Labels

Sunday, June 18, 2017

සිතක ස්වභාවය කෙසේ හඳුනමු ද?

ගෘහස්ථ ජීවිතයක කම් සැප විඳින සිතක පවතින්නේ ඇලීම් සහ ගැටීම්ය. ඇසට හමුවෙන රුවක, කනෙහි මතුවන හඬක, නාසයට සමීපවන ආඝ්‍රහණයක, දිවට දැනෙන රසයක, ශරීරයට මුසුවෙන ස්පර්ශයක සිතට දැනෙන සිතිවිල්ලක සුවදායි ලෙස කාමයට යොමු වූ සිතකින් ඇළෙන සිතකින් නික්ලේෂී සිතක් පිළිබඳව කෙසේ නම් දැනගන්නේ ද?"
අප මෙම ධර්ම ලිපිය සඳහා ඇසුරු කරගනු ලබන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් සත්තජටිල සූත්‍ර දේශනාවයි. තථාගත බුදුරජාණන් වහන්සේ එක් කාලයක සැවැත් නුවර මිගාරමාතාවන් විසින් කරන ලද පූර්වාරාමයෙහි වැඩ වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ ඵල සමාපත්තියෙන් නැගී සිට,උන්වහන්සේ වෙහෙරෙහි දොරටුව සමීපයෙහි වැඩ සිටියා. පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට එකත් පසෙක වාඩි වී සිටියා.

මේ වෙලාවෙහි ජටිලයෝ සත් දෙනෙක්, නිගණ්ඨයෝ සත් දෙනෙක්, අචේලකයෝ සත් දෙනෙක්, ඒකසාටකයෝ එනම් එකම සළුවක් දරාගෙන සිටින සත් දෙනෙක්, පරිබ්‍රාජකයෝ සත් දෙනෙක් නොයෙක් විදියේ තවුස් පිරිකර රැගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින එම ප්‍රදේශය පසු කරමින් ගමන් කරනවා. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සිටි පසේ නදී කොසොල් රජතුමා වාඩිවී සිටි ආසනයෙන් නැගිට උතුරු සළුව සකස් කොට දකුණු දනමඬල පොළොවෙහි තබා ජටිලයන් සත් දෙනාට, නිගණ්ඨයන් සත් දෙනාට , අචේලකයන් සත් දෙනාට, ඒක සාඨකයන් සත් දෙනාට, පරිබ්‍රාජකයන් සත් දෙනාට යන සියලු දෙනාටම ඇඟිලි බැඳ එනම් වන්දනා කරගෙන, වහන්ස, මම පසේ නදී කොසොල් රජ වෙමි, යන්නෙන් තෙවරක් ම ගෞරව කරමින් ඇසෙන්න සැලැස්සුවා, එනම් හඬගා කීවා.
ඉක්බිති ඒ ජටිලයන් සත් දෙනා, නිගණ්ඨයන් සත් දෙනා, අචේලකයන් සත්දෙනා, ඒක සාඨකයන් සත් දෙනා, පරිබ්‍රාජකයන් සත් දෙනා, යන සියලු දෙනාම එම ස්ථානය පසුකොට ගියාට පසුව පසේ නදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වන්දනා කොට එකත් පසෙක වාඩි වී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කළා.
භාග්‍යවතුන් වහන්ස, ලොව යම් වූ ද රහතන් වහන්සේ නමක් හෝ රහත් මඟට පිළිපන්නා වූ යම් පුද්ගලයෙක් වේද, ඔවුන් අතර ඒ පිරිසත් එක්තරා රහත් පිරිසක යැයි සඳහන් කළා. ඉන් අදහස් කළේ මේ ලෝකයේ රහතන් වහන්සේලා සිටිනවා නම් ඒ පිරිසත් රහතන් වහන්සේලා යන අදහසයි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් කොසොල් රජතුමාට මෙසේ සඳහන් කරනවා. මහරජ, ගිහි වූ කම් සැප විඳින දරුවන්ගෙන් පලිබෝධ ඇති එනම් කරදර බාධක බොහෝ ඇති යහන් හි වෙසෙන එනම් සුවපහසු කාමභෝගී අසුන් හි වෙසෙන සුවඳ සඳුන් ගල්වන එනම් සුවඳ ආලේපයන් පරිහරණය කරන මල් ගඳ විලවුන් දරන රන් රිදී ඉවසන නුඹ විසින් මොහු රහත්විය කියා හෝ මොහු රහත් මඟට පිළිපන්නේ වෙයි කියා හෝ නොදැක හැකිය. එය දැනගන්නට නොහැකිය. භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහන් කළ අදහස් පෙළ අප විවරණය කර ගත යුතුයි.
කොසොල් රජතුමා බාහිර පෙනුමෙන් පමණක් නිගණ්ඨයන් ආදී ඒ පිරිස දෙස දැක රහතන් වහන්සේලා යැයි වන්දනා කරමින් ගරුකරමින් භාග්‍යවතුන් වහන්සේටත් ඒ බව සඳහන් කළා. භාග්‍යවතුන් වහන්සේ මෙහි දී ප්‍රශ්න කරනු ලැබූයේ කාම භෝගී ජීවිතයක් ගත කරන ඇස, කන, ආදී ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ලබා ඒවා පරිහරණය කරමින් ඒවායෙහි ඇලෙමින් ගැටෙමින් ඒ වගේ ම මිල මුදල් පරිහරණය කරමින්, ශරීරය සරසමින් හැඩ බලමින් කාමයන්හි ඇළුණු යම් කෙනෙක් සියලු කෙලෙසුන් නැසීමෙන් රහත්භාවයට පත්වෙන උතුමෙකුගේ ස්වභාවය පිළිබඳව කෙසේ නම් දැනගන්නේ ද කියන අදහසයි.
ගෘහස්ථ ජීවිතයක කම් සැප විඳින සිතක පවතින්නේ ඇලීම් සහ ගැටීම්ය. ඇසට හමුවෙන රුවක, කනෙහි මතුවන හඬක, නාසයට සමීපවන ආඝ්‍රහණයක, දිවට දැනෙන රසයක, ශරීරයට මුසුවෙන ස්පර්ශයක සිතට දැනෙන සිතිවිල්ලක සුවදායි ලෙස කාමයට යොමු වූ සිතකින් ඇළෙන සිතකින් නික්ලේෂී සිතක් පිළිබඳව කෙසේ නම් දැනගන්නේ ද? ඒ වගේ ම තමා ඇලුණු රූප ශබ්ද ආදී අරමුණු වෙනස්වන විට ඒ වෙනස්වීම සිතින් දරාගත නොහැකිව හඬන, වැළපෙන, සුසුම්ලන සිතක් ඇති යම් කෙනෙක් නොහඬන, නො ඇළෙන, නොගැටෙන විරාගී මනසකින් උපේක්ෂාව පුරුදු කළ රහතන් වහන්සේ නමකගේ සිතක් පිළිබඳව කෙසේ නම් දැනගන්නේ ද? කියන අදහසයි. රහතන් වහන්සේ නමක් පිළිබඳව දැන ගත හැක්කේ ඒ මඟට සිත් පුරුදු කළ උතුමෙකුට පමණකි. එය රහතන් වහන්සේ නමක් විසින් බොහෝ කලක් තම සිත කෙලෙසුන්ගෙන් මිදීමට පුරුදු කිරීමෙන් ඒ කෙලෙසුන්ගෙන් මුළුමනින්ම විනිර්මුක්ත වීමෙන් ලබා ඇති අත්දැකීම් අනුවම අවබෝධ කරගත යුත්තකි. එමෙන් ම පැවසිය යුක්තකි.
රහතන් වහන්සේ නමකගේ කතාව ආරම්භ වන්නේ මේ ලෙසිනුයි.

“ඛීණා ජාති වුසිතං
බ්‍රහ්මචරියං කතං කරණීයං
නාපරං ඉත්ථත්තායාති”

ඉපදීම, නැති කළා, බ්‍රහ්මචරියාවේ හැසිරුණා. රාගාදි කෙලෙසුන්ගේ නැසීම පිණිස පාරමී ධර්ම සම්පූර්ණ කිරීම ආදී කළයුතු සියල්ල කළෙමි. ඒ කෙලෙසුන්ගේ සංසිඳීම, නිවීම වෙනුවෙන් වෙන කළයුතු යමක් නැත. සියල්ලකොට අවසන් කළෙමි යනුවෙනුයි.
එවැනි රහත් උතුමෙකුට තවත් අයකුගේ රහත්බව පිළිබඳව හැඟීමක් ඇතිවෙයි. එසේ නොවෙන කාමාදි අරමුණු නිසා සිත් සතුටු කරමින්, ඇලෙන බැඳෙන සිත් පිනවන කාමභෝගී සිතකින් රහත් බවක් ගැන කෙසේ නම් නිසිලෙස පවසන්නේ ද? යන අදහසයි.
බුදුරජාණන් වහන්සේ විසින් පසේ නදි කොසොල් රජතුමාට එසේ සඳහන් කිරීමෙන් අනතුරුව නැවතත් මෙසේ සඳහන් කරනවා. මහරජ එක්ව විසීමෙන් සීලය දත යුතුයි. එය ද දිගු කලකිනි, මද කලකින් නොවේ. මෙනෙහි කරන්නෝ විසින් ම දැනගත යුතුයි. මෙනෙහි නොකරන්නෝ විසින් නොවෙයි. එමෙන් ම ප්‍රඥාවන්තයෙක් විසිනුයි. ප්‍රඥාව නැති කෙනෙකුට එය නොදැනේ. මහ රජ කතා ව්‍යවහාරයෙන් සිතේ පවිත්‍ර බව දත යුතුයි. එයත් දිගු කලෙකිනුයි. මද කලෙකින් නොවේ. මෙනෙහි කරන්නෝ විසිනුයි. මෙනෙහි නොකරන්නෝ විසින් නොවේ. ප්‍රඥාවන්තයා විසින්මයි. දුෂ්ප්‍රාඥයකුට එසේ දැනගත හැකි නොවේ.
මහ රජ, විපතෙහි දී ඥාන ශක්තිය දත යුතුයි. එයත් දිගු කලෙකිනුයි. මද කලෙකින් නොවේ. මෙනෙහි කරන්නෝ විසිනුයි. මෙනෙහි නොකරන්නෝ විසින් නොවෙයි. නුවණැත්තා විසිනුයි. දුෂ්ප්‍රාඥයාට එය කළ හැකි නොවේ.

මහ රජ සාකච්ඡාවෙන් නුවණ දත යුතුයි. එයත් දිගු කලෙකිනුයි. මද කලෙකින් නොවේ. මෙනෙහි කරන්නෝ විසිනුයි. මෙනෙහි නොකරන්නෝ විසින් නොවේ. නුවණැත්තා විසිනුයි. ඥාන හීනයාට එය නොදැනේ.


බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment