Labels

Monday, July 17, 2017

සුවඳවත් මලක් වීමට නම්...

අතීතයේ අපා‍ෙග් සමාජය අර්ථවත් කළේ බෞද්ධ ආගමික සංස්කෘතිකාංගයන් ය. සාර ධර්මයන් ය. සමාජය හැඩ ගැස් වූ ඒ ගුණ ධර්ම ක්‍රමයෙන් ගිලිහී යන ආකාරය දැන් අසන්නටත්, දකින්නටත් තිබේ. ඊට ගොදුරුව සිටින්නෝ අපේ ම තරුණ පරපුර ය. අනාගතයේ අපේ උරුමය ආරක්ෂා කරන්නට, සිරිත් විරිත් ලෝකයට ගෙන යන්නට උරදෙන්නට සිටින තරුණ පරපුර ඊට අදාළ නැණ නුවණින්, ගුණ සුවඳින් පිරිපුන් ද? එය අප හමුවේ තිබෙන බරපතල ප්‍රශ්නයකි. දහම් පාසල එවැනි තරුණ පිරිසක් බිහි කිරීමේ මා හැඟි තෝතැන්නකි. තරුණ දරුවන් එකමුතු කරලීමේ ප්‍රධානතම මාර්ගය වන්නේ ද දහම් පාසලයි. ශ්‍රී ලංකාවේ ඇති මේ උතුම් අධ්‍යාපන ක්‍රමවේදය ලොව වෙනත් කිසිදු බෞද්ධ රටක දකින්නට නොමැති තරම්ය. ශ්‍රී ලංකාවේ දහම් පාසල් ක්‍රමය ලෝකයට ම දියහැකි මහඟු ආදර්ශයකි.
වර්තමාන දහම් පාසල් පද්ධතිය තුළ මිලියන දෙකහමාරක් පමණ දරු දැරියන් පිරිසක් දහම් අධ්‍යාපනය ලබති. ස්වේච්ඡාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරු පිරිස පනස් දහසක් පමණය. ඉන් වැඩි පිරිසක් එනම් සියයට අනූ පහක් පමණ තරුණ ගුරුවරු, ගුරුවරියන් වීම පැසසිය යුතුය. දැනට ක්‍රියාත්මක තත්ත්වය මත නම් පාසල් අධ්‍යාපනයෙහි මූලික පරමාර්ථය වන්නේ ද දැනුම ලබාදීමයි. එනම් විෂය ඥානය මඟින් දැනුම පුළුල් කිරීමයි. මෙම ක්‍රමයට මූලික සාධකය වූයේ අප රටේ අධ්‍යාපන ඉතිහාසයයි. එනම් ඉංග්‍රීසි යටත් විජිතයක් ව පැවතුණු යුගයෙහි ක්‍රියාත්මක වූ අධ්‍යාපනික වැඩපිළිවෙළෙහි විකාශනයයි, අද දක්වා ම ක්‍රියාත්මක වන්නේ ද එයයි.

බුද්ධ ශාසන කොමිසම් සභාවේ වාර්තාවට අනුව ක්‍රි. ව. 1820 ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ලංකාවේ ආරම්භ වන විටත් පන්සල මූලික අධ්‍යාපන ආයතන එක් දහස් විසි හතක් පැවතුණ බවට සඳහන් ව ඇත. පන්සල මූලික කරගත් අධ්‍යාපන ආයතනයන්හි මූලික පරමාර්ථය වන්නේ දරුවා තුළ ගුණ දහම් වර්ධනය කරමින් විෂය ඤාණය ලබාදීමයි. මෙම කාරණාවට මුල් වූයේ පෙරදිග අධ්‍යාපන ප්‍රතිපත්තියයි. “විද්‍යා දදාති විනයං - විනයාදපාති පාත්‍රතාම්” විද්‍යාව හෙවත් දැනුමත්, විනය හෙවත් හික්මීමත් පාදක කරගත් චරිතාකල්පත් දරුවා තුළ වර්ධනය කිරීම අධ්‍යාපනයේ ප්‍රධානතම අරමුණ විය යුතුයි. චරිතාකල්ප, චරිතශුද්ධිය, චරිතයේ වැඩි දියුණුවත් සමඟයි දරුවාගේ දැනුම වඩා වර්ධනය විය යුත්තේ.

අංගුත්තර නිකායේ ‘ද්විචක්ඛු’ යන සූත්‍ර දේශනාවේ ඇස් දෙකක් ඇති පුද්ගලයා ගැන සඳහන් වේ. ඇස් දෙක යනු මෙලොව දියුණුව සහ පරලොව දියුණුවයි. එමෙන් ම ලෞකික දියුණුව සහ ලෝකෝත්තර දියුණුව යන්නයි. අධ්‍යාපනයට යොමු විය යුත්තේ ද මෙන්න මේ කාරණා දෙකට අනුවයි.
එදා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වූයේ රජයට අවශ්‍ය නිලධාරීන් බිහි කර ගැනීමයි. එනම් සාමාන්‍ය මට්ටමෙන් ඉංග්‍රීසි උගත් තමන්ගේ රාජකාරියට, රාජ්‍යයට, පාලනයට උපයෝගි කරගන්න මධ්‍යම පාන්තික වහල් පිරිසකි. බටහිරට ගැති, ලෞකිකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ, විශේෂයෙන් ම දේශීයත්වය අගය නොකරන, අධ්‍යාත්මික හර පද්ධතීන් නොසලකන, එනම් ලෞකිකත්වය ගැන පමණක් සිතන පිරිසක් බිහි කිරීමයි. එය ඉංග්‍රීසි පාලකයාගේ අවශ්‍යතා අරමුණු ඉටුකර ගැනීමේ පහසුව සඳහාය.
ඉංග්‍රීසි පාලනයට පෙර පැවති පන්සල මූලික අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වූයේ සහ ක්‍රියාත්මක වූයේ යහපත් ජීවන වෘත්තීන් සකස් කර ගැනීමයි. ඒ යහපත් වූ වෘත්තියට සරිලන ආකාරයෙන් හොඳ සමාජ ජීවිතයක් ගත කිරීමයි. එනම් දුරාචාරයෙන් තොරව සදාචාරය ආරක්ෂා කිරීමත් සමඟ මෙලොව වශයෙන් ප්‍රතිලාභ ලැබේ. එනම් සෞඛ්‍ය සම්පන්නකම, නිරවුල් පවුල් ජීවිතය, නීතිගරුක බව පෞද්ගලිකව තමන්ට පමණක් නොව සමස්ත සමාජයේ ම යහපැවැත්මට බලපානු ඇත. මේ උසස් වැඩපිළිවෙල ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයත් සමඟ කඩා වැටුණි.

අනතුරුව ඇති වූ බෞද්ධ ප්‍රබෝධයත් සමඟ දහම් පාසල එනම් පන්සල ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය යළි නගා සිටුවිය යුතුය යන අදහස බෞද්ධ ප්‍රභූන්ට වැටහෙන්නට විය. ඒ අදහස යටතේ පන්සල මූලික දහම් අධ්‍යාපන වැඩ සටහන යළි ආරම්භ විය.
වර්තමාන සමාජයේ පරිවර්තනය සමඟ ම පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ, සදාචාර පරිහානියයි. මේ සදාචාර පරිහානියට ප්‍රධානතම හේතුව තරුණ පිරිස තුළ පවත්නා කළ කිරීම, අසහනය, සදාචාරාත්මක ඌණතාවයයි.

නව අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් යන දරුවා, පාසල් වේලාවෙන් පසුවද අධ්‍යාපනය සඳහා අමතර පන්තිවලට සහභාගි වේ. මුළු දවසම දරුවා රැඳෙන්නේ අධ්‍යාපනය හා සම්බන්ධ ආයතන තුළය. එහෙත් දරුවාගේ මනැස, සදාචාරය වඩා වර්ධනය කර ගන්නා ආකාරය හෝ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳවත් සිතන්නට කාලයක් නැත. මෙහි දී දරුවා තුළ ගොඩනැගෙන්නේ අසහනයක් පමණි.
මේ සමාජ තත්ත්වයට දිය හැකි හොඳම විසඳුම පන්සල මූලික අධ්‍යාපනයයි. එනම් දහම් පාසලයි. ඉරිදා දවසේ දරුවා දහම් පාසල වෙත යැවීමට මවුපියන් බුද්ධිමත් විය යුතුයි. දහම් පාසල පවත්වන්නේ ආගමික පරිසරයක. ඒ වගේඹ නිදහස් පරිසරයකය. දහම් පාසල තුළ පවතින්නේ ඉතාමත් ම සුමට සුහදශීලි ස්වේච්ඡා වැඩපිළිවෙලකි. එවැනි පරිසරයක ගැටෙන දරුවා තුළ විශාල මානසික සහනශිලීත්වයක් ඇති වේ.
දහම් පාසල තුළින් දරුවා ඉගෙන ගන්නේ ධර්මයයි. එනම් සාමාන්‍ය ඤාණය දියුණු කර ගන්නා පිළිවෙතයි. ජීවිතයේ දී ඇතිවන ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරයයි. එනම් අෂ්ඨලෝක ධර්ම චක්‍රයයි. ලෝක ස්වභාවය, කර්මය, කර්මඵලය පුනර්ජන්මය වැනි ස්වභාව සිද්ධි පිළිබඳව දරුවා තුළ දැනීමක්, හැඟීමක් ඇතිවේ. ලජ්ජාව, භය හා පාපයට වරදට, අවනීතියට බයක් ඇතිවේ. එමෙන් ම තමන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳව තමන්ගේ ආත්ම පාරිශුද්ධිය පිළිබඳව යම් ආකාරයක බියක් සහ ඒ පිළිබඳව සංරක්ෂණ මානසික තත්ත්වයක් ගොඩනැඟේ.

දරුවා කෙරෙහි වැඩෙන විෂය ඤාණය හා සමගාමීව සදාචාරයට අදාළ මේ යහපත් සිරිත් – විරිත් නොවැඩුණේ නම් ඒ දරුවා බුද්ධිමත් කපටියෙක් බවට පත්වේ. බුද්ධිමත් සොරෙක් බවට පත්වේ. බුද්ධිමත් දාමරිකයෙක් බවට පත්වේ. වර්තමාන සමාජයේ බොහෝවිට සොරකමට දාමරික හා පාතල කල්ලිවලට යොමු වූ බොහෝ අය විෂය ඥානයෙන් බුද්ධිමත්ය. එනම් තමන් කළ ක්‍රියාව අන් අයට අසු නොවී දක්ෂ ලෙස නීතියෙන් බේරී පළායති. අවාසනාවකට ඔවුන් තුළ ඒ පවත්නා විෂය ඤාණය, ඒ නුවණ හෙවත් බුද්ධිය සමාජයේ විනාශයට හේතුවී තිබේ. ධර්මය, සදාචාරය මුල්කරගත් ගුණ නුවණ වඩා වර්ධනය වූයේ නැති බැවින් ඔවුන් උගත් සොරුන් බවට පත්වේ.

මේ නිසා සමාජයේ යහ පැවැත්මට දහම් පාසල එනම් දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යවේ. එය අප අවංකව තේරුම් ගත යුතුයි. තමන්ගේ දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කළ යුතුමයි. එසේ යොමු නොකරන්නේ නම් සත්‍ය වශයෙන් ම ඒ දරුවන් වැඩිහිටිවියට, තරුණවියට එනම් සමාජයේ වගකිවයුත්තන් බවට පත් වූ පසුව අන්න එතනදී, මවුපියන්ට වැටහෙනවා මේ දරුවා කොහේද යන්නේ කියා. එවිට කළ හැකි දෙයක් නැත.
වර්තමානයේ වැඩිහිටි නිවාස වැඩිවෙමින් පවතී. මවුපියන් අනාථභාවයට අසරණභාවයට පත්වෙන ප්‍රමාණය ද වැඩිවෙමින් තිබේ. ඒ කියන්නේ තරුණ පරපුර ක්‍රමානුකූලව වැඩිහිටි ගෞරවය, මවුපිය ගෞරවය, මවුපිය උපස්ථානය ආදියෙන් ටිකෙන් ටික පිරිහෙමින් යන බවයි. එයට ප්‍රධානම හේතුව ධර්මය පිළිබඳව සදාචාරය පිළිබඳව ඔවුන් තුළ පවත්නා ඌනතාවයයි. දහම් අධ්‍යාපනය තුළින් සාමාන්‍ය විෂය ඤාණයට වඩා දරුවා තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර මහා ගුණ වැඩිදියුණු වේ. චරිතයට අදාළ චරිතාංග සුචරිතාංග, සදාචාරාත්මක අංග සමඟ වැඩෙන දරුවා වරදට පාපයට බිය වේ.
දහමට අනුව වැඩෙන දරුවා කොතරම් කරදර වුවත්, කුමන තත්ත්වයක සිටියත් තමන්ගේ අම්මා - තාත්තා අමතක කරන්නේ නැත. දහම් අධ්‍යාපනයත් සමඟ වැඩෙන දරුවා අතින් හිංසාව, සොරකම, වංචාව අඩුවේ. එලෙසම මත් වතුර, දුම්වැටි භාවිතය, අඩුවේ. එසේත් නැතිනම් ඒවායේ පාලනයක් ඇතිවේ. එයයි රටක ආර්ථික දියුණුව.
දහම් පාසල් අධ්‍යාපනය යනු ආගමික වැඩසටහනක් නොවේ. එය රටේ සදාචාරය, නීතිගරුක බව වැඩිදියුණු කරන, රටක ජීවය බඳු පුරවැසි ආරක්ෂාව තහවුරු කරන ඉතා වැදගත් අධ්‍යාපනයකි. ඒ වගේ ම සාමය තහවුරු කරන සදාචාරාත්මක අධ්‍යාපනයකි. එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයකි. ඒ ආයෝජනයේ ප්‍රතිඵල නියත වශයෙන් ම ආර්ථික දියුණුව, සදාචාර දියුණුව, සෞඛ්‍ය දියුණුව මඟින් සමස්ත රටටම ලැබෙන්නකි. එබැවින් දහම් අධ්‍යාපනය දරුවාට අත්‍යාවශ්‍ය වූවක් සේම අනිවාර්ය කළ යුතුද වේ.




ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදාදින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment