සොහොනක් දැක ඇති වන්නේ සංවේගාත්මක සිතිවිලිය. උයනක් කෙරේ ඇතිවන්නේ ප්‍රසාදාත්මක සිතිවිලිය. ඒ පිළිබඳව ඔබට මනා වූ අත්දැකීම් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ‘සීවට්ඨිකා’ සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන සොහොනක් නොවී උයනක් වීමේ ධර්ම පරියාය විමසමු.
භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළහ. ‘මහණෙනි, සීවට්ඨිකයෙහි හෙවත් සොහොනේ ආදීනව පහකි. අපවිත්‍රය, දුගඳය, බිය සහිතය, දරුණු අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්ය, බොහෝ දෙනාගේ වැලපීම් සහිතය. සොහොනකට උපමා කොට ඇති පුද්ගලයාගේ ද (සීවථිකූපම) එවැනිම ආදීනව හෙවත් ගති ලක්ෂණ වේ.
මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අපිරිසුදු කාය කර්මයෙන් යුක්ත වූයේ වෙයි. අපිරිසුදු වාග් කර්මයෙන් වූයේ වෙයි.
අපිරිසුදු වූ මනෝ කර්මයෙන් යුක්ත වූයේ වෙයි. මෙය ඔහුගේ අපිරිසුදු බව යැයි කියමි. යම් සේ ඒ සොහොන අපිරිසුදු වූයේ ද මෙම පුද්ගලයා ද එබඳු පවිත්‍ර වූ වාග් කර්ම ඇත්තා මුවින් අපිරිසුදුය. බොරුකීම, කේළාම්කීම, ඵරුසවචන කීම සහ හිස් වචන කතා කිරීම මෙම ලක්ෂණයෝය. කොපමණ ප්‍රසන්න අයෙක් වූව ද, මනහර ඇඳුමෙන් හා පැළඳුමෙන් සැරසී සිටියද මුවින් අපිරිසුදු නම් ඔහුගේ හෝ ඇයගේ බාහිර පිරිසුදුකමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? චරිතයෙන් සහ පැවැත්මෙන් දූෂිත වූ අයෙක් බවට පත්වේ. හේ කාලයට හෝ තැනට නොගැලපෙන දෙයක්ම කියයි.- අකලවාදී, නොවූ දෙයක් හෝ බොරුවක් ම කියයි – අභූතවාදී, අර්ථයක් නැති නිෂ්ඵල දෙයක්ම කියයි – අන්තත්වාදී, අධර්ම දෙයක් කතා කරයි – අධම්මවාදී, සංවරයට හෝ ශික්ෂණයට නො ගැළපෙන්නක්ම කියයි – අවිනයවාදී
මේ ආදී ලෙසින් මුව අපිරිසුදු කරගත් අයෙකි. එමෙන් ම මනසින්ද යම් අයෙක්, සොහොනක් මෙන් අපිරිසුදු විය හැකිය. ඒ විෂම ලෝභ සිතිවිලි නිසාය. තමා සතු වස්තූන්හි පමණක් නොව අන්සතු වස්තූන් කෙරේද දැඩි ආශාවකින් යුතු වූයේ වෙයි. එමෙන් ම ද්වේෂය හෙවත් තරහවෙන් යුක්ත වූයේ මැරේවා, සිඳේවා, නැසේවා, අයහපතක් ම වේවායි ප්‍රාර්ථනා කරයි. අපවිත්‍ර වූ සිත් ඇති අයෙක් බවට පත්වෙයි. මිච්ඡාදිට්ඨි හෙවත් වැරදි වූ දැක්මකට නතුවීමෙන් අපිරිසුදු වෙයි. එනම් දුන් දෙයෙහි විපාක නැත. නත්ථි දින්නං - ආදී වශයෙන් දස ආකාරයක මිථි්‍යා දැක්මකින් සමන්නාගත වීමෙනි. සිත, කය, වචන, නම් වූ තිදොරින් ම මෙවැනි පුද්ගලයෝ අපිරිසුදු සොහොනක් බඳුය.
භාග්‍යවතුන් වහන්සේ, දෙවනුව දේශනා කරන්නේ, සීවථිකූපම පුද්ගලයාගේ දුගඳ පිළිබඳවය. තවත් සමහර මළ සිරුරු සුනඛයන්, සිවලුන්, කපුටන්, උකුස්සන් විසින් කමින් සහ කා දමන ලදුව මුළු සොහොනම අපවිත්‍ර කොට පැවතුණ, තවත් තැනක දිරාගිය ඇටසැකිල්ල ද, විසිරී ගිය ඇටකැබලි සුන්බුන් නිසා ද මුළු සුසාන භූමියම අපිරිසුදුව පැවතිණ.
ප්‍රාණඝාත, සොරකම, කාමයන්හි වරදවා හැසිරීම වැනි අපිරිසුදු කාය කර්ම ඇති පුද්ගලයා ඉතාමත් අපිරිසුදු පුද්ගලයෙකු බව ඉතාම පැහිදිලිය. ඔහුගේ හැසිරීම දරුණු වෙයි. ලුද්දෝ - ලේ ගෑවුණු අත්වලින් යුතු අයෙක් වෙයි. ලෝහිතපාණී – මැරීමෙහි, කෙටීමෙහි කැමති වූයේ වෙයි. හතපහතේ නිවිට්ඨෝ - ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත නොවූයේවෙයි. අදයාපන්නො පාණභූතේසු - පරපණ නසන අනුන් නසන පුද්ගලයෙක් මොනතරම් අපවිත්‍ර පුද්ගලයෙක්දැයි ‘ලේ ගෑවුණු අත් ඇති’ අයෙක් යන අදහසින් ම පැහැදිලිය.
ප්‍රාණඝාතකයෙක්, අනුන් නසන්නෙක්, ධනය, බලය පෙනුම හා ලෞකික, උගත්කම් ආදියෙන් සමන්විත වූවද, කිසිවිටෙකත් හෝ ගුණවන්ත අයෙක් ලෙස දහමෙහි නොසැළකේ. ඔහු හෝ ඇය අධ්‍යාත්මික ගුණයෙන් හීන සහ අපිරිසුදු කර්ම සංස්කාර ඇත්තෙකි. ස්වල්ප වූ හෝ මහත් වූ ද සොරකම් කරන්නා, සොර සිත් ඇත්තෙකි. ථෙය්‍යසංඛාතං ආදාතා හෝති – කාමයන්හි වරදවා හැසිරෙන්නා ද ඉතාම අපිරිසුදු හා අධර්ම ද විෂම හැසිරීම් ද ඇත්තෙක් ලෙස සැළකේ. ඔහුගේ හෝ ඇයගේ චරිතය ද පැවැත්ම ද සොහොනක් බඳුය. අපිරිසුදුය. අපවිත්‍ර කාය, වාග්, මනෝ කර්මයෙන් යුතු වූ පුද්ගලයාගේ ලාමක වූ පාපී නුගුණ ශබ්දය නැඟෙයි. එනම් පැතිරෙයි. ‘පාපකො කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති යම්සේ සොහොන මළකුණු නිසා දුගඳය. එවැනි පුද්ගලයන් පිළිබඳව සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ කුමන ආකාරයෙන් දැයි පැහැදිළිය. ‘මිනී මරුවෙක්, සොරෙක්, සල්ලාලයෙක්, බොරුකාරයෙක්, කේළාම් කියන්නෙක්, කැත හෝ අසභ්‍ය වචන කියන අශිෂ්ඨයෙක්, හිස්වචන හෙවත් ඕපදූප කතා කොට කාලය නාස්ති කරන්නෙක්, මහා ලෝභයෙක්. තරහවෙන් පිරුණු වෛර කරන්නෙක් පව් පින් නො අදහන හෝ මෙලොව පරලොව ගැන විශ්වාසයක් නැති අමනුෂ්‍යයෙක්’ ආදී වශයෙන් මෙවැනි ලාමක පාපී පුද්ගලයන් ගැන කියැවේ. මෙවැනි නුගුණ, යම් අයෙක් ගැන පැතිරෙන්නේ නම්, එය සොහොනේ පටන් පැතිරෙන දුගඳ බඳු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තුන්වෙනුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, අපවිත්‍ර කාය කර්මයෙන්, අපවිත්‍ර වාග් කර්මයෙන්, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුතු වූ ඒ පුද්ගලයා ප්‍රියශීලි සබ්‍රහ්මචාරීහු දුරින්ම දුරු කරති. මේ ඔහුගේ පවත්නා බියයි. අමු සොහොන පිළිබඳ සාමාන්‍ය මිනිස් සිතේ යම් වූ ද බියක් හෝ තැති ගැනීමක් පවතින්නේද? එබඳුම බියක් මෙම පුද්ගලයා ගැන ද පවතී පවුල් පරිසරයේ ද ඔහු හෝ ඇය ගැන පවතින්නේ බියකි. රැකියාවක් කරන ස්ථානයේ ද ගමේ ද, පළාතේ ද, පූජ්‍ය ස්ථානයකට පැමිණියේ ද ඔහු හෝ ඇයට සිදුවන්නේ අනුන් විසින් දුරලීමෙන් ඇතිවන හුදකලා බවට පත්වීමය. ආශ්‍රයට තබා සමීපයටවත් නොගත යුතු අයෙක් ලෙස සිතන්ට අන් අය පුරුදු වෙති. නිවසකට පැමිණෙන විට නිවැසියෝ බියෙන් දොර වසා ගනිති. මහ මගදී මුණ ගැසුන ද නොදුටුවාසේ මඟ හැර ගමන් කරති. ඔහු හෝ ඇය අපවිත්‍ර, දුගඳ නොදුටුවාසේ මඟ හැර ගමන් කරති. ඔහු හෝ ඇය අපවිත්‍ර, දුගඳ හමන සහ බියගෙන දෙන පුද්ගලයෙකු යැයි වදාළේ එබැවිනි.
අපවිත්‍ර වූ කාය කර්මයෙන්, වාග් කර්මයෙන්, මනෝ කර්මයෙන් යුතු වූයේ, එම පුද්ගලයා තමාට සමාන පුද්ගලයන් සමඟ වෙසෙයි. මෙය ඔහුගේ නපුරු වාසයයි. ඒ සොහොන අමනුෂ්‍යයන්ට වාසස්ථාන නම් මේ අපවිත්‍ර පුද්ගලයා ද එබඳු යැයි උපමා කොට දේශනා කළ සේක. ‘සොහොන ඇසුරු කොට අමනුෂ්‍යයන් වාසය කරන්නාක් මෙන්. මෙම තිදොරින් අපිරිසුදු පුද්ගලයා ඇසුරුකොට ගෙන නොයෙක් දුස්සීල, අසත්පුරුෂ, පාපී දරුණු පුද්ගලයෝ වෙසෙති. කුණුවලට කුණු එකතු වෙන්නාක් මෙන් නරක හා පාපී පුද්ගලයා හෝ පුද්ගලයන් වෙතට එවැනිම පුද්ගලයෝ එකතු වෙති. සිල්වත්, සද්පුරුෂ, යහපත් අය බැහැර වෙති.
පස්වෙනි ආදීනවය මෙසේයි. ප්‍රියශීලි පැවතුම් ඇති එක්ව වාසය කරන අය විසින්, අපවිත්‍ර වූ කාය වචී, මනෝ කර්ම ඇති පුද්ගලයා දැක ‘අප මෙවැනි පුද්ගලයෙක් සමඟ වාසය කරනවා නම් එය ඒකාන්තයෙන් ම දුකකියි පවසා හෝ සිතමින් දුක්වේ. ශෝකයට පත්වේ. පවුලක් තුළ යම් ස්වාමි දියණියකට යම් පාපී ස්වාමිපුත්‍රයෙක් නිසා දුකෙන්, ශෝකයෙන් යුතුව ‘මොන කරුමයට මෙවැනි පුද්ගලයෙක් මාගේ ජීවිතයකට එකතු වුණේ දැයි’ ශෝක කරන්නට හා හඬන්නට සිදු වුවොත්, එම ස්වාමියා අන් අයට හඬන්නට ශෝක ගෙන දෙන අමු සොහොනකි. මෙය ස්වාමි පුත්‍රයෙක් පමණක් නොව, ස්වාමි දියණියක් නිසා ද විය හැකිය. එමෙන් ම අපවිත්‍ර ගති ඇති මවක්, පියෙක්, දරුවෙක් හෝ යම් ඕනෑම පුද්ගලයෙක් නිසා අන් අයට දුකට, ශෝකයට හේතුගෙන සොහොනක් විය හැකිය. අන් අයගේ ජීවිත එකම කඳුළු ගොඩක් බවට පත් කරන පිරිස් වර්තමාන බොහෝ පවුල් පරිසරවල දක්නට ලැබීම අභාග්‍යයකි.
සිත, කය, වචන යන තුන්දොරින් දුසිරිත් පුරුදු කොට සොහොනක් (සීවථිකය) නොවී තමාට මෙන් ම අන් අයට ද සැනසිය හැකි මල් උයනකට උපමා කළ හැකි ජීවිතයක් පවත්වා ගත හැකි නම්, ලැබූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ලැබුවා වන්නේමය. සියල්ල අනිත්‍ය වූ ලෝකයෙහි මැනවින් සුපසන් කරගත් සිත, කය, වචනය අපට ඒ සඳහා උපකාර වේවි.
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 01 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment