Labels

Sunday, June 25, 2017

අසන දකින දේ නුවණින් හඳුනා ගන්න



තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුම්භ රට දේසක නම් නියම් ගමෙහි වැඩ වාසය කරන කාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා මෙම තේලපත්ත (තෙල් පාත්‍රය) ජාතකය දේශනා කොට වදාළහ. භාවනාව කෙරෙහි උනන්දු වූ භික්ෂූන් වහන්සේලා පිරිසකට කර්මස්ථාන දේශනා කොට අප්‍රමාදීව මහණ දම් පුරන්නැයි අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දමනය ඇති කරගන්නේ කෙසේද? යන්න උපමාවකින් පැහැදිලි කළහ.
එක්තරා රූමත් ජනපද කල්‍යාණියක් නෘත්‍ය හා ගීත ගායනයෙන් ජන පද වාසීන් පිනවන්නී ය. එම රූමත් ජනපද කල්‍යාණිය නැටුම් හා ගායනය පටන්ගත් කල්හී බොහෝ ජනපද වාසීහු ඈ වටා එක්රොක් වී විනෝද වූහ. එක් දිනක්
එම ජනපදය අයත් රාජ්‍යයෙහි රජු තමා යටතේ සිටින සිරකරුවෙකු කැඳවීය. මුවවිට තෙක් පිරුණු තෙල් බඳුනක් අතට දී එම තෙල් බඳුන මඳ හෝ කැලඹීමකින් තොරව නැටුම් ගැයුම් හා වැයුම් දෙස නොබලා නෘත්‍ය ශාලාව අතරින් රැගෙන යාමට සමත් වෙතොත් ඔහුට සිරෙන් නිදහස් විය හැකි යැයි දැන්වීය. එසේම වෙනත් පුරුෂයෙකු කැඳවා තියුණු මුවහත් ඇති කඩුවක් ඔහු අතට දුන්නේ ය. තෙල් බඳුන ගෙන යන්නා පිටුපසින් ගමන් කරමින් ඔහු බිය ගන්වන ලෙසට අණ කළේ ය. තෙල් බඳුන රැගත් පුරුෂයා ද ජීවිත ආශාවෙන් යුක්ත වූයේ රූමත් ජන පද කල්‍යාණිය හෝ ඇයගේ නැටුම් ගැයුම් දෙස නොබලා තමා පිටුපසින් එන කඩුව අමෝරාගත් තැනැත්තා කෙරෙහි බියෙන් තෙල් බිඳක් හෝ බිම නොහෙලා බඳුන නොසොල්වා රැගෙන ගියේ ය. කමටහන් වඩන යෝගාවචරයා ද රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ යන පංචවිධ අරමුණු කෙරෙහි නො ඇලී කඩු ගත් පුරුෂයාට බියෙන් තෙල් බිඳකුදු නොසොල්වා රැගෙන ගිය පුරුෂයා සෙයින් මහණ දම් පිරිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන්ට අනුශාසනා කළහ. මෙය ඇසීමෙන් විශ්මයට පත් භික්ෂූන් දුටු බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයේ ද නුවණැතියන් විසින් සිහිනුවණින් යුතුව අප්‍රමාදීව කටයුතු කිරීමෙන් උවදුරු වළක්වා ගත්තේ යැයි සඳහන් කොට තේලපත්ත ජාතකය දේශනා කොට වදාළහ.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජු රාජ්‍ය කරන සමයකි. බෝසතාණන් වහන්සේ එම රජුගේ පුතුන් සියක් දෙනා අතරින් බාලම තැනැත්තා ලෙස ඉපදුණි. එකල රජ මාලිගයෙහි නිරන්තරයෙන්ම පසේ බුදුරජාණන්වහන්සේ නමකට දන් පිළිගැන්වීය. බාල පුත්‍රයා වූ බෝධිසත්ත්වයන් වහන්සේ විසින් එම වතාවත් සිදුකරන ලදී. එක් දිනක බෝධිසත්ත්වයන් වහන්සේ, මාගේ සහෝදරයෝ බොහෝ වෙති. එහෙයින් මෙහි මට රජකම ලැබේද නැතහොත් නොලැබේදැයි යන්න පසේ බුදුරජාණන් වහන්සේගෙන් විචාර දැනගන්නෙමි සිතූහ. පසු දින පසේ බුදුරදුන් රජ වාසලට වැඩිය කල්හී උන්වහන්සේට දන් පිළිගන්වා අනතුරුව තම අදහස පිළිබඳ කරුණු විමසී ය. ඔහු ඇමතූ පසේ බුදුරජාණන් වහන්සේ ‘කුමාරයෙනි, ඔබට මෙහි රාජ්‍ය බලය හිමි නොවෙයි. මෙතැන් සිට යොදුන් එකසිය විස්සක් ඈතින් ගන්ධාර රට තක්ෂලා නම් නුවරක් තිබේ. එහි යන්නට සමත් වුවහොත් මෙයින් සත් දිනක් ඇවෑමෙන් ඔබට රාජ්‍ය බලය හිමිවනු ඇත. එහෙත් අතර මග මහා මාවතක් ඇත. දෙපස ඇති කැලෑව උවදුරු සහිතය. එය ඉක්මවා යන්නෙකුට යොදුන් සියයක් යායුතුව තිබේ. ඒ මාර්ගය අමනුෂ්‍යයන්ගෙන් පිරුණු තැනකි. එහි වෙසෙන යක්ෂණිහූ රූමත් ළඳුන් මෙන් වෙස්වලාගෙන අලංකාර දිව්‍යාභරණයෙන් සැරසී සිටිති. මග යන පුරුෂයන් රවටා දෙපස ඇති අලංකාර ශාලාවලට ගෙන යති. ගොස් නොයෙක් උපායෙන් ඔවුන් මුලා කොට මරා මස් අනුභව කරති. රූපයෙහි ඇලුම් ඇති තැනැත්තා රූපයෙන්ද, ශබ්දයෙහි ඇලුම් ඇති තැනැත්තා මිහිරි ගායනයෙන් ද, ගන්ධයෙහි ඇලුන තැනැත්තා මිහිරි සුවඳින් ද, රසයෙහි ඇලුන තැනැත්තා මිහිරි භෝජනයෙන් ද, ස්පර්ශයෙහි ඇලුනු තැනැත්තා සැපවත් ස්පර්ශයෙන්ද, මුලාකොට තමා වසඟයට ගෙන විනාශ කරදමති. එහෙත් පංච ඉන්ද්‍රියන් කෙරෙහි ලොල් නොවී සිහිනුවණින් යුක්තව කටයුතු කළහොත් මෙයින් සත් දිනක් ඇවෑමෙන් ගන්ධාර රට තක්ෂලා රාජ්‍ය බලය ලබාගත හැකිය.’ යනුවෙන් අනුශාසනා කළහ. පසේ බුදුරදුන්ගේ අනුශාසනයට සවන් යොමුකළ බෝධිසත්ත්වයන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරමියි අධිෂ්ඨාන කොට බුදුරදුන් වෙතින් පිරිත් වැලි, පිරිත් නූල් ද ගෙන දෙමාපියන් නැමඳ ආශිර්වාද ලැබ ගමනට සූදානම් වූහ. මේ ගමනට බෝධිසත්ත්වයන් වහන්සේ සේවකයන් පස්දෙනෙක් ද එක් විය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ එක්වීම රුචි නොකළහ. බලවත් ඉල්ලීම නිසා අවසානයේ දී තමන් හා එක්වීමට කැමැත්ත ලබා දුන්හ. බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස ඉදිරියට එන බව දැනගත් යක්ෂණීහු ඔවුන් ඩැහැ ගැනීමට සූදානම්ව සිටියහ. පිරිස අතරින් රූපයෙහි ලොල් වූ පුරුෂයා යක්ෂණීන්ගේ රූපයෙන් මුසපත්ව ඔවුන්ගේ වසඟයට ගොස් විනාශ විය. මේ ආකාරයට පිළිවෙලින් ශබ්ද ගන්ධ රස ස්පර්ශ යනාදියෙහි ලොල් වූ පුරුෂයන් සිව් දෙනා ද යක්ෂණියන් විසින් ගොදුරු කරගන්නා ලදී. ගමන අවසන් වන විට ඉතිරි වූයේ බෝධිසත්ත්වයන් වහන්සේ පමණි. ජාතක කතාවෙහි විස්තර කෙරෙන පරිදි යක්ෂණිය බෝධිසත්ත්වයන් වහන්සේ ගොදුරු කරගැනීම පිණිස නොයෙක් උපක්‍රම යෙදුවත් එය සාර්ථක නොවීය. අනතුරුව ගන්ධාර රට බලා ගිය බෝධිසත්වයන් වහන්සේ එහි එක් ශාලාවක නවාතැන් ගත් අතර යක්ෂණිය ද එහි පැමිණ රූමත් කාන්තාවක් ලෙස පෙනී සිට උපක්‍රමශීලීව එරට රජතුමා ඇතුළු රටවැසින් ගොදුරු කරගත්තාය. පිරිත් වැලි හා නූල් තිබූ හෙයින් බෝධිසත්ත්වයන්ට උවදුරක් නොවී ය. පසු දින රජු ඇතුළු පිරිසගේ විනාශය දුටු රට වැසියෝ එක්ව බෝධිසත්ත්වයන් වහන්සේ තම රාජ්‍යයෙහි පාලකයා බවට පත් කර ගත්තෝ ය.
දිගු ජාතක කතාවක් වන තේලපත්ත (තෙල් පාත්‍රය) ජාතකය බෞද්ධයන් අතර ඉතා ජනපි‍්‍රය කතාවස්තුවක් වූ බව එය විහාර බිත්තිමත සිතුවමට නැගීමෙන් පැහැදිලි වේ. මෙහිදී එය අතිශය සංක්ෂිප්තව දක්වා ඇති හෙයින් ජාතක පොත කියවීමෙන් එහි ගැඹුරු අර්ථය පසක් කළ හැකි වේ. තේලපත්ත ජාතකයේ විග්‍රහ වන්නේ පංචකාම ලෝකයේ පවතින යථාර්ථයයි. පුහුදුන් මිනිසාගේ සිත හා චිත්තවේග ක්‍රියාත්මක වන ආකාරය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර තිබීම මෙම ජාතක කතාවේ විශේෂත්වය වේ. පංච ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන රූප ශබ්ද ආදී අරමුණු පිටුපස හඹා යන තැනැත්තා යක්ෂණියන් විසින් විනාශ කර දමන ලද්දාක් මෙන් විවිධ බලවේග මගින් විනාශයට පත්වේ. ඉන්ද්‍රීය දමනයෙන් තොරව කටයුතු කරන තැනැත්තා අවසානයේ දී විනාශ වන්නේ තමා අපේක්ෂා කරන ජයග්‍රහණ කිසිවක් අත්පත්කර ගැනීමෙන් තොරව යන්න මෙම ජාතක කතාවෙන් ප්‍රකට කෙරෙන එක් ආදර්ශයකි. පාසල් දරුවන් හා තරුණ පිරිස් රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ ආදිය මගින් උත්තේජනය කරනු ලබන චිත්තවේගවලට යටත් වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා අතරම මතට හා දුරාචාරයට ලොල් වී තම සෞඛ්‍ය මෙන්ම ධනයත් විනාශ කරගන්නා අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. සාර්ථක පවුල් ජීවිතයක් සඳහා ඉන්ද්‍රිය දමනය අත්‍යවශ්‍ය වේ. අසන දකින දෑ පිටුපස හඹා යමින් වෙනසක් සොයන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිතය අසාර්ථක වී තිබේ. ජාතක කතාවෙහි එන පුද්ගලයන් පස්දෙනා නිසි අනුශාසනාවක් නොලැබූ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත වූවන් නොවේ. එහෙත් පසේ බුදුරදුන්ගේ උපදෙස් කෙරෙහි අවධානය යොමුකොට අනාගත උවදුරු මැනවින් දුටු බෝධිසත්ත්වයන්ට තම ඉලක්කය වෙත ගමන් කරමින් ජයග්‍රහණය අත්පත්කරගැනීමට හැකිවිය. අනාගත අරමුණ වෙනුවෙන් අවංකව කැපවන්නෙකුගේ ගති ලක්ෂණ බෝසත්වරයාගේ චරිතයෙන් නිරූපනය වේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම වස්තූන් පිටුපස හඹායන්නෙකුට මුහුණදීමට සිදුවන විපත ඉතා විශාල එකක්ය යන්න රජු හා පිරිසට සිදු වූ විපතින් සනාථ වේ. සමාජය අතිශය සංකීර්ණ ය. බාහිරින් ලැබෙන විවිධ දෑ මගින් මනස නිරන්තරයෙන්ම උත්තේජනය කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වේ. තෙල්පාත්‍රයක් නොසොල්වා රැගෙන යන්නෙකු සේ සෑම විටම මානසික අවදි බව ඉදිරියේ දී මෙන්ම සිදුවන්නේ කුමක් ද යන අනාගත දැක්ම ද අවශ්‍ය වේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් චිත්ත ඒකාග්‍රතාව අවශ්‍ය වේ. අසන දකින දෑ නුවණින් හඳුනාගෙන කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කර ගත් තැනැත්තාට තම අවසන් ඉලක්කය කරා ගමන් කළ හැකි වේ. එළඹ සිටි සිහිනුවණින් ජීවිතය නමැති තෙල් බඳුන බාහිර අරමුණුවලින් ප්‍රකම්පිත නොකර කඩුගත් තැනැත්තා කෙරෙහි බියවන්නාක් මෙන් අසත්පුරුෂ බලවේගවලට හසු නොවී පසේ බුදුරදුන් වැනි උතුමන්ගේ උපදෙස් පිළිපැද ජීවිත ගමනේ ජය ටැඹ කරා යාමට මේ පිළිවෙත් පුරා අධිෂ්ඨාන කරගනිමු.

කොළඹ විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය 
පණ්ඩිත ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 01 වන බ‍්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment