මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 26 කොටස
නින්ද පමණක්‌මයි රාත්‍රියේ අර්ථය වුණේ. දවල් සහ රාත්‍රි කියන්නේ අපි සාදාගත් සම්මුතීන් දෙකක් පමණයි. ධර්මවබෝධයට දවල්ද, රාත්‍රියද කියලා වෙනසක් නැහැ. ධර්මවබෝධය ලැබූ උතුමන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්නේ හුඟාක්‌ම ඉර පෑයීමට ප්‍රථම අළුයම් කාලයේදී. ඒ කියන්නේ සංකීර්ණ වු දවාලට වඩා රාත්‍රියේ අවසන් යාමය ධර්මාවබෝධයට හිතකර නිසාමයි.
මාරයා නොයෙක් කාම සිතුවිලිවලින් ඔබේ රාත්‍රීය පුරවා තිබෙන්නේ. කාමයේ දොරගුළු විවරකර ගැනීමට රාත්‍රියට අතවනන ඔබ, ධර්මයට හිතකර රාත්‍රියක් හැමදාමත් මාරයාට පාවා දෙනවා. රාත්‍රිය සුන්දර වෙන්නේ ඇස නිදිනොගන්වා කෙලෙස් නිදිගැන්වීමට ඔබ දක්‍ෂ වුවහොත් පමණි. කෙලෙස් නිදිගැන්වු රාත්‍රියක සිතක ඇතිවන අපුරු ධර්මයේ රටා නින්දේ හිස් අර්ථය අභිබවා ගිය, ලෝකයේ හිස් අර්ථය පිළිබඳ සිතුවිලි වලින් ඔබව අවදි කරවනවා.
භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ සුන්දරම මොහොත එක්‌තරා රාත්‍රියක් කීවොත් එය නිවරැදියි. භික්‍ෂුවකගේ ගිහි ජීවිතයේ ගෙවාදැමු සමහර රාත්‍රීන් හරිම තුච්චයි. ඒවා මාරයාටම අයිති රාත්‍රී කාලයන්. මාරයාට අයිති රාත්‍රීන් කමටහන් කරගෙනයි භික්‍ෂුව මාරයාගෙන් රාත්‍රිය උදුරාගත්තේ. කාමයන්ගේ නිරුවත හඹායන සුපුරුදු අවිචාරවත් රාත්‍රියක, කාමයන් සකස්‌කර දෙන සිතේ නිරුවත හෙළි කරගැනීමට, ඒ අතීත අත්දැකීම් ගොඩාක් උපකාරීවුණා. රාත්‍රියක ඇති නිහැඬියාව තුළ සැඟවී ඇති ධර්මයේ රසය, නිදි නොලබා අවදිභාවය තුළින්මයි ඔබ මතුකරගත යුත්තේ. එවැනි සුන්දර රාත්‍රියක් 'නිදිමතයි' කියලා භික්‍ෂුව එදා අතහැරියානම් නින්ද විසින්ම මේ සටහන ලියන සුන්දර රාත්‍රියත් ගොරව ගොරවා නිදන රාත්‍රියක් බවට පත්වෙනවා. රාත්‍රියේ නිහැඬියාව ගොරහැඩි නින්දකට යට නොකර පිබිදුනාවු මනසකින් නින්දේ ආදීනව දකින්න. දීර්ඝ නින්ද ඔබට කර ඇති විනාශය සුළුපටු නොවන බව ඔබට පෙනෙනු ඇත.
නොනිදා පහන් කරන රාත්‍රියකමයි ඔබත් මමත් කවදාහරි ධර්මය අවබෝධ කරගන්නේ. ඒ නිසා නින්දට දෙන වටිනාකම නොනින්දට දී නොනිදන රාත්‍රියක පිංවත් ඔබ ධර්මය අවබෝධ කරගන්න. භික්‍ෂුව මේ සටහන ලියනවිට වේලාව රාත්‍රි 1.30 යි. බදුල්ල කොළඹ මාර්ගයේ ගමන් කරනා බසයක් වේගයෙන් යනවා ඈතින් ඇසෙනවා. මේ මොහොතේ බසයේ රියදුරු මහතා හැර අන් සියලුදෙනාම නින්දේ පසුවෙනවා ඇති. රියදුරු මහතාටත් නින්ද ගියොත් කුමක් වේවිද? නින්ද නිසා ඔබ විතරක් නොවේ සියල්ලන්ම විනාශයටයි ප්‍රමාදයටයි පත්වෙන්නේ. මේ නිදිගත් රාත්‍රියේදී සුන්දර වූද, අසුන්දර වූද, බියජනක වූද සිහින ඔබ දකිනු ඇත. එම සිහින නිසාම දිවා කාලයේදී ඔබ ලැබුවාට වඩා වැඩි සතුටක් ලබනු ඇත. නමුත් ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයකි. ඒත් පිංවත් ඔබ මේ රාත්‍රියේදී සමාධිමත් සිතක් සකස් කර ගෙන අවදියෙන් පසුවුනානම් ලෝකයේ සුන්දර අසුන්දර දේ ඔබට සමාධියෙන් පෙනෙනු ඇත. සුන්දර වු දෙමාපියන්ද අසුන්දර වු අමනුෂ්‍යයින්ද ඔබට පෙනී නොපෙනී යනු ඇත. ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයක් නොව නින්දට වටිනාකමක් දෙන ලෝකයාට නොපෙනෙන යථාර්ථයයි.
සමනළ වැව ජලාශය දෙසින් හමා එන සිහින් සුළං රැළි නින්දකට අවශ්‍ය සියලු පහසුකම් සැපයුවත් පංචනීවරණ යටපත්ව ගිය සිත නින්දකට මැලිකමක් දක්‌වනවා. නොනිදා පහන් කරන්න කීවාම ඔබ වැරදි අර්ථයෙන් ගන්න එපා. සෑම මනුෂ්‍යයෙකුටම නින්ද අවශ්‍යයි. නමුත් එය දීර්ඝ ගොරහැඩි නින්දක් නොව උපරිම පැය පහකට සීමාවියයුතු නින්දක්. රාත්‍රිය නොනිදා සිටීම මානසික රෝගීන්ගේද ලක්‍ෂණයක්. එහෙයින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. අත්‍යාඅවශ්‍ය කෙටි නින්දකට ඔබේ ජීවිතයේ ඉඩ ලබාදෙන්න. එසේ නොවුනහොත් ඔබ මානසික රෝගියෙක් විය හැකිය. ඔබ සිතන සෑම සිතුවිල්ලක් තුළම විඤ්ඥාණය බැසගෙන ඇත. විඤ්ඥාණය නැමති මැජික්‌කරුවා උපාසක, උපාසිකා කියන රූපයක් නිර්මාණය කරනු ඇත. ධර්මයේ අර්ථය සෑම විටම අන්තයට නොගිය මධ්‍යම ප්‍රතිපදාව තුළට ගොනුවී ඇත. එහෙත් ඔබ ධර්මය අවබෝධ කරගන්නා රාත්‍රිය නම් නොනිදා පහන් කරනු ඇත. එය ඔබ නිදිගත් භවගමනේ නොනිදා පහන් කළ අර්ථවත්ම රාත්‍රිය වනු ඇත. මේ කරුණු ඔබට සටහන් කරන්නේ ඔබ තුළ වීර්යක් ඇතිකරගනිමින් ධර්ම මාර්ගයේ පෙරට යන්න අවශ්‍ය ශක්‌තිය ලබාදීමටය. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලාගෙන් සමහරක් රහතන් වහන්සේලා අවුරුදු පහක දහයක කාලයක් කවදාකවත් නිදාගෙන නැහැ. වෛද්‍ය මතයන් අනුව නම් වර්තමානයේ ඉහත කරුණු ප්‍රතික්‌ෂේප වෙන්නත් පුළුවන්. ජීවිතයට අවශ්‍ය සැබෑම නින්ද, සැබෑම විවේකය ජීවිතයට ලැබෙන්නේ සමාධිමත් සිතෙන්මයි.
දහවල් කාලයට භික්‍ෂුව වැඩසිටින කුටිය ඉදිරිපිට සමනලවැව ජලාශය හොඳින් පෙනෙනවා. ජලාශයේ ජලය හුඟාක් අඩුවෙලා. ජලය ගලායාමක් නැහැ. එකතැන නතරවෙලා. මේ රාත්‍රීයේ භික්‍ෂුවගේ සිතත් ඒ වගේමයි. සිතුවිලිවල ගලායාමක් නැහැ. සිතුවිල්ලක් සකස් වුණොත් එය ධර්ම මනසිකාරයක්‌මයි. පංචනීවරණයි සිතුවිලි. ඉදිරියට තල්ලුකරන්නේ. පංචනීවරණ යටපත් වු සිතට ගලායන්න තල්ලුවක් ලැබෙන්නේ නැහැ. පංචනීවරණයි සිත භවයට තල්ලුකරන්නේ. දීර්ඝ සුවදායක නින්දක් ඔබ බලාපොරොත්තුවන්නේ හෙට දවසට වඩාත් වැඩි වටිනාකමක් අයිතිකර දෙන්නටයි. ඔබ නිදාගන්නේද තෘෂ්ණාව කරේ තබාගෙනය.මෙවන් මොහොතක ඔබ නිදිපැදුරේදී මියගිය හොත් උපාදානය සකස්‌වෙන්නේ හෙට දවසේ යොදාගත් වැඩරාජකාරීන්ටමය. බලාපොරොත්තු සහගත නින්දේ ඇති නොවටිනා කම දකිමින් අතීත, අනාගත, වර්තමාන පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යබව දකිමින්ම ලබන නින්ද සුවදායිම නින්ද බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. එහෙයින් සෑම රාත්‍රියකම සිත බලාපොරොත්තුවලින් හිස්‌කර නිදාගැනීමට පුහුණුවන්න. නාසය අගට සිත යොමුකරමින් ආශ්වාසය ප්‍රශ්වාසය දකිමින්ම නින්දට යන්න. ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගාවචර පිංවත් ඔබට ථිනමිද්දය පහවගිය නොනින්දේ වටිනාකම හොඳින් වැටහිලා ඇති.
රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක් අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්‍ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක් දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්‍ෂ ගණනාවක් වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද? සංසාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි දැල්වූ පහන් ආලෝකයන් එක පිඩක්‌කොට ගතහොත් එය සූර්යාගේ ආලෝකය පරාද කරනු ඇත. සූර්යාගේ ආලෝකය අභිබවා යාමට සමත් ආලෝක පූජාවන් සංසාරයක් පුරාවට අතීත බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුජාණන් වහන්සේ උදෙසා දල්වන පහන් ආලෝකය සඳ හිරු නොමැති කළුවර රැයක නිවීගිය හොත් අපට අන්ධකාරයේ අතපත ගෑමට සිදුවනු ඇත. එයින් අදහස් වන්නේ දැල්වු සෑම පහන් වැටියක්‌ම නිවී ගොස් ඇතිය යන්නයි. එසේනම් පිංවත් ඔබ දැන් මෙතනින් නවතින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ තබා ඇති මාර්ගය පිළිගන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි කියන සම්බුදු වදනම ඔබේ ජීවිතය තුළින් අර්ථයක් දෙමින් සංස්‌කාරයන්ගේ ශක්‌තිය සංස්‌කාර නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. සුදත්ත සිටුතුමා තම මිතුරාගෙන් බුදුරජාණන් වහන්සේ යාබද නගරයක වැඩසිටිනවාය කියන වචනය ඇසුන සැනින් සඳ, හිරු නොමැති රැයක ආලෝක කිරීමට සමත් සිතේ ප්‍රභාෂ්වර භාවය තුළින් ආලෝකය උපදවාගෙන ඝන අන්ධකාර රාත්‍රියක් ආලෝකමත් කළ ආකාරයට පංචනීවරණ යටපත් වු සිතෙන් කෙලෙස් අඳුර විනිවිද යන ප්‍රඥාවේ ආලෝකය තමා තුළින්ම නිපදවා ගැනීමට දක්‍ෂවෙන්න. අතීත සංසාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබ දැල්වු පහන් ආලෝකයන්ගේ සංස්‌කාර ශක්‌තිය ඔබගේ භවයට කැමති සිතට බයේ සැඟවී ඔබ තුළ බලාසිටින්නේ මෝදුවී විපාකදීමට සුදුසු පරිසරයක් ඔබ තුළ ඔබ ගොඩනගා ගන්නා තුරුය. ප්‍රමාදය ඇත්තේ ඔබ තුළමය. මේ ප්‍රමාදයෙන් ඔබට අප්‍රමාදී භාවයට පත්කරන්නේ ශ්‍රද්ධාවත්, වීර්යත්, හිsරිඔතප් කියන කාරණා පමණක්‌මය. අපි මේ මොහොතේ ප්‍රමාදයට පත්වුනොත් අනාගතයේ ඇතිවන අබුද්ධෝත්පාද කාලවලදී ඔබ මනුෂ්‍ය ලෝකයේ සිටියද, දිව්‍ය ලෝකයේ සිටියද තෙරුවන් කියන වචනය එහි අර්ථය අතුරුදහන් වනු ඇත. එදාට අපට සිදුවනුයේ මිත්‍යාදෘෂ්ටික ධර්මයන්ට පහන් පත්තු කිරීමටය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල අපි ගත කළ මෙවැනි මිත්‍යාදෘෂ්ටි භාවයන්ද ඒවායේ ආභාෂයන්ද මෙතෙක් අපිට ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයෙන් බැහැරව තැබීමට හේතුවනවාද වියහැකිය. මේ සියල්ල තුළින් අපි දැකිය යුත්තේ භවයේ අනතුරුදායක බවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන් උදෙසා ඔබ ජීවිතය අතහරින්න බියවෙන්න එපා. ජීවිතය මරණයට දමන්න. ඒ කියන්නේ ඔබ කෙලෙස් සිඳ දමන්න. ජීවිතය බැඳී තිබෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ඔතන තමයි අවබෝධයේ මග සැඟවී තිබෙන තැන. ඔය තැන ඔබ පහදා ගත යුතුමයි. ඔබ තවමත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහැරීමට සූදානම් නැතිනම් එහි තේරුම ඔබ තවම බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණය තවම අවබෝධකරගෙන නැහැ. ඔබ තුළ බියක් තිබෙනවා, සැකයක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්ම මාර්ගය කෙරෙහි. කොටින්ම තවම සූදානම් මදිය කියන විචිකිච්චාව තිබෙනවා. මේ කුමන ආකාරයේ සිතුවිල්ලක් සකස් වුවද එය සිතක් පමණක්‌ම බව දකින්න. ඊයේ දවසේ ඔබට කේන්තියක් ඇතිවුනානම් මේ මොහොතේ එම සිත තිබෙනවාද? එම සිත දැන් ඔබට අයිති නැහැ. කේන්ති සිත අනිත්‍ය වී ගියා. නමුත් ඉන් සකස් වුන අකුසලය ඔබට විපාක පිණිස ඔබ පසුපසින්ම එනවා. කේන්තිය ඔබට අයිති නැති වුණාට එහි අකුසල් විපාකය ඔබට අයිතියි. අනිත්‍යවන දේවල් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම භවගාමී සංස්‌කාරවලින් අපිව පිරෙනවා. සංස්‌කාරයන්ගේ බර දරාගන්න බැරි විඤ්ඥාණය නිරතුරුවම වේගවත් භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතක් හඳුනාගන්න පෙරාතුව තව තව සිතුවිලි සකස් වෙනවා. මෙතනදි අප උදාසීන වෙනවා. වැල යන අතට මැස්‌ස ගහනවා වගේ සිතට අයාලේ යන්න ඉඩදෙනවා. දැන් සිත භවයට තෝතැන්නක්. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වන සෑම පහන් ආලෝකයක් තුළින්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය නොව බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පහනේ ආලෝකයට ඔබ බැඳුනොත් ඔබ ඒ බැඳෙන්නේ භවයටය. එම පහනේ ආලෝකය අනිත්‍ය යන දැක්‌ම ඔබ තුළ ඇතිකරගතහොත් දැල්වුනාවු පහන් ආලෝකය තුළින් ඔබ දකින්නේ ධර්මයයි. ආමිස පූජාවන් පැවත්වීමට කැමත්තක් දක්‌වන සියලු පිංවතුන්ලා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ආමිස පුජාවන් තුළින් අනිත්‍ය සංඥා මතුකර ගැනීමට දක්‍ෂ වෙන්න.
2013 මාර්තු 24 වන ඉරිදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි
No comments:
Post a Comment