Labels

Sunday, June 25, 2017

සම්මා දිට්ඨිය අරුණෝදය වැනිය

සසරේ ඉපදෙමින් මැරෙමින් යන සත්ත්වයන් හට ඒ දුක්ඛිත වූ සසරින් එතෙර වන්නට අවස්ථාවක් උදාවන්නේ ඉතාමත් කලාතුරකින්. වාසනාවකට අපට දැන් ඒ අවස්ථාව උදාවී තිබෙනවා. එයට හේතුව අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පමණක් පිහිටුවන්නා වූ බුද්ධ ශාසනයක් මුණ ගැසීමයි.
අංගුත්තර නිකායේ පළමු පොත් වහන්සේගේ අන්තර්ගත සූත්‍රදේශනා ඇසුරෙන් ඇති පහත කරුණු වලින් එය මනාව වැටහේ. තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ පහළවීම කෙතරම් ලෝකයාට හිතසුව පිණිස පවතීද කියා මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, මේ ලෝකයේ උපදින එකම පුද්ගලයෙක් සිටියි. ඒ තමයි නිවැරැදි ආකල්ප ඇති සම්මා දිට්ඨියෙන් යුතු පුද්ගලයා. බොහෝ පිරිස අධර්මයෙන් ඈත් කොට ධර්මයේ පිහිටුවනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ ජනයාගේ යහපත පිණිස සැපය පිණිස, නිවැරැදි ආකල්පයෙන් යුතුවූත්, සම්මා දිට්ඨියෙන් යුතුවූත්, ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.

එකපුග්ගලො භික්ඛවේ ලොකෙ උප්පජ්ඡමානෝ උප්පජ්ජති අච්ඡරියමනුස්සො කතමො එකපුග්ගලොථ තථාගතො අරහං සම්මා සම්බුද්ධො අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරිය මනුස්සෝති.(ආශ්චර්යවත් මනුෂයෙක් වශයෙන් ලෝකයෙහි යම් කෙනෙක් උපදියි. ඒ එකම පුද්ගලයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.)
එවන් ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් වූ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා හේතු කරගෙන කුරා කූඹියෙකුට හෝ කිසිදු කරදරයක් පීඩාවක් සිදු නොවෙයි. එම අනුශාසනාව හේතු කරගෙන බොහෝ දෙව් මිනිසුන් හට යහපත සැලසෙයි. එයට හේතුව ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේශය, මෝහය නසාලු නිසයි. උන්වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුතු වීම නිසයි. ස්වක්ඛාත යන්නෙහි අර්ථය වන්නේ මනා කොට දේශනා කරන ලද යන්නය.
පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි අරහත් නොවූ එනම් රාගය, ද්වේශය, මෝහය ප්‍රහාණය නොකළ, සම්මා සම්බුදු නොවන අන්‍ය ශාස්තෘවරු පහළ වෙයි. ඔවුන් තමන්ගේ මතවාද මිනිසුන් හට කියා දෙයි. නමුත් ඒ අය නිසා දෙව් මිනිසුන්හට යහපතක් සිදු නොවෙයි. ඒ වගේම මේ ලෝකයෙහි තවත් එක පුද්ගලයෙක් උපදියි. ඔහුගේ උපත බොහෝ දෙනාගේ අයපත පිණිසයි. බොහෝ දෙනාගේ දුක පිණිසයි. බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය, අහිත දුක පිණිසමයි. ඒ එකම පුද්ගලයා කවුද? ඒ තමයි වැරැදි ආකල්පවලින් යුතු මිථ්‍යා දෘෂ්ටිකයා. ඔහු බොහෝ ජනයා සද්ධර්මයෙන් ඈත් කර අධර්මයේ පිහිටුවනවා. ඔහු බොහෝ ජනයාගේත්,දෙව් මිනිසුන්ගෙත් අනර්ථය පිණිස, අහිත පිණිස, දුක පිණිස මේ ලෝකයේ උපදින එකම පුද්ගලයා.
අප බුද්ධිමත්ව සොයා බැලුවහොත් ලොවට අහිත පිණිස, දුක් පිණිස පවතින ශාස්තෘවරුන්ගේ දහම් ඕනෑතරම් අද ලෝකයෙහි පැතිර තිබෙනවා දැකිය හැකියි. සමහර ශාස්තෘවරු පැවසුවේ සතුන් වනාහි මවන ලද ඇවිදින පුහුල් බඳු කියායි. ඒ පුහුල් කපා කෑමට ගැනීමෙන් විපාකයක් නැතැයි පවසා සිටියි. තවත් සමහර ශාස්තෘවරු පැවසුවේ තමා ඉදිරියට එන අන්‍යාගමිකයා මරා දැමීම වනාහි දෙව් ලොවට යන මාර්ගය ලෙසය. මෙවන් මිථ්‍යා මත පැවසූ අන්‍ය ශාස්තෘවරුන්ගේ දහමක සිනාවෙන් හෝ හඬ හඬා හෝ හික්මුුනද කිසිවෙකු හට යහපතක් උදාවන්නේ නැත. එයට හේතුව එවන් දහම් දුරක්ඛාත වීමයි. එනම් නොමනා කොට දේශනා කර තිබීමයි.
පින්වත් මහණෙනි, මිථ්‍යා දෘෂ්ටික පුරුෂයාගේ ඒ මිථ්‍යා දෘෂ්ටියට අනුරූපව එය සමාදන්ව කයින් යම් ක්‍රියාවක් කරයි නම්, වචනයෙන් යම් ක්‍රියාවක් කරයිනම්, ඒ මිථ්‍යා දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව මනසින් යම් ක්‍රියාවක් කරයි නම්, යම් චේතනාවක් ඇතිකර ගනියිනම්, යම් පැතුමක් ඇතිකර ගනියි නම්, සිතින් යම් අධිෂ්ඨානයක් ඇතිකර ගනියි නම්, යම් සංස්කාරයක් වේ නම්, ඒ සෑම දෙයක්ම අනිෂ්ට බව පිණිසමයි. අකාන්ත බව පිණිසමයි. අමනාප බව පිණිමයි. අහිත බව පිණිසමයි. දුක් බව පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දෘෂ්ටිය පවිටු දෙයක් වීමමයි. එය මෙවැනි දෙයක්. කොහොඹ බීජයක් හෝ තිත්ත වැටකොළු බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටෙව්වොත් පොළොවෙහි යම් රසයක් ඇත්නම්, එය උරා ගනී. පලයෙහි යම් රසයක් ඇත්නම් එයත් උරා ගනී. ඒ සියල්ලම පවතින්නේ තිත්ත බව පිණිසමයි. කටුක බව පිණිසමයි. අහිමිරි බව පිණිසමයි. එයට හේතුව කුමක්ද? එය පවිටු බීජයක් නිසාම යි.
මේ ආකාරයට තිත්ත බීජයකින්, පවිටු බීජයකින් පැණි රස දෙයක් ලැබෙන්නේ නැහැ වගේ මිථ්‍යා දෘෂ්ටිය හේතුකරගෙන දෙව් මිනිස් ලෝකයේ කිසිවෙකු හට යහපතක් උදාකර ගැනීමට පුළුවන්කමක් නැහැ.
පින්වත් මහණෙනි, යම් දෙයක් නිසා මේ සත්ත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයේ උපදී. පින්වත් මහණෙනි, එයට මේ මිථ්‍යා දෘෂ්ටිය තරම් හේතු වන වෙන එකම දෙයක්වත් මා නොදකිමි. මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු සත්ත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදියි.
පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටික පුද්ගලයාගේ ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, කයින් යම් ක්‍රියාවක් කරයි නම්, වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම්, ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, මනසින් යම් ක්‍රියාවක් කරයි නම්, යම් චේතනාවක් ඇතිකර කිසියම්, යම් පැතුමක් ඇතිකර ගනියි නම් සිතින් යම් අධිෂ්ඨානයක් ඇතිකර ගනියි නම් යම් සංස්කාරක් වේ නම්, ඒ සෑම දෙයකම ඉෂ්ට බව පිණිසමයි. කාන්ත බව, මනාප බව පිණිසමයි. හිත පිණිසමයි. සැප පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? දෘෂ්ටිය සොඳුරු දෙයක් වීමයි. එය මෙවැනි දෙයක්. උක් බිජයක් හෝ හැල් බීජයක් හෝ මිඳී බීජයක් හෝ තෙත පොළොවක සිටෙව්වොත් පොළොවෙහි යම් රසයක් ඇත්නම්, එයත් උරා ගනී. ජලයෙහි යම් රසයක් ඇත්නම් එයත් උරා ගනී. ඒ සියල්ලම පවතින්නේ මධුර බව පිණිසමයි. මිහිරි බව පිණිසමයි. අතිශයින්ම රසවත් බව පිණිසමයි. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, එය සොඳුරු බිජයක් නිසාමයි.
දැන් අප කා හටත් ඒ සොඳුරු බීජය හද මඬලෙහි රෝපණය කර ගැනීමේ වාසනාව උදා වී තිබෙනවා. එහි සැබෑම උරමක්කාරයන් වන්නට නම්, උතුම් තිසරණයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංගයක් ලෙස සම්මාදිට්ඨිය දියුණු කර ගැනීමට අප කවුරුත් උත්සාහ විය යුතුයි.
බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය උපමා කළේ අරුණෝදයට. අරුණෝදය කියන්නේ හිරු නැඟෙන්නට පෙර අහසේ ඇතිවෙන ලා පාට ලස්සන එළියට. අහසේ නැඟෙනහිර පැත්තෙන් මේ එළි පහළ වනවිට අපට තේරෙනවා තව මොහොතකින් ඉර පායනවා කියා. සම්මා දිට්ඨියත් අන්න ඒ වගෙයි. අවිද්‍යා අන්ධකාරයෙහි ගිලුණු අපේ අඳුරු ජීවිත ආලෝකමත් වන්නේ සම්මා දිට්ඨියෙනි.

බුදුරජාණන් වහන්සේ වදාළා සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස සම්මා දිට්ඨියම මුල් වන බව. සම්මා දිට්ඨිය තිබෙන පුද්ගලයා මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුනා ගන්නවා. ඔහු සම්මා දිට්ඨියට පැමිණ මිච්ඡා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. එනිසා මිච්ඡා දිට්ඨිය නිසා ඇතිවෙන යම්තාක් අකුසල ඇද්ද ඒ අකුසල් සියල්ල ඔහු තුළින් ප්‍රහාණය වෙනවා. සම්මා දිට්ඨිය නිසා යම්තාක් දියුණු කරගන්න කුසල් ඇද්ද ඒ සියලු කුසල් දියුණු වෙනවා. අප කා හටත් මේ දුර්ලභ වාසනාව උදාවුයේ එකම එක් සුවිශේෂී උත්තමයෙකුගේ අතිශයින් නිවැරැදි වූ මාර්ගෝපදේශකත්වයේ මහිමය නිසාය. එනම් මෙතෙක් ලොව පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍ය රත්නය වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාය.

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment