කෙසේ නම් ලැබේදැයි කිසිවකුට කෙසේ නම් කිව හැකිද? නොහැකිමය. කිසිම දෙයක්‌ ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නේ නැත. ධර්මය නම්වූ පහුරට ඔබ තවම නැඟ නැත. කර තියාගෙන ඇත. එයට පුද පූජා පවත්වමින් සිටී. වැඳ වැටෙමින් දහම් පද ගීතවත්ව ගායනා කරමින් සිටී. ආමිෂ පූජාවෙන් චිත්ත පාරිශුද්ධිය ඇතිවී සත්‍යාවබෝධය නොවනු ඇත. "මම" නමැත්තා පෙරටුවේ තබාගෙන ඔහුට සුත මුදිත අනාගතයක්‌ සලසාදීමේ අභිලාෂයෙන් භව තණ්‌හාවෙන් පිං දහම් කරයි. සසර ගමන සැපවත් කිරීමට පින අවශ්‍යයි. බුදු දහමේ බුද්ධිමත් ප්‍රතිපදාව වනුයේ සසර ගමන නතර කිරීමේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂය තමාට පුදා ගැනීමකි. ප්‍රතිපත්තියෙන් පමණි බුදුන්ට පිදිය හැක්‌කේ.

කුසල කර්ම හෝ අකුසල කර්ම භව නිරෝධය සඳහා කිසිසේත් පාදක නොවේ. භව ගමන එමගින් දික්‌ කරයි. මුළු ජීවිත කාලයම දානාදි පිංකම් කළ ඡේතවනාරාමය ආරාම පූජා කළ අනේපිඬු සිටුවරයාට සෝවාන් ඵලය ලැබීමට හැකියාව ඇතිවී නමුත් මහ රහත් වීමට හේතු කාරක නොවීය. අසූහාරදහසක්‌ වෙහෙර විහාර කළ තෙවැනි ධර්ම සංගායනාව කළ තම එකම දුව පුතා සසුනට පූජා කළ ධර්මාශෝක මහරජ තුමාට ඒ පිංකම් භව නිරෝධය සඳහා උපනිශ්‍රය නොවුණි. අසදෘෂ මහ දන් දුන් පසේනධී කොසොල් මහ රජතුමාටත් කෝසල මල්ලිකා දේවියටත් පිනෙන් අඩුවක්‌ තිබුණේද? භව නිරෝධය සඳහා ඒ සා මහත් කුසල සම්භාරය හේතු කාරක නොවීය. අංගුලිමාල නම් මහ සොරු දහස්‌ ගණන් මිනිසුන් මැරුවත් ඒ සා පාප කර්මය මහ රහත් භාව ලැබීමට බාධාවක්‌ නොවුණි. පිංකම් කාමාවචරයි. භවගාමී බවට අදාළයි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය සඳහා පෙර සූදානමක්‌ සඳහා පමණක්‌ උපනිශ්‍රය වේ.

කිසියම් හෝ ප්‍රාර්ථනාවක්‌ වේ නම් කෙලෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. කිසියම් හෝ අනාගත අපේක්‍ෂාවක්‌ වේ නම් ඒ කෙළෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. මේ කෙළෙස්‌ ලෙඩ සසර භයානක දුකකට උරුමකම් ඇතිකර දෙයි. මනසින් ලෙඩ වුණාම ධර්මය හැර ඖෂධයක්‌ නැත. කායික ලෙඩ මෙලොවට පමණි. බෙහෙතකින් නිට්‌ටාවට සුවකර ගත හැක. රාගයෙන් ආතුර වීම, ද්වේශයෙන් ආතුරවීම, මෝහයෙන් ආතුර වීම, භවයේ කල්ප ගණන් දුක විඳීම සඳහාම හේතු වේ. 

* නිදහස්‌ විය යුත්තේ කොතැනින්ද? ලෝකයෙන්

* නිදහස්‌ විය යුත්තේ කාගෙන්ද? මගෙන්

* නිදහස්‌ විය හැක්‌කේ කෙසේද? ප්‍රතිපදාවෙන්

* නිදහස්‌ වීම සඳහා යා යුතු මාර්ගය - අරි අට මඟ

* නිදහස්‌ විය යුත්තේ කුමකින්ද? අවිද්‍යාවෙන්

* නිදහස්‌ වීමට නොකළ යුත්තේ කුමක්‌ද? කර්ම රැස්‌ කිරීමයි

"යෝ පන භික්‌ඛු ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචිපටිපන්නෝ විහරති. අනුධම්මචාරි, සො තථාගතා නං සක්‌කරොති. ගරු කරොති, මානේති පූජෙති පරමාය පූජාය - පටිපත්ති පූජාය..."

යම් භික්‍ෂුවක්‌ සද්ධර්මයට අනුගතව ජීවත් වන්නේ නම් දැහැමි කතාබහෙන් යුක්‌ත නම් බුද්ධාදි උතුමන්ගේ දෝෂ දර්ශනයට ලක්‌ නොවනා සියලු දුෂ්චරිතයන් ගෙන් මිදුනේ වේ නම් තථාගතයාණන් වහන්සේට ගරු කරන්නෙක්‌ වේ. තථාගතයාණන් වහන්සේට සත්කාර කරන්නෙක්‌ වේ. මානනය කරන්නෙක්‌ වේ. උතුම්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවමයි. 

ඉහත දැක්‌වූ ධාර්මික ප්‍රතිපදාවට අනුගතව ඔබ ජීවත් වන්නේ නම් මුළු දවසම තථාගතයාණන් වහන්සේට පූජෝපහාර පවත්වන උතුමෙක්‌ වේ. මෙහිදී උන්වහන්සේ ආමිෂ පූජාව ගැන කිසිදු සඳහනක්‌ කරන්නේ නැත. කර්ම රැස්‌ කිරීම ආමිෂයයි. කර්මය ක්‍ෂය කිරීම ප්‍රතිපත්තියයි. 

"නහී මයිහං මාලා ගන්ධාදී හී පූජං කරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානු ධම්මං පටිපඡ්ජන්තා එවපන මං පූජෙන්ති නාම" (ධම්මපදට්‌ඨ කථා) මල් ගඳ විලවුන් මගින් කෙරෙන පිදීම බුද්ධ පූජාවක්‌ නොවේ. ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මානුකූලව හැසිරීමට බුදුපියාණන් වහන්සේට කරන බුද්ධ පූජාව වන්නේය.

මිනිස්‌සු මුළු ජීවිත කාලයම දිවා රාත්‍රී නොමැතිව කති, බොති, නටති, ගී කියති, ප්‍රීති වෙති, රැස්‌ කරති, රකිති, බෙදා ගනිති, රැකියා කරති, හම්බ කරති, වෙහෙසෙති, පොහොසත් වෙති. දුප්පත් වෙති, ඇන කොටා ගනිති. මරා ගනිති. නඩු කියති. පසු තැවෙති. අතෘප්තිකරව ජීවත් වෙති. මරණයේ දොරටුව ළඟට පැමිණි විට පෙර සූදානම් නොවීම නිසා හඬති. වැළපෙති. ශෝක කරති. භීතියට පත්වෙති. අසරණ වෙති. මහා ධන සම්පත් භෞතික ගේදොර ඉඩකඩම් ස්‌වාමි, භාර්යා, දූ දරුවන් බොහෝ මනාප දෑ "බෑ" කියද්දී අතහැර දමා මහත් සේ අසරණ වෙලා අහිමිකම් කියාගෙන නොපෙනෙන නොදැකපු සිහිනයකින් වත් නොසිතූ මහා භයානක ව්‍යසනයෙන් යුත් ප්‍රපාතයකට වැටෙනු ඇත. මේ සියලු ව්‍යසනයට වගකිව යුත්තේ නොදැමුණු තම සිතයි. එනිසාම ආමිෂයෙන් මිදී ප්‍රතිපත්තිය කරා පියමං කිරීම ප්‍රඥා ගෝචරයි.


පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරි සීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, යටියන, මිනුවන්ගොඩ



2017 මැයි මස 10 වැනිදා බදාදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment